You are currently viewing 2023 අයවැය: බංකොලොත් ලංකාවේ පළමු අයවැය [ 1 කොටස ]

2023 අයවැය: බංකොලොත් ලංකාවේ පළමු අයවැය [ 1 කොටස ]

2023 අයවැය, එහෙම නැත්නම් ලංකාවේ හැත්තෑ හත්වෙනි අයවැය, වෙන කවර අයවැයකටත් වඩා, අපිට විශේෂ වෙනවා.  බංකොලොත් රටකින් තමයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ. එහෙම නැත්නම් බංකොලොත් ලංකාවේ පළමු අයවැය තමයි අපේ මේ 2023 අයවැය. මීට වසරකට පමණ කලින්, 2022 වර්ෂය සඳහා  අයවැය ඉදිරිපත් කරද්දී අපි ආර්ථික විද්‍යාඥයෝ  හැටියට විවිධ මාධ්‍යය වලට ගිහිල්ලා පෙන්වලා දුන්නා  මේ අයවැය කොච්චර උද්ධමනකාරීද කියන එක. අපි පෙන්වා  දුන්නා  මේ අයවැය මේ විදිහට ගියොත්  රට බංකොලොත් වෙන්න පුළුවන්, රටේ ණය අර්බුදයක් ඇති වෙන්න පුළුවන් කියලා. 2022 වර්ෂයේ මැද භාගය වෙද්දිම ඒ කියපු අනාවැකි සනාථ කරමින් ලංකාව බංකොලොත් භාවයට පත්වුණා.

එතකොට මේ අලුත් අයවැය, එහෙම නැත්නම් 2023 අයවැයේ වැදගත්කම වෙන්නේ මේ අයවැය තීරණය කරනවා, ඉදිරි ලංකාවේ අනාගතය. ලංකාව බංකොලොත් රටක් හැටියට දිගටම පවතිනවද? එහෙම නැත්නම් අපි මේ බංකොලොත් භාවයෙන් මිදෙනවාද කියන එක තීරණය වෙන්නේ අපි දැන් ගන්නා තීරණ අනුව. එතකොට, මේ අය වැය, වඩාත්ම තාක්ෂණික  අයවැයක් වෙන්න ඕනේ. මොකද මේ අය වැය වෙන කවරදාකටත් වඩා අපේ රටේ අනාගතය තීරණය කරන නිසා.

2022Nov22_[1]-crisis

ආර්ථික විද්‍යාඥයෙක් හැටියට  මම දකිනවා  බංකොලොත් රටක අයවැයක ප්‍රධාන අරමුණු තුනක් ඇතුළත් වෙන්න ඕනේ. එකක් තමයි මේ බංකොලොත් භාවය, මූලික වශයෙන්ම, මේ බංකොලොත්භාවයෙන් රට මුදවා ගන්නේ කොහොමද?  කියන ප්‍රශ්නයට විසඳුම් මේ අයවැයෙන් ගේන්න ඕනේ. ඊට පස්සේ මේ අයවැය බලන්න ඕනේ. මේ රටේ හැකිළීමෙන් තිබෙන ආර්ථිකය. මේ හැකිළීම වළක්වා  ගන්නේ කෙසේද? මේ කඩා වැටෙන ව්‍යාපාර කඩා වැටෙන එක වළක්ව ගන්නේ කොහොමද? එහෙම නැත්නම් රට අතහැරලා යන ආයෝජකයෝ  රටේ රඳවා ගන්නේ කොහොමද කියලා. . අඩුම ගානේ ආර්ථිකය සංකෝචනය වීම නවත්වා ගන්න අපි උත්සහ කරන්න ඕනේ. තුන්වෙනියට ආර්ථික  අවපාතයක් එක්ක ලැබෙන ඊළඟ දේ තමයි ජන ජීවිතය අඩාල වීම. ජන ජීවිතයේ අධ්‍යාපන  සහ සෞඛ්‍යය මන්දපෝෂණය ඇතුළු සෞඛ්‍යය වගේ ප්‍රශ්න ඇතිවීම. මේවල ප්‍රතිඵල අද හෙට දකින්න ලැබෙන්නෑ. අධ්‍යාපනය  කඩා වැටීමේ ප්‍රතිඵල දකින්න. තව අවුරුදු දහයක් පහළොවක් යනවා. මන්දපෝෂණයේ ප්‍රතිඵල දකින්න තව අවුරුදු පහක්, දහයක් යනවා. එතකොට නිසි පිළිතුරු දුන් නැත්නම් සිද්ධ වෙන්න අර 1980 දශකයේ ඉතියෝපියාවේ උනා වගේ වෙන්න. ඔළුව ලොකු, ඇග කෙට්ටු මන්දපෝෂණයෙන් පෙලෙන ලාංකීය දරුවෝ  විදෙස් මාධ්‍ය වල පෙන්නයි, මෙන්න ලංකාවේ තත්වය කියල. ඉතින් මේ ප්‍රධාන කාරණාවලට අයවැය අනිවාර්යෙන්  අවධානය යොමු කරන්න ඕනේ.

