You are currently viewing PTA පනතට අවස්ථාවාදීව විරුද්ධවීම ප්‍රමාණවත් නැහැ..

PTA පනතට අවස්ථාවාදීව විරුද්ධවීම ප්‍රමාණවත් නැහැ..

‘..ප්‍රශ්නය තමන් ගේ නොවන තාක්කල් පිළිතුර දාර්ශනිකයි’ කියල ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා. කවුරු කිව්වත් මේ කියමන කෙතරම් සත්‍යද කියල නැවත නැවත තහවුරු වෙමින් තිබෙනවා කියලයි මට හිතෙන්නේ..’ 

එලෙස හිතුනේ  “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” ට   (PTA) එරෙහිව දකුණේ අරගලකරුවන් අතරින් සිහිනයකින් අවදි වී කෑගසන්නා සේ පැන නැග තිබෙන මහා විරෝධය නිසා.

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක් දින 90ක් රඳවා ගෙන තිබෙන්නේ මේ පනත උපයෝගී කරගෙන. මේ තිදෙනා අරගලයේ පෙරමුණ ගත්තවුන් අතරින් කැපී පෙනෙන නායකයන්.  ඒ අතරිනුත් එක් අයෙක් සිංහල, බෞද්ධ භික්ෂුවක්. ඒ ගල්වැව සිරිධම්ම හාමුදුරුවෝ.

PTA  යටතේ මේ දකුණේ සටන්කාමීන් තිදෙනා රඳවා තබා ගැනීම යුක්ති සහගත, සාධාරණ නොවන අනීතික ක්‍රියාවක් ලෙසටයි මෙයට එරෙහිව ප්‍රතිචාර දක්වන්නන් තර්ක කරන්නේ.  එයට හේතු ලෙස ඔවුන් ගෙනහැර දක්වන්නේ  “අරගලකරුවන් නිරායුධ, අතේ ගල් කැටයක්වත් නොතිබුණු සාමකාමී පිරිසක්”  බව.  කෙටියෙන්ම කියනවනම් ඔවුන් කළේ මහජනතාව ගේ ප්‍රශ්න මුල් කරගත් “ආදරයේ අරගලයක්”.  එහෙව් විරෝධයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඉඩහසර ලබා දීල තිබෙන්නේ.  එමනිසා රනිල් කරලා තිබෙන්නේ ආණ්ඩුවට එරෙහිව නැඟී සිටින්නන් මර්දනය සඳහා නීතිය අවභාවිතා කරමින් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.  එබැවින් යටත් නොවී මර්දනයට එරෙහිව දිවිහිමියෙන් සටන් වදිව්!,  කියල.

මේ ලියුම්කරු එකී සටනත් එක්ක කොන්දේසි විරහිතව හිට ගන්නවා.

එසේ එකඟ වුවත් නිරවුල් කරගත යුතු කරුනු කීපයක් තිබෙනවා.  එනම් ඉහත සඳහන් කොන්දේසි සපුරා නොමැති අරගලයක අරගලකාරීන් ගේ මානව හිමිකම් කඩ කරමින්  PTA  මගින්‍ රඳවා තබා ගැනීම ප්‍රශ්නයක් නැතිද?  මානව හිමිකම් කියන්නේ විශ්ව සංකල්පයක්, පොදු සංකල්පයක් වුවත් ජාති, ආගම් අනුව ප්‍රභේද තිබෙනවාද? 

මේ පනත 1979 දී උතුරේ දෙමළා මර්දනයට සම්මත කරගත් නමුත් අද මෙම පනතට එරෙහිව දකුණේ ගොඩනැගී තිබෙන විරෝධය එදා මතු නොවුනේ ඇයි?  දෙමළා, මුසල්මානුවා මනුෂ්‍යයන් නොවේද?  මහ ජාතිය වූ සිංහල බෞද්ධ අරගලකරුවන්ට  PTA  භාවිතා කිරීම පමණක් ද අවලස්සන, කැත වැඩේ?  මර්දනකාරී ප්‍රභූ රාජ්‍යයත් සමඟ වරින්වර දීගකමින් සංඛ්‍යාවෙන් සුළුතර ජාතිකයන් මර්දනය කරන්න කිසිදු හිරිකිතයකින් තොරව අත්වැල් බැඳ ගන්නාවුන්ටත් මෙහෙම සලකයි කියල හීනෙකින්වත් හිතුවේ නැද්ද?  ගල් කැටයක් හෝ නොගෙන සිංහ කොඩිය පමණක් අතදරා, ආණ්ඩු විරෝධී අරගල කරන්නන්ට නීතිය ඉදිරියේ විශේෂ සැලකිල්ලක් තිබිය යුතුද?  සිංහල, බෞද්ධ රාජ්‍යයේ මුදුන්මල්කඩ ලෙසින් සලකන බුද්ධ පුත්‍රයන්ට මේ පනතින් දඬුවම් පැමිණවීම අපාගතවන කරුමයක්ද? 

