You are currently viewing ‘ධම්මික පැණිය’ මතු වූ සමාජ දේශපාලන සන්දර්භය

‘ධම්මික පැණිය’ මතු වූ සමාජ දේශපාලන සන්දර්භය

මේ රජයේ බලධාරීන් සහ ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍ය කොවිඞ් 19ට ප‍්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස ධම්මික පැණිය ප‍්‍රචාරය කිරීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් එක්ව කළ අධ්‍යයනයකි. 

ධම්මික පැණිය මතු වූයේ සාධක ගණනාවක එකතුව නිසා ජනතා මට්ටමේ ජාතිවාදී හැඟීම උත්සන්න ව පැවති සමයේ දීය. එක හේතුවක් වන්නේ රැඩිකල් සහ අන්තවාදී ඉස්ලාමීය මූලධර්මවාදී කණ්ඩායමක් පාස්කු  ඉරිදා ප‍්‍රහාරය එල්ල කිරීමත් සමග බහුතර ප‍්‍රජාව තුළ ඉස්මතු වූ සිංහල බෞද්ධ න්‍යාය පත‍්‍රය මත පදනම්ව 2019 නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ විශිෂ්ට ජයග‍්‍රහණයක් අත් කර ගැනීම ය. එවකට රට පාලනය කළ යහපාලන ආණ්ඩුව ජාතික ආරක්ෂාව නොසලකා හැර ඇතැයි අදහස් කළ ජනතාව එල්ටීටීඊය හමුදාමය වශයෙන් පරාජය කිරීමේ කීර්තිය අත් කර ගෙන සිටි ගෝඨාභය රාජපක්ෂ මේ තත්වයට මුහුණ දීමට හොඳම විකල්පය සේ දකින්නට ඇත. නව පාලනයට බෞද්ධ භික්ෂූන්ගේත් රටේත් විශේෂයෙන්ම සිංහල බෞද්ධ උරුමයේත් ගැලවුම්කරු වශයෙන් හඳුනා ගත් රාජපක්ෂලා වෙනුවෙන් පාලනයේ වෙනසක් ඇති කිරීමට බෞද්ධ භික්ෂූන්ගේත් සෘජුවම සහ වක‍්‍රව ප‍්‍රචාරක ව්‍යාපාරයට දායක වූ රුපවාහිනි නාලිකා ගණනාවකගේත් පුළුල් සහාය ලැබිණ. නව පාලනය නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථාන සහ නටබුන් අධීක්ෂණය සහ සංරක්ෂණය සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවීම වැනි සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම සඳහා සැලසුම් කළ මුලපිරුම් ගණනාවකට පියවර ගත්තේය. නව පාලනයට ආශීර්වාද කිරීමටත් ඊට සුජාත භාවයක් ලබා දීමටත් පෙරමුණ ගත්තේ බෞද්ධ භික්ෂූන් ය. පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීම ඇතුළත් සමහර කටයුතුවලට ආරක්ෂක හමුදාව ද යොදා ගත්තේය.

වසංගතය පැතිරයාම පටන් ගත් විට ආශ‍්‍රිතයන් සොයා ගැනීම, අධීක්ෂණය සහ නිවාරණ සේවා වැනි ක්ෂේත‍්‍රවල වසංගතයට මුහුණ දීමේ දී වෛද්‍ය සේවාවන්ට අමතරව හමුදාව ද යොදවන ලදී. වසංගතයට ප‍්‍රතිචාර දැක්වීමට ස්ථාපනය කරන ලද කාර්ය සාධක බලකායේ ප‍්‍රමුඛ වූයේ අදාල සෞඛ්‍ය බලධාරීන් සමග හමුදා සහ ආරක්ෂක නිලධාරීන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA)  නියෝජිතයන් ය. කාර්ය සාධක බලකායට හමුදාව සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළත් කිරීම නිසා ඊට ජාතිවාදී මුහුණුවරක් ලැබිණ. ප‍්‍රතිකාරයක් සේ දුම් ඇල්ලීම වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විසින් ප‍්‍රචාරය කිරීමෙන් එම සංගමයේ ජාතිවාදී ආකල්ප ඉස්මතුවීම මෙන්ම වසංගතය වැළැක්වීමට පාරම්පරික ශාඛ ප‍්‍රතිකාර යොදා ගැනීමේ උනන්දුවක් ඇති විය. වසංගතයෙන් පීඩාවට පත් රටටත් ලෝකයටත් සුව පතා ජනාධිපති කාර්යාලයේ අනුග‍්‍රහයෙන් සතියක් පුරා දිවයිනේ පන්සල්වල  පිරිත් දේශනා කිරීමේ ව්‍යාපාරය වසංගතයට දේශීය ප්‍රතිකර්ම සහ දේශීය සම්ප‍්‍රදායික භාවිතා යොදා ගැනීමට ගත් උත්සාහයට තවත් නිදසුනකි. හමුදාවෙන් පාලනය වූ නිවාරණ මධ්‍යස්ථාන වල සහ අංගොඩ බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ රෝගීන්ගේ ප‍්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා කොළ කැඳ සහ කෂාය පානයට ලබා දීම පුරුද්දක් කර ගැනිණ.  

