You are currently viewing අන්තවාදයේ දෙකොන දැල්වෙන විලක්කුව ඉවත දැමීමට කාලය පැමිණ ඇත.

අන්තවාදයේ දෙකොන දැල්වෙන විලක්කුව ඉවත දැමීමට කාලය පැමිණ ඇත.

පකිස්ථානයේ, පන්ජාබ් ප‍්‍රාන්තයේ, සියාල්කොට් හි කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකු සේ වසර අටකට අධික කාලයක් සේවය කළ ප්‍රියන්ත කූමාර මහතා එම කම්හලේ ම සේවකයන් පිරිසක් විසින් ගෙල සිර කොට මරා දැමීමේ සිද්ධිය ගැන මේ වන විට බොහෝ දේ ලියැවී ඇත. විය යුතු ආකාරයට ම එම ම්ලේච්ඡ ඝාතනය පිළිබඳ ව පාකිස්ථානයේත් මේ රටේත් විවිධ ජන කොටස් සිය විරෝධයත් කෝපයත් පළ කර තිබීම  ද වැදගත් ය. මෙවැනි ම්ලේච්ඡ ඝාතන ශිෂ්ට මිනිසුන්ගේ පිළිකුලට ලක්වීම මනුෂ්‍යත්වයේ ම ලක්ෂණයකි.

සිද්ධිය වාර්තා වු වහාම ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයට ගොස් තම විරෝධය පළ කර වැරදිකරුවන්ට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා සිටියහ. ප‍්‍රියන්ත කුමාර මහතාගේ ආගම කුමක් වුවත් මෙවැනි අවස්ථාවක ඒ නොසලකා භික්ෂූන් වහන්සේලා වහාම ක්‍රියාත්මක වීම ස්වාභාවික ය . අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය සෑම බෞද්ධයෙකු ම උරුම කර ගත් ඉගැන්වීමකි. අප දන්නා තරමින් කිසිම ආගමක් තවත් පුද්ගලයෙකුට වෛර කිරීම ද්වේෂ කිරීම අනුදක්නේ නැත. එහෙත් කනගාටුවට කරුණ වන්නේ එම උදාර ගුණාංග සෑම විටම ප්‍රදර්ශනය නොවීමය. ගෙල සිර කර මරා දැමීම් සිදු නොවු නමුත් පසුගිය කාලයේ අපේ රටේ ද ආගම මුල් කර ගෙන ගැටුම් ඇති විය. දිගන, අලුත්ගම, ගිංතොට සහ තවත් ස්ථානවල ගැටුම් ඇතිවීමට හේතු වූයේ ආගම යි.  

අලුත්ගම, කන්දේ විහාරය අසල දී ත්‍රි‍රෝද රථයක ගමන් කළ භික්ෂූන් වහන්සේ කෙනෙකු සහ මුස්ලිම් තරුණයන් කීප දෙනකු අතර හට ගත් බහින් බස් වීම මුස්ලිම් සංහාරයක් බවට පත් කිරීමට මුල් වූයේ දැන් එක රටක එක නීතියක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි ගලබොඩ අත්තේ ඥනසාර හිමි ය. උන් වහන්සේගේ ජාතිය බේරා ගැනීමේ ‘‘දේශනා’’ තවමත් සමාජ මාධ්‍යයේ සවන් දිය හැකිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුස්ලිම් ආගමිකයන්ට අයත් කඩ සාප්පු නිවාස ගිනි දැමීමට අමතරව ජීවිත හානි ද සිදු විය. කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු වූ ෂාපි මහතා සිංහල බෞද්ධ කාන්තාවන්ට කරන ලදැයි චෝදනා කළ වඳ සැත්කම් පිළිබඳ ආරංචියෙන් කෝපාවිෂ්ට වූ සංඝ නායකයෙකු එවැනි අපරාධකරුවන්ට තමා අනුමත නො කළත් එය සිදු කළ පුද්ගලයා සෞදි අරාබියේ මෙන් ගල් ගසා මරා දැමීම යුතු යැයි හැඳින්වූයේය. පාස්කු ප්‍රහාරයෙන් පසුව නැවත වරක් මුස්ලිම් ආගමිකයන්ගේ ව්‍යාපාරික ස්ථාන සහ නිවාසවලට ප්‍රහාර එල්ල කිරීම නිසා සැක පිට පොලිස් අත් අඩංගුවට ගත් පිරිසක් ප්‍රදේශයේ මංත‍්‍රීවරයා පැමිණ බලහත්කාරයෙන් ම නිදහස් කළේ පොලිසියේ ආරක්ෂාවට ය.