මෙවැනි අටෝරාශියක් ප්‍රශ්න ඔලු කුහරයේ හොල්මන් කරන්නට වුනේ නිකම්ම නොවේ.

ජේ. එස්. තිස්සනායගම් මාධ්‍යවේදියා වසර 20 කට හිරගෙට දැක්කුවා. දෙමළ දේශපාලන සිරකරුවන් 46 දෙනෙක් කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර වසර 20ක් 30 ක් තිස්සේ අදත් කල්දේරම් බත් බුදිනවා.  සිරිසේන – මහින්ද රාජපක්ෂ දින 52 කුමන්ත්‍රණ ආණ්ඩුට විරුද්ධව අධිකරණයේ පෙනී සිටි කීර්තිමත් නීතිඥයෙක් වන හිජාස් හිස්බුල්ලා මාස ගණනාවක් බන්ධනාගාරගත කළා. ගෝකුලන් නමින් ප්‍රසිද්ධ මඩකලපුවේ මුරුගපිල්ලේ ගෝකුලදාසන් ප්‍රභාකරන් ගේ පින්තූරයක් ෆේස්බුක් එකේ දැම්මයි කියා අත් අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටියා.  දෙමළ බසින් ලියූ කාව්‍ය ග්‍රන්ථයක් පාදක කරගනිමින් මන්නාරමේ අහ්නාෆ් ජසීම් තරුණ කවියා දින 579 ක් රඳවාගෙන සිටියා.  අවසානයේ ඇප ලැබුනත් රනිල් ගේ රජය ඔහු ත්‍රස්තවාදියෙක් ලෙසින් නම් කළා. යාපනයේ මුහුන්දන් දිවන්‍යා සහ විමල් රාජ් කියන යූටියුබ් මාධ්‍යවේදීන් දෙදෙනා ගිය අවුරුද්දේ මාර්තු මාසේ ඉඳලා ඇතුලේ. දකුණේ විරෝධයකින් තොරවීමෙන් පහසුව ලැබූ මේ අනීතික රඳවා ගැනීම් සියල්ල කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින්.

ත්‍රස්තවාදයට සම්බන්ධ, ආධාර පහසුකම් සලසන තැනැත්තන් ලෙස පුද්ගලයින් 315 ක් සහ සංවිධාන15 ක් ඇතුළත් ලැයිස්තුවක් මේ වසරේ අගෝස්තු 01 දා අවසන් වරට සංශෝධනය කරනු ලැබුවේ ජනාධිපති රනිල් ගේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න.

මෙකී නොකී තව බොහෝ දෙමළ, මුස්ලිම් පීඩිතයන් 1979 සිට මේ දක්වා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නම් වූ මෙම වනචාරී පනතින් දඬුවම් විඳිමින් සිටින්නේ. දකුණේ උද්ඝෝෂකයන් නොදැන සිටියත් මෙයින් බොහෝ දෙනෙක් අත ගල් කැටයක් හෝ තිබුනේ නැහැ. බොහෝ දෙනෙක් අත තිබුනේ පන්හිඳක්. නමුත් සිංහ කොඩි තිබුනේත් නැහැ. වරද ඒකද?

වසර 43 ක් විශේෂයෙන්ම මෙරටේ උතුරේ නැගෙනහිරේ මේ පනත ක්‍රියාත්මක වුනා.  නමුත් මෙහි බිහිසුණු බව, කුරිරු බව, මානව හිමිකම් කඩවෙන බව දකුණේ සිංහල බෞද්ධ අරගලකරුවන්ට හදිසියේම වැටහුනේ තමන්ගේම තිදෙනෙක් මේ පනතට ගොදුරු වීමනිසා නොවේද?  වළකට වැටීම මොළයට හොඳයි කියල කියනවනෙ. ජර්මනියේ ෆැසිස්ට්වාදීන් මරා දැමූ නිමොලර් පූජකවරයා සිංහල බෞද්ධ මහජාතියේ අරගලකරුවන්ට අභිමුඛ වී තිබෙන්නේ ගෝල් ෆේස් අරගලයෙන් පසුව රනිල් ගේ ආගමනයෙන් කියලයි පෙනෙන්නේ.

