You are currently viewing රවි සෙනවිරත්න අත්අඩංඟුවට ගන්නා ලෙස ඉල්ලීම, පාර රාජ්‍ය ප්‍රති ප්‍රහාරයක් ?

රවි සෙනවිරත්න අත්අඩංඟුවට ගන්නා ලෙස ඉල්ලීම, පාර රාජ්‍ය ප්‍රති ප්‍රහාරයක් ?

දූෂණ සහ භීෂණකාරී ක්‍රියා පිළිබද නව ආණ්ඩුව යටතේ ආරම්භ වී ඇති පරීක්ෂණ අඩාල කිරීම පිනිස පාර රාජ්‍යයේ  සහ දේශපාලන බලවේග අතර සන්ධානයක් ඇතිව තිබෙන බවට දේශපාලන අංශ සැක කරයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති බවට පත් වීමෙන් පසු ආරම්භ කරන ලද  පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණය කරගෙන යෑම කඩාකප්පල් කිරීමට ජාතික ජන බලවේගයට විරුද්ධ දේශපාලන බලවේග එක්සත් ප්‍රහාරයක් දියත් කරමින් සිටින බව දේශපාලන අංශ විශ්වාස කරති.

මෙම ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමෙන්තුවේ හිටපු ප්‍රධානීන් දෙදෙනා වන හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරය.

රවි සෙනවිරත්න මහතා මහජන ආරක්ෂක අමාතාංශයේ ලේකම්වරයා වශයෙන් ද ශානි අබේසේකර මහතා අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසත් පත් කිරීමට විරුද්ධවය.

මහජන ආරක්ෂක අමාතාංශයේ ලේකම්, රවි සෙනවිරත්න සහ අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ශානි අබේසේකර

මෙම ප්‍රතිප්‍රහාරයේ පළමු පියවර ලෙස රවි සෙනවිරත්නට සහ ශානි අබේසේකරට විරුද්ධව දේශපාලන චෝදනා කිරීම ඇරඹී තිබේ.

මෙම ව්‍යාපාරය සදහා එකිනෙකාට විරුද්ධ දේශපාලන බලවේග එක්වී තිබේ.

මීට අමතරව පාස්කු ප්‍රහාරය සිදුවීමට ඉඩ හැරීයේ යැයි යන චෝදනාව යටතේ, ගෝඨාභය ආණ්ඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකයකු ලෙස පත් කරන ලද ඉන්දුක ද සිල්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද  එස්.අයි. ඉමාම් සහ ඒ.එන්.ජේ. ද අල්විස් කමිටු වාර්තා දෙක රනිල් රාජපක්ෂ ප්‍රසිද්ධ කළේ නැත.

මේ අතර වීඩියෝවක් නිකුත් කරමින් ජවිපෙන් ඉවත් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයද රවි සහ ශානි වෙත ලබා දෙන ලද නව තනතුරු ප්‍රශ්ණ කර තිබේ.

සමගි ජන බලවේගයට සම්බන්ධ විවිධ පිරිස් ද මෙම ව්‍යාපාරයට එක්ව සිටිති.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම පිණිස පත් කරන ලද මලල්ගොඩ කොමිසම, ජනක් ද සිල්වා කොමිසම සහ පාර්ලිමෙන්තු කාරක සභාව යන කිසිවත් පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකළේයැයි රවි සෙනවිරත්න හෝ ශානි අබේසේකරට චෝදනා කළේ නැත.

ජනාධිපතිවරණයට ආසන්න සමයෙහි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන පාලිත සිල්වා විසින් කරන ලද පැමිණිල්ලක් මත රහස් පොලිසියේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වන ඉන්දුක ද සිල්වා විසින්  කොටුව මහේස්ත්‍රාත් වෙත පසුගිය ජනාධිපතිවරණයට දින 11ත් තබා සැප්තැම්බර් 10වන දින ඉදිරිපත් කරන ලද වාර්තාවක්  ඉල්ලා සිටින්නේ රවි සෙනවිරත්න අත්අඩංඟුවට ගෙන අධිකරණය ඉදිරියට පමුණුවන ලෙසය.

මෙම පියර ගැනීම වැළකුණේ රවි සෙනවිරත්න විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිසාය.

පාලිත සිල්වා සිය චෝදනාව කිසිදු විමර්ශන කොමිසමකට ඉදිරිපත් නොකරන ලද අතර ඒ සඳහා  2024 ජූලි මාසය වනතුරු බලා සිට තිබේ. ඔහු මෙම චෝදනා කරන ලද්දේ රවි සෙනවිරත්න සහ ෂානි අබේසේකර ජාතික ජනබලවේගයට එක්වීමට ප්‍රතිචාරයක් ලෙසය.

