මැදපරෙදිග යුධගැටුම් වල අළුත්ම ජවණිකාව දැන් භූ දේශපාලන කරළියට පැමිණ ඇත්තේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඒකඟවූ තාවකාලික සටන් විරාමයත් ඔස්සේය. 2023 ඔක්තෝම්බර් 07 වැනිදින හමාස් සංවිධානය එල්ල කළ කෲර සහ අමානුෂික ත්‍රස්ත ප්‍රහාර බටහිර ලෝකයේ යුධ ශූර ඊශ්‍රායලය තූෂ්නිම්භූත විය. ලෝකවාසී සියළු දෙනාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වමෙින් ඇමෙරිකාවේ අනුග්‍රහය යටතේ පලස්තීන ගාසාතීරයේ ජන සංහාරය මිනිස් ඝාතන, මූලික මානුෂික අයිතිවාසිකම් ඇතුළු ජාත්‍යන්තර යුධ නීති උල්ලංඝනයන් තාවකාලිකව නැවතී ඇත්තේ මිනිස් ජීවිත 48000 ඉක්මවා නැති කරමින්ය. ඊශ්‍රායලය සිය ආත්ම ආරක්ෂාවට සහ සිය පුරවැසියන් ප්‍රාණ ඇපකරණයෙන් නිදහස් කරගැනීමට දියත් කල අමාණුෂික සහ විනාශකාරී යුද්ධය ඉතිහාසයේ කුමණ ආකාරයකටවත් සාධාරණීය කරගැනීමට අපොහොසත් වනු ඇත. නවීණ යුධ තාක්ෂණයේන් සහ බුද්ධි තොරතුරු සම්පිණ්ඩන විශේෂඥ ඊශ්‍රායලයට එකද ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට නොහැකි විය. කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහය දුන් ඇමරිකාවේ බයිඩන් ජනාධිපතිවරයාගේ සහ ජර්මණියේ ඕලාෆ් ෂූට්ස් චාන්සලර් වරයාගේ රජයන්ට මහජනතාවගේ අප්‍රසාදය දැඩිව එල්ල විය.
ඉහත ඡන්දයේ පුරෝකථනය දේශපාලනික උවමනාවන් තකා දේශපාලන සහ අපරාධ නඩුවලට වරදකරුවන් වන සිරකරුවන් නිදහස් කරලීමේ ආදීනව, ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි පැවැත්මට කරන බලපෑම පිලිබද විමසුමක් කිරීම මූලික කරගෙන අදහස් කිහිපයක් පෙළගැස්වීමටය.
ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය
ප්‍රජාතන්ත්‍රවාදය යහපැවැත්ම රඳාපවතිනුයේ එම පාලන ක්‍රමවේදය තුලනාත්මකව ක්‍රියාකරවීම බලගන්වන විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය වපසරිය ශක්තිමත් වුවහොත් පමණි. ඊට අමතරව ඕනෑම සමාජයක මූලික මිනිස් අයිතිවාසිකම්, සංවිධාන වීමට සහ භාෂණයේ සහ ප්‍රකාශණයේ නිදහස ප්‍රමාණවත්ව පැවැත්ම ප්‍රජාතන්ත්‍රවාදය මුල් බැසගැනීම වේගවත් කරවයි. විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණ ත්‍රිත්වය ස්වාධීනව කටයුතු කරනවා යන හැඟීම විස්වාශය පොදුජනමතය වීම ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යාවශ්‍ය ගුණාංගයයි. එහෙත් දේශපාලන බලය රැක ගැනීමට සහ උඳුරාගැනීමට බොහෝ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල දේශපාලනඥයින් කටයුතු කරන ආකාරය ගැන සෑහීමකට පත්විය නොහැක. මෙම හේතුවම පාලකයින් සහ පාලිතයින් අතර පවතින අනොන්‍ය විශ්වාසය දැඩිලෙස පළුඳුකර තිබේ. එබැවින් මැතිවරණ වලින් මහජන මතය සිය වාසියට හරවා බලය ලබා ගත්තද එය ශක්තිමත්ව පවත්වාගෙන යමින් ජනතාව අපේක්ෂා කරන යහපත් පාලන ක්‍රමවේදයක් තුලින් ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කරවීම විශාල අභියෝගයක්ව තිබේ. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ජනතාවගේ සංජානනය රැකගැනීම වචනයෙන් සහ ක්‍රියාවෙන් ඔප්පු කරවීමට පාලකයින් වගබලා ගතයුතු වේ.
