You are currently viewing ලොව පුරා හමායන මාරාන්තික තාප තරංග..

ලොව පුරා හමායන මාරාන්තික තාප තරංග..

මේ වසරේ ජූලි මාසයේ ලෝකය පුරා මිලියන 100 ට අධික ජනතාවක් ගෝලීය උණුසුම වැඩි වීමෙන් මහත් පීඩාවට පත් වූහ. මෙවර ග්‍රීෂ්ම සෘතුව (Summer) ආරම්භයත් සමග තාප තරංගවල (Heat Waves)  බලපෑම නිසා උණුසුම් කාලගුණයක් විවිධ රටවල ඇති වෙන්නට පටන් ගැණුනි. මේ තාප තරංග වැඩි වශයෙන් බල පා ඇත්තේ යුරෝපයේ පෘතුගාලය, ප‍්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය,, ග්‍රීසිය, එංගලන්තය, නෙදර්ලන්තය හා ජර්මනිය යන රටවල්වලටය. පවතින සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශ 10 පමණ ඉහළ උෂ්ණ කාලගුණයක් වාර්තා වීම මේ තත්වයට හේතු විය. මේ අතරින් ප‍්‍රංශය, ස්පාඤ්ඤය හා ග්‍රීසිය තාප තරංගවල ප්‍රමාණය ඉහළ යාම නිසා දරුණු ගනයේ ලැව් ගිනි හට ගැනුනි. ලැව් ගිනි වලින් පීඩාවට පත් ජනතාව 31,000 අධික බව ප්‍රකාශයට පත් විය. එංගලන්තය, ජර්මනිය, බෙල්ජියම හා නෙදර්ලන්තයේ උෂ්ණත්වය ඉහළ යාම හමුවේ ගිනි අනතුරු සංඛ්‍යාව ඉහළ ගියේය. මෙම අධික උෂ්ණත්වය හේතුවෙන් හටගෙන ඇති තාප තරංගවල බලපෑම කොතරම් දරුණු ද යත් පෘතුගාලය හා ස්පාඤ්ඤයේ මෙම ජූනි මස මුල් සති දෙකේ පමණක් අධික උෂ්ණත්ව ආශ්‍රිත රෝගාබාදවලට ගොදුරු වූ 1169 දෙනෙකු මිය ගිය බව වාර්තා වුනි. අධික උෂ්ණත්ව තාප තරංග ජූලි මාස මුල් සතියේ දී ප‍්‍රංශයෙන් අරම්භ වූවත්, අනෙක් රටවලද හට ගැනීම නිසා ඉහත සඳහන් රටවල් පහක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරුණි. ඒ වගේම ජර්මනියේ මේ සියවසේ අධික උෂ්ණත්වය සෙල්සියස් 40.3 ලෙස දිනය 2022 ජූලි 22 බ්‍රහස්පතින්දා වාර්තා වීම තවත් සුවිශේෂී කරුණකි. ඒ වගේම මධ්‍යම ඉතාලියේ උෂ්ණත්වය සෙල්සියස් 38 ලෙස වාර්තා වී තිබුණි.

මේ අතර ඇමරිකාවේ අධික ලෙස ගෝලීය උණුසුම ඉහළ යාම වැඩි වීම වාර්තා ගත මට්ටමට ලඟා වී තිබුණි. එහිදී කැලිපෝනියා, උතුරු කොලෝනියා, චිකාගෝ හා වර්ජිනියා ප‍්‍රාන්තවල ජූලි 12 සහ 13 යන දිනයන් හිදී මේ උණුසුම සෙල්සියස් අංශක 42 උච්චතම අවස්ථාවට පැමිණ තිබුණි. කෙසේ වෙතත් ජූලි 15 වන විට ඇමරිකාවේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ යම් ආකාරයක තාප අනතුරු ඇඟවීම් යටතේ ජීවත් වීමට සිදු වී තිබුණි. එය 1875 වසරෙන් පසුව වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ඇමරිකාවෙන් වාර්තා වීම තවත් සුවිශේෂී කරුණකි.