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා

මෑත වසරවල මහත් ප‍්‍රසිද්ධියක් ලබා දුන් ව්‍යාපෘති සහ ප‍්‍රචාරක ව්‍යාපාරවල සිංහල බෞද්ධ න්‍යාය පත‍්‍රයට සහාය සඳහා විද්‍යාව යොදා ගැනීමේ උත්සාහයක් තිබිණ. නිදසුනක් වශයෙන් කොවිඞ් රෝගයෙන් මිය ගිය අයගේ සිරුරු අනිවාර්යෙන් ආදාහනය කිරීම යුක්ති සහගත බව දැක්වීමට විශ්ව විද්‍යාලවල විද්‍යඥයන් කීප දෙනෙක්ම එක් වූහ. එම අදහසට ආගමික පදනමකින් මුස්ලිම් ආගමික නායකයන් ද විද්‍යාත්මක පදනමකින් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ තවත් විද්‍යඥයෝ ද විරුද්ධ වූහ. මිය ගිය මුස්ලිම් භක්තිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට මුස්ලිම් නායකයන් කළ ඉල්ලිමට ඊනියා ‘‘දේශප්‍රේමී විද්‍යඥයෝ’’ ( හර්ෂණ රඹුක්වැල්ල 2020) ‘එක රටක් එක නීතියක්’ වැනි ජාතිවාදී ස්ථාවරයෙන් විරුද්ධ වූහ. මියගිය අයට අවසාන ගෞරවය දැක්වීම වැනි කරුණුවලදී විවිධත්වයට ඉඩ දිය යුතුයැයි පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි වැනි බෞද්ධ විද්වතුන් පෙන්වා දුන්හ. උන්වහන්සේ වසංගතයට මුහුණ දීමේ දී මිථ්‍යාව මත පදනම් වූ ප‍්‍රතිකර්ම යොදා ගැනීමට ද විරුද්ධ වූහ. සමාජ මාධ්‍යය යොදා ගත් සිංහල තරුණයන් අතර වෛරය ඇති කරවන ප‍්‍රකාශ, අපහාස කිරීම් සහ වාර්ගික සහ ආගමික සුළුතරය හෙළා දැකීමේ ජනප‍්‍රිය සංස්කෘතියක්ද දක්නට ලැබිණ ( සිල්වා 2020, 2021) මින් ධම්මික පැණියට ලැබුණ මහජන පිළිගැනීමත් බටහිර වෛද්‍ය ක‍්‍රමයේ හෝ අයුර්වේද ක‍්‍රමයේ ඖෂධයක් සහතික කිරීමේ දි නියමිත විධි ක‍්‍රමය නොසලකා හෝ මගහැර විද්‍යාත්මක පිළිගැනීමක් ලබා දීමට විද්‍යාත්මක ප‍්‍රජාවේ සමහර කොටස් ගත් උත්සාහයත් පැහැදිලි කරයි. 

ධම්මික පැණිය මතු වන්නේ මෙවැනි පසුබිමක ය. එය ඒ වන විටත් දේශපාලකයන් අතර පමණක් නොව හමුදාව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා පොදුවේ ජනතාව අතර මුල් බැසගත් ජාතිකවාදී ආකල්ප මත පදනම් විය. ධම්මික පැණිය අයුර්වේද හෝ දේශීය චිකිත්සා සම්ප‍්‍රදාය මත පදනම් වූවක් නොවේ. ඒ වෙනුවට කාලි අම්මාගේ දූතයෙකුයැයි තමා විසින්ම හඳුන්වා ගත් ධම්මික තම පැණිය සම්ප‍්‍රදායික දිව ඔසුවක්යැයි නම් කෙළේය. එම පැණියේ ඖෂධීය ගුණය හේතු යුක්ති කිරීමට උත්සාහ කෙළේ මේ ආකාරයට ය:

1. දළදා මාලිගාව සහ අනුරාධපුර බෝ සමිදුන් ඇතුළත් ශුද්ධ වූ බෞද්ධ සිද්ධස්ථානවලට එම පැණිය පූජා කිරීම රූපවාහිනි නාලිකා ඔස්සේ විකාශනය කිරීම. මෙම අවස්ථාවලට ඔහු බෞද්ධ භික්ෂූන්, සිවිල් ඇඳුමෙන් සැරසී සිටි බුද්ධි නිලධාරීන් සහ වෙනත් ප‍්‍රභූවරුන් එක් කර ගත්තේය. ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් සුදු වතින් සැරසි සිටි අතර ඔහු එම පැණියේ දිව්‍යමය හාස්කම දැක්වීමට එය තම හිස මත තබා ගෙන ගියේය.