මොන ආයෝජකයාද බංකොලොත් රටක ආයෝජනය කරන්නේ?          

අය වැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියනවා  ජාත්‍යන්තර වෙළදාමේ 100% වර්ධනයක් ඔහු අපේක්ෂා කරනවා.  ඉදිරි වසර දහය තුළ. ඔහු අපේක්ෂා කරනවා  වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන තුනක වර්ධනයක් සිදු වෙයි කියලා ජාත්‍යන්තර වෙළඳාමේ. ඒ වගේම මේක වසර දහයක් පුරා  මෙලෙස පවතී. ඒ වගේම වර්ෂයකට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන තුනක  සෘජු විදේශ ආයෝජන ලංකාවට ගලා එයි කියලා  ජනාධිපතිවරයා  අපේක්ෂා කරනවා. මේ දේවල් මෙහෙම සිද්ධ වෙයිද?

ප්‍රධාන ප්‍රශ්නේ තමයි මොන ආයෝජකයාද බංකොලොත් රටක ආයෝජනය කරන්නේ?  අනිත් ප්‍රශ්නේ තමයි ලංකාව “හොඳටම” නරක පූර්වාදර්ශයක් දුන්න රටක්. අර කුප්‍රකට  මිස්ටර් ටෙන් පර්සන්ට් ගේ කාලය. ලංකාව ගැන ජාත්‍යන්තරයේ තියෙන ප්‍රතිරූපය ගැන අලුතින් කියන්න ඕන නෑ.

ඉතින් මේ වගේ අවස්ථාවක, බංකොලොත් රටක, මේ තරම් දූෂිත රටක කුමන ආයෝජකයාද, ඩොලර් බිලියන තුනක් ආයෝජනය කරන්න උත්සාහ කරන්නේ.? ඒ වගේම ජනාධිපතිවරයා  අපේක්ෂා  කරනවා සමස්ත ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් 100%  ප්‍රමාණයට වඩා,  ඉදිරි වසර කිහිපය තුළදී අඩු කර සීයට අටක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගන්නත්. මේවා  තමයි මූලික වශයෙන්ම  අය වැය ඉදිරිපත් කරමින්  ජනාධිපතිවරයා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ.

අපි පිළිගන්න ඕනේ මේ වෙලාවේ අයවැය  මූලික වශයෙන්ම බලාපොරොත්තු වෙනවා   IMF ණය සඳහා  අවශ්‍යය  වටපිටාව සකස් කරලා දෙන එක. මොකද IMF  ණය ලබාගන්න නම් ඔවුන් කියන උපමානයන්ට අපි එකඟ වෙන්න ඕනේ. මේ අයවැයෙන් අපි දකින ප්‍රධානම ලක්ෂණය  තමයි මේ IMF එක කියන දේවල්, IMF එක කරන්න කියලා  යෝජනා කරන දේවල් කිරීමට උත්සාහ කිරීම. ඒ වගේම මේ අය වැය සමහර හොඳ කාරණා  කිහිපයක් කතා  කරනවා. එකක් තමයි මේ බදු කළමනාකරණයට වෙන ආයතනයක් පිහිටවන්න උත්සාහ කරනවා. වයස දහඅටට වැඩි සෑම කෙනාටම බදු ලිපිගොනු විවෘත කරන්න උත්සාහ කරනවා. මේ බදු අනුකූලතාවය වැඩි කිරීමට උත්සාහ කරනවා. මේවා  ඔක්කොම හොඳ කතන්දර. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ  මීට කලින් අය වැය වලදී පවා  අපි අරමුණු රාශියක් ගේනවා. හැබැයි කවදාවත් මේවා ක්‍රියාවට නැංවුණේ නෑ..  