චීනයේ බීජින් නගරය ආශ‍්‍රිතව උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 දක්වා ඉහළ ගිය බව ජූලි 26 වෙනි අඟහරුවාදා වාර්තා කෙරුණි. ඒ වගේම බීජින් ආශ‍්‍රිත නගර 70 ට අධික නගරවල තාප තරංග වල බලපෑම නිසා උෂ්ණත්වය ඉහළ යාම වාර්තා වුනි. බීජින් නගරය දූෂිත වායුන්ගෙන් පිරුණු නගරයක් ලෙස දැනට වසර 6 ක පමණ සිට පැවත එයි. එහි සාමාන්‍ය ජන ජීවිතයට ඔක්සිජන් පැකට් කැනඩාවේ සිට ආනයනය කර ජනතාව අතර බෙදා හැරීම මගින් පිරිසුදු වාතය ආග‍්‍රාහනයට ඉඩ කඩ සැලසීම මේතාක් සිදුවුණි. මෙවැනි නගර ඉන්දියාවේ මුම්බායි සහ දිල්ලි නගරද පසුගිය කාලයේ කතා බහට ලක්වූ තවත් නගර දෙකකි. මේ මාසසේදීම දින පහක් පුරා ටෝකියෝ නගරයේ සෙල්සියස් අංශක 35 ට වඩා උෂ්ණත්වයක් වාර්තා වී තිබූණි.

කාර්මික විප්ලවයේ ආරම්භයේ සිට අද වන විට සාමාන්‍යය ගෝලීය උෂ්ණත්වය දැනටමත් සෙල්සියස් අංශක 1.1 පමණ අගයකින් ඉහළ ගොස් ඇත. හරිතාගාර වායු විමෝචනය වැඩිවීම මේ තත්වය තීව්‍රර කිරීමට මේ ග්‍රීෂ්ම සෘතුවේ හේතු වී තිබේ. තව දුරටත් මේ තත්වය පැවතිය හොත් ඉදිරි ග්‍රීෂ්ම සෘතුවල දී තාප තරංග නිසා උෂ්ණත්වය වැඩිවීම ඉහළ අගයක් ගනු ඇතැයි විද්‍යාඥයන් අනතුරු අඟවතී. තාප නිරීෂණය කළ විද්‍යාඥයන්ගේ මත වූයේ නාගරික වායුගෝලය තාප දූපත් වන අතර, පදික වේදිකා, ගොඩනැගිලි තාපය රඳවා තබා ගන්නා අනෙකුත් පෘෂ්ඨයන් බව අවධාරණය කරන ලදී. එමගින් ප්‍රතිස්ථාපනය වන්නේ ඉදිරි කාලයේ දී නගර උෂ්ණ අධික කලාප බවට පත්වීම වගේම, වෘක්‍ෂලතා වැඩි කලාප උෂ්ණත්වය අඩු කලාප බව අවධාරණය කරන ලදී.

යුරෝපයේ ලැව් ගිනි විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ සා දරුණු ලෙස ලැව්ගිනි පැතිරීම අධික උෂ්ණත්වය පැතිරීමට හේතු වී ඇත්තේ ගෝලීය උණුසුම වර්ධනය වී දේශගුණ විපර්යාස ඇතිවීමේ තත්වයක් බවය. ගෝලීය උණුසුම වැඩි වීමට බලපාන හරිතාගාර වායු (කාබන්) අධික ලෙස වායුගෝලයට මුදා හැරීම නිසා අධික උෂ්ණත්වයන් සහිත කාලයන් වගේම, කුණාටු සහිත වැසි සහිත ජල ගැලීම් වාර්ථාවන කාල වගේම, නියගය වැනි ස්වභාවික ව්‍යසනයන්ට හේතුවන කාල ඇතිවන බව පෙන්වා දීමට විද්‍යාඥයන් පෙළඹුණි. දේශගුණික විපර්යාස මත ඇතිවී තිබෙන ගෝලීය උණුසුම ශීඝ්‍රයෙන් ඉහළ යාමට හේතු වී ඇත්තේ හරිතාගාර වායු ප්‍රමාණය අධික වීමයි. මෙවැනි ගෝලීය උණුසුම වැඩිවීමට හේතු කාරක වන හරිතාගාර වායූන් පිටකරන වාහන, කර්මාන්ත ශාලා, ගල් අඟුරු බලාගාර සහ න්‍යෂ්ටික බලාගාවලින් නිකුත් කරන වායූ ප‍්‍රමාණය නිසා මේ තත්වය ඇතිවීමට හේතු වී තිබේ.

