You are currently viewing ශ‍්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් තත්වය පිළිබඳව වාචික යාවත්කාලීන කිරීම.

ශ‍්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් තත්වය පිළිබඳව වාචික යාවත්කාලීන කිරීම.

මානව අයිතිවාසිකම් කවුන්සලයේ 48 වැනි සැසිය.
එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙලේ බැචලේගේ ප‍්‍රකාශය.
2021 සැප්තැම්බර් 13, ජිනීවා

ගරු සභාපතිතුමනි,

ගෞරවනීය නායකයෙනි, ශ‍්‍රී ලංකාව පිළිබඳව මගේ පසුගිය වාර්තාවෙන් හඳුනාගත් ප්‍රවණතා සහ ගැටලූ ගැන මානව අයිතිවාසිකම් කවුන්සලය යාවත්කාලීන කිරීමට කැමැත්තෙමි. මෙම යාවත්කාලීන කිරීම සකස් කිරීමේ දී ආණ්ඩුව විසින් එවන ලද අදහස්වලට කෘතඥ වන අතර ආණ්ඩුව ‘‘වගවීම සහතික කිරීමට එක්සත් ජාතීන් සමග වැඩ කිරීමට කැප වන බවත්’’ ‘‘අවශ්‍ය කරන ආයතනික සංශෝධන’’ කි‍්‍රයාත්මක කරන බවත් සඳහන් කරමින් ජුනි මාසයේ ජනාධිපති කරන ලද ප්‍රකාශය ද සැලකිල්ලට ගතිමි. අපගේ වාර්තාවලින් සහ- නොයෙකුත් මානව අයිතිවාසිකම් යාන්ත‍්‍රණවලින් කරන ලද නිර්දේශවලට අනුකූලව- එම අදහස් කි‍්‍රයාත්මක කිරීමට වාස්තවික පියවර ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මගේ කාර්යාලය ඒ සඳහා සම්බන්ධවිමට කැමැත්තේය.

2021 ජනවාරි මස පත් කරන ලද ජාතික විමර්ශන කොමිසමේ වාර්තා කඩිනමින් ප‍්‍රසිද්ධ කිරීම ගැන දිරිමත් වන අතර මෙම වසර අවසානයේ දී එහි මැන්ඬේට් බලය සම්පූර්ණ වන නිසා එහි වැඩ සහ නිර්දේශ ඇගයීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. 

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන සමාජ, ආර්ථික සහ පාලනයේ අභියෝග හමුදාකරණය සහ වගවීමක් නොමැතිකම නිසා මූලික අයිතිවාසිකම්, සිවිල් සමාජ අවකාශය, ප්‍රජාතන්ත්‍රීය ආයතන, සමාජ සංගත භාවය සහ තිරසර සංවර්ධනය කෙරේ හානිකර බලපෑමක් ඇති කරන බව පෙන්නුම් කරයි. 

ගැඹුරු වන ආර්ථික අවපාත තත්වයක් යටතේ ආහාර සුරක්ෂිත භාවය සහ මිල පාලනය සඳහා ශ‍්‍රී ලංකාව අගෝස්තු 30 වැනිදා සිට නව හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේ ය. මෙම හදිසි නිති රෙගුලාසි ඉතාමත් පුළුල් වන අතර සිවිල් කටයුතුවල දී හමුදාවේ භූමිකාව වඩාත් පුළුල් කරනු ඇත. ඒවා යොදා ගන්නා ආකාරය මෙම කාර්යාලය සමීපයෙන් නිරීක්ෂණය කරනු ඇත.

ජනාධිපතිවරයා පසුගිය දා සිවිල් සමාජයේ සමහර නායකයන් හමුවීම උනන්දුවෙන් සටහන් කරන අතර ශ‍්‍රී ලංකාවේ සිවිල් සමාජ අවකාශය සමග විවෘත වඩාත් පුළුල් සංවාදයක් ඇති කිරීමට පියවර ගැනීම මම දිරිමත් කරමි. කනගාටුවට මෙන් සෝදිසි කිරීම්, බියවැද්දිම් සහ මානව අයිතිවාසිකම් ආරක්ෂකයන්, ජනමාධ්‍යවේදීන් සහ අතුරුදහන් වුවන්ගේ පවුල් අධිකරණමය හිරිහැරවලට ලක් කිරීමට අමතරව එය ශිෂ්‍යයන්, ශාස්ත්‍රඥයන්, වෛද්‍ය වෘත්තිකයන් සහ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති විවේචනය කරන ආගමික නායකයන් ද ඇතුළත් වන පුළුල් පරාසයක් දක්වා ව්‍යාප්ත කර ඇත. සාමකාමී විරෝධතා සහ අනුස්මරණ කීපයකට ම දැඩි ආකාරයට බලය යෙදවූ අතර උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීම හෝ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා ගන්නා ලදී. 

