You are currently viewing ’80 ජූලි වර්ජනය සිහිපත් කිරීමක්..

’80 ජූලි වර්ජනය සිහිපත් කිරීමක්..

ජූලි මාසය, ලාංකේය දේශපාලනයේ කැපී පෙනෙන සිදුවීම් සටහන් කළ මාසයක් ලෙස සඳහන් කළ හැක. ’80 ජූලි වර්ජනය නමින් ප්‍රකට කම්කරු අරගලය මෙහි කැපී පෙනෙන සිදුවීමකි.මේ වන විට මෙම අරගලයට වසර 43 ක් සම්පූර්ණ වී ඇත. ඉතාම යුක්ති සහගත මානුෂික ඉල්ලීම්  කිහිපයක් මුල් කරගෙන හටගත් මේ සටන, එවක බලයේ සිටි ජේ.ආර්. ජයවර්ධන රජය විසින් දේශපාලන ඉතිහාසයට අපකීර්තිමත් සළකුණක් තබමින් අනුකම්පා විරහිතව තලා දමන ලදි.

මෙහි කණගාටුදායක ස්වභාවය වන්නේ අද වන විට මෙම කම්කරු නැගී සිටීම පිළිබඳ මෙරට ජනතාවගේ මතකයෙන් ඈත්ව තිබීමයි. සටනට නායකත්වය දුන් දේශපාලන හා වෘත්තීය ක්‍රියාකාරීන් දේශපාලනයෙන් ඈත්වීමත්, වෙනත් දේශපාලන පැතිමානයන් වෙතට යොමු වීමත් මීට  හේතුවී තිබේ. ඇතමුන් මිය ගොස් ඇත. තවත් සමහරු වයෝ වෘද්ධභාවයට පත්ව සිටිති. මේ පිළිබඳව සංවාදශීලි ප්‍රකාශනයකට යොමුවිය හැකි වෘත්තීය හෝ දේශපාලන ක්‍රියාධරයින් සිටීනම් ඒ අතලොස්සකි. මෙම සිදුවීම ගැන ස්වකීය මතකය අවදිකළ හැකි වර්ජකයින්ද සීමිත පිරිසක් සිටින අතර, ඔවුහුද ක්‍රියාශීලි සමාජීය කාර්යයන්ගෙන් ඉවත්ව සිටිති. ’80 ජූලි වර්ජනය සිහිපත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද මෙරට වාමාංශික හා වෘත්තීය සමිති ව්‍යාපාරය ඉදිරියට නොපැමිණීමද කණගාටුදායක කරුණකි.

වැඩිවන ජීවන අංකයට අනුව රුපියල් 300 ක මාසික වැටුප් වැඩීමක් ඉල්ලා සිටීම මෙම වර්ජනයේ ඉල්ලීම් අතර ප්‍රමුඛ විය. මෙය ඉතාම සංවේදී ඉල්ලීමකි. වැඩකරන ජනතාවගේ ජීවන අවශ්‍යතාවය හා තදින්ම බැඳුනකි. නමුත් පැවති පාලනය මෙම ඉල්ලීමේ හඬට ඇහුම්කන් දීම ප්‍රතික්ෂේප කළේය. මේ කරුණ අරඹයා ඇතිවූ ගැටුමේදී පාලකයින් විසින් රත්මලාන දුම්රිය සේවකයින් 12 දෙනෙකුගේ වැඩ තහනම් කරන ලදි. ඒ යටතේ මතුවූ කම්කරු විරෝධය දිවයින පුරා ක්‍රියාත්මක වූ මහා වැඩ වර්ජනයක් බවට පරිවර්තනය විය.

සෝමපාලගේ අවමඟුල් පෙරහැර(ඉහළ), ජුනි 5 වැනිදා පැවති කෑම පැයේ පිකටින් ව්‍යාපාරයට එරෙහිව පොලිස් කැරළි මර්ධන භටයින්(පහළ)

කම්කරු පංතියේ එක්සත් ක්‍රියාමාර්ගයක් හැටියට ඇරඹුණ මෙම  මහා වැඩ වර්ජනය සංකේතාත්මකව සිහිපත් කිරීමක් පසුගිය 18 වෙනි දින කොටුව ගුරු මැදුරේ දී පැවැත්වුණි. මෙම සම්මන්ත්‍රණයේ පිළිගැනීම සිදුකරමින් නීතීඥ ශ්‍රීනාත් පෙරේරා සහෝදරයා කියා සිටියේ, පරාජයන් රාශියකින් කෙළවර වුවද මෙම මහා වර්ජනය මෙරට සංවිධානය වූ කම්කරු පංතියේ තීරණාත්මක නැගී සිටීමක් බවයි.

