You are currently viewing ඉදිරි මඟ: මිල ස්ථායිකරණය සහ සමෘද්ධිය සඳහා යහපත් ආණ්ඩුකරණයක් අවශ්‍යයි  | ආචාර්ය ෂාර්මිනී කුරේ

ඉදිරි මඟ: මිල ස්ථායිකරණය සහ සමෘද්ධිය සඳහා යහපත් ආණ්ඩුකරණයක් අවශ්‍යයි  | ආචාර්ය ෂාර්මිනී කුරේ

මහබැංකුවේ අධිපතිතුමාට, නියෝජ්‍ය අධිපතිතුමන්ලාට, මූල්‍ය මණ්ඩලයේ හිටපු සාමාජිකයන්ට සහ මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලයේ වර්තමාන සාමාජිකයන්ට මුලින්ම මගේ සතුට පළකරන්න ඕනේ. 2022 අප්‍රේල් මාසේ ඉඳන් ඔවුන් නිර්භීත තීරණ අරගෙන තියෙනවා. නිදහසෙන් පස්සේ ලංකාව පත්වෙච්ච දැවැන්තම ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න අවශ්‍ය කරන ආර්ථික ස්ථාවරත්වය සඳහා වන දුෂ්කර තාක්ෂණික බරකට ඔවුන් නායකත්වය දීලා තියෙනවා. මේ දක්වා ඇති කරගෙන තියෙන ප්‍රගතිය කෙනෙක් සමහරවිට සුළුවෙන් තකන්න පුළුවන්. ඒත්, අපි අමතක නොකළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. ඒවා තමයි, මීට මාස විස්සකට කලින් රටේ උද්ධමනය ඉබාගාතේ යමින් තිබුණු බව. විදේශ විනිමය අනුපාතිකයේ අගය පාලනය කරගත නොහැකි තරමට පහළ වැටෙමින් තිබුණු බව. විදේශ විනිමය සංචිතය හිස් වී තිබුණු බව. ඒ විතරක් නෙවෙයි, ආහාර, ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග හිඟයෙන් ආර්ථිකය කඩාවැටෙමින් තිබුණු බව.

ආචාර්ය ෂාර්මිනී කුරේ

ගිය සැප්තැම්බරයේ පැවති සියයට 74 ක උද්ධමනය අවුරුද්දක් අවසානයේ සියයට 2 ක් දක්වා පහළ අගයකට ගෙන ඒම ලේසිපාසු දෙයක් නෙවෙයි. එය, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ අපේක්ෂා කළ තත්වයටත් වඩා දියුණු තත්වයක්. රටේ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යන අතරේම මෙවැනි සාර්ථකත්වයක් ලැබීම විශේෂයෙන් වැදගත් වෙන්නෙ තවත් කාරණයක් නිසා. ඒ තමයි, රටේ ආර්ථිකයේ විශාල හැකිළීමක් තියෙන වෙලාවක, කෝවිඩ් වසංගතයෙන් රටේ මූල්‍ය අංශයේ ශේෂපත්‍රය දුර්වල වෙලා තියෙන වෙලාවක එවැනි සාර්ථකත්වයක් ලබාගැනීමට හැකි වීම. එසේම, මාසික උද්ධමනය සමනය වෙමින් තියෙන බවට පැහැදිලි සාක්ෂි ඇති වෙලාවක පොලී අනුපාතය යළි පහළ දැමීමත්, සාධනීය මූල්‍ය ප්‍රතිචාරයක්. ලෝකය පුරා විවිධ රටවල ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ සමග කටයුතු කිරීමෙන් මට ලැබී තිබෙන අත්දැකීම් අනුව, එයිනුත් බොහෝ අවස්ථාවල ආර්ථික ආතතියට පත් රටවල් සමග කටයුතු කර ඇති මගේ අත්දැකීම් අනුව, ලංකාව ලබා ඇති මේ සාර්ථකත්වයන්, මොන කෝදුවකින් මැන්නත්, ප්‍රශංසනීය බව මම කියන්න ඕනෙ. දක්ෂ නායකත්වයක් සහ තීරක හැකියාවක් නොතිබුණා නම්, මේ රටේ තත්වය හරි ලේසියෙන්ම මීට වඩා නරක් වෙන්න තිබුණා.

