You are currently viewing සිංහල බෞද්ධ අන්තවාදයට එරෙහිව නැගී සිටි බාහු.. [අවසන් කොටස]

සිංහල බෞද්ධ අන්තවාදයට එරෙහිව නැගී සිටි බාහු.. [අවසන් කොටස]

තවත් සමහරු කරන චෝදනාවක් තමයි කම්කරු පංතිය වෙනුවට සුළුතර ජාතීන්ගේ ජාතික ප්‍රශ්නය නසසප තුළ ප්‍රමුඛ වීම (අක්ත පත්‍රය ලෙස ගැනීම) බාහු පැටලුණු මතවාදී උගුලක් කියලා. ඔය චෝදනාව එලෙසම කරමින් පක්ෂ‍යෙන් ගිය, නැසීගිය ලීනස් ජයතිලක හා නීල් විජේතිලක ඇතුලු කල්ලිය නැවතුනේ කොහෙද? බාහුගේ බඩවැල් එළියට පනින්න වෙඩි තියපු DJV – JVP වැදුම් ගෙයින් එලියට ආ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) අගුවේ. ආචාර්ය නිව්ටන් ගුණසිංහගෙන් ග්‍රාම්ස්චි කියවලා, අර්නෙස්ටෝ ලැක්ලාවු සහ ෂන්ටාල් මූෆ්ගේ  පස්සේ යන්නන් කුළු ගෙඩියටයි, මාලිමාවටයි මුවා වෙලා ඇට බෝල ගහමින් නේද ඉන්නේ කියලා බාහු හිටියනම් සමහර විට අහන්න ඉඩ තිබුණා.

හැබැයි දෙමළ වර්ග සංහාරයක් වෙද්දී ඒ වෙනුවෙන් පෙනී හිටියොත් ජාතික ප්‍රශ්නය අධිනිශ්චය වෙලා, පංති අරගලය දෙවැනි තැනට වැටෙන්න පුලුවන් කියලා බාහු බය වුණේ නෑ. ඒනිසා කම්කරු පංතිය බලය අරගෙන ඒ රාජ්‍යයක් තුළ තමයි ජාතික ප්‍රශ්නයට විසදුම් දෙන්නේ (ජවිපෙ –  මාලිමා තියරිය) කියලා නසසප තීන්දු කළේ නෑ. අපි මාක්ස් ලෙනින්වාදීන් වුවත් ජාතීන්ගේ වෙන්වීමේ භූ විෂමතා අනුව තමයි බලන්න ඕන. ලංකාව කුඩා රාජ්‍යයක් නිසා මාක්ස් ලෙනින් න්‍යාය ඒ අයුරින්ම අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ (පෙසප – ගුණ‍රත්නම් තියරිය) කියලත් බාහු කිව්වේ නෑ.

මේ දෙකේම සිංහල, බෞද්ධ, ඒකීය රාජ්‍යවාදී ජාතිවාදය බාහු පට්ට ගැහුවා. ඔහු හිටියේ ලෙනින්ගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ අවධි දෙකේ තීසිසය න්‍යායක් බවට පෙරලූ ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ ලාංකීය පෙ‍රගමන්කරුවා විදියට.

ජවිපෙ විසින් මහින්ද ජනාධිපති කරවපු ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් වෙලා හිටියේ ගෝටා. එයා කොළඹ ලොජ්වල හිටිය දෙමළ ජාතිකයන් බස්වල පටවලා යාපනේට යවන්න ගත්තා. මේක ආරංචි වුණු බාහු ලොජ් ඉදි‍රියට වහාම ගිහිල්ල මේ ක්‍රියාවට විරෝධය පෑව. ටික වෙලාවකින් මනෝගනේෂන්, ජයලත් ජයවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බාහුට එක්වුණා. මාධ්‍ය හරහා ලෝකයට මේ කතන්දරේ ගියා. කොළඹින් ඒවන විටත් යවපු බස් මහජන ගඟක් වව්නියාවේදී හරස් කළා. ආපසු කොළඹට එව්වා.

බොහෝ ලාංකික දෙමළ විමුක්තිකාමීන් පිට‍රටකදී ලංකාවට දෙසා බෑවත් තමන් තමන් ඉන්න රටේ පාලකයන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා ගැන කට පියාගෙන ඉන්නවා. ඒ අතර ලංකාවේ සිංහල දේශප්‍රේමියෝ ලංකාවේ ඉඳගෙන අධිරාජ්‍යවාදීන්ගේ පළු අරිනවා. හැබැයි ඒ රටවලට ගියාම අර පලු ඇරපු නායකයන්, නායිකාවන් එක්ක කාලාබීලා ෆේස්බුක් එකෙයි, මාධ්‍යවලයි මල්වෙඩි සංදර්ශන පවත්වනවා. බාහුනම් සිංහයාගේ ගුහාවටම ගිහිල්ල තමයි කට ගඳ‍යි කිව්වේ.