සිවිල් සමාජ කණ්ඩායම් පිළිබඳ ව නව රෙගුලාසි කෙටුම් පත් කර ඇති අතර ඉන් මූලික නිදහස පිළිබඳ වඩාත් දැඩි සීමාවන් පනවනු ඇතැයි බියක් පවතී. මෙම කෙටුම් පත වඩාත් පුළුල් මහජන සාකච්ඡාවට ලක් කරනු සඳහා ප්‍රසිද්ධියට පත් කරන මෙන් මම ඉල්ලා සිටිමි.   

වඩාත් වැදගත් මානව අයිතිවාසිකම් සංකේතාත්මක ව වැදගත් නඩු ගණනාවක අධිකරණමය කි‍්‍රයා පටිපාටියේ වර්ධනයන් ගැන මම කනස්සල්ලට පත් වන්නෙමි. ඒවාට 2008 දී සහ 2009 දී බලහත්කාරයෙන් පුද්ගලයන් 11ක් අතුරුදහන් කිරීම පිළිබඳව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව ඇති චෝදනා පවත්වා ගෙන නො යෑමට නීතිපති ගත් තීරණය ද ඇතුළත් ය.

නොයෙකුත් විමසීම් තිබුණ ද, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයෝ සහ ආගමික නායකයෝ සත්‍යය සහ යුක්තියත් එම ප‍්‍රහාරවලට ඉඩ සැලසුන වාතාවරණය ගැන පූර්ණ වාර්තාවක් කඩිනමෙන් ලබා දෙන ලෙසත් දිගින් දිගටම ඉල්ලා සිටිති.

2011 දී දේශපාලකයෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මංත‍්‍රීවරයෙකු වන දුමින්ද සිල්වාට පසුගිය දා ජනාධිපති සමාව ලබා දීම නීතියේ ආධිපතයය සහ අධිකරණ කි‍්‍රයාවලිය ගැන ඇති විශ්වාසය පළුදු කරවයි.

පොලිස් අත් අඩංගුවේ දී සහ මත්ද්‍රව්‍ය අපරාධ කල්ලියැයි සඳහන් කරන කණ්ඩායම් සමග ඇතිවන පොලිස් ගැටුම්වල දී තවදුරටත් සිදු වන මරණ පිළිබඳව මෙන්ම නීතිය බලාත්මක කරවන නිලධාරීන් පමුණුවන වධ හිංසා සහ වෙනත් හිංසා කිරීම් පිළිබඳව මගේ දැඩි කනස්සල්ල යොමු වේ.

මාර්තු මාසයේ දී නඩු විභාගයක් නොමැතිව වසර දෙකක් දක්වා කාලයක් හිතුවක්කාර පරිපාලන රඳවා ගැනීමට ඉඩ සැලසෙන ‘‘දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීමේ නියෝග ’’ යනුවෙන් (De-radicalization) නව නියෝග මාලාවක් නිකුත් කරන ලදී. මෙම නියෝගයට අභියෝග කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සැලකිල්ලට ගන්නා තෙක් ඒවා බලාත්මක කිරීම අත්හිටුවීමේ අන්තර්වාර නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිකුත් කර ඇති බවද සඳහන් කරමි. ත්‍රස්තවාදි කණ්ඩායම්වලට සම්බන්ධතා ඇතැයි සැලකෙන දෙමළ සහ මුස්ලිම් කණ්ඩායම් සහ පුද්ගලයන් 300කට අධික සංඛ්‍යාවක් ආණ්ඩුව විසින් නියම කර හෝ ලැයිස්තු ගත කර ඇත.

ප්‍රශ්නයට ලක්ව ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් නියම කොට සිය දඬුවම් කාලයේ අවසානයට ළඟා වෙමින් සිටි සිරකරුවන් 16කට ජුනි මාසයේ දී සමාව ලබා දී ඇත. මෙම පනත යටතේ සිටින රැඳවියන් ට තම නඩු පුනරීක්ෂණය සඳහා අයැදුම් කළ හැකි උපදේශක මණ්ඩලයක් පත් කර ඇති අතර දිර්ඝ කාලයක් තිස්සේ පවතින මෙම නඩු කඩිනමෙන් විසඳන්නැයි මම ඉල්ලා සිටිමි.     