2.   ඔහු තම පැණිය සෞඛ්‍ය ඇමතිනිය, පාර්ලිමේන්තුවේ කතානායක, රාජ්‍ය ඇමතිවරුන් ඇතුළත් දේශපාලන ප‍්‍රභූන්ට රූපවාහිනි කැමරා ඉදිරියේ පිරි නැමූ අතර ඔවුහු එය කැමරා ඉදිරියේම පානය කළහ.

3. ඔහු එම පැණිය තම නිෂ්පාදනාගාරය ඉදිරියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ එවකට බල පැවැත් වූ නිවාරණ සීමාවන් නොසලකා පෝලිම් ගැසි සිටි ජනතාවට රූපවාහිනි කැමරා ඉදිරියේ බෙදා දුන්නේය. 

මෙම පැණියට ආයුර්වේද සහ බටහිර වෛද්‍ය විද්‍යාව හරහා කිසියම් සුජාත භාවයක් ලබා ගැනීමට ගත් උත්සාහය

මෙවන් පසුබිමක් තුළ ශූර පුද්ගලයෙකු වූ පැණියේ නිර්මාතෘ රටේ පවතින වෛද්‍ය පද්ධතිය තුළින් ඊට නිත්‍යානුකූල භාවයක් ලබා ගැනීමට උත්සාහ කෙළේය. ඖෂධයක් භාවිතා කිරීම අනුමත කිරීම සඳහා ඇති දීර්ඝ ක්‍රියාවලිය මග හැරීමට ඔහු උත්සාහ ගත්තේ දේශපාලන ක්‍රියා මාර්ග යොදා ගනිමින් සහ සුවපත් කිරීමේ පාරම්පරික සහ දේශීය භාවිතාවන් ගැන ඇල්මක් දැක් වූ වෘත්තිකයන් සහ වෛද්‍ය සේවකයන් යොදා ගැනීමෙනි. පැණියේ සාධනීයත්වය අදාල කාර්ය සාධක බලකාවල පමණක් නොව කැබිනට් මණ්ඩලය තුළ පවා සාධනීය පිළිගැනිමක් තිබුණ බව ඉහළ මට්ටමේ දේශපාලකයන් සමග අප කළ සාකච්ඡුාවලදී හෙළි විය. කාර්යාලීය ක්‍රියා පටිපාටිය ඉවත් කර රජයේ රෝහල් පවා යොදා ගනිමින් සායනික ක්‍රි‍රයා පටිපාටිය කඩිනම් කිරීමට දේශපාලන නායකත්වය උත්සාහ ගත්තේය. පුළුල් සිංහල ජාතිවාදී ව්‍යාපෘතියේ සාර්ථකත්වය විදහා දැක්වීමට හා මෙම දිව ඔසුව සෞඛ්‍ය බලධාරීන් ගේ පිළිගැනීමට ලක් කිරීමට දේශපාලන නායකත්වය තුළ අසාමාන්‍ය කඩිනමක් පැවති බව මෙම ඇගයීමේ දී අප සාකච්ඡා කළ පාලක පක්ෂයේම සමහර උගත් නායකයෝ පැවසූහ.  

ධම්මික පැණියේ තරගකරුවන් 

විවිධ දේශපාලකයන්ගේ සහාය ලබා ගත් තවත් තරගකරුවන් කිප දෙනක්ම ධම්මික පැණිය සමග තරගයට තම නිෂ්පාදන ඉදිරිපත් කළහ.

ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය ක‍්‍රමවල බහුවිධ සන්දර්භයක් තුළ ධම්මික පැණිය ඉස්මතු කිරීම