1978 ජේආර්ගේ ඒකාධිපති ව්‍යවස්ථාවට විරුද්ධව කළු කොඩි දමමින් මහපාරේ ආරම්බ කළ සටනේ ඊළග උච්චතම අවස්තාව වුණේ කම්කරු පංතියේ 80 මහා වැඩ වර්ජනය. මහා වැඩ වර්ජනය ජයග්‍රහනයෙන් නොනැවතී කම්කරු පංතිය බලය ගන්නා මාවතට අවතීර්ණ කළ යුතුයි. ඒ තිර අදිටනින් අගෝස්තු 8 කොළඹ නගරයේදී සත්‍යග්‍රහයක් පැවැත්වුවා. මේ නිසා ආණ්ඩුව පෙරලීමට කුමන්ත්‍රණ කිරීමේ චෝදනා නඟා බාහුව හිරගේ ලෑවා. ජීවිත කාලයම වදදුන් ඇඳුම රෝගය වැළදුනේ එලෙස නුවර බෝගම්බර හි‍රගෙදර පරෙවි බෙටි සහිත අඳුරු කාමරයක හිරකළ නිසා. ඒත් ඒ කිසිවකින් පසුබස්සන්න, අධෛර්ය කරන්න පුලුවන් වුණේ ඔහු නොවෙයි.

එදත් ජවිපෙ හිටියේ ඒ මහ වැඩ වර්ජනයට විරුද්ධව ජේආර් එක්ක. ජවිපෙ නායක රෝහණ විජේවීර එදා කිව්වේ මේවා කැඳ කෝප්ප සටන්, වැඩ ව‍ර්ජනය කරනවා කියන්නේ සියතින් ගෙළ මිරිකා ගැනීමක් කියලා. පක්ෂයේ ඒ තීන්දුව නොතකා ජවිපෙ වෘත්තීය සමිතියක් වූ ලංකා ගුරු සංගමය වැඩ වර්ජනයට එක්වුණා. විජේවීරගේ මස්සිනා වූ එච්.එන්. ප්‍රනාන්දු ගුරු සංගම් නායකයා වැඩ වර්ජනයට එක්වීමට ගත් තීන්දුව නිසා ජවිපෙ විසින් අසූචි

ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් කර තිබුණත් එය ව්‍යවර්ථ වුණා. මේ සියලු බාධක, පාවාදීම් මැඩගෙන බාහු සටන් කළා.

මැයි දිනයන් තහනම් කරද්දී ඒ තහනම් නොතකා පෙළපාලි යමින්‍රැස්වීම් පවත්වමින් කම්කරුවන් ගේ අයිතීන් පාගා දැමීමට, යටපත් කිරීමට ඉඩ නොතබා ආරක්ෂා කළා. කම්කරු පංතියේ අයිතීන් වෙනුවෙන් කළ සටන් නිසා අනේක වාරයක් හිරගෙවල තපින්නන් වුණා. පොලිස් ප්‍රහාරයන්ට ලක්වුණා. මේ නිසා නසසප ජන අරගලකාරයන් යැයි මාධ්‍ය විසින් භෞතීස්ම කරණු ලැබුවා. ජන අරගල නාමය ලංකා දේශපාලනයේ වාක්කෝෂ‍යට ඇතුල් වුනේ එහෙමෙයි.

නගර සබා, පළාත් සබා මන්ත්‍රීවරයෙක් ලෙසින් බහුජන ක්ෂේත්‍රයේ වැඩ කළා. පීඩිත ජාතීන්ගේ නිජබිමේ අයිතිය, සමානාත්මතාවය, ස්ව පාලනය. ස්වංතීරණ අයිතිය වෙනුවෙන් වෙඩි බෝමබ මැද, බඩ බොකුවැල් එළියට එන්න වෙඩි කමින් නොනිමි අරගලයක් කළා. ඒ තමයි බාහු.

නමුත් ජීවිතයේ අවසාන භාගයේ බාහුගේ අදහස් වෙනස් වෙන්න ගත්තා. ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ කාරණා ඉටු කරගන්න වෙනත් මාවත් සොයා ගියා. මානව හිමිකම් සළු පොරවාගෙන ඉන්න ජාත්‍යන්තර ලිබරල්වාදී බලවතුන්ගේ බලපෑම් මගින් තුන්වැනි ලෝකයේ කොමිස්කාර ධනපතියන් මෙහෙයවා ගන්න පුලුවන් කියලා විශ්වාස කළා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ ලවා ජාතික ප්‍රශ්නයට විසදුමක් ලබාගත හැකි යැයි දැඩි අදිටනක ඔහු හිටියා. යූඇන්පියෙන් චන්දය ඉල්ලුවෙත් ඒකට. ඒක ලිබරල් අදහසක්. බාහු කිරි කළයට ගොම බිඳක් දා ගත්තේ එතැනදී තමයි. ඒත් බාහු විරෝධීන්ට නම් ඒක ‍රසවත් චුයින්ගම් එකක්. හැබැයි කොයි කවුරු විරුද්ධ වුනත් බාහු තමන් විශ්වාස කරන ගමන යනවා.

