You are currently viewing උතුරු දකුණු සහෝදරත්වයට ප්‍රහාරයක්..

උතුරු දකුණු සහෝදරත්වයට ප්‍රහාරයක්..

පසුගිය 23 වෙනි දින බොරැල්ල කනත්ත වට රවුමේ පැවති ’83 කලු ජූලිය සිහිපත් කිරීමේ සැමරුමට පොලීසිය විසින් දැඩි බාධාකිරීම් සිදුකරන ලදි.කලු ජූලියේදී විපතට පත්වූවන්, අතුරුදහන් වූවන් සහ එම සිදුවීමෙන් ඇති වූ අගතිගාමිත්වය සිහිපත් කිරීම මෙහි අරමුණ විය.මෙම අවස්ථාව උතුරු දකුණු සහෝදරත්වය විසින් සංවිධානය කර තිබුණි.

මෙරට මෙන්ම විදේශ දේශපාලන ක්ෂේත්‍රයේද බලවත් පිළිකුලට ලක්වූ 1983 වර්ෂයේ සිදු වූ මෙම සිදුවීමෙන් සිංහල, ද්‍රවිඩ ජන කොටස් අතර පැවති සුහදත්වය මිත්‍රත්වය බරපතල දෙදරීමකට ලක් විය.එම ස්වභාවය තුනීකිරීමේ ප්‍රකාශනයක්ද මේ වැඩසටහනේ පැවතුණි.’සැමරුම පැවැත්වීම වැළැක්විය යුතුය’ යන සූදානමක පෙර නිමිති සැමරුම් අවස්ථාව ආරම්භයට පෙර සිටම ඉතාම සැලසුම් සහගතව පැවති අන්දම, එම ස්ථානය හා අවට යොදවා තිබූ සන්නද්ධ පොලිස් හා හමුදා සේනාංකවලින්ම පෙනී ගියේය. කැරලි මර්ධන කණ්ඩායම් හා විශේෂ කාර්ය බලකායේ සෙබලුන් 800 කට අධික පිරිසක්ද ජල ප්‍රහාරක රථද මෙම අවස්ථාවට යොදවා තිබුණි.

සිරිතුංග ජයසූරිය, නීතිඥ ශ්‍රීනාත් පෙරේරා, වසන්ත දිසානායක, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර යන සහෝදරවරු ද සන්ධ්‍යා එක්නැලිගොඩ සහෝදරිය හා අරගලයේ ක්‍රියාකාරීන්ද මීට සහභාගී වූහ. ’83 වර්ගවාදී ප්‍රචණ්ඩත්වය හෙලා දකින බැනර් හා පෝස්ටර් විරෝධතා කරුවන් අත තිබුණි. මෙම ස්ථානයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් සැමරුමට බලවත් විරෝධය ප්‍රකාශ කළහ. එහි සිටි පොලිස් නිලධාරීන්ට මෙම පුද්ගලයින් දෙදෙනා පහසුවෙන් ඉවත්කිරීමට අවශ්‍ය තරම් හැකියාවක් තිබුණද, එම කාර්යය සිදු නොවුණි.

දිගින් දිගටම ඇතිවූ බහින් බස්වීම පදනම් කරගෙන මෙම සාමකාමී සැමරුම විසුරුවා හැරීමට සන්නද්ධ පොලීසිය කටයුතු කළේය. ඔවුන් විසින්  කළ තල්ලුකිරීමකදී පිරිස ඉදිරියෙන් සිටි සිරිතුංග සහෝදරයා හා නීතිඥ ශ්‍රීනාත් සහෝදරයා සමඟ කීපදෙනෙකු බිම ඇද වැටුණි. මේ ස්ථානයේ ඇතිවූ කලබලකාරිත්වය මැඩලීමේ අරමුණින් සන්නද්ධ බල ඇණි විසින් පිරිස විසුරුවා හරින ලදි.මෙහි යම් සැලසුම් සහගත ක්‍රියා දාමයක් පැවති බවද පැහැදිලිය.

මෙහිදී සිරිතුංග සහෝදරයා රැස්ව සිටි පිරිස අමතා කියා සිටියේ ජාතීන් අතර මිත්‍රත්වය ගොඩනැගීමට ප්‍රත්න දරන සාමකාමී සැමරුමකට එල්ල කරන ලද  ප්‍රහාරය පිළිකුල් සහගත බවයි.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යහපාලනයක් ගැන කතා කළා.ඔහු කියූ යහපාලනයද මේ?යනුවෙන් ඔහු විමසා සිටියේය.

” මේ රජය රටේ මිය ගිය මිනිසුන්ට මේ තරම් බිය නම් අනාගතයේ උපදින අයට කොතරම් බිය වේද?මියගිය අය අතුරුදහන් වූ අය සිහිපත් කිරීමටවත් අවස්ථාවක් නොදෙන රජය ඔවුන් ගැන නිසි සොයා බැලීමක් කරයි කියා සිතිය නොහැකියැ” යි සන්ධ්‍යා එක්නැලිගොඩ සහෝදරිය මෙහිදී ප්‍රකාශ කළාය.

ජාතීන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීමට සුලු ජාතීන්ගේ අයිතීන් සහතික කිරීමට ප්‍රයත්න දරණ බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා  කියා සිටී. මේ ප්‍රකාශයට පත්වෙමින් තිබෙන්නේ ඒ සඳහා ඔහුගේ ඇති දැක්මද යන්න ජන සමාජයේ සාකච්ඡාවට ලක්වෙමින් තිබේ.

Leave a Reply