You are currently viewing අක්කරපත්තුවේ විසි වසරක සුනාමිය..

අක්කරපත්තුවේ විසි වසරක සුනාමිය..

ජිවිත දහස් ගණනක්  සමගින්  විශාල දේපල හානියක් කරමින්, කිසිදු භේදයකින් තොරව  ලාංකික ජන සමුහයාගේ  නෙතට කඳුලක් එක් කළ  සුනාමි ප්‍රචණ්ඩ රල පෙළ හමා ගොස් දැන් විසි වසක් ඉක්ම ගොස්ය. 2004 වසරේ දී  සුනාමියට ගොදුරුව දිවි හැර ගිය ළමා ළපටින් ඇතුළු වැඩිහිටි ආදරනීයන්ගේ මතකය වසර විස්සක් පුරා ආවර්ජනය කළ ද  නිවාස දේපල හානි වුවන්ට ඒවා යළි ගොඩනගා ගැනීමේ අවස්ථාව නොමදව ලැබිණි. ඒ වෙනුවෙන් රාජ්‍ය පෞද්ගලික මෙන්ම පොදු මහජනයාගේ සහාය ද  මහත් ඉහලින් පැවතිණි. එහෙත් අක්කරපත්තුවේ සුනාමියට ගොදුරුව සිය වාසස්ථාන අහිමිවූ ජන සමුහයක් තවමත් සිටින්නේ කුලී නිවාසවල එසේත් නැත්නම් ඥාතියෙකුගේ හෝ හිත මිතුරෙකුගේ බිම් කඩක් බෙදා ගනිමින්ය.

විපතට  පත් මොවුන් වෙනුවෙන්, සෞදි අරාබි මූල්‍යාධාර මත ගොඩනැගුනු, අම්පාර -අක්කරපත්තු මාර්ගයේ 03 වැනි සැතපුම් කනුවේ සිට ආලම්කුලම් ගම්මානය පසු කරමින් 08 වැනි සැතපුම් කනුව හන්දිය දක්වා ගමන් කරන විට නුරෛච්චෝළයි සුනාමි නිවාස යෝජනා ක්‍රමය හමුවෙයි.

රුපියල් මිලියන දහසක වියදමින් පාසැල්,රෝහල්, තැපැල් කන්තෝරු, ඇතුළු සියලු පහසුකම් ඇතිව අංගසම්පුර්ණ ඉදි කෙරෙනු නිවාස 500 බෙදා දීමේදී මතු වූ ගැටලුවට දැන් පහළොස් වසකි. වඩාත් ශෝචනීය වන්නේ වල් වැදුණු මේ නිවාස හා ගොඩනැගිලි

 සතා සර්පයන්ගේ මෙන්ම සොරුන්ගේ තිප්පොළක් වී තිබීමය. ඇතැම් ගොඩනැගිලි වල බොහෝ දේ සොරුන් විසින් ගලවා ගෙන ගොසිනි.

ඇම්.ඒ. සුබයිදා

යැයි  සුනාමියෙන් සිය ගේ දොර අහිමිවූ,  දරුවන් හය දෙනෙකුගේ මවක් වන ඇම්.ඒ. සුබයිදා පවසන්නේ හිතේ අරෝවකිනි. තම දරුවන් සමගින් කුලී නිවසක වෙසෙන දිරිය ස්ත්‍රියක් වූ  ඈ  නිවසක් ලබා ගැනීම වෙනුවෙන් තවමත් අරගල කරන්නීය.

වසර 40 කට වැඩි කාලයක් ධීවර, ගොවි හා දෛනික කුලීයේ යෙදුනු සුබයිදලාගේ බොහෝ දෙනාට  සුනාමියෙන් විනාශ වුනු නිවාස යළි  ඉදි කරගන්නට අවස්ථාව නොලැබුණි. ඒ මීටර් 200 අවදානම් කළාපයට හසුවීම නිසාවෙනි.

