පසු ගියදා පොළොන්නරුවේ පැවති රැස්වීමක දී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අපුරු කතාවක් කළා. පොහොට්ටුව – පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කර ගන්නෙ සහ දැන් ඔහුට සහාය දෙන්නේ ඇයි කියන කාරණය ඔහු පැහැදිලි කළා. දැන් ඉන්නේ එදා හිටිය රනිල් නෙවෙයි, දැන් ඔහු වෙනස් වෙලා ලූ. කොහොමද වෙනස් වෙලා තියෙන්නේ. රනිල් මහත්තයා එදා බටහිරට ගැතියි, දැන් එහෙම නැහැ ලූ, රනිල් මහත්තයා එදා මානව හිමිකම් ගැන කතා කළා. අද එහෙම නැහැ ලූ. බටහිර තානාපති කාර්යාල අච්චර කියද්දිත් අරගලය මර්දනය කළ ආකාරයෙන් එ් බව පේනවා ලූ.
මීට සති කීපයකට පෙර නාමල්ගෙ තාත්තා මහින්ද රාජපක්ෂත් මේ ආකාරයේ කතාවක් කළා. එදා අපි රනිල්ට විරුද්ධව හිටිය ලූ. ඒත් දැන් අපි එයාට සහාය දෙනව ලූ , රනිල් දැන් යහපත් මිනිහෙක් වෙලා ලූ.
මේ විදියට රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ පවත්වා තබා ගැනීම සාධාරණීකරණය කරන්න කරුණු එකතු කරනවා. මහින්ද, ගෝඨාභය, බැසිල් ඇතුළු රාජපක්ෂ පරපුර ඇහැට පේන්න, කනට ඇහෙන්න බැරි තරමට ජනතාවට එපාවෙලා තියෙද්දී තමන්ව බේරගත්ත රනිල් වෙනුවෙන් මෙහෙම සහතික දීම සහ ඔහු ආරක්ෂා කිරීම රාජපක්ෂලාගේ අනිවාර්ය යුතුකමක්. ඒත් රනිල් හොරෙක්, පරගැතියෙක් කියල හංවඩු ගහල තමන් වෙනුවෙන් ඡන්දය දීපු පොහොට්ටුවාදී ජනයාට පෙන්නන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් රනිල් හොඳ මිනිහෙක් කියලා. ඒ යුතුකම තමයි මහින්ද, නාමල් රාජපක්ෂ පියපුතු දෙදෙනා මේ ඉටු කරමින් ඉන්නේ.
ඇත්තටම රනිල් වෙනස් වෙලාද? මේක පොඩ්ඩක් විමසා බලන්න ඕන කාරණයක්. මෙතනදී නාමල් රාජපක්ෂ කිව්ව තව දෙයක් සඳහන් කරන්න ඕන, මහින්ද මහත්තයට ත්රස්තවාදයට මුහුණ දෙන්න පුළුවන් රනිල් මහත්තයට කැරලි මර්දනය කරපු හොඳ ඉතිහාසයක් තියෙනවා කියලා ඔහු කිව්වා. ඒ කියන්නේ 88 – 89 භීෂණ සමය ගැනයි. 1988 දී ජේ.ආර්.ජයවර්ධනයි. 89 දී ප්‍රේමදාස දෙන්නම එවකට තරුණයන් 60000 ක් විතර ටයර් සෑවල අළු කරපු සමයේදී රනිල් වික්‍රමසිංහ ප්‍රබල ඇමතිවරයෙක් බටලන්ද වධකාගාරය මුලුගේම පවත්වාගෙන ගියේ රනිල්ට ඕන විදියට එ් අනුව නම් නාමල් රාජපක්ෂගේ ඒ කතාව හරි බටලන්දේ රනිල් කැරලි මර්දනයට හපනා තමයි.
නාමල් කිව්ව විදියටම රනිල් දැන් මානව හිමිකම් ගැන කතා කරන්නේ නැහැ තමයි. ඔහු දැන් යහ පාලනය ගැනවත්, ලිච්ඡවි ක්‍රමයට රාජ්‍ය පාලනය ගැනවත් කතා කරන්නේ නැහැ. ඔහු දැන් කතා කරන්නේ ත්රස්තවාදයක් ගැන සහ ත්රස්තවාදීන් කියලා ඔහු සලකන පිරිසක් ගැන. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කරන්නේ නැහැ කියල 2017 දී බ්රස්ලස් නුවරදී ලෝක ප්‍රජාව ඉදිරියේ පොරොන්දු වූ රනිල් වික්‍රමසිංහ 2022 දී නිර්ලජ්ජිත විදියට නිරායුධ සිසු නායකයෙක් සිරකර තැබීම සඳහා එම පනත යොදා ගන්නවා. ඒ වගේම දන් ඔහු ඡන්ද කල් දැමීමට සුදානම් වෙනවා. ඒ සඳහා යොදා ගන්න යන උප්පරවැට්ටිය තමයි පලාත් පාලන ආයතන වල දැනට ඉන්න 8000ක් තරම් සභිකයෝ සංඛ්‍යාව 4000ට අඩු කරන්න ඕනය කියලා. මේ සියළුම කාරණා රනිල් කරන්නේ රාජපක්ෂලා ඇතුළු පොහොට්ටු කල්ලිය සතුටු කරන්න. මේ වෙලාවේදී ඡන්දයක් ඕන නැති ප්‍රධාන කොටස් දෙක තමයි රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ කල්ලිය. මෙහෙම බලද්දී නම් රනිල් වෙනස් වෙලා තමයි. හැබැයි ඒ රටේ ජනතාවගේ පැත්තට නම් නෙවෙයි රාජපක්ෂ කල්ලියේ උවමනා එපාකම් ඉටු කිරීමේ දිසාවටයි.