මෙවැනි සිද්ධීන් ලංකාවට පමණක් සිමා වන්නේ නැත. පාකිස්ථානයේ ද සිදු වන්නේ මෙවැනිම දේය. ආගමට අපහාස කෙළේ යැයි චෝදනා ලැබ සිටි ක්‍රිස්තියානි ආගමික කාන්තාවක් වන ආසියා බිබි වෙනුවෙන් පෙනි සිටීම නිසා එවකට පංජාබ් ප‍්‍රාන්තයේ ආණ්ඩුකාර ෂල්මන් ටසීර් ඔහුගේම ආරක්ෂක භටයා එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මිය ගියේ ය. එම ප්‍රදේශයේ ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වූ මෂාල් ඛාන් ආගමට අපහාස කිරීමේ චෝදනාවක් මත ඔහුගේ සහෝදර සිසුන් විසින් ගෙල සිර කොට මරා දැමිණ. මෙවැනි අවස්ථාවල නීතිය ක්‍රියාත්මක වන්නේ ආගමික අන්තවාදීන්ගේ කැමැත්ත අනුවය.

නමුත් ප‍්‍රියන්ත කුමාර ඝාතනය එක්තරා ආකාරයකින් රතු ඉර පැනීමකි. සිද්ධිය වාර්තා වූ වහාම නීතිමය පියවර ගැනීමට පාකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන් අදාල අංශවලට නියෝග කෙළේය. ආණ්ඩුකාරයා වූ ෂල්මන් ටසීර් ඝාතනය කළ අවස්ථාවේ පසුබට වූ පොලිසිය මෙවර වහා ක්‍රියාත්මක වී සැකකරුවන් හැටකට අධික සංඛ්‍යාවක් අත් අඩංගුවට ගත්තේ ය. දැනට ලැබෙන තොරතුරු අනුව අපරාධය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමට ආගමික අන්තවාදීන්ගෙන් බලපෑම් තවම එල්ල වී නොමැත.

වඩාත් වැදගත් වන්නේ ඉස්ලාමීය ආගමික නායකත්වය පවා මෙම කුරිරු ක්‍රියාව හෙළා දැකීම ය. ඉස්ලාමීය ආගමික මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්විබ්ලා අයාස් ප‍්‍රකාශයක් කරමින් එය අමානුෂික ක්‍රියාවක් බවත් සාක්ෂි නොමැතිව කිසියම් පුද්ගලයෙකු ආගමට අපහාස කෙළේයැයි චෝදනා කිරීම ෂාරියා නිතියට පටහැනි බවත් පෙන්වා දුන්නේය. ඉස්ලාමීය උලෙමා සංවිධානයෙන් ද එවැනිම ප‍්‍රකාශයක් නිකුත් කර ඇත. ඉන් පැහැදිලි වන්නේ ආගමික අන්තවාදීන්ට එරෙහිව දේශපාලන නායකත්වය මෙන් ම ආගමික නායකත්වය ද පෙරමුණ ගෙන ඇති බවය. සැබැවින් ම අගය කළ යුතු වන්නේ ප්‍රියන්ත කුමාරගේ ජීවිත හානියට ඩොලර්වලින් ලැබෙන වන්දියටත් වඩා ඔහුගේ ඝාතනයෙන් අන්තවාදයෙන් බැට කන සමාජයට ලබා දී ඇති පාඩම යි.