නුරෛචෝලයි නිවාස ව්‍යාපෘතියට ලබා ගත්තේ  හිඟුරාන සීනි කම්හලට අයත්, උක් වගාවට යොදාගත් පසුව දස වසක කාලයක් අත්හැර දමා තිබු අක්කර 64 ක බිම් කඩකි. නිවාස බෙදා දීමට යාමේදී  ඒ ආසන්නයේ වූ දීඝවාපියේ බෞද්ධ සංවිධාන එකතුව අධිකරණය වෙත පෙත්සමක් ගොනු කෙරිණි. දීඝවාපි පුදබිමට කිලෝ මීටර් 13 දුරින් පිහිටි, මේ නිවාස මුස්ලිම් ජනයාට පමණක් නොව ප්‍රදේශයේ සිංහල- දෙමළ ජනයාටත් ලබා දිය යුතු යැයි වූ ඔවුන්ගේ පෙත්සමට  2009 වසරේ ජුනි පළමු දා  තීන්දුවක් ලැබුණි.  එවකට අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සහ ඉඩම් සංවර්ධන නීති  අනුගමනය කරමින්, සාධාරණ සහ සමානාත්මක ක්‍රියාදාමයකට අනුව නිවාස බෙදා දිය යුතු බවය. අධිකරණ තීන්දුවත් සමඟ නිවාස ලබා දීම දිනෙන් දින පමා විණි. 

මිට අමතරව 2017 වසරේ ඔක්තෝම්බර් සහ  නොවැම්බර්  මාස වල පැවැත්වූ ඉඩම් කච්චේරියට  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල  ඉඩම් නොමැතිවුවන් 667 දෙනෙකු අයදුම් කළද, තෝරා ගත්තේ 575 දෙනෙකි.

අක්කරපත්තු සුනාමියෙන් විපතට පත්වූවන්ගේ  නිවාස වෙනුවෙන් තවමත් අරගල කරන ඉඩම් අයිතිය උදෙසා වූ අම්පාර දිස්ත්‍රික් එකමුතුව පවසන්නේ මෙය අධිකරණය දක්වා යාමට ප්‍රදේශයේ දේශපාලන බල අරගලය හේතු වූ බවකි.   නුරෛචෝලයි නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමට මුල් වූ එවකට නිවාස ඇමතිනි ෆේරියල් අශ්රොෆ් ට එරෙහිව  ඒ.එල්. එම්. අතාවුල්ලා මන්ත්‍රීවරයා ක්‍රියා කරන්නට යෙදුනේ  අක්කරපත්තුවේ තම බලය හීන වේ යන සැකය හේතුවෙනි. නිවාස ව්‍යාපෘතිය තුලින් ෆේරියල් අශ්රෝෆ්ට කිසියම් ජනප්‍රසාදයක් ඇතිවීම වැලැක්වීම අතාවුල්ලාගේ අරමුණ වූව ද  මේ ආරවුල මගින් තවත්  බොහෝ පාර්ශවයන්ට  වාසි අත්කර  දී තිබේ.  අසරණව ඇත්තේ උන්හිටි තැන් අහිමිවූ දුගී දුප්පත් ජන සමුහයකි. 

සුනාමියෙන් විපතට පත් ජනයාට ප්‍රමුඛත්වය ලබා දෙමින් නුරෛච්චෝල නිවාස බෙදා දීම කෙරෙහි සාකච්ජාවක්  ඉඩම් අයිතිය උදෙසා අම්පාර දිස්ත්‍රික් එකමුතුව හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාල නිලධාරින් සමඟ පැවැත්විණි. පසුගිය වසරේ මාර්තු වල පැවති සාකච්ජාවන් අත් හැරුනේ  ඉන් පසු එළඹී මැතිවරණ සමය නිසාය. කෙසේ වෙතත් නිවාස අයිතිය වෙනුවෙන් තව දුරටත් අරගල කරන ඔව්හු   ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන්නට ද සැරසෙති.

ඉකුත් නොවැම්බරයේ පැවති මැතිවරණයෙන්  එතෙක් අම්පාර දිස්ත්‍රික්කයේ බලය තහවුරු කරගෙන සිටී, ශ්‍රීලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය, සමගි ජන බලවේගය වැනි සාම්ප්‍රදායික  පක්‍ෂ අභිබවා ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත් විය. අක්කරපත්තුවේ සුනාමි විපතට පත් වුවන්ගේ විසි වසරක ගැටලුවට විසදුම් ගෙන දීමේ වගකීම දැන් පැවරී ඇත්තේ වත්මන් ජා.ජ.බ. ආණ්ඩුව වෙතය.

[අනිද්දා සති අන්ත පුවත් පතේ පළවූවකි.]

Leave a Reply