
මෙම ලිපිය උපුටා ගත්තේ හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ 60 දශකයේ ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ එකමුතුවේ ‘විද්‍යාර්ථ’ ප්රකාශනයට සැපයූ ලිපියකිනි.
අපේ රට විනාශය කරා ගෙන ගොස් තිබීමේ ප්‍රධාන චූදිතයා වන්නේ මෙතෙක් රට කරවූ දේශපාලකයන් බව දසතින් ඇසේ. නමුත් ඒ දේශපාලකයන් කිසිවෙකු ව්‍යවස්ථා විරෝධීව එම බලය අත්පත් කරගෙන නැත. එසේ නම් ව්‍යවස්ථානුකූලව එහි සැබෑ වගකීම භාරගත යුත්තේ කවරෙකුද යන්නත්, සෞභාග්‍යය කරා රට ගෙන යාමට විද්‍යාර්ථීන් වන අපට පැවරෙන ජාතික යුතුකම කුමක් ද යන්නත් මෙම කෙටි ලිපියෙන් විමසා බලමු.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා අංක 3 විධිවිධාන අනුව මෙම ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත. එම විධිවිධාන ක්‍රියාත්මකවීමද භුක්තිවිඳීම ද සිදු කරන ආකාරය 4 ව්‍යවස්ථාවේ (අ), (ආ), (ඇ), (ඈ), හා (ඉ) යටතේ දක්වා ඇත. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලයත්, අධිකරණ බලයත් ක්‍රියාත්මක කළ යුතු වන්නේ ජනතාව විසින් පාර්ලිමේන්තුවට තෝරා පත් කරනු ලබන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් බව එකී 4(අ) හා 4(ඇ) ව්‍යවස්ථා යටතේ ද, රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කළ යුතු වන්නේ ජනතාව විසින් තෝරා පත් කරනු ලබන ජනාධිපතිවරයා විසින් බව එහි 4(ආ) ව්‍යවස්ථාව යටතේ ද දැක්වේ. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන අනුව මෙරට එම සම්පූර්ණ පාලන බලතල ක්‍රියාත්මක කරන එකී ජනතා නියෝජිතයන් පත්කරනුයේ ඡන්ද හිමිකම ඇති ඡන්දදායකයා විසින් මිස අන් කිසිවෙකු විසින් නොවේ. මෙරට ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන්නට සෘජුවම ඡන්දදායකයාට බලය පවරන එකම ව්‍යවස්ථාමය විධිවිධානය ජනමතවිචාරණය වන අතර එයට ඡන්දදායකයාගේ අනුමැතිය අත්‍යවශ්‍ය වුවද එය කෙටුම්පත් කිරීම, සම්මත කිරීම හෝ නොකිරීම පිළිබඳ තීරණාත්මක බලධාරියා බවට පත්වන්නේ ජනතාව විසින් පත් කරනු ලබන ජනතා නියෝජිතයන් ම වේ. ඉහත කී කරුණු අනුව සනාථ වන්නේ මෙරට සෞභාග්‍යය හෝ විනාශය කරා ගෙන යාමේ ජනතා නියෝජිතයා තෝරා පත් කරන්නේ ඡන්දදායකයා වන බවය.
මෙරට ඡන්ද ඉතිහාස දෙස බලන කල යම් යම් ඡන්ද දූෂණ වරින්වර හා තැනින් තැන තිබුණ ද ඒ එකක් වත් සමස්ත ඡන්ද ප්‍රතිඵලයම උඩු යටිකුරු කරන තරම් බැරෑරුම් ඒවා ලෙස නොසැලකේ. ඒනිසා අද දක්වා ම මෙරට බලයට පත්වුනු සෑම පාර්ලිමේන්තුවක් ම මෙන්ම ජනාධිපතිවරයෙකුම තෝරා පත්කරගෙන ඇත්තේ මෙරට ඡන්දදායකයාගේ සමස්ත කැමැත්ත මත බව පෙනේ. කෙතරම් අයථා බලපෑම් ඡන්ද කූඩුවට පිටත දී සිදුව තිබුණ ද ඡන්දදායකයාට තම ඡන්දය නිදහසේ ප්‍රකාශ කිරීමට ඡන්ද කූඩුව තුළදී අවහිරකම් සිදු වී ඇති බවක් නොකියැවෙන නිසා මෙතෙක් මෙරට ප්‍රකාශ කර ඇති ඡන්දයක් හෘද සාක්ෂියට පටහැණියයි සිතීම අපහසුය. එසේවුවද, අද මේ රටේ මෙම විනාශයට තල්ලුවී තිබීමට වගකිව යුතු වන්නේ ඡන්දදායකයා පමණකැයි කියා කීමට අප ඉක්මන් නොවිය යුතුව ඇත.