නව රෝග තත්වයක් වන කොවිඞ් 19 ට ප‍්‍රතිචාර දැක්වීමේ දි සමාජයන් තම සමාජ-සංස්කෘතික සහ දේශපාලන සන්දර්භයන් තුළ වෙනස් ආකාරයක් ගනු ඇත. සෞඛ්‍ය රැකවරණයේ බහුත්වවාදය සෞඛ්‍යය සහ රෝගි තත්වය අවබෝධ කර ගැනීමේ දී විවිධ වූ ආකාරයන් යොදා ගනී. සෑම සමාජයකම අනුභූතික සහ අව්‍යක්ත භාවිතයන් යොදා ගන්නා ජෛව-වෛද්‍ය නොවන ක‍්‍රම ද පවතී. බොහෝ සංස්කෘතින් තුළ රෝගී තත්වයන්ට අදාල අදහස් සහ භාවිතා ආගමික විශ්වාස සහ භාවිතාවන්ගෙන් වෙන් කළ නොහැකිය. වෛද්‍ය ක‍්‍රමයක් යනු කිසියම් හැසිරීමක ප‍්‍රතිඵලය සෞඛ්‍යමත් වන්නේ ද නැද්ද නොසලකා සෞඛ්‍ය තත්වය නගා සිටුවීම සඳහා ගනු ලබන විචක්ෂණ හැසිරීමකින් පැන නගින සමාජයීය ආයතන සහ සංස්කෘතික සම්ප‍්‍රදායන් රටාවක් ලෙස නිර්වචනය කළ හැකිය. ( Frederick Dunn, 1976 ) ඩුන් වෛද්‍ය ක‍්‍රම, දේශීය වෛද්‍ය ක‍්‍රම, කලාපීය වෛද්‍ය ක‍්‍රම සහ විශ්ව වෛද්‍ය ක‍්‍රම ඇතුළත් භූගෝලිය සහ සංස්කෘතික වට පිටාවන් අනුව වර්ගීකරණය කෙළේය. ( Dunn 1976 ) ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පාරම්පරික වෙදකම ශ‍්‍රී ලංකාවට ආවේනික වූ දේශීය වෛද්‍ය ක‍්‍රමයන් ගෙන් එකක්  සේ හැඳින් විය හැකිය. අයුර්වේදය කලාපීය වෛද්‍ය ක‍්‍රමයක් සේද ජෛව විද්‍යාත්මක වෛද්‍ය ක‍්‍රමය විශ්වීය පද්ධතියක ප‍්‍රධාන භූමිකාවක් ඉටු කරන ක‍්‍රමයක් සේද සැලකිය හැකිය.

ධම්මික බණ්ඩාරගේ පැණිය ගන්න මහා සෙනගක්..

ක්ලීයන්මන් සිය ‘‘සංස්කෘතික සන්දර්භයක් තුළ රෝගීන් සහ සුවපත් කරන්නන්’’ නම් කෘතියේ ( Patients and Healers in the Context of Culture ) එකිනෙක මත රඳා පවතින හා එකිනෙකට සම්බන්ධ ජනප‍්‍රිය, ජනශ‍්‍රති හා වෘත්තීයමය යන අංශ තුනෙන් සමන්විත දේශීය සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියේ අභ්‍යන්තර ව්‍යුහයේ ලක්ෂණ විස්තර කරයි. මේ එක් එක් අංශයට රෝගි තත්වය පැහැදිලි කිරීම සහ ප‍්‍රතිකාර කිරීම විස්තර කෙරෙන කරන සහ සුවපත් කරන්නා සහ රෝගියා එකිනෙකා ප‍්‍රතිකාර සඳහා අභිමුඛ වන විට අන්‍යොන්‍යව බලපාන ආකාරය පැහැදිලි කිරීමේ ආවේණික ක‍්‍රම පවතී. (Klienman 1980 ) විශ්වාස, තේරීම් සහ තීරණ, භූමිකා, සම්බන්ධතා, අන්‍යෝන්‍ය වටපිටාව ඇතුළත් දේශීය සෞඛ්‍ය රැකවරණයේ සහ රෝගය පළමුවෙන්ම නිර්වචනය කෙරෙන සහ සෞඛ්‍ය රැකවරණ කටයුතු මුල පුරන ආයතන, ජනප්‍රිරය අංශයේ විශාලම කොටසයි. ජනශ‍්‍රති කොටස ආගමික හෝ ආගමික නොවන හෝ ඒ දෙකේම මිශ‍්‍රණයක සුවපත් කිරීමේ ආකාරයන් පිළිබඳව විශේෂඥතාවයක් ඇති සමහර පුද්ගලයන් භාවිතා කරන විවිධ වූ සුව කිරීමේ පුරුදුවලින් සමන්විත ය. මෙම අංශය සෞඛ්‍ය රැකවරණයේ ජනප්‍රි‍රය සහ වෘත්තීය අංශ අතර මැදි තත්වයක පවතින අතර රෝග තත්වයේ උපත, වැදගත්කම සහ ප‍්‍රතිකාර පිළිබඳ විශ්වාස ඇතුළත් ඔවුන් ජීවත්වන ප‍්‍රජාවේ මූලික සංස්කෘතික අගයන් සහ ලෝක දැක්ම බෙදා හදා ගනී. මනාව සංවිධානය වූ සහ නිත්‍යානුකූල වෘත්තීය අංශය ජෛව-වෛද්‍ය පද්ධතියේ ප‍්‍රමුඛතම අංශය වේ. අයුර්වේද අංශය ද ශ‍්‍රී ලංකාවේ වෘත්තීය තත්වයට පත්වෙමින් ඇත.  

ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය ක‍්‍රම බහුත්වයේ මූලික ලක්ෂණවලට ජෛව-වෛද්‍ය පද්ධතිය, අයුර්වේද, සිද්ධ, යුනානි, දේශීය චිකිත්සා, හෝමියෝපති, අත්බෙහෙත් සහ විවිධ ආගමික සහ සුවපත් කිරීමේ වත් පිළිවෙත්, ඇතුළත්ය. භාවිතයේ දී සිද්ධ, යුනානි සහ දේශීය චිකිත්සා (පාරම්පරික වෙදකම) බොහෝ දුරට අයුර්වේදයට අන්තර්ග‍්‍රහණය වී ඇති නිසා එහි ස්වාධීන පැවැත්මක් නැත. ( වන්නිනායක 1982) අයුර්වේදය පැමිණීමට පෙර ශ‍්‍රී ලංකාවේ පැවති මුල්ම ප‍්‍රතිකාර ක‍්‍රමය වන්නේ දේශීය චිකිත්සාව හෝ පාරම්පරික වෙදකම යි. එය පරම්පරාවෙන් පරම්පරාවට පැවත ඒ. ( ඌරගොඩ 1987) නොමග ගිය සාමාන්‍ය ජනතාව ධම්මික පැණිය සම්ප‍්‍රදායික/අයුර්වේ ඖෂධයක් ලෙස සැලකුවත් එය ඉහත දැක් වූ කිසිම කාණ්ඩයකට අයත් නොවේ. ධම්මික පැණිය එම වෛද්‍ය ක‍්‍රම තම ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නා කිසිම වට්ටෝරුවකට අදාල වන්නේ නැත. ධම්මික පැණිය ඉදිරිපත් කළ පුද්ගලයාට අයුර්වේද හෝ පාරම්පරික වෙදකම පිළිබඳව කිසිම පුහුණුවක් නැත. ඔහු පවසන්නේ එය කාලි මෑණියන්ගේ හාස්කමකින් ලැබුණ දෙයකි යනුවෙනි. කෙසේ වුවත් වසංගතය පැතිරීම වැළැක්වීමේ වගකීම ඇති ඉහළම බලධාරීන් ඇතුළත් විවිධ  ඕනෑකම් ඇති කණ්ඩායම් ධම්මික පැණිය කොවිඞ් 19 පාලනය කිරීමට යොදා ගත හැකි ප‍්‍රබල ඖෂධයක් සේ හඳුන්වති. මෙවැනි සන්දර්භයක වර්ණනා කළ ධම්මිත පැණිය පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ ප‍්‍රතිචාරය, ධම්මික පැණියේ ගුණාත්මක භාවය ගැන ඇති වු කතිකාව, නව රෝගයක් වූ කොවිඞ් 19 වැළැක්වීමේ සහ පාලනය කිරීමේ ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස ඒ පිළිබඳව බටහිර සහ අයුර්වේද වෛද්‍ය ක‍්‍රමය දැක් වූ ආකල්ප පරික්ෂා කිරීම වැදගත් ය.  

