ආගමයි දේශපාලනයයි ටිකක් කිරියි පැණියි වගෙයි. තනිය ම දෙකේ ම ගතියක් නැහැ. එකතු වුනහම ආයෙ වෙන මුකුත් ඔ්න නැහැ. මදු පානය සහිත සාදයක දී බයිට් එකට ගන්න රසවත් ම මාතෘකා දෙකක් විතරක් නොවෙයි, මිනිස්සු ඒ වගේ අවස්ථාවක මග නොහරින මාතෘකා දෙකක් වෙලා තියෙන්නෙත් ඒ නිසා.
රැවටීම සම්බන්ධ කාරණයෙ දි නම් එකක් අනෙකට දෙවැනි නැහැ. ඒක රයිගමයයි ගම්පලයයි වගේ. වෙනසකට තියෙන්නෙ එකිනෙකාට වංචා කරනවට වඩා දෙගොල්ලො එකතු වෙල තුන්වෙනි පාර්ශවයක් රවටන බව විතරයි.
මේ දෙක ම නරක නැහැ. අහක දාන්න පුළුවන් කමකුත් නෑ. රටට සමාජයට අවශ්‍ය ආයතන දෙකක්. ඒත් මහ පොළොවෙ ඒවා පවතින්නෙ ඒ අවශ්‍ය ආකාරයට ම නෙවෙයි. ඒකට ඉතින් වැඩිපුර ම වග කියන්න ඔ්න සමාජය. එහි ජීවත් වන මිනිස්සු. ආගමයි දේශපාලනයයි කරන්නෙ තැනේ හැටියට ඇණේ ගහන එක. දෙකේම අග්‍ර ස්ථාන මෙහෙයවන්නෙ මනා ව්‍යාපාරික ඥානයක් තියෙන මිනිස්සු. ඒ අය ඉල්ලුමට අනුව සැපයුම ලබා දෙනවා.
ආගම, පාලක පැලැන්තියට අවශ්‍ය සුජාත භාවය ලබා දෙනවා. පාලක පැලැන්තියට රැඳී සිටීමට අවශ්‍ය මුක්කුව සැපයෙන්නෙ එතැනින්. පුරාණ ලංකාවෙ රාජ්‍යත්වය හිමි වුනේ දළදා හිමියන් හිමි තැනැත්තාට. ඒ නිසා තමන්ගෙ පණ වගේ දළදා හිමියන් ආරක්ෂා කළ බව කියවෙනවා.
ආගමටත් ශීඝ්‍ර ව පැතිරෙන්න ලැබෙන්නෙ පාලකයන්ගේ පිළිසරණෙන්. ක්‍රිස්තියානි ආගම ලංකාව තුළ පැළපදියම් වුනෙ බයිනෙත්තුවෙ ආධාරයෙන් පාලක පැලැන්තියේ අනුග්‍රහයෙන්. අතීතයට ගියාමත් වෙනසක් නැහැ. බුද්ධාගම පැලපදියම් වන්නේ රජුගේ ආශීර්වාදයෙන්. මුලින් ම එන්නෙ එවකට කලාපයේ බලය අරා සිටි ඉන්දියාවේ මෞලි අධිරාජ්‍යයෙන් ලද අනුග්‍රහයක් විදිහට. දේවානම් පියතිස්ස රජු දෙවැනි වතාවටත් රාජ්‍ය අභිෂේකය ලබනව, මෞලි අධිරාජ්‍ය යටතේ. ඒ ආගමේ ආශිර්වාදයත් එක්ක ම.
ඒ නිසා මේ දෙක එකිනෙකින් යැපෙනවා.