මුලින් මහ උජාරුවට ඉදිරිපත් කරනු 22 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයට ගැනත් රනිල් දැන් වචනයක් කියන්නේ නැහැ. ඒකෙ තියෙන එක වගන්තියක් තමයි ද්විත්ව පුරවැසියන්ට ඡන්දය ඉල්ලන්න බැහැ කියන එක. රාජපක්ෂලා සහ පොහොට්ටු කල්ලිය මේ වගන්තියට විරුද්ධයි. 22ට ඡන්දය දෙන්න නම් මේ වගන්තිය ඉවත් කරගන්න ඕන කියලයි ඔවුන් කියන්නේ. ඔවුන්ව සතුටු කරන්න රනිල් මේ වගන්තිය වුනත් ඉවත් කරන්න බැරි නැහැ.
හුණුවටයේ කතාවේ ග්‍රෘෂා ඉතා අසීරුවෙන් වැල් පාලමෙන් කුඩා දරුවකු වඩාගෙන එගොඩ වෙන දර්ශනය අපට මතකයි. ඒ අවස්ථාවේදී ඇඟ ලොමු ඩැහැ ගැන්වෙනවා. රනිල් අගමැති වුන වෙලාවේ දී මේ ග්‍රෘෂා වැල් පාලමෙන් එගොඩ වෙන අවස්ථාව මතක් කෙරුවා. ඔහු කිව්වේ තමාටත් ග්‍රෘෂා මෙන් වැල් පාලමකින් එගොඩ වීමට සිදු වී ඇති බවයි. ඒ ශ්‍රි ලංකාවේ ආර්ථිකය නමැති දරුවා වඩාගෙන බවයි රනිල් කිව්වේ. ඒත් ඇත්තටම ඔහු එදා ඒ කතාව කිව්ව කරුණු වසන් කරල බව දැන් පැහැදිලියි. එදා ග්‍රෘෂා වැල් පාලමෙන් එගොඩ කරන්න වඩාගෙන ගියේ තමන්ගේ දරුවෙක් නෙවෙයි. රජ පවුලක කුමාරයෙක්. රනිල් වික්‍රමසිංහ අද වැල් පාලමෙන් එගොඩ කරමින් ඉන්නෙත් නාමල් රාජපක්ෂ කියන ‘ඔටුන්න හිමි කුමාරයා.’ බව පැහැදිලියි. ඒකයි නාමල් බේබි රනිල් අංකල්ට මෙච්චර ආදරේ.
මේ නාමල් කුමාරයි තමයි මුලින්ම යෝජනා කළේ අරගලකරුවන් පුනරුත්ථාපනය කරන්න ඕන කියලා. එහෙම කියලා වැඩි දවසක් යන්න වුනේ නැහැ දැන් රනිල් අංකල් ඔන්න නාමල් බේබිට පුනරුත්ථාපන කාරයාංශයක් ඇති කරන්න හදනවා. ඒ සඳහා වන පනත් කෙටුම්පතක් දැන් ඉදිරිපතක් කරල තියෙන්නේ. මේ කෙටුම්පත අනුව හිටපු සටන්කරුවන් සහ නොමග ගිය අරගලකරුවන් කියල කොට්ඨාශයට අයිති වෙන අය නිශ්චිතව නිර්වචනය කරල නැති ඉතාම හිටපු සටන්කරුවන් කියන එකෙන් (LTTE) සංවිධානයට සම්බන්ධ වී සිටි අය කියල හිතන්න පුළුවන්. නොමගගිය අරගලකරුවන් කවුද කියලත් නිර්වචනයක් නැහැ. එ්කත් ඉතින් නාමල් බේබිට ඕන විදියට තමයි අර්ථ දැක්වෙන්න තිබුණේ. ගාලූ මුවදොර කේන්ද්‍ර කරගත් අරගලයේ යෙදුනු තරුණයින් තමයි ප්‍රධාන වශයෙන් මෙහිදී ඉලක්ක කෙරුනේ. හැබැයි ඒක එතනින් නවතින්නේ නැහැ. රනිල්ලා, මහින්දලා, නාමල්ලා දේවත්වයෙන් ආරක්ෂා කරන අද යුගයේ තරුණයන් විසින් පෙරළා දැමීමට, විනාශ කිරීමට පුලපුලා සිටින මේ ජරාජීර්ණ ධනේශ්වර ක්‍රමයට එරෙහිව ඉදිරියේදී හෝ අරගල බිමට එළඹෙන ඕනෑම තරුණයෙක් තරුණියක් නොමග ගිය අරගලකරුවෙක් කියල ලේබල් ගහලා පුනරුත්ථාපනය කරනවා කියල ගාල් කරල තියන්නයි සැලසුම තිබුණේ.