එදා 1979 දි මෙම පනත ගෙන එද්දී මෙවන් විරෝධයක් දකුණෙන් රැව් පිළිරැව් දුන්නානම් අරගලයේ නායකයන්ට අද කුරිරු ඉරණමකට මුහුණ දෙන්න සිදු නොවන්න තිබුණ. නමුත් ප්‍රභූ පැලන්තිය ත්‍රස්තවාදීන් යැයි උතුරේ පීඩිතයන් හංවඩු ගසද්දී දකුණේ සිංහල මහජාතිය ද අත් පොළසන් දෙමින් එයම ප්‍රතිරාවය කළා. අද එම ප්‍රභූ පැලැන්තියම දකුණේ සිංහල මහජාතියේ අරගලකරුවන්ට එලෙසම ත්‍රස්තවාදී ලාඩම එල්ලනවා. එවිට ඔවුන් මොරදෙනවා ‘නෑ නෑ අපි ත්‍රස්තවාදීන් නෙමේ, අපි ආදරයේ අරගලකරුවන්.’  PTA නියෝග මත අරගලකරුවන් රඳවා ප්‍රශ්න කිරීම, මාධ්‍ය සාකච්ඡාවන්ට පොලිසිය කඩා පැනීම රාජ්‍ය ත්‍රස්තවාදය කියල.  සිංහල බෞද්ධ ආණ්ඩුව කියනව ‘නෑ නෑ තොපි ත්‍රස්තවාදීන් තමයි’ කියල.

එසේනම් දැන්වත්  අරගලකරුවන් පළමුව ‘ත්‍රස්තවාදය’ යන්න නිර්වචනය කරගත යුතුය. මන්ද  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ‘ත්‍රස්තවාදය කුමක්ද’ යන්න නිර්වචනය කර නැහැ. අත්අඩංගුවට ගැනීමෙන් පසුව කරන්නා වූ පාපොච්චාරණ පාදක කරගනිමින් තමයි ‘ත්‍රස්තවාදියා’ ලෙස නාමකරණය වෙන්නේ. රනිල් ගේ රජය විසින් ඉදිරියේදී “ජාතික ආරක්ෂක පනත” නමින් මෙවැනිම නව පනතක් සම්මත කරගැනීමට බලාපොරොත්තු වෙනවා. එමනිසා අරගලකරුවන් ‘ත්‍රස්තවාදය’ යන්න නිර්වචනය කර එය නව පනතට හෝ ඇතුළත් කරගැනීම හොඳයි කියලයි මගේ යෝජනාව.

එයට අමතරව ප්‍රභූ පාලක පීඩකයාගේ පාරිභාෂික මාලාව හා පීඩිතයාගේ පාරිභාෂික මාලාව නිවැරදිව තෝරා බේරා වෙන්කරගත හැකිද?  ජාතිය, ආගම ගැන ව්‍යාජ අනුරාගයෙන් මිදී ආධානග්‍රාහී නොවී තර්ක බුද්ධියෙන් විමසා තීන්දු ගැනීමට පුරුදු වෙමුද?  රාජ්‍යයට එරෙහිව නැගී සිටින ගැහැනුන් සහ මිනිස්සුන් ත්‍රස්තවාදීන් ලෙස නම් කරද්දී එම නාමකරණයම අකුරින්, හඬින්, චිත්‍රයෙන්, රූපයෙන් කී පාරක් වර නැගුවාද කියා සිංහල මාධ්‍යවේදීන් ඇතුළු මහජාතියේ කොයි කවුරුත් තමන්ගෙන්ම දැන්වත් අසා බලා ගත්තොත් හොඳයි.

නැතිනම් උතුරු දකුණු බේදයකින් තොරව ත්‍රස්තවාදී පනත අහෝසි කිරීමේ සටනේ සම්මාදම දකුණේ තමන්ගේ එවුන් නිදහස් කරගන්නා තෙක් පමනද?  එවැනි සැකයක් මතුවෙන්නේ දෙමළ ජාතික සංධානය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකරන ලෙස බලකරමින් පසුගියදා ගෙනගිය අත්සන් ව්‍යාපාරයට දකුණේ සිංහල බෞද්ධ පිඩිතයන්ගෙන් කෙඳිරිලි හඬක් හෝ නොනැගුණ නිසයි.