ආදායම හා  රාජ්‍ය  වියදම

2023 අය වැය අපේක්ෂා කරන මූලික ආදායම වන්නේ රුපියල් බිලියන තුන්දහස් හාරසිය පහළොවක් (3415). මේක තමයි  මේ වර්ෂය සඳහා අපේක්ෂිත ආදායම. වියදම වශයෙන් හඳුනාගෙන තිබෙනවා රුපියල් බිලියන පන්දාස් අටසිය දහනවයක් (5819). හැබැයි මේ රුපියල් බිලියන පන්දාස් අටසිය දහනමය ඇතුලත රජය විසින් යළි ගෙවිය යුතු රුපියල් බිලියන 3800  ක  භාණ්ඩාගාර බැඳුම්කර වල වටිනාකම ඇතුළත් වෙලා නැහැ. . නමුත් මේක ජාත්‍යන්තර මූල්‍ය  අරමුදල ලංකාවේ ණය ව්‍යුහය ගැන බලද්දී අනිවාර්යෙන්ම මේ බැඳුම්කර වටිනාකම ඩොලර් බිලියන තුන්දහස් අටසීය ඇතුළත් කරනවා.  ඒ නිසා අපි සත්‍යය වශයෙන්ම ගෙවිය යුතු  ණය ප්‍රමාණය රුපියල් බිලියන  දහදාහ ඉක්මවනවා. . ඒ කියන්නේ මේක රුපියල් වලින් ගත්තොත් රුපියල් ට්‍රිලියන දහයක ප්‍රමාණයක්. මෙතන ගැටලුව තියෙන්නේ. අපේ ආදායමත් එක්ක සලකා  බැලුවහම, මේ අයවැය හොයන සෑම රුපියලක් සඳහාම රුපියල් තුනකට වඩා වැඩි වියදමක් මේ අයවැයේ තිබෙනවා. ගැටලුව වෙන්නේ මේ වියදම් ප්‍රමාණය මේ ආදායමෙන්  පියවගන්න පුලුවන්ද?

අපේක්ෂිත බදු ආදායම

ඊළඟ ප්‍රශ්නේ තමයි අපේක්ෂිත බදු ආදායම පහුගිය වසරට සාපේක්ෂව සීඝ්‍ර  ලෙස වැඩි කරලා තියෙනවා.. බදු වලින් ලබාගන්න උත්සාහ කරන මුළු ආදායම් ප්‍රමාණය රුපියල් බිලියන තුන්දාස් එකසිය තිහක් (3130). 2023 වර්ෂය සඳහා. එයින්  රුපියල් බිලියන නමසිය පහළොවක් ආදායම් බදු වශයෙන්ද ඉතිරි රුපියල්  බිලියන එක්දහස් හත්සිය හැට තුන  බදු වශයෙන්ද ලබා ගැනීමට උත්සාහ කරනවා.  ආයෙත් මෙතන අපිට දකින්න ලැබෙනවා  අර පෙර ප්‍රශ්නයම. ආදායම් බදු, එහෙම නැත්නම් සෘජු බදු වලට වඩා  වක්‍ර බදු වලට තමයි ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ. අපි පෙර කාලයේ ඉතා  හොඳින් දැක්කා. වක්‍ර බදු  වැඩිවන හැම විටකම ඒක රටේ උද්ධමනය වැඩි කිරීමට හේතු වෙනවා. ඒ වගේම ආදායම් විෂමතාවය වැඩි කිරීමට හේතු වෙනවා. මොකද වක්‍ර බදු ගෙවද්දී අඩු ආදායමක් ලබන කෙනා  තමන්ගේ ආදායමට සාපේක්ෂව විශාල බද්දක් ගෙවනවා. වැඩි ආදායමක් ලබන කෙනා  තමන්ගේ ආදායමට සාපේක්ෂව ගෙවන්නේ කුඩා බද්දක්. ඒ නිසා වක්‍ර බදු නිතැතින්ම  ආදායම් විෂමතාවය සහ දුප්පත්කම වැඩි කිරීමට හේතු වෙනවා.  මෙවර අයවැයෙනුත්, රජයේ බදු ආදායමෙන් වැඩි ප්‍රමාණයක් සංයුක්ත වෙන්නේ, වක්‍රබදු වලින්.