අපේ රටේ විවිධ ස්ථානවල දී ආගමික අන්තවාදීන්ගේ ප්‍රහාර එල්ල වූ විට ආගමික නායකයන් උලෙමා පූජකවරුන් මෙන් ප්‍රචණ්ඩත්වය හෙළා දැකීමට ඉදිරිපත් වු අවස්ථා විරල ය. ආගමික සමගිය වෙනුවෙන් ඉදිරිපත් වූ භික්ෂූන් වහන්සේලා ද බෞද්ධ යැයි කියා ගන්නා අන්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක් වූහ. මුස්ලිම් ආගමික කොටස් සිංහල බෞද්ධ විරෝධීයැයි හඳුන්වා ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන පවා වර්ජනය කිරීමට සමහරු බල කළහ. කරුණාව මෛත්‍රිය උපේක්ෂාව මුල් කර ගත් ආගම සම්පුර්ණයෙන් ම ඊට වෙනස් අරමුණු සඳහා නිර්ලජ්ජී ව යොදා ගත්හ.

මෙවැනි ම තත්වයක් පැවති පාකිස්ථානයේ ආගමික නායකත්වය අන්තවාදය හෙළා දැකිමට ඉදිරිපත්වීම සැබැවින්ම අගය කළ යුතුය. එය අපේ රටේ ආගමික නායකත්වයට ද ආදර්ශයක් වනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු.

ප‍්‍රියන්ත කුමාරගේ ඝාතනයෙන් පාකිස්ථානයේ  සියලු ස්තරවලට අයත් ජනතාව සිය විරෝධය දැක්වීමටත් විපතට පත් පවුලේ අයට සහන සැලසීමටත් ඉදිරිත් වීමෙන් පෙනි යන්නේ ආගමික අන්තවාදය නෛසර්ගික ගුණයක් නොව පටු පරමාර්ථවලින් මෙහෙයවන දේශපාලන නායකත්වයෙන් පෝෂණය කරන දුර්ගුණයකි යන්නය. පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මෙම සිද්ධියේ දී ආගමික අන්තවාදීන්ට එරෙහිව දැඩි පියවරක් ගත් නමුත් ඔහුගේ දේශපාලන ඉතිහාසය අනුව ආගමිත අන්තවාදය තම වාසියට යොදා ගැනිමට පසුබට නොවු නායකයෙකු බව කියා පායි. ප්‍රියන්ත ඝාතනයට මුල් වූ ආගමික අන්තවාදීන් අයත් යැයි සැලකෙන තෙහ්රික් ඊ ලබයික් පාකිස්ථාන් ( ටී ඇල් පී) සංවිධානය සමග සටන් විරාමයක් ඇති කර ගැනීමට අගමැති ඉම්රාන් ඛාන් ඉදිරිපත් වූයේ සමාජයේ විවිධ කොටස්වලින් නැගුණු විරෝධය හමුවේය. එහෙත් ආගමික අන්තවාදීන් පහසුවෙන් වෙනස් නොවන කොටසක් බව ප්‍රියන්ත ඝාතනයෙන් පැහැදිලි විය. එමෙන්ම එවැනි සංවිධානවල ම්ලේච්ඡත්වය තවදුරටත් සැඟවිය නොහැකි තත්වයකට පත් වු නිසා ඔහුට නිතිය ක්‍රියාත්මක වීමට ඉඩ හැරීමට සිදු විය.

