ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව
[හතරවන කොටස]
ඇතැම් සේවා ස්ථානවල සිදුවන අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීම්වල දී ඊට භාජනය වන කම්කරුවන්ට එකී තීරණවලට එරෙහිව යාමට තැනක් තිබේ. ඒ කම්කරු විනිශ්චය සභාවයි. ශ්‍රී ලංකාව පුරා ස්ථාන 34කට අධික සංඛ්‍යාවක පිහිටුවා ඇති කම්කරු විනිශ්චය සභා වෙත ඉල්ලුම්පතක් යොමු කල යුත්තේ කාර්මික ආරවුල් පනතේ 31 ඊ වගන්තිය ප්‍රකාරවයි. තවත් සමහර සේවා ස්ථාන පාඩු ලබන බව පවසා හිටි හැටියේ ම සේවකයින්ගෙන් සේවය අවසන් කිරීමට පියවර ගන්නා අවස්ථා තිබේ. එවැනි විටෙක බලපාන්නේ 1971 අංක 45 දරණ සේවකයින්ගේ සේවය අවසන් කිරීමේ පනතයි. මෙහිදි අදාළ සේවා යෝජකයා එකී පනතේ විධිවිධාන නිසි පරිදි අනුගමනය කරමින් සාධාරණ වන්දි මුදලක් අදාළ සේවකයින්ට ලබා දී සේවය අවසන් කරන්නේ නම් ගැටලුවක් පැන නොනගී.
සේවා යෝජකයන් එකී ප්‍රතිපාදන නිසි පරිදි අනුගමනය නො කිරීම නිසා කාර්මික ආරවුල් බහුතරයක් පැන නැගී ඇති බව නීති රචකයින්ගේ මතයයි. මේ නිසා බොහෝ සේවකයින්ට තම සේවා යෝජකයින්ට එරෙහිව කම්කරු කොමසාරිස්වරයා වෙත පැමිණිලි කිරීමට සිදුව තිබේ. සේවය අවසන් කිරීමේ පනත යටතේ ක්‍රියා කිරීමේදි කම්කරු කොමසාරිස්වරයාට ‘විනිශ්චයික බලතල’ ලැබී ඇති බැවින් ඔහු එම පනත යටතේ දෙනු ලබන සහන ‘නිතීමය සහන‘ වන බව ‘ලංකා දුම්කොළ සමාගම එදිරිව ඉලංගසිංහ (1986) 1 SLR 1’ නඩුවේ දී තීරණය වී තිබේ. එසේ නම් මෙම විනිශ්චයික බලතල ක්‍රියාත්මක කිරීමේ දී කම්කරු කොමසාරිස්වරයා ස්වභාවික යුක්ති මූලධර්මය අනුගමනය කළ යුතු බව නීතියට අනුව පිළිගත යුතු කරුණකි.
ස්වභාවික යුක්ති මූලධර්මය මෙන්ම බලාතික්රමණ රීතිය ද පරිපාලන නීතියේ විශේෂ අංග දෙකකි. ස්වභාවික යුක්ති මූලධර්මයෙන් අදහස් කෙරෙන්නේ ප්‍රශ්නයක් විසඳීමේ දී ‘දෙපාර්ශවයටම ඇහුම්කන් දිය යුතුය‘ යන්න හා විනිසුරු අපක්ෂපාතී විය යුතුය යන්නයි. බලාතික්රමණ රීතියෙන් අදහස් කෙරෙන්නේ කිසියම් පරිපාලන විනිශ්චය අධිකාරයක් හෝ පුද්ගලයකු නීතියෙන් තමන්ට පැවරී ඇති බලයට පිටින් ක්‍රියා නොකළ යුතු බවයි. එසේ බලය ඉක්මවා කටයුතු කිරීම බලාතික්රමණයක් ලෙස සැලකේ.
මෙබඳු සේවය අවසන් කිරීමකට අදාළ ගැටලුවක දී බලාතික්රමණයක් සිදුවී තිබේද යන්න වැදගත් නීතිමය ප්රශ්නයකි. මේ පිළිබඳව අවධානය යොමු කෙරුණු වැදගත් නඩු තීන්දුවක් ලෙස ‘පැන්ඩා ලංකා ටෝයිස් එක්ස්පෝර්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් එදිරිව කම්කරු කොමසාරිස් ජනරාල් සහ තවත් අය CA (writ) 2412/2004 දරණ වර්ෂ 2006 ජුලි 04 වැනිදා විනිශ්චිත නඩුව හැඳින්විය හැකිය’. ගරු අභියාචනාධිකරණය විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා මැතිතුමා විසින් දෙනු ලැබු මෙම නඩු තීන්දුවේදි ප්‍රශ්න ගත කරුණ වුයේ විමසීමක් පවත්වනු ලබන පුද්ගලයා විසින්ම ඒ සම්බන්ධව තීරණයක් ලබා දිය යුතුද යන්න හා කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාට බලය අභිනියෝජනය කිරීමක් සිදු කළ හැකිද යන්නයි.
මෙම නඩුවේ කරුණු වලට අනුව, 1971 අංක 45 දරණ සේවකයින්ගේ සේවය අවසන් කිරීමේ පනතට අනුව පෙත්සම්කරුගේ සේවකයින් වෙත පළමු වගඋත්තරකරු විසින් වන්දි ප්රදානය කර තිබිණි. මෙහිදී විමසීම පවත්වා තිබුණේ පළමු වගඋත්තරකරු නොවේ. ඔහු විමසීම් පැවැත්වීමට සිය බලය දෙවැනි වගඋත්තරකරුට පවරා තිබු අතර, දෙවැනි වගඋත්තරකරුගේ නිර්දේශය මත පළමු වගඋත්තරකරු විසින් වන්දි ප්රදානය කිරීමට නියෝග කරන ලදි. මෙහිදී අධිකරණය තීරණය කළේ විසඳිය යුතු ප්‍රශ්න සඳහා විමසීමේදි ඉදිරිපත් වු සාක්ෂි සහ ලේඛන පිළිබඳව පළමු වගඋත්තරකරු සැලකිල්ලක් දක්වා ඇති බවක් නොපෙනෙන බවයි. මෙහිදි 1971 අංක 45 දරණ සේවය අවසන් කිරීමේ පනතේ 6 වැනි වගන්තිය කෙරෙහිද අධිකරණයේ අවධානය යොමු විය.
‘විභාග කරුණු ලබන පුද්ගලයා විසින් තීරණය කරනු ලැබිය යුතුයි‘ යන සිද්ධාන්තය ද මෙ මඟින් උල්ලංඝනය වී ඇති බව අධිකරණයේ මතය විය. ඒ අනුව එය බලය ඉක්මවා කටයුතු කිරීමකි. මේ අනුව කම්කරු කොමසාරිස්වරයා විසින් දී තිබු නියෝගය බලාතික්රමණයක් බව තීන්දු කළ අභියාචනාධිකරණය, ඊට එරෙහිව ඉදිරිපත් කර තිබු සර්ෂියොරාරි රීට් අයදුම්පත්‍රයට අවසර දෙන ලදි.