වාසුදේව නානායක්කාර පක්ෂයේ සංවිධායක ලේකම්වරයා වුනත් ජනමාධ්‍ය මගින් නායකයා ලෙස ඔටුණු පළඳවා තිබුණේ. ඔහුගේ රශ්මි වළල්ලෙන් පක්ෂයේ ඉහළ නිලතලවලට අවස්ථාවාදීන් රැසක් පත්කර ගත්තා. ඒ ඔක්කෝටම යර්ස් කියාගෙන තමයි බාහුත් හිටියේ. ඒ අය පක්ෂයේ තිබුණ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන රටාව අකුළා දැම්මා. එහෙම කරළා චන්ද්‍රිකා එක්ක ජාතිවාදී ධනපති සභාගයකට පක්ෂය අරගෙන යන්න පිටපොට ගැහුවා. මේකට විරුද්ධව 1992 දී එවකට අධ්‍යාපන ලේකම්ව සිටි රණත් කුමාරසිංහගේ නායකත්වයෙන් දොළොස් දෙනෙකුගේ කණ්ඩායමක් පක්ෂය තුළ අහ්‍යන්තර අරගලයක් ආරම්භ කළා.

මේ අරගලයේදී විප්ලවවාදී පක්ෂයක සම්ප්‍රදායක් නොවන යෝජනාවක් බාහු ගෙනාවා. ඒකට රණත්ගේ කණ්ඩායම දැඩිව විරුද්ධ වුණා. ඒනිසා බාහු වාසුලා එක්ක එකතුවෙලා රණත් ඇතුළු කණ්ඩායමට කොක්කේ එල්ලාගෙන ගැහුවා. ඕනෑම විවාදයක් බොහොම සෞම්‍ය විදියට පටන් ගත්තත් අවසාන වෙන්නේ සාන්ත දාන්ත විදියට නෙමේ. දෙපැත්තම එහෙම තමයි.

94
දී වාසුලා පක්ෂයත් අරගෙනම චන්ද්‍රිකා ළගට යන්න නසසප මධ්‍යම කාරක සභාවේ විවාදයක් කළා.  එතැනදී  රණත්ගේ කණ්ඩායම එක්ක බාහු එකතුවෙලා වාසුලා පරාජය කරළා පක්ෂය බේරා ගත්තා. පසු කාලයකදී බාහු කායිකව බොහෝ දුර්වල වෙද්දී බාහුගේම යෝජනාමත 80 සත්‍යග්‍රහ නඩුවේ සම චූදිතයෙක් වූ රණත් කුමාරසිංහ පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුරට පත් කළා.

සරලව බැලුවොත් පක්ෂයක් තුළ අරගලයත් විවාහ ජීවිතයක් වගේ. දික්කසාද වෙන්න බලාගෙනම ‍රණ්ඩුවක් පටන් ගන්නත් පුළුවන්. දෙන්න දෙමහල්ලන්ගේ අඩුපාඩු හදාගෙන ගමනක් යන්න රණ්ඩුවක් පටන් ගන්නත් පුලුවන්.

1974 දී ලංකා සම සමාජ පක්ෂයෙන් එළියට වැටුණු බාහු ඇතුළු 4 දෙනෙක් තමයි වාම ප්‍රවනතාවය ආරම්භ කළේ. අවසානයේ එය නසසප කියන මහා දේශපාලන වෘක්ෂයක් ලෙසින් ලංකා දේශපාලන භූමියේත්, ජාත්‍යන්තරයේත් විහිදී පැතිර ගියා. ඒ විහිදී පැතිර යෑමට බාහු මෙන් තවත් බොහෝ දෙනෙක් ජීවිතයෙන්ද, ශ්‍රමයෙන්ද, භෞතික සම්පත්වලින්ද යන විවිධ අයුරින් දායක වුණා. වසර 50ක් තිස්සේ විශාල පෙ‍රලීම් කළා. ඒ ආ ගමනේ නසසප තහනම් කළ, බොරැල්ලෙන් ඇරඹූ 83 කුප්‍රකට කළු ජූලිය ප්‍රධාන එක් දේශපාලන සංධිස්ථානයක්. බොරැල්ල කියන්නෙත් ලංකා දේශපාලනයේ බොහෝ සිදුවීම්වල නොමැකෙන නමක්. අවසානයේ ඒ අඳුරු කළු ජූලියේදී බාහු අප සැමට සමු දුන්නේත් බොරැල්ලේදීමයි.

Leave a Reply