ජනතා නියෝජිතයන් පාලන බලය පැහැර ගත්තේ රවටන්නට බොරු පැවසීමෙන් ය. නැතහොත් නානාවිධ අයුතු බලපෑම් කිරීමෙන් හා තැබූ විශ්වාසය කඩකිරීමෙන්ය යන්න වෙනම කතාවකි. ජනතාව රැවටීමට ලක් වූයේ ඔවුන්ට ප්‍රමාණවත් දේශපාලන සාක්ෂරතාවක් නොතිබීම නිසායයි කීමද තවත් කතාවකි. නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵලය භුක්තිවිඳි උපාධිධාරීන් වන අපට එහිදී පැවැති හා පවතින වගකීම කුමක්ද යන කතාව අනෙකුත් කතාවලට වඩා අපේ හදවත්වලට කිඳා බැසිය යුතු වැදගත්ම කතාවයි. රටට සිදුව ඇති මහා විනාශයට අප කෙතෙක් දුරට වගකිව යුතුද යන්න මෙම ලිපියේ දැන් සලකා බලමු.
අප විද්‍යාර්ථීන් ලෙස ජනතාවට උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කර ඇති බව කියා අපගේ යුතුකම ඉටු කර ඇතැයි යමෙකු සිත හදාගන්නවා ඇත. සැබැවින් ම අප එකිනෙකා එක එක ප්‍රමාණයෙන් ජනතාවට සේවය කර ඇති බව ඇත්තකි. එනමුත් සැබෑව නම් පසුගිය දශක කීපය තුළ ම දවසින් දවස රට මහා අගාධයකට තල්ලු වී ගොස් රටේ බුන්වත් බව ලෝකයා ඉදිරියේ සනාථ වි මුළු රටම අනාථ විමෙන් බේරා ගැනීමට අප කර තිබූ සේවයට යන්තම්වත් නොහැකි වූ බවය. වෙනත් වචනවලින් කිවහොත් නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵලය භුක්තිවිඳි උපාධිධාරීන් වන අපගේ දෑස් පෑදීමට වැයබර දැරූ ජනතාව මහා අගාධයකට තල්ලු වීම වැලැක්වීමට අපට තිබූ ජාතික යුතුකම අපගෙන් ගිලිහී ඇත. එනම් රටේ දිශානතිය තීරණය කරනුයේ ඡන්දය බවත්, ඡන්දයට කළ හැකි යහපත හෝ අයහපත කෙතරම් බරපතලද යන බවත් ජනතාවට ඒත්තු ගැන්වීමට ඇති අපගේ යුතුකම, වගකීම හා බැඳීම අපගෙන් පසු ඉටු වී නැති බවය.
ඉහත දක්වන ලද පරිදි රට මුහුණ පා ඇති විනාශයේ තව තවත් පතුලට ම යනවා ද නැතිනම් තිරසාර සෞභාග්‍යය උදාකර ගන්නවා ද යන්න තීරණය වන්නේ දේශපාලන සාක්ෂරතාව සහිත ඡන්දදායකයා ඡන්ද කූඩුවේ දී දක්වන ප්‍රතිචාරය අනුවය. මෙහිදී දේශපාලන සාක්ෂරතාවය යන්නෙන් සරලව අදහස් කරන්නේ තමා ඇතුළු ජනසමාජයේ පැවතෙමින් තිබුණු හා පැවතෙමින් තිබෙන අපගේ ජීවිතවලට අදාල වටපිටාව ගැන දැන ගැනීමට අත්‍යවශ්‍ය තොරතුරු අවබෝධකර ගැනීමත්, ඒ අවබෝධය පදනම් කරගෙන ඉදිරි අනාගත දේශපාලන යුතුකම වටහා ගැනීමත් ය.