රාජ්‍ය මුලනය අවශ්‍යතාවය (Gross Financing Need – GFN)

අනිත් ප්‍රශ්නේ තමයි රාජ්‍ය මුල්‍යනය අවශ්‍යතාවය. එහෙම නැත්නම් Gross Financing Need කියන එක.

අපි බලනවා. රජයේ මුළු  මූල්‍යමය  අවශ්‍යතාවය දළ ජාතික නිෂ්පාදනයෙන් කොච්චරක්ද කියන එක. මේක මේ වෙනකොට 2023 අයවැය  අනුව  මේ GFN  අගය 28% පමණ වෙනවා. . හැබැයි ජාත්‍යන්තර මූල්‍ය  අරමුදලේ සංරචකයන්ට අනුව එය අවම වශයෙන් සීයට පහලවක (15%) මට්ටමක පවතින්න ඕන. එතකොට  අපිට මේ 28% ප්‍රමාණයත් සමග අපිට කීයටවත් ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලත් සමඟ ගිවිසුමකට යන්න  හැකියාවක් ලැබෙන්නේ නැහැ. අවශ්‍යය  ප්‍රමාණයට වඩා  දෙගුණයකින් පැවතීම නිසා. රජයට සිද්ධ වෙනවා  අනිවාර්යෙන්ම  වියදම් අඩු කරලා මේ GFN අගය සීයට පහළවේ මට්ටමේ පවත්වාගෙන යාමට.

ආදායම් සහ වියදම් ප්‍රමාණයන් ප්‍රායෝගිකද?

ඊළඟ ගැටලුව තමයි  මේ ආදායම් සහ වියදම් ඇස්තමේන්තු ප්‍රායෝගිකද කියන එක. මොකද අපි 2022 අයවැයේදී  ආදායම් අපේක්ෂා  කරා  රුපියල් බිලියන දෙදාස් පන්සීයක් (2500). හැබැයි ඇත්තටම ඒ ප්‍රමාණය ලැබුන් නැහැ. කොහොමද මේ ආදායම මේ රජය ලබාගන්න බලාපොරොත්තු වෙන්නේ.? අපි අයවැය  පත්‍රිකාව දෙස බැලුවොත්  හැමවෙලාවෙම බදු පැනවීම තුළින් තමයි මේ ආදායම ලබා ගැනීමට උත්සාහ කරන්නේ. මේක වක්‍ර බදු, සෘජු බදු අනෙක් පැත්තෙන් ගාස්තු අය කිරීම ආදී ක්‍රමවේදයන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එක අතකින් පුද්ගලයන් සහ ව්‍යාපාර විශාල බද්දක් ගෙවන්න ඕනේ. ඔවුන් සෘජු බද්දක් ගෙවන්න ඕනේ. ළඟදි  අපි 2022 අය වැය සංශෝධනයේදී විශාල සෘජු බදු  අගයන් ලබා දුන්නා. දැන් විශාල වශයෙන් වක්‍ර බදු ගෙවනවා. ඊට අමතරව ගාස්තු ගෙවීම් වැඩි කරලා තියෙනවා. ඒ සියල්ලටම අමතරව උද්ධමනය විසින් පුද්ගලයන්ගේ ක්‍රය ශක්තිය, එහෙම නැත්නම් පුද්ගලයන්ට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය අඩු කරමින් යනවා. . එතකොට මේ වගේ තත්වයක් තමයි රටේ දැන් ඇතිවෙලා තියෙන්නේ.  රජය බලාපොරොත්තු වෙනවා  අලුතින්  Surcharge Tax එකක් පැනවීමට. පෙට්රල් සහ ඩීසල් රුපියල් විසිපහකින් සහ පහළවකින් පමණ  යළිත් වටයකින් ගණන් වැඩි වෙයි. අපි දන්නවා පෙට්රල් සහ ඩීසල් ගණන් වැඩි වෙච්චහම ඒක කෙලින්ම ප්‍රවාහන වියදම වැඩි කරන්න හේතු වෙනවා. ඊට පස්සේ විදුලිය වියදම වැඩි කෙරෙනවා. ආයෙත් වතාවක් මුළු රටේම උද්ධමනය වැඩි කරන්න හේතු වෙනවා. මේ ඉන්ධන මිල වැඩි කිරීම.