ආගමයි දේශපාලනයයි අතර තියෙන දීගයත් අනෙක් දීග වගේ ම තමා. එක් කෙනෙක් වැඩිපුර පාවිච්චි වෙනවා. මේ දීගේ දි වැඩිපුර පාවිච්චි වෙන්නෙ ආගම. දුටු ගැමුණු රජ්ජුරුවො යුද වදින්නෙ ආගමේ නාමයෙන්. යුද්ධය අවසානයේ රජතුමාට මිනිසුන් මිය යෑම ගැන පසුතැවිලි වෙන්න දෙයක් නැති වෙනව. මැරිල තියෙන්නෙ මිනිස්සු එක හමාරක් නිසා. එක් කෙනෙක් තිසරණ සහිතව පන්සිල් සමාදන් වුනු කෙනෙක්. අනෙකා තිසරණ විතරක් සරණ ගිය කෙනෙක්. ඒ තමයි ආගම පාවිච්චි වෙල තියෙන ප්‍රමාණ ය. ආගමේ මූලික ඉගැන්වීම් පවා පාලකයන් වෙනුවෙන් සංශෝධනය කර ගන්න මේ විදිහට සංස්ථාපිත ආගමට සිද්ධ වෙනවා. සොරකම් කළා ට රට රැක ගත්තනේ කියල රජ්ජුරුවන්ට සුදු අන්දන්න සංඝයා වහන්සේලා ට සිද්ධ වෙනව. ඒක ඇතුළෙ හොරකම් කිරීමෙන් වළකිමි කියන සිල් පදයට යන එන මං නැති වෙනවා.
ඉරානෙ අයතුල්ලා කුමේනි මෙහෙයවන ආගමික විප්ලවයට ඉස්සෙල්ල මිනිස්සු පාරෙ නැටුවා. ගේ ඇතුළෙ ආගම ඇදැහැව්වා. විප්ලවයෙන් පස්සේ එලියට පේන්න මිනිස්සු ආගම ඇදහුවා. ගේ ඇතුළෙ නටන්න පටන් ගත්තා.
මිනිසුන්ගේ හදවතේ තිබුණු, අභ්‍යන්තරයේ තිබුණු, ස්වේච්ඡාවෙන්, තමන්ගෙ කැමැත්තෙන්, බොහෝ ශ්‍රද්ධා සම්පන්න ව අදහපු ආගම මේ විප්ලවයෙන් පස්සෙ නැති වෙනව. ඒ වෙනුවට බලය ඉදිරියේ දණ්ඩ නමස්කාර කරන මිනිස්සු ලෝකයට පේන්න ආගමික වෙනවා. මේ දේශපාලන-කරණය නිසා ම ආගම හිත ඇතුළෙ තිබුණු ආදරණීය දෙයක් වෙනුවට එළියට පෙන්නන ශෝභන දෙයක් බවට හැරෙනවා. එතැනින් ආගම ඉවර වෙනවා. ආගමක ස්වරූපයෙන් දේශපාලනය ආගම යටපත් කරමින් ඉස්මතු වෙනවා.
බණ වලින් මිනිසුන් ව මේච්චල් කරන්න බැරි වෙනවා. සිල් ගන්වන්න බැරි වෙනවා. බලෙන් මිනිස්සු සිල් ගැන්වීම සඳහා ආණ්ඩුව ලවා නීති පනවන්න, ඉදිරිපත් වෙන අසරණ තැනට ආගම වැටෙනවා.
මත්පැන් භාවිතයෙන් වළකිමි කියන සිල් පදය මිනිස්සු ගණන් ගන්නෙ නැති ව දිගට හරහට බොන කොට අසරණ වෙන ආගම, අඩු ගානෙ පෝය දවසෙ වත් මේකට වැට බඳින්න ඔ්න කියල හිතා ගෙන, මත්පැන් විකිණීම ආණ්ඩුව ලවා තහනම් කරවනවා. කාමෙසු මිච්ඡාචාරයෙන් වළකිමි කියන දේ මිනිස්සු තවදුරටත් කියන්නෙ නැති නිසා ගණිකා මධ්‍යස්ථාන තහනම් කරන්නට ඒ කටයුතු වලට තිත තියයන්නට ආණ්ඩුව ලවා කටයුතු කරන්නට ආගමට සිද්ධ වෙනවා.