මෙම පනත නැවත සලකා බැලීමේ අදහස යළිත් තහවුරු කරන ආණ්ඩුව ඒ සඳහා කැබිනට් අනු කාරක සභාවක් ද පත් කර ඇත. කෙසේ වුවත් එම පනත පුද්ගලයන් අත් අඩංගුවට සහ රඳවා ගැනීමට දිගින් දිගටම යොදා ගැනීම ගැන මගේ බලවත් කනස්සල්ල පළ කරමි. අධිකරණයට විශ්වාස කළ හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමකින් තොරව නීතිඳ හිජාස් හිස්බුල්ලා දැනට මාස 16ක කාලයක් තිස්සේ රැඳවුම් භාරයේ සිටී. එමෙන්ම ගුරුවරයෙකු මෙන්ම කවියෙකු වන අහ්නාෆ් ජසීම් 2020 මැයි මාසයේ සිට චෝදනාවක් නැතිව රඳවා ගෙන සිටී. මෙම පනත යොදා ගැනීම වහාම නතර කරන මෙන් සහ එම පනත පුළුල් පුනරීක්ෂණයකට ලක් කිරීමට හෝ ඉවත් කිරීමට නිශ්චිත කාල සීමාවක් නියම කරන මෙන් ඉල්ලා සිටිමි. 

අගෝස්තු මාසයේ දී හානිපූරණය සඳහා ජාතික ප්‍රතිපත්තියක් අනුමත කරන ලද අතර හානිපූරණ ගෙවීම් සහ සංහිඳියා වැඩ සටහන් දිගටම කි‍්‍රයාත්මක වේ. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය දිගටම කි‍්‍රයාත්මක වන අතර එහි හය වැනි කාර්යාලය කිලිනොච්චියේ දී විවාත කෙරිණ. නමුත් එය වින්දිතයන්ගේ විශ්වාසය දිනා ගත යුතුව ඇත. පාරද්‍රශ්‍ය, වින්දිත කේන්ද්‍රීය සහ ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවීය සංවේදී පිවිසුමක වැදගත් කම සහ හානිපූරණ වැඩ සටහන් පුළුල් සත්‍යය සහ යුක්ති පියවර සමග බැඳී සිටිය යුතු බව මම නැවතත් අවධාරණය කරමි.

පසුගිය මාසයේ දී ජාතික මානව අයිතිවාසිකම් පිළිබඳ ගෝලිය සන්ධානය (Global Alliance of National Human Rights Institutions) ජාතික මානව හිමිකම් කොමිසමේ පත්වීම් කි‍්‍රයාවලිය පිළිබඳව තම කනස්සල්ල දක්වමින් සහ මානව අයිතිවාසිකම් මැන්ඬේට් අධිකරිය කි‍්‍රයාත්මක කිරීමේ දී එහි ඵලදායකත්වය පිළිබඳව ජාතික මානව හිමිනම් කොමිසම පැරිස් මූලධර්මවලට අනුකූල වන්නේ ද යන්න ගැන විශේෂ පුනරීක්ෂණයක් සඳහා පියවර ගැනීමට තිරණය කර ඇත.

මෙම පසුබිම යටතේ මගේ කාර්යාලය ආරම්භක කණ්ඩායමක් බඳවා ගැනීමේ අපේක්ෂාවෙන් යෝජනා අංක 46/1 ට අදාල වගවීමේ කරුනු කි‍්‍රයාත්මක කිරීමට වැඩ කරයි. අප දැනටමත් එක්සත් ජාතීන් සතුව ඇති එක් එක් අයිතම 120,000කට ආසන්න තොරතුරු සහ සාකෂි ලේඛනාගාරයක් ගොඩ නගා ඇත්තෙමු. අපි මෙම වසරේ තවත් හැකි තරම් සාක්ෂි රැස් කිරීමට පියවර ගනිමු. මගේ කාර්යාලයට මෙම වැඩ කොටස සම්පූර්ණයෙන් කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය සහාය අයවැය කි‍්‍රයාවලියෙන් ලබා දීම සහතික කරන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටිමි.  

ශ‍්‍රී ලංකාවේ සිදුවන වර්ධනයන් ගැන සමීප අවධානය දිගටම යොමු කිරීමටත් සංහිඳියාව, වගවීම සහ මානව අයිතිවාසිකම් ප‍්‍රගමනයේ විශ්වාස කටයුතු ප‍්‍රගතියක් ඉල්ලා සිටීමටත් මණ්ඩලයේ සාමාජිකයන් දිරි මත් කරමි.

ඔබට ස්තූතියි. 

Leave a Reply