ඔවුන් අභියෝගකළේ 5/6 ක පාර්ලිමේන්තු බලය හා මෙරට ප්‍රථම විධායක ජනාධිපති බලය සතුවූ ආණ්ඩුවකට යැයි ශ්‍රීනාත් සහෝදරයා මෙහිදී කියා සිටියේය. මෙය ස්වරූපයෙන්ම කම්කරු පංති අරගලයක් බව ඔහු සඳහන් කළේය. වර්ජනයට මූලිකත්වය දුන් ඇතැම් නායකයින් පලා යද්දී වර්ජනයේ භාරදූර කාර්යය භාරය ඉදිරියට ගෙන යාමට තරම් ධෛර්යයක් ඇතැම් වර්ජකයන් සතුවූ බවද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ සභාපති ජී.ඩී.දසනායක සහෝදරයා අදහස් දක්වමින් ප්‍රකාශයට කළේ, කම්කරු පංතිය ස්වකීය අයිතිය වෙනුවෙන් ස්වාධීනව පෙනී සිටි අවස්ථාවක් මේ වර්ජනයෙන් මතුවූ බවයි.ජාති,ආගම්,කුල භේදයෙන් තොරව පංතියේ බලය පෙන්වීමට මෙහිදී කම්කරු පංතිය ඉදිරිපත් වූයේයැයි ඔහු පවසා සිටියේය.ශක්තිමත් රජයක් අකර්මන්‍ය කිරීමට එක්සත් වූ කම්කරු පංතියට හැකි බව මේ වැඩ වර්ජනයෙන් පෙන්නුම් කළේයැයිද ඔහු සඳහන් කළේය.

නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්තානයේ සභාපති සිරිතුංග ජයසූරිය සහෝදරයා අදහස් දක්වමින්.. නීතිඥ ශ්‍රීනාත් පෙරේරා, ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ සභාපති ජී.ඩී.දසනායක යන සහෝදරවරු පසකින් සිටී..

සාධාරණ ඉල්ලීම් මත පැන නගුණු  වර්ජනය අමානුෂික ලෙස තලාදැමීමට තරම් එවක රජය දුර්දාන්ත වූ අතර ‘වර්ජකයින් සියලු දෙනාම කනත්තට යැවිය යුතු බව’ ජයවර්ධන ආණ්ඩුවේ සිටි ප්‍රබල අමාත්‍යවරයෙකු වූ ලලිත් ඇතුලත්මුදලි කියා සිටියේ යැයි ද දසනායක සහෝදරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 මෙම වර්ජනය සිදුවූයේ වාමාංශික ව්‍යාපාරයේ බරපතල පරාජිත තත්ත්වයකදී හා පාර්ලිමේන්තුවේ විපක්ෂයද ඉතාම දුර්වලව පැවති අවස්ථාවකදී බවත් එසේ වුවද කම්කරු ජනතාව සිය සටන්කාමිත්වය පෙන්වීමට ඉදිරියට ආ බවත් නිදහස් වෘත්තීය සමිති ව්‍යාපාරයේ සභාපති සිරිතුංග ජයසූරිය සහෝදරයා කියා සිටියේය. මෙම සටනේ ප්‍රමුඛයින්වූ ඔස්වින් ප්‍රනාන්දු, ගුණසේන මහනාම, සා.සත්‍යපාල, අලවි මව්ලානා යන සහෝදරවරු ද මෙහිදී සිහිපත් කළේය. නව සමසමාජ පක්ෂය හා එහි වෘත්තීය සමිති මෙම සටනේ විශාල කාර්යය කොටසක් ඉටුකළ බවද ඔහු සඳහන් කළේය.

1980 අගෝස්තු 8 සත්‍යග්‍රහයේදී නව සම සමාජපක්ෂයේ වික්‍රමබාහු, වාසුදේව සහ ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් අලව් මව්ලානා ඇතුළු වැඩවර්ජනයට නාකකත්වය දුන් ක්‍රියාධරයින් පිරිසක් අත්අඩංගුවට පත්විය..

 මෙම අවස්ථාවේදී පෞද්ගලික අංශයේ ජූලි වර්ජකයන්ගේ සංගමය වෙනුවෙන් ඒ.ඒ.සෝමපාල සහෝදරයා අදහස් ප්‍රකාශ කළේය. යම් වරප්‍රසාදිත පසුබිමක සිටි පෞද්ගලික අංශයේ සේවකයින් ද පැවති පාලනයේ දුෂ්ට, උද්දච්ච ස්වරූපයට එරෙහිව රාජ්‍ය සේවකයින් සමග මෙම සටනේදී අත්වැල් බැඳගත් අන්දම ඔහු පෙන්වා දුනි. ජයවර්ධන රජය ලංකාවේ ප්‍රථම වතාවට පුද්ගලික අංශයට බලපාන ලෙස අත්‍යවශ්‍ය සේවා නියෝග නිකුත් කළ බවද ඔහු කියාසිටියේය.වර්ජනයට

සම්බන්ධ වූ පෞද්ගලික අංශයේ සේවකයින්ට සාධාරණයක් ඉටුකර ගැනීමට දීර්ඝ කාලීන දුක් ගැහැට රැසකට මුහුණ දුන් ආකාරය ඔහු පැහැදිලි කළේය.

ඛේදනීය තත්වයන් ගණනාවක් ඇති වුවද පැවති ශක්තිමත් රජයකට එරෙහිව සංවිධානය වූ කම්කරු නැගිටීමක් 80 ජූලි වර්ජනයෙන් ප්‍රකාශයට පත්වූ බව පැහැදිලිය. මේ වර්ජනයෙන් ලක්ෂයකට වැඩි පිරිසකට රැකියා අහිමි වූ අතර ජීවත්වීමේ අපහසුතාවයට මුහුණ දීමට නොහැකි කම නිසාම 53 දෙනෙකු සියදිවි හානි කරගත් බවද කියැවේ.නමුත් බලවත් රජයක් සලිත කිරීමට මෙම මහා වර්ජනය සමත් විය.එමෙන්ම අප රටේ දේශපාලන ක්ෂේත්‍රයට මෙමගින් ලැබුණු අත්දැකීම් රාශියකි.

Leave a Reply