 මෙහිදී විශේෂයෙන්ම බෞද්ධ භික්ෂුවගේ භූමිකාව ඉතාමත් තීරණාත්මකයි.  ඔවුන් මහාවංශය හා අනුරාගීව බැඳීල සිටින්නේ.  දුටුගැමුණු රජු අවසන් හුස්ම හෙළන මොහොතේ වැඩ අවසන් නොවූ රුවන්වැලි මහාසෑය අභියසට ගෙනාව කියල මහාවංශයේ සඳහන් වෙනවා. එහිදී රජු දෙමළුන් මරා දැමීම පිලිබඳ පශ්චාත්තාපයෙන් හඬා වැළපුනා කියල මහාවංශ කතුවරයා පවසනව.

මෙය දුටු භික්ෂූන් රජු විචාරා “නරපතිය, ශ්‍රේෂ්ඨය, ඔබ මරා දමා ඇත්තේ මිනිසුන් එකහමාරක් පමණි.  ඒ තිසරණ සරණ ගිය එකෙකු හා තිසරණ සහිත පංචශීලයෙහි පිහිටියෙකුය. එසේ නොවූ අන් සියල්ලෝ මිථ්‍යාදෘෂ්ටික, දුස්සීල තිරිසනුන් හා සමානය. එබැවින් කම්පාවීමට හෝ හඬා වැළපුමට හේතු කාරණා නොමැත” යි කියල මහාවංශ කතුවර මහානාම හාමුදුරුවෝ ලියල තිබෙනවා.

ඒ කාලේ ‘ත්‍රස්තවාදී’ කියන එක වෙනුවට කියන්න ඇත්තේ ‘දුස්සීල’ කියලා වෙන්නැති.ආණ්ඩුවේ ආරක්ෂක අංශ උතුරු නැගෙනහිර දෙමළ, මුස්ලිම් පීඩිතයන්  P T A  මගින්‍ රඳවා තබා ගනිද්දී, පැහැර ගනිද්දී, අතුරුදහන් කරද්දී,  ඝාතනය කරද්දී භික්ෂූන් සහ සිංහල බෞද්ධ මහජාතිය කිරිබත් කෑවේ, මර්දන රාජ්‍යයන් එක්ව දීග කෑවේ මෙම මහාවංශ න්‍යාය නිසා වෙන්න ඇති.  නමුත් මෙම න්‍යාය මේවන විට කටුගේ තැබීමට තරම් හෝ නොවටිනා කල් ඉකුත් වූවකි.

2022Sep08[3]_PTA

මෙකී මහාවංශ න්‍යාය පසක් කරමින් ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ මානව හිමිකම් කොමිසමට සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට පැමිණිලි කරලා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් මෙරට ජනතාවගේ ජීවත්වීමේ අයිතියට පුදුම තර්ජනයක් එල්ල වෙලා ලු. මේවා දැකීමෙන් උන්වහන්සේ දරාගත නොහැකි කම්පනයකට පත් වී ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා සිටියා කියලයි වාර්තා වෙන්නේ.  අනේ සාදු..!

සියලු රංගනයන් මැද පාලක පැලැන්තිය පක්ෂ, මතබේද, මතවාද, නිල්-කොල-රතු පාට පසෙකලා එක පෙළට හිඳිමින් උතුරේත්, දකුණේත් පීඩිතයා වෙත මර්දනය මුදාහැර තිබේ. සිංහල බෞද්ධ මහජාතියේ අරගලකරුවෝ තම තමන් ගේ කොටස බේරා ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ අසුනක් දෙකක් වැඩි කරගැනීමට හෝ නැතිනම් පාර්ලිමේන්තුවට තමනුත් රිංගා ගැනීමට හෝ තනි තනිව සටන් වදිති.  මොවුන් ගේ වහසි මයික් බස්වලට මුළාවන්නෝ හිරේ විලංගුවේ වැටෙති.  ඉන්පසු ඇතැම්මු ඒ ඒ පක්ෂවල දේශපාලන පුර්ණකාලිනයෝ වෙති. 

මෙලෙස තමන් ගේ කොටස බේරා ගැනීමට , අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සිය අරමුණු ඉටු කර ගැනීමට සටන් කරන කයිවාරු “සටන්කාමීන්”  එදත් අදත් රටට ජනතාවට අත්කර දුන්නේ මර්දනීය රාජ්‍යයක් හා මර්දනීය අණ පනත් පමණි. සැබෑ ත්‍රස්තවාදියා හඳුනා ගන්නා තුරු අනාගතයේ ද එය එසේම ය.

Leave a Reply