ධම්මික පැණිය ප‍්‍රචාරය කිරීම පිළිබඳ මහජනතා ප‍්‍රතිචාරය 

කොවිඞ් 19 වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය රැකවරණයක් අපේක්ෂාවෙන් සිටි සාමාන්‍ය ජනතාවගේ හැසිරීම ධම්මික පැණිය හඳුන්වා දුන් සන්දර්භය තුළ පරික්ෂා කර බැලීම වැදගත් ය. එය හඳුන්වා දුන්නේ ගම්පහ දිස්ති‍්‍රක්කයේ (වතුපිටිවල රෝහල ආණ්ඩුවේ රෝහලක බටහිර වෛද්‍ය වෘත්තිකයන් කණ්ඩායමක් විසිනි. කොවිඞ් වසංගතය වැළඳුන රෝගීන්ට තම ආයතනයේ දී මෙම ඖෂධය දැනටමත් ලබා දී ඇති බව ධම්මික පැණිය ප‍්‍රචාරය කළ වෛද්‍ය වෘත්තිකයෝ ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කළහ. එය ලබා ගත් රෝගීන් සාර්ථකව සුවය ලැබු බව ද ඔවුහු තහවුරු කළහ. ධම්මික පැණිය කොවිඞ් වැළඳුන රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ දී පමණක් නොව නිරෝගි පුද්ගලයන්ට පවා එය පාවිච්චි කිරීම නිර්දේශ කරන ලද්දේ ඉන් ප‍්‍රතිශක්ති මට්ටම සැලකිය යුතු ආකාරයෙන් ඉහළ යෑමෙන් රෝගය වැළැක්වීමේ හැකියාවක් පවතින නිසාය. මෙවැනි ගුණ කතන නිසා ධම්මික පැණිය සඳහා ඇති ඉල්ලූම තවත් වැඩි විය. සමහර මාධ්‍ය ආයතන ඊට පුළුල් ප‍්‍රසිද්ධියක් ලබා දීමෙන් සහ එය පාවිච්චි කිරීමට ජනතාව පෙළඹවිමෙන් ධම්මික පැණිය ප‍්‍රචාරය කිරීමට ප‍්‍රබල ආකාරයෙන් සහාය වුහ. ප‍්‍රභූන් විසින් ප‍්‍රසිද්ධියේ ධම්මික පැණිය පානය කළ අවස්ථා රූපවාහිනී නාලිකාවලින් ප‍්‍රචාරය කිරීමෙන්, සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනිමට පැන වූ සීමාවන් කඩ කරමින් මෙම පැණිය මිලදී ගැනීමට ජනතාව දහස් ගණනින් රොක් වූ ආකාරය ප‍්‍රචාරය කරමින්, කොවිඞ් 19 කළමනාකරණය සහ වැළැක්වීමේ කටයුතුවල පෙරමුණ ගත් දේශපාලකයන් හා එය ප‍්‍රචාරය කළ පුද්ගලයන් හා සම්බන්ධ වූ විවිධ කටයුතු සංවිධානය කිරීමෙන්, ජනතාව තුළ මේ පිළිබඳව සාධනීය ආකල්පයක් ඇති කිරීමට ජනමාධ්‍ය යොදා ගත්හ. මේ අතර තුර වැඩිවන ඉල්ලූමට සරිලන ආකාරයට පැණිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කරන ද්‍රව්‍ය සහ තාක්ෂණ සහාය ලබා දීමට ද කටයුතු සම්පාදන විය.  

ජනතාවගේ සෞඛ්‍ය රැකවරණය ලබා ගැනීමේ හැසිරීම තිරණය වන්නේ සෞඛ්‍ය රැකවරණය ලබා දෙන්නාගේ/දෙන්නන්ගේ විධිමත් පුහුණුව, සුදුසුකම් හෝ අත්දැකීම්වලට වඩා සුවවීමේ භාවිතාව පිළිබඳව නිශ්චිතව ලැබෙන තොරතුරු, අදාල සුවපත් කරන්නාගේ/කරන්නන්ගේ සුභවාදී ආකල්ප සහ විශ්වාසනීයත්වය, රෝගයෙන් සුවය ලැබීමට අදාල ප‍්‍රතිකාර ක‍්‍රමයේ ඇති සාර්ථකත්වය වැනි ප‍්‍රායෝගික කරුණු මත ය. මෙවැනි සන්දර්භයක ‘ධම්මික පැණිය’ භාවිතා කිරීමේ ප‍්‍රධාන සාධකවලින් එකක් වන්නේ එය අලූත් මාරාන්තික රෝගයට ගොදුරුවීමේ අවදානමෙන් මිදීමේ මාර්ගයක් ලෙස සැලකිය යුතු පිරිසක් විශ්වාස කිරීම ය. ප‍්‍රධාන සෞඛ්‍ය රැකවරණ පද්ධතියට කොවිඞ් 19 සඳහා සුදුසු ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලබා දීමට නොහැකිවීම ද රෝගීන් තුළ ධම්මික පැණිය පිළිබඳව විශ්වාසයක් ඇති කිරීමට හේතුවකි. මාධ්‍යය හරහා ඇති කළ කුතුහලය සහ සාවද්‍ය අපේක්ෂාව සාමාන්‍ය ජනතාව කෙරේ ප‍්‍රබල බලපෑමක් වූ අතර ධම්මික පැණිය සම්ප‍්‍රදායික ඖෂධයකි යන අදහස ද පැවතිණ. ධම්මික පැණිය නිෂ්පාදනය කිරීමේ වට්ටෝරුවේ අඩංගු සමහර ද්‍රව්‍ය ගැන ජනතාව හොඳින් දැන සිටි අතර සම්ප‍්‍රදායික ඖෂධවල ඇති රහස් ගුණය ද සිංහල ජනතාව තුළ දැඩි විශ්වාසයක්/ පිළිගැනීමක් ද පවතී. මෙම ඖෂධය නිර්මාණය කළ පුද්ගලයා, ධම්මික මහතා, ප‍්‍රධාන පුවත් පතක් සමග කළ සාකච්ඡාවකදී තමා කිසි විටෙකත් පාරම්පරික වෛද්‍ය වෘත්තිකයෙකුයැයි හඳුන්වා නොගත් අතර වෙදමහත්මයා යන හැඳින්වීම ඔහුට ලබා දුන්නේ මාධ්‍යයෙන් බව පැවසීම ද වැදගත් ය. 