ආණ්ඩුවේ ආදායම් ප්‍රතිපත්ති වගේම, වඩාත් යෝග්‍ය යැයි මහබැංකුව සිතන ආකාරයට මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමට මහබැංකුවට යම් ඉඩක් ආණ්ඩුව විසින් සලසා තිබීමත්, මහබැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාකාරකම් සාර්ථක වීමට රුකුලක් වෙලා තියෙනවා. කලින් පැවති ආණ්ඩුව විසින් බදු කපාහැරීම නිසා, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2019 දී සියයට 11 වශයෙන් තිබුණු රජයේ බදු ආදායම් අනුපාතය, 2020-21 කාලයේ සියයට 7.5 දක්වා පහළ වැටුණා. ඒක, ලෝකයේ ආණ්ඩුවක් ලබන අඩුම බදු ආදායම්වලින් එකක් වශයෙන් සලකන්න පුළුවන්. කොටින්ම, මධ්‍යම අප්‍රිකානු ජනරජය සහ බුර්කිනා ෆාසෝ වැනි ඉතා දිළිඳු රටවල බදු ආදායමටත් වඩා ඒක අඩුයි. රජයේ ආදායමෙන් සියයට 73 ක්, ආණ්ඩුව අරගෙන තියෙන ණයවලට පොලී වශයෙන් ගෙවීමට සිදුවෙලා තියෙන තත්වයක, 2020-21 කාලයේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 12 කට ආසන්න සමස්ත රාජ්‍ය ආදායම් හිඟයක් පවතින අවස්ථාවක, කලින් ආණ්ඩුවේ බදු ආදායම් ප්‍රතිපත්තිය මොන විදිහකින්වත් පවත්වාගෙන යන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා, බදු අනුපාතිකය වැඩි කිරීමට, බදු එකතු කරගැනීම ප්‍රවර්ධනය කිරීමට, තීරණාත්මක සහ අත්‍යාවශ්‍ය පියවර ගත්ත ආණ්ඩුව, බලශක්ති අංශයේ වියදම් පියවා ගැනෙන මිල ප්‍රතිපත්තියක් ක්‍රියාවේ යෙදවීමටත් කටයුතු කර තියෙනවා. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ වැඩපිළිවෙලට අනුගත වෙමින්, ස්වකීය ප්‍රාථමික ආදායම් ශේෂයේ වර්ධනයක් ඇති කරගැනීම සඳහා ආණ්ඩුව සිය වියදම් සීමා කරගැනීමට කටයුතු කර තියෙනවා. මේවා ඉතා දුෂ්කර තීරණයි. ඒත්, නොගෙන බැරි තීරණයි.

අවාසනාවට, ජාතික ආර්ථිකය කියන නෞකාව ආපස්සට හැරවීම වහා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා, මූලික හේතු කාරණා වශයෙන් තිබෙන අතීතයේ ක්‍රියාත්මක කරපු ඉවක්බවක් නැති ප්‍රතිපත්ති ගැන වෙනුවට, මිනිස්සු ‌දොස් පවරන්නෙ ඒ වැරදි ප්‍රතිපත්ති නිවැරදි කිරීම සඳහා දැන් ගෙන එන ප්‍රතිපත්තිවලටත්, දැන් නිවැරදි දේ කරන ප්‍රතිපත්ති සම්පාදකයන්ටත්. ඒක, කඩාවැටිච්ච රටවල් ගොඩගැනීමට ඉදිරියට එන ප්‍රතිපත්ති සම්පාදකයන්ට කවදත් මුහුණදෙන්න සිදුවෙන නීරස අත්දැකීමක්. ඒ නිසා ඔබ කවුරුත් ගැන මගේ හිතේ අනුකම්පාවක් තියෙනවා!

එතකොට දැන් මොකද කරන්නෙ? සෑහෙන ප්‍රගතියක් අත්කරගෙන තිබුණත්, තවම අපි ඉන්නෙ, අපිට අත්කරගත හැකි පූර්ණ සාර්ථකත්වයෙන් ඉතා පහළ මට්ටමක. ආර්ථිකයේ තුලිත භාවය තියෙන්නෙ පහළ මට්ටමක. ඒ කියන්නෙ, අර්බුදය ඉවර නැහැ. අර්බුදයෙන් ගොඩඑන්න තියෙන එකම මාර්ගය තමයි, වර්ෂයකට සියයට 5-6 අතර ප්‍රමාණයක ආර්ථික වර්ධනයක් අත්කරගැනීම. ඒක සිද්ධ වෙන්න ඕනේ, තිරසාර විදිහකට. සියල්ලන් ඇතුළත් කරගන්නා විදිහකට. එහෙම වර්ධනයක් නැතුව, සාර්ථක ප්‍රති-ව්‍යුහගත කිරීමක් කළත්, අපේ විශාල ණය බරෙන් අපට ගොඩඑන්න බැහැ. ණය බර හැදෙන්නේ රාජ්‍ය අංශය සමග නිසා, මේ අවුරුද්දේ විතරක් නෙවෙයි, ඊළඟ දශකය තිස්සේත් රාජ්‍ය අංශය සංකෝචනය විය යුතුව තියෙනවා. ඒක නිසා, වර්ධනය වෙන්න තියෙන්නෙ, පෞද්ගලික අංශයෙන්. අපේ විදේශ විනිමය අවශ්‍යතා අනුව බලනකොට, ඒ වර්ධනය අපනයන-ප්‍රමුඛ වර්ධනයක් වෙන්න ඕනෙ. ඒක මිසක් වෙන කිසි විසඳුමක් ඇත්තෙ නැහැ.