සංකෝචනය වෙන ආර්ථිකය

අපි දන්නවා. රටේ ඩීසල් පරිභෝජනය සියයට පනහකින් (50%) මේ වෙද්දි පහළ ගිහිල්ලා. ඒ වගේම රටේ ගෑස් පරිභෝජනය සියයට විසි පහකින් (25%) පහළ ගිහිල්ලා. දැන් මේ වෙලා තියෙන්නේ මොකක්ද? මේ අපි මේ ඉතුරු කරන හින්දද මෙහෙම පරිභෝජනය පහළ ගිහිල්ලා තියෙන්නේ? මේ පරිභෝජනය පහළ ගිහිල්ලා තියෙන්නේ මේ රටේ ආර්ථිකය සංකෝචනය වෙනවා. ව්‍යාපාර වැහිලා යනවා.  පුද්ගලයෝ රට හැර යනවා. ව්‍යාපාර රට හැරලා යනවා. බංකොලොත් වෙනවා. ඒ නිසා මේ ආර්ථිකය හැකිලෙමින් පවතින නිසා තමයි, මේ ආර්ථිකය දුවන්න අවශ්‍ය  ඉන්ධන සහ විදුලි බලය අවශ්‍යතාවය අඩු වෙලා තියෙන්නේ. මේ වගේ අවස්ථාවක තවත් වතාවකින් විදුලි බිල, පෙට්රල් මිල වැඩි උනොත් අනිවාර්යෙන්ම තවත් වටයකින් මේ ආර්ථිකය සංකෝචනය වෙනවා. .

2022Nov23_[1]_GDP

පොලී අනුපාතය

දැන් අපි දන්නවා මේ වෙද්දි බැංකුවෙන් ණයක් ගත්තොත් සීයට විසිපහක වගේ පොලී අනුපාතයක් බැංකු අය කරනවා. ගන්න මුදල වගේ හතරෙන් එකක් පොලිය. ඊට පස්සේ  භාණ්ඩාගාර බැඳුම්කර වල පොලිය සියයට තිස් තුනක් (33%) විතර. ඒ කියන්නේ මුළු වටිනාකමින් තුනෙන් එකක් විතර පොළී වශයෙන් ගෙවනවා. ඔබ රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ හෙන්චයියෙක් නෙවෙයි නම් ඔබට බාර් එකක් නැත්නම්, ඔබට ස්කාගාරයක් නැත්නම්, ඔබ කුඩු විකුණන්නේ නැත්නම් සියයට විසිපහක පොලියට ණයට අරගෙන ඔබට කරලා ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරය මොකක්ද කියලා මම අහනවා. මා  දන්නා තරමින්, සියයට විසිපහක පොලියට ණයට අරන් ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරයක් නම් ලේසියෙන් හම්බවෙන්නේ නැහැ. එහෙම ව්‍යාපාරයක් කරන්න නම්, එක්කෝ  ඔබ අර මම කලින් කිව්වා වගේ,  ඔය සමහර අපේ රටේ ඉන්නවා කියන සමහර ව්‍යාපාරිකයන් වගේ ඔවුන් ලූණු ගේද්දී ලූණුවල බද්ද අඩු කරලා, ළූණු ගෙනාවට පස්සේ බද්ද වැඩි කරලා . ඒ විදිහට ඔබ ප්‍රබල දේශපාලකයකුගේ ගජමිතුරෙක් හරි, හෙන්චයියෙක් හරි නොවේ නම්, ඔබට කීයටවත් මේ සීයට විසිපහේ පොලියට ව්‍යාපාර කරලා ලාභ ලබන්න බැහැ.

2023 අයවැය: අයවැයෙන් යෝජිත රාජ්‍ය අයෝජන [බංකොලොත් ලංකාවේ පළමු අයවැය – 2 කොටස ]

Leave a Reply