උත්තර ද්‍රවයේ අයිස් තට්ටු මතද ලැවි ගිනි හට ගැනීම පසුගිය අවුරුදු කීපයේම දක්නට ලැබුණි. ඒ අයිස් තට්ටු මත ඉතා දීර්ඝ කාලයක් තිස්සේ වැවුනු ඇල්ගී අයිස් දියවීමත් සමග ඇල්ගී කුණු වීමට පටන් ගැණුනි. ඇල්ගී කුණු වනවා යනු තවත් රසායනික ක්‍රියාවලියකට පරිවර්තනය වන නිසා ඇතිවන්නේ මීතේන් නිෂ්පාදනය වීමයි. මීතේන් යනු ගිනි ගන්නා ද්‍රව්‍යක් නිසා අයිස් තට්ටු මත ඇති මීතේන් සමග ගිනි ගන්නා තවත් රසායනික ද්‍රව්‍යයක් එක් වූ පසු අයිස් තට්ටු මත ලැව්ගිනි තත්වයක් හට ගනු ලබයි. අයිස්ලන්තයේ මෙවැනි ගිනි ගැනීම් සුලබ දසුනක් බවට පත්වී තිබේ. අයිස් මත ඇතිවූ ලැව් ගිනි ද ගෝලීය උණුසුමේ බලපෑම තදින් දැනුණු ස්ථානයක් ලෙස විද්‍යාඥයන් හදුන්වා දෙති.

2015 වසරේ ප්‍රංශයේ පැවති ගෝලීය පරිසර සමුළුවේ දී ඇති කර ගත් පැරිස් සම්මුතියට අනුව දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යාම වලක්වා ගැනීමට තීන්දු ගත්තත් ඒවා තවමත් ක්‍රියාත්මක කිරීමට ගෝලීය ධනේශ්වර රටවල නායකයන්ට හැකිවී නැත. මෙම සමුළුවේදී සෙල්සියස් අංශක 2 ක මට්ටමට උෂ්ණත්වය වැඩිවීම පාලනය කිරීමට රටවල් 196 ක් එකඟත්වය ඵළ කරන ලදී. නමුත් කිසිදු රටක් හරිතාගාර වායු වායුගෝලයට නිකුත් කිරීම අඩුකිරීමට ක්‍රියාකර නොතිබීම නිසා එයින් අවුරුදු 7 ක් ගිය තැන මෙලෙස ගෝලීය උණුසුම වැඩිවී ජන ජීවිතයට බලපෑම් කිරීමට පටන් ගෙන තිබේ. මෙහිදී ලොවටම තර්ජනයක්ව පවතින ගෝලීය උණුසුම පාලනය කරලීම සඳහා ඇමරිකානු පරිසර ආරක්‍ෂණ අධිකාරිය විසින් දැරූ උත්සාහය එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ නඩුවක තීන්දුව හරහා අවහිර කර තිබුණි. මෙම තීන්දුව මගින් ඇමරිකාවේ ගල් අඟුරු කර්මාන්තශාලා පිහිටා ඇති ප්‍රාන්ත 19 ක හරිතාගාර වායු වායුගෝලයට මුදා හැරීම අවම කිරීමේ බලය එරට පරිසර ආරක්‍ෂණ අධිකාරියට නොහැකි වීමද කැපී පෙනෙන සිදුවීමක් ලෙස සඳහන් කළ හැකියි.

මේ තත්වය අධ්‍යනය කරන සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ පවතින අධික උණුසුම් තත්වය නිසා තාප තරංගවල ප්‍රතිඵලයක් වශයෙන් වැඩිහිටියන් මෙන්ම දුර්වල ප‍්‍රතිශක්තිකරණයන් පවතින පුද්ගලයන් බොහෝ දෙනෙකු ඉදිරියේ දී මිය යා හැකි බවයි. එම තත්වය ඉතා ඉක්මනින් වෙනස් කර මුළු මහත් ලෝකයම බේරා ගැනීමේ වගකීම මෙලෙව ජීවත්වන මානවයාටම පැවරී ඇති බව වටහා ගත යුතු කාලය එළඹ තිබේ.

Leave a Reply