එවැනි ගතික වර්ධන මාර්ගයක ආර්ථිකය පිහිටුවීම සඳහා තව හුඟාක් දේවල් කරන්න තියෙනවා. ඒ වගේම, මහබැංකුවේ නිර්දේශිත මට්ටම වන සියයට 5 ට අඩු මට්ටමක දැනට උද්ධමනය පාලනය කරගෙන ඉන්න නිසාම, එක දිගටම ඒ මට්ටමෙන් උද්ධමනය පාලනය කරගෙන ඉන්න පුළුවන් වෙයි කියලත් හිතන්න ඕනෙ නැහැ. ඒ වගේම, රජයේ ආදායම් ක්ෂේත්‍රය තුළ දැනට ඇති වර්ධනය ඒ මට්ටමේ දිගටම තියෙයි කියලා හිතන්න ඕනෙත් නැහැ. නිදහසෙන් පස්සෙ අපේ ආර්ථික ඉතිහාසය දිහා බැලුවොත් අපිට පේනවා, වෙලාවකට හොඳ, වෙලාවකට නරක ප්‍රතිපත්තිවලින් ඒ ඉතිහාසය පිරිලා තියෙන බව. ඒ වගේම, ආර්ථික අස්ථාවරත්වය මෙල්ල කරගත්ත සාර්ථකත්වයන් එක දිගට පැවතිලා නැති බව. ආයිත් සැරයක් ඒ වගේ ඉතිහාසයකට යටවෙන්න අපිට පුළුවන්කමක් නැහැ.