ආගමික අන්තවාදය දේශපාලන බලය ලබා ගැනීමේ පහසු ක්‍රියා මාර්ගයක් වුවද රටක් පාලනය කිරීමට  කිසිසේත් ගැළපෙන්නේ නැත. ප‍්‍රියන්තගේ ඝාතනයෙන් පසුව විදේශීය ආයෝජකයන් පාකිස්ථානයේ නව ආයෝජන කිරීමට පෙර දෙවරක් සිතා බලනු ඇත. විදෙස් ආයෝජන පාකිස්ථානයට ද ලංකාවට මෙන්ම වැදගත් ය. ආගමික අන්තවාදයට නැඹුරු රටක් වශයෙන් හංවඩු වැදීම රටක ආර්ථික මෙන්ම දේශපාලන සබඳතාවලට කිසිසේත් යෝග්‍ය වන්නේ නැත. ඊට හොඳම නිදර්ශනය වන්නේ දැනට ලංකාවේ බලයේ සිටින කණ්ඩායම විපක්ෂයේ සිටිය දී අනෙක් සියලූ ආගම් බැහැර කොට ‘පිරිසිදු බෞද්ධාගමික රටක්’ ( රට රටක එක නීතියක්) ගැන කතා කළ ද දිනෙන් දින උග‍්‍රවන ආර්ථික අර්බූදය හමුවේ මුස්ලිම් ආගමික රටවල පිහිට පතා යෑමය. ධනවත් අරාබි රටවල ආර්ථික ආධාර ලබා ගැනීමට ඉස්ලාමීය ආගම කිසිම බාධාවක් වී නැත.

ප‍්‍රියන්තගේ ඝාතනයෙන් පාකිස්ථානයටත්, වඩාත් සුවිශේෂීව ලංකාවටත් ඉගෙන ගත හැකි පාඩම වන්නේ ආගමික අන්තවාදය දෙකොණ දැල් වූ විලක්කුවකි යන්නයි. ආගමික අන්තවාදී අදහස් වෙනුවෙන් පෙනි සිටීම සහ ඒ වෙනුවෙන් සිය අනුගාමිකයන් පෙළඹවීම කෙටි කාලින දේශපාලන වාසි ලබා ගැනීමට පහසුවෙන් යොදා ගත හැකි ක්‍රියා මාර්ගයක් වුවද දීර්ඝ කාලීනව රටටත් එවැනි පුද්ගලයන්ටත් මහත් විකාශයක් අත් කෙරෙන බව ඉතිහාසයෙන් නැවත නැවතත් උගන්වයි. කිසියම් ස්ථානයක වූ සිදුවීමක් මුල් කර ගෙන විරෝධය දැක්වීම සහ යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිටීම විලක්කුවේ දැල්වෙන අනෙක් කොණ අමතක කිරීමකි. ඉන් සැබැවින්ම සිදු වන්නේ එක්තරා ආකාරයක අන්තවාදය ප්‍රතික්ෂේප කරමින් තවත් අන්තවාදයක් කුළුගැන්වීමකි. ඉන් කිසිවෙකුටත් සෙතක් වන්නේ නැත.

ප‍්‍රතිපත්ති ක‍්‍රියා මාර්ග පදනම්ව දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට අපොහොසත් නායකයක් සහ කණ්ඩායම් අන්තවාදින් තුරුල් කර ගන්නේ තම නොහැකියාව සහ හිස් බව වසා ගැනීමට ය. එහෙත් ලංකාවේත් අසල් වැසි රටවලත් දිග හැරෙමින් පවතින සමාජ ආර්ථික පරිහානියට අන්තවාදය කිසිසේත් විසඳුමක් නොවේ. එය යථාර්ථයට මුහුණ දීමට ඇති නොහැකියාව යි. දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍යයන් ත්‍රිකුණාමලයේ ඉදි කළ තෙල් ටැංකි වසර හැත්තෑවක් ගත වුවද ආර්ථික ඵල ප‍්‍රයෝජනයන් ලබා ගැනීමට නොහැකිව දිරා යෑමට ඉඩ හැරීමට සිදුව ඇත්තේ මෙම මුළාව නිසාය. ආර්ථක සම්පතක් යනු කුමක්ද යන්න පිළිබඳ ව මූලික හෝ දැනුමක් නැති නිසාය.    

කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් පෙළපාලියෙන් ගොස් පෙත්සම් බාර දීම වෙනුවට අන්තවාදය නම් දෙකොණ දැල්වෙන විලක්කුව ඉවත් දැමීමට දැක්මක් සහ  ඕනෑ කමක් ඇති නායකත්වයක් ගොඩ නැගීමට කාලය පැමිණ ඇත.  

Leave a Reply