විවිධ හේතූන් උඩ ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේග රජය සහල් ආනයනය කිරීමේ පොරොන්දුව ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව පෙනේ.
පොරොන්දු වූ සහල් ඉන්දියාවෙන් ගෙන ඒමට ආණ්ඩුව තවත් කාලයක් ඉල්ලා ඇත. පෞද්ගලික වෙළඳුන් දැනටමත් සහල් මෙට්‍රික් ටොන් 72,000 ක් ආනයනය කර අවසන්ය.
රාජ්‍ය අංශය තවමත් සහල් ගෙන්වා නැත.
ආණඩුවට නිසි උපදෙස් නොලැබෙන බව හෝ නැත්නම් එම උපදෙස් පිළිනොගන්නා බව සහල් අර්බුදය පෙන්වයි.
සහල් අපනයනය සම්බන්ධයෙන් ජාජබ ආණ්ඩුව ක්‍රියා කළේ අත්දැකීම් නොමැති ළදරුවකු මෙන්ය.
මේ බලන්න:
- ආණ්ඩුව මුලින්ම සහල් ගෙන්වීම සතොසට සහ රාජ්‍ය නීතිගත සංස්ථාවට පැවරීය. නමුත් එම ආයතනයන්ට බැරි බව තේරුම් ගැනීමට සති දෙකක් ගියේය.
- අනතුරුව සහල් ගෙන්වීම සඳහා පුද්ගලික අංශයෙන් ටෙන්ඩර් කැඳවන ලදී. ටෙන්ඩර් පරිපාටිය දිග්ගැස්සුන එකක් බව තේරුම් ගැනීමට ආණ්ඩුවට තවත් සතියක් පමණ ගියේය.
- ඉන් පසු නිදහසේ සහල් ආනයනය කිරීමට පුද්ගලික අංශයට දෙසැම්බර් 20 තෙක් කල් දෙන බව නිවේදනය කළේය.
- හදිසියේ ගෙන් වූ සහල් මෙට්‍රික් ටොන් 35,000ක් ගුල්ලෝ ගසා සිටියහ. ඒවා එක්කෝ ආපසු යවන ලදී. නැත්නම් සත්ව ආහාර බවට පත් කරන ලදී. මෙය පුරෝකථනය කල හැකිව තිබුණි.
- දෙසැම්බර් 20දා වන විට අවශ්‍ය තරම් සහල් ගෙන්වීමට බැරි විය. ඉන් පසු එම කාලය 2025 ජනවාරි 10 දක්වා දීර්ඝ කරන ලදී.
- දෙසැම්බර් 25 වන විට ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු පුද්ගලික අංශය සහල් මෙට්‍රික් ටොන් 73,000 ක් ආනයනය කළේය. රුපියල් බිලියන 4.5 ක් ඉක්මවූ බදු ආදායමක් ආණ්ඩුව උපයා ගත්තේය. ඒ මුදල අය වන්නේ මහජනතාවගෙනි.
- සහල් ආනයනකරුවන් අතර සමහර බලවත් මෝල් හිමියන් ද සිටින බවත්, එමගින් ඔවුන් සහල් වැඩි මිලට විකිණීමෙන් මෙන්ම ආනයනය කිරීමෙන් දෙපැත්තකින්ම වාසි ලබා ගන්නා බවත් විපක්ෂය චෝදනා කර තිබේ.
- බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්, ආනයනිත සහල් කිලෝග්‍රෑමයක් රු. 65 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දකට යටත් වේ. ආනයනික ආහාර සඳහා ඉහළම බදු අය කරන රටක් වන්නේ ලංකාවයි.
- ආණ්ඩුව, සිය (අ)ඥානයට අනුව, සහල්වල උපරිම සිල්ලර මිල රුපියල් 10 කින් වැඩි කර එමගින් සහල් ගබඩා කර තබා ගන්නා මාෆියාවට කෝටි ගණනාවක වාසියක් ලබා දුන්නේය . එහි ප්‍රතිඵලයක් ලෙස, බලගතු මෝල් හිමියන්ගේ ප්‍රීතියට හේතු වන පරිදි, නාඩු සහල් මිල රුපියල් 230 දක්වා ඉහළ ගියේය. මෙම සමහර මහා මෝල් හිමියෝ ජාජබයට ප්‍රසිද්ධියේම සහය දුන් අය වෙති.
- ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයත් සමඟම, සහල්/වී වෙළඳපොළවල් හැසිරවීම සහ ගොවීන් සහ පාරිභෝගිකයින් සූරාකෑම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ධනවත් මෝල් හිමියන්ගෙන් කෙනෙකු වන අරලිය සහල් හිමිකරු ඩඩ්ලි සිරිසේන, මාධ්‍ය හමුවකදී පොරොන්දු වූයේ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නියම කරන ලද උපරිම සිල්ලර මිල ගණන් යටතේ වෙළඳ පොලේ ප්‍රමාණවත් සහල් පවතින බවට තමන් සහතික කරන බවයි.