කොවිඞ් 19 වසංගතය පාලනය කිරීමේ දී සහ රෝගය කළමනාකරණය කිරීමේ දී ජෛව-වෛද්‍ය පද්ධතිය ප‍්‍රධාන භූමිකාවක් ඉටු කරයි. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ප‍්‍රධාන පද්ධතියේ සීමාවන් ගණනාවක් පවතී. (ලියනගේ 2021) එමනිසා ජනතාවට නව රෝගය සම්බන්ධයෙන් ප‍්‍රතිකාර සහ වැළැක්වීමේ පියවර සඳහා අයුර්වේද/පාරම්පරික වෛද්‍ය ක‍්‍රමයේ පරිපූරක පද්ධති සොයා යෑමට බල කෙරෙන බව අනුභූතික නිරීක්ෂණ පෙන්නුම් කරයි. ප‍්‍රතිඵලයක් වශයෙන් හදිසියේ ඇති වූ ඉල්ලීම සපුරා ලීමට අයුර්වේද/පාරම්පරික ඖෂධ ගණනාවක්ම විවිධ වෙළඳ නාම යටතේ වෙළඳ පොළට එක් විය. ධම්මික පැණිය ද මෙවැනි තත්වයක් තුළ ඇති වුවද එය වෙළඳ පොළට ඉදිරිපත් වූයේ හොඳින් සැලසුම් කළ ප‍්‍රබල ප‍්‍රචාරක ව්‍යාපාරයක් ඔස්සේය.  

මහත් ප‍්‍රචාරයක් ලබා දුන් ධම්මික පැණිය පිළිබඳව ජනතාව සාධනීය ප‍්‍රතිචාරයක් දැක් වූයේ පහතින් දැක්වෙන සාධක නිසාය. 

  • ධම්මික පැණිය ඒ වන විටත් කොවිඞ් 19 සඳහා එහි ගුණාත්මක භාවය ගැන පරික්ෂා කොට තහවුරු කර ඇති ඖෂධයක් ලෙස සමහර බටහිර වෛද්‍ය වෘත්තිකයන් විසින් හඳුන්වාදීම
  • මාධ්‍ය ප‍්‍රචාරයෙන් සහ වැදගත් දේශපාලකයන් විසින් ධම්මික පැණිය පිළිබඳව වඩාත් වාසි සහගත වාතාවරණයක් නිර්මාණ කිරීම
  • කිසියම් පාරම්පරික වෘත්තිකයෙකු එවැනි ඖෂධයක් සකස් කර භාවිතා කළ බවට ඉතිහාසයක් හෝ වාර්තාවක් නැති වුවද ධම්මික පැණිය අයුර්වේද/පාරම්පරික ඖෂධයක්යැයි අදහසක් පැවතීම
  • ධම්මික පැණිය සෑදීමේ දි යොදා ගත් සමහර ද්‍රව්‍ය සාමාන්‍ය ජනතාව හොඳින් දැන සිටි ඒවා නිසා ඒ පිළිබඳ යහපත් ආකල්පයක් සංස්කෘතිය තුළම තිබිණ.
  • නව රෝගයට ප‍්‍රතිකාර කිරීම පිළිබඳව ප‍්‍රධාන වෛද්‍ය පද්ධතියේ පැවති සීමා නිසා විකල්ප/ පරිපූරක ප‍්‍රතිකාර ක‍්‍රම සොයා යෑමේ ප‍්‍රවනතාවයක් සංස්කෘතිය තුළම ගැබ්ව පවතී.
  • ධම්මික පැණිය පාවිච්චි කිරීමට සාමාන්‍ය ජනතාව පෙළඹ වූ කාරණයක් වූයේ සමාජයේ ප‍්‍රභූ/ ධනවත්/ උසස් කොටස් එය පාවිච්චි කිරීම ය.
  • සෞඛ්‍ය රැකරණය ලබා ගැනීමට තිරණ ගැනීමේ දී රටේ පවතින සාක්ෂරතාවයේ උසස් මට්ටම පෙන්නුම් කරන්නේ නැත. එහිදී ප‍්‍රබලව වැදගත් වන්නේ ප‍්‍රතිකාරයේ ඇති සාර්ථකත්වය යි. ( ශ‍්‍රී ලංකාවේ සාක්ෂරතා මට්ටම ගැන සෑහීමට පත්විය හැකි නමුත් ප‍්‍රායෝගිකව තිරණ ගැනීමේ දී එවැනි ප‍්‍රශස්ථ භාවයක් දක්නට නැත.)
  • සෞඛ්‍ය රැකවරණය ලබා ගැනීමේ හැසිරීමට වැඩි වශයෙන්ම බලපාන්නේ සුවපත් කරන්නාගේ/ ඒවා සපයන්නාගේ පුහුණුව හෝ සුදුසුකම් සලකා බැලීම නොව ප‍්‍රායෝගික සාධක සහ සමාජ ජාලයන් ය.
  • පාරම්පරික වෛද්‍ය වෘත්තිකයන් ලියාපදිංචි කිරීමේ ක‍්‍රියාවලියේ පවතින නොපැහැදිලි තත්වය නිසා සුදුසුකම් නොලත් පුද්ගලයන්ට ද ඊට ඇතුළත්වීමට අවකාශයක් පවතී. 