සමාජයේ භීෂණය, ත්‍රස්තවාදය සහ අපරාධ අවම කරගැනීමට මෙය දැඩි පිටිවහලක්වේ. ශක්තිමත් ආර්ථික පසුබිමක් සහිත සහ සංවර්ධනය වෙමින් පවතින සියළුම රටවල් වල රජයන් ජනතාවට ඉටුවිය යුතු යුක්තිය සාධාරණීය කිරීම උදෙසා කැපවිය යුතුවේ.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී මහ දෙවොලේ අවුල – ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක සමාව
2020 ජනාධිපතිවරණයේ පරාජය බාරගැනීමට ප්‍රතික්ෂේප කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආධාරකරුවන්ට වොෂින්ග්ටන් අගනුවර 2021 ජනවාරි 06 වැනිදා දියත් කල ත්‍රස්ත ක්‍රියාවලිය ඇමෙරිකානුවන් සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළු දෙනාගේ විවේචනයට ලක්වීය. එම අපරාධයට හවුල්වූ සියළු දෙනාටම නීතිය ක්‍රියාත්මක කොට ලබාදුන් සිරදඬුවම් වලින් නිදහස් කරවීම 2024 ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එක් මැතිවරණ පොරොන්දුවක් වීය. සිය පළමු පාලනවාරයේ දෙවරක්ම දෝෂාභියෝගයට ලක්වී, මැතිවරණ ව්‍යාපාර අරමුදල් අවභාවිත කරවීමේ හේතුවට අපරාධනීතිය යටතේ වරදකරුවෙකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා හැටියට තේරීපත්වීමට සමත් විය. ඔහුට දැන් ජනාධිපතිවරයා හැටියට ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමේ මුක්තිය වරප්‍රසාදයක් ව තිබෙන බැවින් සිය විධායක බලය ඉවක් බවක් නැතිව ක්‍රියාත්මක කිරීමට පෙළැඹී ඇත. මෙහි ආදීනව ඉදිරියේදී දැකබලා ගතහැකි වෙනු ඇත. පොරොන්දු වූ පරිදි ජනාධිපති සමාව ජනවාරි 06 කැරළිකරුවන්ට ලැබී ඔවුන් දැන් නිදහස ලබා ඇත.
සිරකරු හුවමාරු ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාව
සිරකරුවන් නිදහස් කරවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දෙන ලද විවෘත මැතිවරණ පොරොන්දුවක් නොවූවද ඔහුට බලය ලබාදීමට මහජනතාව නොමග හැරීමට උපකාරී වූ ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවැති අනියම් සම්මුතිය කරළියට ආවේ මිනීමැරීමකට ජීවිතාන්තය දක්වා හිර දඬුවම් ලැබුණු දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලබාදී නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති හැටියට පත්කිරීමත් සමඟින්ය. ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කරන ලද අමනෝඥ ක්‍රියාපාටි වලින් තවත් එක් නාටකයක් වූ මෙම සිද්ධිය පසුව අධිකරණයේ මැදිහත්වීමෙන්ම දුමින්ද සිල්වාට නැවත සිරබත් කෑමට යාමට නියම කරවීය.

අධිකරණය හෑල්ලු කරමින් විධායක බලය අවභාවිතා කරවීමේ පුරෝගාමීව කටයුතු කල ජනාධිපතිවරයා කෘතහස්ත දේශපාලනඥයෙකු සේ නම් දැරූ වෘත්තීයෙන් නීතීඥයෙකු ජේ. ආර්. ජයවර්ධන මහතාය. 1977 එ. ජා. ප. රජයට විශිෂ්ඨ ජනවරමක් ලබා ගැනීමට සිරකරු නිදහස් කරවීමේ මැතිවරණ පොරොන්දු උපක්‍රමය යොදාගනිමින් එවකට ක්‍රියාත්මක වූ කේවල මැතිවරණයෙන් හයෙන් පහක ( ⅚) බලයක් ලබා ගත්තෙතේය. ඔහු අධිකරණ කටයුතු වලට බලපෑම් කළේ විධායක බලය වෙනුවට, (⅚ ) ලැබූ ව්‍යවස්තාධායකයේ ජනවරම අනිසි ලෙස යොදාගැනීමෙන්ය. එම අකටයුතු කම් එකිනෙක විස්තර කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ.
අපරාධ නීතිය යටතේ දඬුවම් නියම වූවන්ට දේශපාලන උවමනාකම් වෙනුවෙන් නිදහස ලබාදීම ශ්‍රී ලාංකේය ජනජීවිත වලට අත්වූ ඉරණම ගැන සාකච්ඡාවක්, වර්තමානයේ භූ දේශපාලනයේ ඉස්මතු වෙන තත්ත්වයන් සමඟ සැසදීමට මෙම ලිපියේ ඉදිරි ඡන්දයෙන් යොදා ගන්නෙමි.