- එම ප්‍රකාශයෙන් බියපත් වූ මධ්‍යම/කුඩා පරිමාණ මෝල් හිමියෝ ඉක්මණින් ඔවුන්ගේ සියලු සහල් තොග වෙළඳපොළට මුදා හැරියෝය. නමුත් මෝල් හිමියන්ගේ මාෆියා හවුල එසේ නොකළේය. සිය තොග තබා ගත්තේය. දැන් එම මාෆියාව අසාධාරණ ලාභ උපයා ගැනීම සඳහා කෘතිමව නිර්මාණය කරන ලද සහල් හිඟයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සිටී.
- ලාංකිකයන්ගෙන් බහුතරයක් අතර ජනප්‍රිය නාඩු නම් මෙම විශේෂිත සහල් ප්‍රභේදයේ මිල සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණයට පෙර රුපියල් 180 කි. දැන් 50කින් වැඩිය.
- රජය සහල් ආනයනය සඳහා වන අවසාන දිනය 2025 ජනවාරි 10 වන දින දක්වා දීර්ඝ කිරීමේ වාසිය ගෙන මහා පරිමාණ මෝල් හිමියන් ඊළඟ අස්වනු නෙළන කාලය ආරම්භ වීමට පෙර තවත් සහල් ආනයනය කර ගන්නා බව සහතිකය. එවිට ඔවුන්ට ඔවුන්ට සිය තොග කිහිපයක් මුදා හැර, සහල් වෙළඳපොළ උතුරා යැවිය හැකිය. එවිට සහල් මිල පහත වැටෙනු ඇත.
- එවිට වී මිල ද පහත වැටේ. එමගින් අඩු මිලට වී මිලදී ගැනීමෙන් ගොවීන් සූරාකෑමට අවස්ථාව මෝල් මාෆියාවට ලැබේ. ඉන් පසු, ඔවුන් අඩු මිලට ගත් වී ගබඩා කර ගන්නවා ඇත. එමඟින් යළිත් සහල් මිල ඉහළ යනු ඇත. කුඩා/මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී අස්වැන්න මිලදී ගැනීම ආරම්භ කළ නොහැකි වන පරිදි බැංකු ණය ප්‍රමාද කිරීම සඳහා ඔවුන් තම මූල්‍ය ශක්තියෙන් ලබාගත් බලපෑම ද යොදා ගන්නවා ඇත.
- ආණ්ඩුව ඊළග කන්නයේදී වී කිලෝව රුපියල් 130 බැගින් මිලට ගන්නා බව ප්‍රකාශ කර තිබේ. එනමුත් විශාල සහල් තොග ගබඩා කර ගැනීමට ආණ්ඩුවට ශක්තියක් නොමැත. වී අලෙවි මණ්ඩලය යකඩ පවා කන මීයන්ගෙන් පිරී තිබේ. මෙම සහල් ගබඩා නූතන තත්වයන්ට පත් කර නැත.
- එවිට වී මිල පහත වැටී මෝල් මාෆියාවට යළි ගජරාමයට අඩු මිලට වී මිලදී ගැනීමට තවත් අවස්ථාවක් ලැබේ.
- හරි මැද ඇති ගැටළුව වන්නේ ශ්‍රී ලංකාවේ දේශීය සහල් නිෂ්පාදනයේ අතිශය ඉහළ පිරිවැයයි. ආනයනික සහල් කිලෝග්‍රෑමයක් රු. 100 ට අඩු මුදලකට ලබා ගත හැකිය. නමුත් රජය විසින් ගොවීන්ට ලබා දෙන ජල පිරිවැය, විවිධ සහනාධාර සහ පොහොර ආධාර සඳහා ගිණුම්ගත කර බලන විට කිලෝවක් සඳහා වැය දේශීයව රු. 400 ට වඩා වැඩි පිරිවැයක් දරයි.
- මෙම ගැටළුව විසඳීම සඳහා, ශ්‍රී ලංකාව දියුණු සහල් ප්රභේදවල ආයෝජන සඳහා ප්‍රමුඛත්වය දිය යුතුය. වඩාත් කාර්යක්ෂම වගා ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුය. නවීන තාක්ෂණය කෘෂිකාර්මික පිළිවෙත්වලට ඒකාබද්ධ කළ යුතුය. මෙම වෙනස්කම් නොමැතිව, අකාර්යක්ෂමතාවයෙන් සහ තිරසාර නොවන පිරිවැයෙන් බර වූ වත්මන් ක්‍රමය ගොවීන් සහ ආර්ථිකය යන දෙකම පීඩාවට පත් කරනු ඇත.
[ නම්බර්ස්ඩොට්එල්කේ, දි අයිලන්ඩ් යන මාධ්‍යන්හි පළ වූ තොරතුරු ද අසුරෙන් සකස් කරන ලදී]
සේ. පියවර්ධන
උපුටාගැනීම: srilankabrief.org
Latest posts by Admin (see all)
- සහල් මාෆියාව සහ ආණ්ඩුවේ නොහැකියාව: අනාගතය සදහා පාඩම් කිහිපයක්.. - December 30, 2024
- ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද? - December 10, 2024
- යුද්ධයෙන් මිය ගිය අය සැමරීමට ඉඩ දෙන්න.. - November 27, 2024