  1. මුලින්ම, මීට කලින් අපි මුහුණදීලා තියෙන සාර්ව-ආර්ථික අස්ථාවරයක් ඇති වෙච්ච හැම වෙලාවකම, අපේ රාජ්‍ය ණය අනුපාතිකය තිබිලා තියෙන්නෙ, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන්, සියයට 80 ට අඩු මට්ටමක. ඒ වගේම, අපේ රාජ්‍ය ආදායම කිසි අවස්ථාවක, 2020-21 තරම් පහළට ගිහිං තිබිලා නැහැ. ඒ වගේම, ඒ කිසි අවස්ථාවක අපි ණය ගෙවීම පැහැර හැරලා නැහැ. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ණය තිරසාරත්වය පිළිබඳ විශ්ලේෂණයට අනුව, අපේ ණය සාර්ථකව ප්‍රතිව්‍යුහගත කරගන්න අපිට පුළුවන් වුණත්, 2025 ඉඳන් අඩු වශයෙන් 2032 දක්වාවත්, අපේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 2.3 ක අගයකින් යුත් ප්‍රාථමික ආදායම් අතිරික්තයක් ඇති කරගත හැකි තරමේ දුෂ්කර ප්‍රතිපත්ති අතනොහැර පවත්වාගෙන ගියත්, 2032 වන විටත් අපේ රාජ්‍ය ණය බර අඩු වෙන්නෙ, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව, සියයට 95 ක් දක්වා පමණයි. දැන් මේක, ලෝක ණය මට්ටමේ සාමාන්‍ය ස්වභාවය සමග සන්සන්දනය කළොත් මෙහෙමයි: නැඟීගෙන එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවල, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂ රාජ්‍ය ණය සාමාන්‍ය ප්‍රතිශතය සියයට 65 යි. අපේ අසල්වැසි රටවල් දිහා බැලුවොත්, ඉන්දියාවේ සියයට 55 යි. ඉන්දුනීසියාවේ සියයට 40 යි. තායිලන්තයේ සියයට 54 යි. ඒක නිසා, කලින් අපි වරද්දගත්ත කාලයේ පැවති අපේ සියයට 60-80 අනුපාතිකය, මීට පස්සෙ ඊට වඩා හුඟාක් ඉහළ මට්ටමකට නඟිනවා. ඒක නිසා, සාර්ථක ණය ප්‍රති-ව්‍යුහගත කිරීමක් ඇති කරගැනීමට අපි සමත් වුණත්, උසුලාගන්න බැරි ණය බරකට කරගහන්න අපිට සිද්ධවෙන අවදානම සුළුපටු නැහැ. අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමේ අවශ්‍යතාව බරසාරව නොගෙන සැහැල්ලුවෙන් යන්න ගියොත්, ඊළඟ සැරෙත් ණය ගෙවාගන්න බැරි අර්බුදයකට අපි වැටෙන්න පුළුවන්. ඒක, අදට වඩා භයානකයි. මොකද, ඒ වෙනකොට අපි ඉන්නේ, දැනටමත් එක සැරයක් අපේ ණය කල්දාගෙන නිසා. ඒ නිසා, සීරුමාරුවෙන් කරගත යුතු තවත් ගැළපීම්වල දුෂ්කරතාවෙ වැඩි බර වැටෙන්නේ අපේ පුරවැසියන්ගේ කරට. බාහිර ණය හිමියන්ට යන බර අඩුයි. ඒ වැදගත් කාරණය පුළුවන් තරම් පුළුල් අර්ථයකින් අපි තේරුම්ගත යුතුව තියෙනවා.
  2. කලින් වතාවලට වඩා මේ වතාව වෙනස් වන දෙවැනි කාරණය තමයි, ඉස්සරට වැඩිය අද රටේ වැඩි පිරිසක් දරිද්‍රතාවයට පත්වෙලා ඉන්න නිසා, එහෙම නැත්නම්, දරිද්‍රතාවයට ආසන්නව ඉන්න නිසා, ඔවුන්ට තියෙන ඔරොත්තු දීමේ හයිය හොඳටම අඩුයි. ලෝක බැංකු වාර්තාවලට අනුව, 2022 දී අපේ දරිද්‍රතා අනුපාතිකය දෙගුණයක් වෙලා තියෙනවා. ඒ කියන්නෙ, මුළු ජනගහනයෙන් සියයට 25 ක් දරිද්‍රතාවයට පත්වෙලා තියෙනවා. ‘එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල’ වාර්තා කරන විදිහට, රටේ මුළු ජනගහනයෙන් බාගෙකට වැඩි පිරිසක්, ‘හතර අතින් පීඩාවට පත්වෙලා’ ඉන්නවා. ‘ලෝක ආහාර වැඩපිළිවෙලේ’ වාර්තාවලට අනුව, අපේ ළමයින්ගෙන් තුනෙන් පංගුවකට ආසන්න ප්‍රමාණයක් මන්දපෝෂණයට පත්වෙලා ඉන්නවා. ඒ අතරින් සියයට 20 ක් ‘අධි-මන්දපෝෂණයට’ ගොදුරු වෙලා. මුළු ජනගහනයෙන් තුනෙන් දෙකක්, එදිනෙදා කෑමබීම සඳහාම ණයකාරයො වෙලා තියෙනවා. නැත්නම්, ඉතුරු කිරීම් අරගෙන කන තත්වෙට පත්වෙලා තියෙනවා. තව විශාල පිරිසක්, සෞඛ්‍ය අවශ්‍යතා වගේ අත්‍යාවශ්‍ය කටයුතු, සල්ලි නැතිකම නිසා පැත්තකට දාලා ඉන්නවා. කෝවිඩ් වසංගතයත්, ආර්ථික අර්බුදයත් යන දෙකම නිසා, අධ්‍යාපනයේ වර්ධනය බරපතළ විදිහට කප්පාදු වෙලා තියෙනවා. තවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යන්න වුණොත්, තවත් අර්බුදයකට මුහුණදෙන්න වුණොත්, ඒකට ඔරොත්තු දෙන්න වෙන දුෂ්කරතා අතිශය භයානකයි. එතකොට, ඉතා බරපතළ පුපුරා යන සමාජ අසහනයක් ඇති වෙන්න පුළුවන්.
  3. තුන්වැනුව, ආර්ථිකය ගොඩගැනීමට සහ වර්ධනය කිරීමට තියෙන කොඳු නාරටිය වෙන, පුහුණු වෘත්තිකයො රට හැරයාමෙන් රටට ඇති වෙන හානිය සැලකිය යුතුයි. හුඟාක් දෙනා කියන විදිහට, මේ පිරිස රට හැර යන්නෙ, හුදෙක් බදු බර නිසාම නෙවෙයි. දශක ගානක් තිස්සේ සමාජය ඔද්දල් කරලා තියෙන දූෂණයත්, අයහපත් ආණ්ඩුකරණයත් යන මහා ප්‍රශ්නය විසඳගැනීමේ සැබෑ ආයාසයක් ගැනෙයි කියන කිසි බලාපොරොත්තුවක් තවදුරටත් තියාගන්න බැරි නිසා. ආර්ථික ජීවිතයේ හැම අස්සක් මුල්ලකටම ඇඟිලි ගහන රාජ්‍යයක් තියෙන සමාජයක, මහපරිමාණ දූෂණයේ යෙදෙන දේශපාලනඥයන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් නොකරන රටක හෙට දවසක් ගැන ඔවුන්ට බලාපොරොත්තුවක් තියාගන්න බැරි නිසා. තවත් අර්බුදයක් ආවොත්, රට හැර යාමේ වර්තමාන ප්‍රවණතාව, නික්මයාමේ මහා ප්‍රවාහයක් බවට පත්වේවි.