සහකාර පොලිස් අධිකාරී නුවන් ඩී දන්තනාරායන විසින් පසුගිය ජූලි 07වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දක්වා ඇත්තේ, පාලිත සිරිවර්ධනගේ පැමිණිල්ල අනුව රවි සෙනවිරත්න අපරාධමය වරදක් සිදු කර ඇති බව බැලු බැලිමට පෙනී යන බවය.

ජනාධිපතිවරණයෙන් රනිල් රාජපක්ෂ ජය ගනු ලැබුවේ නම් එම පැමිණිල්ල මත මේ වන විට රවි සෙනවිරත්න කවර හෝ චෝදනාවක් මත අත්අඩංඟුවට ගෙන තිබීමට හොදටම ඉඩ තිබුණි.

ඉන්දුක සිල්වාගේ වාර්තාව පදනම් වී ඇත්තේ 2019 අප්‍රේල් 09 දින එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් ඔහු ලද ඉන්දීය බුද්ධි තොරතුර ගැන එවන ලද අති රහසිගත ලිපිය අනුව රවි සෙනවිරත්න කටයුතු නොකළේය යන චෝදනාව මතය. රවි සෙනවිරත්න එම චෝදනාවට ඇති තරම් පිළිතුරු දී ඇති නමුත් හදිසියේම ඉදිරිපත් වූ පාලිත සිල්වාගේ පැමිණිල්ලක් මත ඉන්දුක සිල්වා මෙම පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර තිබේ.

ඇත්ත වශයෙන්ම නම් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තකු වන්නේ නිලන්ත ජයවර්ධන බව මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර මිලියන 75ක් දඩ ගසා තිබේ. ඉන්දුක ද සිල්වාගේ වාර්තාව  දීර්ඝ වශයෙන් නිලන්ත ජයවර්ධනගේ සාක්ෂිය මත රඳා පවතී.

නිලන්ත ජයවර්ධන පාස්කු ඉරිදා ප්‍රහාර වැළැකවීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස විමර්ශන කොමිසම කරන ලද නිර්දේශය  ගෝඨාභය සහ රනිල් යන රාජපක්ෂවරුන් දෙදෙනාම යටතේ සිදු නොවීය. එනමුත් පාලිත සිල්වාගේ චෝදනාවෙන් දින දෙකකට පසු රවි සෙනවිරත්නට විරුද්ධව නිලන්ත ජයවර්ධනගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලදී.

රවි සෙනවිරත්න සහ ෂානි අබේසේකර ලද නව පත්වීම් නිසා සියලු ආකාර දූෂිත සහ භීෂණකාරි බලවේග බියට පත්ව සිටින බව රහසක් නොවේ.  හුදෙක් පාස්කු ඉරිදා ප්‍රහාරය පමණක් නොව රාජපක්ෂ සමයෙහි සිදවූ බවට කියැවෙන අපරාධ සහ දූෂණ සම්බන්ධ පරීක්ෂණද දැන් ආරම්භ වී තිබීම යටිබිම්ගත පාර රාජ්‍යයේ මහත් කණස්සල්ලට හේතු වී ඇති බව පෙනෙන බව විශ්ලේෂකයෝ පවසති.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩීන් ඝාතනය, කීත් නොයර් පැහැර ගෙන යෑම යනාදී අපරාධයන්ට  පාර රාජ්‍ය ඍජුවම සම්බන්ධ වූ අතර එම ජාලය හෙළිවීම වැළැක්වීමට මරාගෙන මැරෙන මට්ටමේ ප්‍රහාරයකට භීෂනකාරී බලවේග සූදානම් විය හැකි බවත් එම පිරිස් දක්වති.

මෙයට පෙරද එවැනි බලවේග ෂානි අබේසේකර ඝාතනය කිරීමට පවා සැළසුම් කර තිබුණි. දැන් එවැනි බලවේග වියරුවැටී ඊටත් වඩා භයානක මාවත් සොයමින් සිටිනු ඇතැයි විශ්වාස කෙරේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා සම්බන්ධයෙන් රාජ්‍ය දේපල අවභාවිතය සම්බන්ධයෙන්ද  වෙනම පරීක්ෂනයක් දැන් ආරම්භ වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග දක්වයි.

Leave a Reply