ධම්මික පැණිය කෙරේ බටහිර වෛද්‍ය ක‍්‍රමය දැක්වූ ආකල්පය

ධම්මික පැණිය මුලින්ම හඳන්වා දුන්නේ එහි ගුණාත්මක භාවය ගැන පරික්ෂා කළ බටහිර වෛද්‍ය වෘත්තිකයන් කීප දෙනකුගේ සහභාගිත්වයෙනි. එය අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ රජයේ රෝහල් දෙකක කොවිඞ් වැළඳුන රෝගීන් සඳහා ලබා දෙන ලදී. එම ප‍්‍රකාශ වලින් සමහර බටහිර වෛද්‍ය වෘත්තිකයන් ධම්මික පැණියට සාධනීය ප‍්‍රතිචාර දැක් වූ බව හෙළිවේ. කෙසේ වුවත් පොදුවේ ධම්මික පැණිය කෙරේ බටහිර වෛද්‍ය වෘත්තිකයන්ගේ ආකල්පය සාධනීය නොවේ. බටහිර වෛද්‍ය ක‍්‍රමයේ සමහර වෛද්‍ය වෘත්තිකයන් ධම්මික පැණිය හඳුන්වා දීමේ විද්‍යාත්මක වලංගුතාවය, සායනික පරික්ෂාවන් පිළිබඳ ආචාර ධර්ම ගැටලූ සහ නිසි ක‍්‍රියා පටිපාටිය නොසලකා රජයේ රෝහල්වල ධම්මික පැණිය යොදා ගැනීම වැනි කරුණු පිළිබඳව ප‍්‍රශ්න මතු කළහ.

අවසාන සටහන

අවසාන වශයෙන් ධම්මික පැණිය විද්‍යුත් මාධ්‍ය ආවරණයෙන් ප‍්‍රසිද්ධියක් ලබා ගැනීමේ අරමුණෙන් සහ පැණිය, පැතිර යන වසංගතයට විස්මිත ප‍්‍රතිකාරයක් ලෙස ඉදිරිපත් කිරීමෙන් ඉක්මණින් මුදල් ඉපයීමේ ප‍්‍රයත්නයක් සඳහා කපටි ලෙස සිංහල බෞද්ධ ජාතිවාදය යොදා ගැනීමේ උපක‍්‍රමයකි. ඒ තුළින් වෛද්‍ය බලධාරීන් සහ දේශපාලන නායකත්වය ඇතුළත් සියලූ පාර්ශ්වයන් මුළා කිරීමක් ද පවතින්නට ඇත. පොදුවේ ඉන් සැබෑ හෙළ වෙදකම සහ දේශීය දැනුම් සම්භාරයට කරන ලද හානිය වඩාත් විශාලය. ජනතාව, මාධ්‍යය සහ සෞඛ්‍ය බලධාරීන් නොමග යැවිමෙන් අයුර්වේද සහ හෙළ වෙදකමට වඩාත් වැඩි හානියක් කෙළේය. ඔහු සම්ප‍්‍රදායක් හෝ පාරම්පරික දැනුමක් නැතිව ගුණාත්මක භාවය පිළිබඳව කිසිම ආකාරයේ සාක්ෂියක් හෝ නැතිව තමා විසින්ම සකස් කළ දෙයක් දිව ඔසුවක් ලෙස ඉදිරිපත් කෙළේය. එම පුද්ගලයාට එරෙහිව පොලීසිය හෝ සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම පුදුමයට කරුණකි. 

Leave a Reply