අප ඉදිරියේ තියෙන අනුභූතික සාක්ෂිවලින් පෙන්නුම් කරන දෙයක් තියෙනවා. ඒ තමයි, රටක ඇති වෙන අර්බුද නිසා, දළ ජාතික නිෂ්පාදිතයේ අර්ථයෙන් ගත්තත්, මානව සුභසිද්ධියේ අර්ථයෙන් ගත්තත්, කල් පවත්නා පාඩුවක් රටකට සිද්ධ වෙනවා කියන එක. එකපිට එක අර්බුදවලට මුහුණදෙන රටවල්, උදාහරණයක් විදිහට ආර්ජන්ටිනාව ගත්තොත්, එක තැන පල්වෙනවා. ස්ථාවර වර්ධනයක් දීර්ඝකාලීනව පවත්වාගන්න පුළුවන් වෙලා තියෙන රටවල් එහෙම වෙන්නෙ නැහැ. වෙලාවකට සරු වෙන, වෙලාවකට කඩාවැටෙන රටවල්, අන්ත අසරණ වෙනවා. වර්තමානයේ අපි ඉන්න පහළ මට්ටමේ සමතුලිතතාවෙන් ගොඩඑන්න, කෙටිකාලීන සරුසාරත්වයක් ගෙන දෙන මුත් තව අවුරුදු කිහිපයකින් නැවත අපිව ණය අර්බුදයකට තල්ලු කරන රාජ්‍ය ආදායම් ප්‍රතිපත්තිවල සරණ යා යුතු නැහැ.

තව අවුරුදු ගණනක් යනකල් බාහිර හැලහැප්පීම්වලටත් අපිට මුහුණදෙන්න සිද්ධ වේවි. ලෝක ආහාර මිල ගණන් ඉහළ යාම, බලශක්ති මිල ගණන් ඉහළ යාම ඒ අතර තියෙනවා. වැඩියත්ම, යුක්රේනයේ සහ මැද පෙරදිග යුද්ධ අපිට නරකට බලපානවා. ඒ ඇරුනහම, ලෝකයේ පවතින ඉහළ පොලී අනුපාතික, කෘෂිකාර්මික අස්වනු පහළ යාම විතරක් නෙවෙයි, ස්වාභාවික ආපදාවක් පවා අපිට නරකට බලපානවා. ඊට අමතරව, සෑහෙන සම්පත් ප්‍රමාණයක් අපි ආයෝජනය කරන්න ඕනෙ, දේශගුණික විපර්යාසයන්ට හැඩගැහෙන්නත්, ජෛව විවිධත්වය ආරක්ෂා කරගන්නත්. අපි ඉන්නෙ, තියුණු පිහිතුඩක් උඩ. ලතවෙන්න හෝ බුරුලක් ගන්න හෝ ප්‍රගති ප්‍රතිපත්ති ආපසු හරවන්න කිසි ඉඩක් අපිට ඉතුරු වෙලා නැහැ. ඒත්, හරියට ප්‍රශ්නෙ තේරුම් අරගෙන, අවශ්‍ය උත්සාහය ගත්තොත්, තිරසාර වර්ධන මාවතකට පිවිසෙන්න අපිට පුළුවන්. සියල්ලන් සහ සියල්ල ඇතුළත් කරගත් සමෘද්ධියකට එළඹෙන්න අපිට පුළුවන්.

Leave a Reply