බ්‍රිතාන්‍ය මහ රැජිණගේ රජයට එරෙහිව එල්ල කරන ලද 1971 ජ වි පෙ කැරැල්ල
77 වසරක් පුරා ශ්‍රී ලාංකේයන් භුක්ති විදින නිදහසේ සීමාවන් මොනවාද යන්න තේරුම් ගැනීමට වඩාත්ම උචිතම සාධකය නම්, 1971 ජ වි පෙ මෙහෙයවන ලද තරුණ කැරැල්ලය. එවකට බලයේ සිටි සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය ඇතුළු රජයේ නිලධාරීන් අත් අඩංගුවට ගැනීම කැරැල්ලේ එක් අරමුණක් වීය. එහෙත් එවකට පැවැති පාලන ක්‍රමවේදයේ රාජ්‍යයේ ප්‍රධානියා එංගලන්තයේ මහ රැජිණ වීම නිසා කැරළි කරුවන්ට එරෙහි නඩුව ගොණුකරනු ලැබුවේ බ්‍රිතාන්‍ය මහ රැජිණගේ රජයට විරුද්ධව එල්ල කල ත්‍රස්ත ක්‍රියාවක් ලෙසටය. එවකට ත්‍රස්ත ක්‍රියාවන්ට එරෙහිව දඬුවම් දියහැකි නීතී රාමුවක් නොතිබුණ හෙයින් විශේෂ අපරාධ විනිශ්ච කොමිසන් සභාවක් මගින් ජ වි පෙ නායක රෝහණ විජේවීරට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ඇතුළු සෙසු චූදියන්ට විවිධ කාල සීමාවන්ට සිර දඬුවම් ලබා දීමට සාධාරණව යුක්තිය ක්‍රියාත්මක වීය.
1977 පැවති කේවල මැතිවරණ ක්‍රමය යටතේ තම ප්‍රතිවාදීන්ගෙගේ ඡන්ද සුළු ප්‍රමාණයක් තම පාර්ශවයට හිමිකර ගැනීමෙන් විශාල ජනවරමක් ලබා ගැනීමට එ ජා පයට හැකි වීය. ඒ වනවිට ජ. වි. පෙ. සාමාජිකයින් සිය ව්‍යාපාරයේ නායකයා නිදහස් කරගැනීම ප්‍රමුඛත්වය දී කටයුතු කරමින් සිටි නිසා වාමවාදී ඡන්ද දායකයින් බොහෝ දෙනෙකු මෙකී අරමුණ වෙනුවෙන් එ. ජා. ප. යට සිය ඡන්දය ප්‍රකාශ කල බවට අනුමාණ කල හැක. 1977 ව්‍යවස්ථාදායකය ලද අසීමිත ( ⅚) බල සංයුතියේ සංඝඨකයින් ගොඩ නැඟුණු ආකාරය මැතිවරණ ප්‍රථිපල විශ්ලේෂණයකින් තේරුම් ගැනීමට අපහසු නොවේ.
1977 දී ජේ. ආර්. ජයවර්ධන එ. ජා. ප. නායකයා ඇතුළු රජය තමන් ලබාගත් එම ජයග්‍රහණය එතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ විශ්ෂ්ට සිවිල් පරිපාලනය දේශපාලනීකරණය කිරීමට යොදාගත්තෙතේය. එම ක්‍රියාවලියන්ගේ අනිටු ප්‍රථිපල ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දේශපාලනයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. විවෘත ආර්ථික ප්‍රතිපත්තීන් හඳුන්වාදීමෙන් අත්කර ගත් ප්‍රථිලාභ සියල්ලම රට තුළ ඉස්මතු වූ ත්‍රස්තවාදී, දූෂිත ප්‍රචණ්ඩ ක්‍රියා තුළින් යටවී ගියේය. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට සහ එ. ජා. ප. යට සිය අසීමිත බලය රැකගැනීමට සිය විධායක සහ ව්‍යවස්ථාදයක බලය අධිකරණයේ ස්වාධීනත්වය අභිබවමින් තර්ජනාත්මකව යෙදවීය. එහි සමස්ත ප්‍රථිපලය 1983 සිට ශ්‍රී ලංකාව අඳුරු කාල පරිච්ජේදයකට ගොදුරු වීමය.