මේ නීති පැනවීමත් එක්ක සිල් පදයක වටිනාකම බිංදුවට ම යනවා. සිල් පද ටික විස්ථාපනය වෙලා නීතිය උඩට එනවා. ආගම යටට ගිහිල්ල දේශපාලනය අධිනිෂ්චය වෙනවා. ගැටඹේ පන්සල වටේ කටු කම්බි ගහන්න ඉඩ පාලකයන්ට ලැබෙනවා. පාලකයන්ගෙ අනුග්‍රහයෙන් තොර පැවැත්මක් ආගමට නැති වෙලා යනවා. ආගමික නායකයො පාලකයන්ට විකිණෙන්න පටන් ගන්නවා. ආගම දේශපාලනය උදෙසා පාවිච්චි වෙන්න ගන්නවා.
ගණිකා මධ්‍යස්ථාන පවත්වා ගෙන යෑමට නීතියෙන් ඉඩ කඩ ලබා දෙන්න ය කියන ඉල්ලීමට හාමුදුරුවරු සහ අනෙකුත් පූජකවරු විරුද්ධ වෙනවා. ගබ්සාවට නීතියෙන් අවසර ලැබෙන්න ඔ්න ය කියන ඉල්ලීමටත් ලිංගික අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට එක් කරන්න කියල ඉල්ලීමටත් අත් වෙන්නෙ ඒ ඉරණම ම යි. ඔය මොන නීතිය දැම්මත්, ඉවත් කරත්, ඔය මොන දේ කළත්, අපේ ආගම අදහන මිනිස්සු ඔය පව් වැඩ කරන්නෙ නෑ. ඒ නිසා අපට කමක් නෑ කියන්න කොන්දක් බොහෝ ආගමික නායකයන්ට නැහැ. ආණ්ඩුවේ නීතියට බය තරමට මිනිස්සු අපායට බය නෑ කියල තමයි මේ විදිහට ඔවුන් අනියමින් පිළි ගනිමින් ඉන්නෙ. ඒක පරාජය බාර ගැනීමක් කියන වැටහීම වත් ඔවුන්ට නෑ.
තමන්ට සරණ වෙන්න පුළුවන් තමන්ට පමණයි කියන බුදු බණ පැත්තකට දාල බෞද්ධ පූජකයින් ආණ්ඩුවේ නීතිවල සරණ යනවා. ධර්මය අකුළන ඔවුන් නීතිය පූජාසනය මත තියනවා. දෙවියන්ගෙන් පිහිට පතනවා වෙනුවට බොහෝ දේව භක්තික ආගමික නායකයින් රජයෙන් පාලකයන්ගෙන් දේශපාලනඥයන්ගෙන් පිහිට වැටෙන තැනට වැටිල ඉන්නෙ.
දේශපාලනය ජරාජීර්ණය වන ගණනට ම ආගමත් ජරාජීරණ වෙමින් තියෙනවා. දේශපාලනයෙන් දික්කසාද වුනොත් මිස ආගමට දිගු ගමනක් නැහැ. ඒත් වඩ වඩාත් දේශපාලනයේ සරණ යෑම මිස වෙනත් මගක් බොහෝ ආගමික නායකයින් දකින්නේ නැහැ.
නිශාන්ත කමලදාස
- මහාචාර්ය කුමාර් ඩේවිඩ් සහෝදරයා ජාත්‍යන්තර බුද්ධිමතෙකි.. - October 21, 2024
- ශ්‍රී ලංකාවේ ජනතාවට නව ණය ගනුදෙනුවක් අවශ්‍යයි.. - October 2, 2024
- නිති අසන පැන: ණය ප්‍රතිව්‍යුහගත කිරීම වටා ඇති මිථ්‍යාවන් සහ අභියෝග අවබෝධ කර ගැනීම - October 2, 2024