You are currently viewing රාජවරෝදයම් සම්බන්දන් මහතා පිළිබඳ කෙටි සටහනක්..

රාජවරෝදයම් සම්බන්දන් මහතා පිළිබඳ කෙටි සටහනක්..

අඩ සියවසකට වැඩි කාලයක් දිවෙන ඔහුගේ දේශපාලන ජීවිතය පුරා රාජවරෝදයම් සම්බන්දන් මහතා දෙමළ ජාතික දේශපාලන ව්‍යාපාරයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළේ රටේ දේශපාලන දර්ශනයට තිරසාර බලපෑමක් ඇති කරමිනි.

ආර්. සම්බන්දන් මහතා 2001 සිට 2024 දී ඔහු මිය යන තෙක් දෙමළ ජාතික සන්ධානයට නායකත්වය දුන්නේය. ඔහු වෘත්තියෙන්  නීතිඥයෙක්වන අතර, 2001 සිට මිය යන තුරුම,  මීට පෙර 1977 සිට 1983 දක්වා සහ  1997 සිට 2024 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 14 වැනි විපක්ෂ නායකවරයා බවට පත් විය.

සුළු ජාතීන්ට හිමි  සමාන අයිතිවාසිකම් සඳහා සම්බන්දන් මහතා ක්‍රියා කළ අතර,  අවම වශයෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසි පරිදි  ක්‍රියාත්මක කිරීමට වෙහෙස දැරීය.  සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා පුළුල් මානව හිමිකම් ඉදිරියට ගෙන යාමට සහ එකමුතුකම දිරිමත් කිරීමට උපකාරී විය.මෙහිදී දෙමළ-මුස්ලිම්  අනවබෝධය දුරුකිරීමට ද  ඔහු ක්‍රියාත්මක විය.

ප්‍රථමයෙන්  තමා ශ්‍රී ලාංකිකකෙු බව අවධාරණය කළ ඔහු, “ශ්‍රී ලංකාව සිංහළ-දෙමළ-මුස්ලිම් ජනවර්ග ජීවත්වන බහු වාර්ගික, බහු ආගමික රටක් වශයෙන් විවිධත්වය අගයමින් ජීවත්වෙමු“ යන්න නිතර මතක්කර දුන්නේය. එලෙසම තමා සිංහල බෞද්ධ ලාංකිකයෙකු නොවන බවත් පෙන්වා දුන් හෙතෙම, මේ පදනමින් එක්සත්ව ජීවත්වෙමු යන්න නිතර මතක්කර දුන්නේය.

මේ අරමුණින් නොබෙදුනු එක්සත්  ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදාගෙන යුක්තිගරුකව සාමකාමීව සහජීවනයෙන් ජීවත්වීම සඳහා යහපාලන සමයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට වෙහෙස දැරීය. එහෙත් එය මල්පල ගැනිවීමට නොහැකි වුවත් සම්බන්දන්  අන්තවාදී මත දරන්නෙකු නොවීය.

1983 වසරේ සිදුවූ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ත්‍රිකුණාමලය, තැපැල් කන්තෝරුව පාරේ පිහිටි ඔහුගේ නිවස ගිනිබත් කරන ලදී.මේ නිසා දහස් ගණනින් සම්බන්දන් මහතාගේ නීති  ග්‍රන්ථ විනාශ විය. අවිනිශ්චිත වාතාවරණය යටතේ ටික කලක් තමිල් නාඩු ප්‍රාන්තයේ  ජීවත්විමට සිදුවිය. 

1985 තිම්පු සාකච්ඡා,1987 ඉන්දු-ලංකා ගිවුසුමෙන් අනතුරුව සම්පාදනය වූ 13වන  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, 1989 ජනාධිපති ප්‍රේමදාස යුගයේ ‘මංගල මුණසිංහ යෝජනා,2000 ජනාධිපති චන්ද්‍රිකා මැතිණියගේ පැකේජය,  2008 ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද සර්ව පාක්ෂික නියෝජිත කණ්ඩායමේ නිර්දේශ මත 16 වරක් පවත්වන ලද  සාක්ච්ඡා, 2016 යහපාලන ආණ්ඩුව යටතේ සාකච්ඡා යනාදි වශයෙන් සෑම සාකච්ඡාවලටම සජීවි ලෙස සම්බන්දන් මහකා දායක විය.  

මේ  කිසිදු හේතුවක් නිසා  ජාතියකට වෛර නොකල නායකයෙකුගේ ජීවිත කාලය තුළ ජනවාර්ගික ප්‍රශ්නයට නිත්‍ය දේශපාලන විසඳුමක් ලබා ගැනීමට නොහැකිවීම ශ්‍රී ලාංකිකයින් වන අපගේ අවාසනාවකි.

Leave a Reply