ජේ. ආර්. ගේ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාකාරකම්
මහජන දේපල ජීවිත හානි රැසක් බිහිසුණු අපරාධ තුලින් විමුක්තිය උදාකර ගැනීමට රෝහණ විජේවීරගේ නායකත්වය යටතේ ජ. වි. පෙ. දියත් කල 1971 කැරැල්ල මැඩලීමට රජය සමත්වීය. රෝහණ විජේවීරට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වීය. 1982 ජනාධිපතිවරණයට සිය ප්‍රතිවාදීන් බෙදා දුර්වල කිරීමට විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ බලය අධිකරණයේ ස්වාධීනත්වය ඉක්මවා ජේ. ආර්. අවභාවිතා කලේය. ඉන් පළමුවන්න අපරාධයට වරදකරුවෙකු ලෙස සිරගත වූ රෝහණ විජේවීර නිදහස් කිරීම සහ සිය ප්‍රතිවාදිනිය වූ සිරිමා බණ්ඩරනායක මහත්මිය ඇතුළු විරුද්ධ පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ ප්‍රජා අයිතිය නැති කරවීමයි.
මීට අමතරව මැතිවරණයක් නොතැබීමට ජණමතවිචාරණයක් පවත්වා පාර්ලිමේන්තු කාලසීමාව දීර්ඝ කරගැනීම සහ ඡන්ද දායකයින්ට ඍජුව වගවෙන වගකියන කේවල ආසන මැතිවරණ ක්‍රමය වෙනුවට සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වාදීමද සිදුවීය. මෙකී ක්‍රමවේදයෙන් තෝරාපත්වන මහජන නියෝජිතයින් ඡන්ද දායකයින්ට සහ බඳු ගෙවන්නන්ට ඍජුව වගනොකියන වරප්‍රසාද භුක්තිවිදීමට පමණක් තෝරා පත්වූවන් බව පසුගිය දශක කිහිපය තුල පෙන්වාදී රට බංකොළොත් කල ආකාරය පාඨක ඔබ මැනවින් අවබෝධ කරගෙන සිටී.
ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වුනු ආඥාදායෙකු අතරට පරිවර්තනය වූ ජේ. ආර්. උතුරේ මතුවුනු අසහනත්වයට සහ බෙඳුම් වාදී අරගලය මැඩපැවැත්වීමට නොහැකි විය. 1983 ජූලි කලබල අහිංසක දෙමළ ජනයා වෙත ප්‍රචණ්ඩත්වය යොදවා පාලනය කිරීමට අසාර්ථක උත්සහයක් කොට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අපකීර්තියක් අත්කරමින් L .T. T .E. බෙඳුම්වාදී අරගලය ශක්තිමත් කලේය.1983 ජූලි ප්‍රචණ්ඩ ක්‍රියා සහ L. T. T. E. ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට අපොහොසත්වූ එ ජා ප රජය ජූලි කලබල ඇතිකරවුයේ නැක්සලයිට් දේශපාලන ව්‍යාපාරයක් යනුවෙන් නම් කර ජ. වි. පෙ. ඇතුළු වාමවාදී දේශපාලන පක්ෂ කිහිපයක් තහනම් කලේය. රෝහණ විජේවීර නැවතත් ත්‍රස්තවාදී ව්‍යාපාරයක් දියත් කිරීමට ඉඩකඩ ලබාගෙන අත්තනායක කෙනෙක් හැටියට සැඟවී 1988-89 වකවානුවේ තවත් කැරැල්ලක් දියත් කරමින් මහජන දේපල ජීවිත හාණි රැසක් අත්කරමින් සිය ජීවිතයෙන්ම වන්දි ගෙවීය.
අපරාධකරුවන් නිදොස් කොට විනිශ්චකරුවන්ට දඬුවම් කිරීම
ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත්ව ආඥාදායකයන්වූ පාලකයින් අතර ප්‍රමුඛයා ඇඩොල්ෆ් හිට්ලර්ය. වර්තමාන ඇමෙරිකානු ජනාධිපතිවරයා ඔහු අබිභවා කටයුතු කිරීමට සැරසෙන බවට ඉඟි කරමින් සිටී. මේ වන විට 2021 ජනවාරි 06 වොෂින්ටන් නුවර ත්‍රස්ත ක්‍රියාවල නිරතවු අපරාධකරුවන්ට දඬුවම් නියම කල විනිශ්චකරුවන් කවුරුන්ද යන්න දැනගැනීමට FBI ආයතනයට බල කර ඇත.
- සිරකරු හුවමාරු දේශපාලන කේවල්කරණය.. - March 5, 2025
- නොපිපීම – පරවීම.. - September 6, 2024
- යුක්තිය උදුරාගත් කිසිවෙක් විධායකයට හෝ ව්‍යවස්ථාදායකට පත්නොකරමු - August 23, 2024