දේශපාලන වශයෙන් අප අද සම්බන්ධ වී සිටින සෑම දේශපාලන පක්ෂයක්ම පාහේ අඩු වැඩි වශයෙන් වැරදි රාශියක් ඇත. ඒ වැරදි නිවැරදි කරවීමට හැකි ජනතාවට දේශපාලන සාක්ෂරතාව ලබා දීමේ උචිතතම වගකීම දැරිය යුතු පාර්ශවකරු විය යුත්තේ විද්‍යාර්ථීයන් ය. එය කළ යුත්තේ තම පෞද්ගලික පක්ෂ දේශපාලන මතය ඡන්දදායකයන්ට කාවැද්දීමෙන් නොව ඒ ඒ දේශපාලන පක්ෂවලට බලකළ හැකි අයුරින් ඡන්දදායකයන්ට දේශපාලන සාක්ෂරතාව අපක්ෂපාතී ව ලබා දීමෙනි.
පාලන බලතල ලබාගැනීම පිණිස ක්‍රියාත්මක වන මෙරට සෑම දේශපාලන පක්ෂයකම පාහේ තම පක්ෂය ක්‍රියාවට නැංවීමට ප්‍රකාශ කරන ප්‍රතිපත්ති සකසාලීම කර ඇත්තේ එම පක්ෂයේ බලධාරීන් විසින් මිස එම පක්ෂය ගැන උනන්දුවක් හා දේශපාලන සාක්ෂරතාව ඇති පාක්ෂිකයා විසින් නොවේ. අද සිදුවනුයේ තම දේශපාලන පක්ෂය තීරණය කරන පක්ෂ ප්‍රතිපත්තිවලට කිසිදු විරෝධතාවක් නොදක්වා කීකරු අනුගාමිකයන් බවට පාක්ෂිකයා පත්වීමය. එනම් වලිගය විසින් බල්ලා නැටවීමය. තම පක්ෂය නිවැරදි මාවතට ගැනීමට ඡන්දදායකයන්ට ශක්තිය ලැබෙන්නේ ඔවුන්ට දේශපාලන සාක්ෂරතාව ලැබීම මගිනි.
බොහෝ ඡන්දදායකයෝ එක් එක් ඡන්ද විමසීමේ අරමුණු හා ප්‍රතිඵල එයටම විශේෂිත වන බව නොදනිති. පාර්ලිමෙන්තු මැතිවරණයක ප්‍රතිඵලවලින් සනාථ කෙරෙනුයේ පාර්ලිමේන්තුව විසින් නීතිය බවට සම්මත කරනු ලබන වඩාත්ම ජනතාව අනුමත කරන ජාතික ප්‍රතිපත්ති රාමුව කුමක්ද යන්නය. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලයත්, ජනතාවගේ අධිකරණ බලයත් ක්‍රියාත්මක කළ යුතු ආකාරය දක්වන ජාතික ප්‍රතිපත්ති රාමුව බවට එය පත් වෙන බව පාක්ෂිකයා විසින් වටහා ගත යුතුය.
ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කළ යුතු වන ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලබන ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලබන ජනාධිපතිවරණය ගැනද බොහෝ ඡන්දදායකයන්ට මෙන්ම දේශපාලකයනටද ඇත්තේ නිවැරදි අවබෝධයක් නොවේ. අද වේදිකාවේත්, සෑම මාධ්‍ය සාකච්ඡාවලත් තෝරා පත්කර ගතයුතු ජනාධිපතිවරයාගේ උච්චානුවිතභාවය ගැන බර තබන්නේ ජනාධිපතිවරයාට අදාල ව්‍යවස්ථානුකූල කාර්යභාරය වන ‘රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කළ යුතු’ ආකාරය නොව පාර්ලිමේන්තුවට අදාළ ව්‍යවස්ථානුකූල කාර්යභාරය වන පාර්ලිමේන්තුව විසින් නීතිය බවට සම්මත කරනු ලබන ජාතික ප්‍රතිපත්ති රාමුව හා ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කළ යුතු ආකාරය අනුවය. එනමුත් ජනාධිපතිවරණයක ප්‍රතිඵලවලින් ජනතාව සනාථ කළයුතුවන්නේ රටේ රාජ්‍ය පාලනය නිරිපාක්ෂිකව මෙන්ම කිසිදු ජාතියකට, භාෂාවකට, ආගමකට, කුලයකට, ජන කණ්ඩායමකට අගතියක් සිදු නොවන පරිදි ඉතාම සාධාරණව හා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි අය ලෙස ජනතාව තෝරා පත් කරන අය කවුරු ද යන්නයි. දේශපාලන සාක්ෂරතාව නොමැති බොහෝ ඡන්දදායකයන් රටේ එක් එක් විෂයට අදාල ජාතික ප්‍රතිපත්තිය තීරණය කිරීමට ජනාධිපතිවරයාට බලවරමක් ඇතැයි සිතුවද පාර්ලිමේන්තුව අනුමත කරන ජාතික ප්‍රතිපත්ති සාධාරණ ව හා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට මිස, තමන්ට කැමති ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට බලය ලබාදෙන කිසිම ව්‍යවස්ථාමය විධිවිධානයක් දැනට නැත. විධායකයේ ප්‍රධානියා ලෙසත්, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙසත් රජය පාලනය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රතිපත්ති පිළිබඳ ව පමණක් ජනාධිපතිවරයාට ව්‍යවස්ථාමය බලය ඇති අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බහුතරයක් තමාට අභිමත පරිදි හැසිරවීමට හැකි අවස්ථාවල ජාතික ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට හැකියාවක් ආරෝපණය වේ. එනමුත් එය ව්‍යවස්ථාමය බලය පැවරීමක් නොවන බව අප අමතක නොකළයුතුව ඇත. පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද විමසීම්වල අරමුණ වන්නේ එම ප්‍රදේශයට සීමිත වන පරිදි සේවා සැලසීම මිස ජාතික ප්‍රතිපත්තිමය කරුණුවලට මැදිහත් නොවීම බවද ඡන්දදායකයාට අවබෝධකරවීමට අප ඔවුන්ට සහාය විය යුතුය.
මෙබඳු කරුණු ගැන දේශපාලන සාක්ෂරතාව ඡන්දදායකයාට නොමැති පසුබිමක දී රට අයාලේ යාම වැළැක්වීමට නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵලය භුක්තිවිඳි උපාධිධාරීන් ලෙස අප කළ යුත්තේ කුමක් ද යන්න දැන් සාකච්ඡා කරමු. ඉහත සඳහන් කළ ලෙසින් ම ජනතාවට දේශපාලන සාක්ෂාරතාව ලබාදීම තනි තනි පුද්ගලයන් ලෙස අපට කිසිදා නිම කළ නොහැකි කාර්යයක් වනු ඇත. එනිසා අප විසින් කළයුතුව ඇත්තේ උපාධිධාරීන් ලෙස තම තමන් සම්බන්ධ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සමිති සංවිධානවලට හැකි පමණින් ගොනුවීමත්, එම සමිති සංවිධානවල අරමුණු හා අභිමතාර්ථවලට නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභීන්ලෙස ජනතාවට තිරසාර සුගතියක් මිස අගතියක් සිදු නොවන පරිදි දේශපාලන සාක්ෂරතාව ඡන්දදායකයාට ලබාදීමටත් ක්‍රියා කිරීම ඇතුළත් කරවීමයි.
සරත් මායාදුන්නේ
- සෞභාග්‍ය කරා රට ගෙනයාමට විද්‍යාර්ථීන් වන අපට පැවරෙන ජාතික යුතුකම.. - March 5, 2025
- තිස්පස් වරක් ජනපති සම්මානය දිනූ නැටුමට සූර පීටර් සූරසේන දිවි රඟමඩල හැර යයි.. - March 2, 2025
- අතුරුදහන් කළ ප්‍රගීත්ට යුක්තිය ඉටුවන්නේ කවදාද ? - February 24, 2025