වාසනාවකට වගේ මේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ඒ උත්සාහය වැරදුනා. මොකද ඒ තරමට රටේ පවතින මූලික නීතියට – ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටත් පටහැනි ආකාරයට තමයි මේක සකස් කරල තිබුණේ. අපි දන්නවා ආණ්ඩුවේ – රනිල්ගේ, නාමල්ගේ, රාජපක්ෂලාගේ උවමනාව තිබුණෙ ඒ විදියට අරගල කරුවන් කොටු කරන්න තමයි. ඒත් මේ නීතිය කෙටුම්පත් කරන්නේ අවසාන වශයෙන් නීතිපතිගේ අනුමැතියෙන්. එතකොට මේ තරම ‘මකර නීතියක්’ නීතිපති අනුමත කළේ කොහොමද? මෙයින් පෙන්නුම් කෙරෙන්නේ නීතිපති වැනි ආයතනයක් කොයි තරම් ජරාජීර්ණ විදියට දේශපාලනීකරණය වෙලාද කියන කාරණයයි. අධිකරණය තවම එයිට පොඩ්ඩකක් උඩින් ඉන්නවා. නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය, බන්ධනාගාර, අධිකරණය ආදී සියලු ආයතන රාජ්‍යයේ මර්දන ත්රස්තයේ උපකරණ බව අපි කිසි විටෙකත් අමතක කරන්න නරකයි.
මෙහෙම බලන කොට රනිල් මහත්තයා වෙනස් වෙලා තියෙනවා. යහ පාලනය, ලිබරල් නිදහස, මානව හිමිකම්, ප්රජාතන්ත්රවාදය, සංහිඳියාව වගේ වචන දැන් ඔහුගේ ශබ්දකෝෂයේ නැති තරම්. ඒ හැම ප්‍රශ්නයකින්ම ඔහු දැන් රාජපක්ෂ කල්ලියේ උවමනා එපාකම් නියෝජනය කරන, ඉටු කරන පුද්ගලයෙක් බවට පත්වෙලා තියෙන බව පැහැදිලියි. ඒ නිසා මහින්ද රාජපක්ෂ කිව්ව කතාව හරි, රනිල් ‘යහපත් මිනිහෙක්’ වෙලා කියලා.
හැබැයි රනිල් වෙනස් නොවුන, නොවෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි අධිරාජ්‍ය ගැති නවලිබරල් වාදය වෙනුවෙන් ඔහුගේ තියෙන කැපවීම සහ බැඳීම. රටේ නායකය වශයෙන් ඔහු දැන් කරමින් ඉන්නේ මේ රටත්, ජනතාවත් නව ලිබරල්වාදයේ කනත්තට ගෙන යන එකයි. ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද කියන නායකයන් පෝෂණය කළ නව ලිබරල්වාදී ආර්ථික ගමන ගොස් අවසන් කරන්නයි ඔහුට ඕන. බලයට පත්වෙලා ගෙවීගිය මාස හතරක කාලයේ ඔහු කළ හැම කතාවකම ගැබ්වෙලා තිබුණෙ මේ රට ඒ කනත්තට දක්කන්න ඔහුට තිබුණ උවමනාව. දැන් (LTTE) එකත් එක්ක ගිවිසුම ගහල අවසන් කරන්න ඔහුට තියෙන තදියමත් ඒකයි. ඒ සඳහා මේ තරම් හොඳ අවස්ථාවක් කවදාවත් ආයෙ ලැබෙන්නේ නැති බව ඔහු දන්නවා මොකද රනිල්ගේ ගමන් මගට විරුද්ධව මෙතෙක් බොරුවට මොරදුන්න රාජපක්ෂවාදී පොහොට්ටු කල්ලිය දැන් යස අගේට රනිල්ගේ කරට අතදාගෙන ඉන්නේ.
ඒත් ඔහුගේ ගමනට තියෙන ලොකුම බාධාව මේ රටේ සංවිධිත කම්කරු පන්ති ව්‍යාපාරය බව ඔහු දන්නවා. ඒ නිසා වෘත්තීය සමිති ව්‍යාපාරය බිඳ දැමීම වෙනුවෙන් ඔහු සූක්ෂම ලෙස වැඩ කරගෙන යන්නේ. අත්‍යවශය සේවා නියෝග, හදිසි නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ ආයුධ ඔහු පාවිච්චි කරන්න මැලිවෙන්නේ නැහැ. ඒ නිසා ලොකුම අභියෝගය තියෙන්නේ වැඩ කරන පන්තියේ ජනයාටයි. පන්තිය වශයෙන් එකතු වී මේ ‘මාර ප්‍රහාරය’ ට මුහුණ දෙනවාද, නැතිනම් නිවට ලෙස පසුබැස යනවාද කියන ප්රශ්නය දැන් පන්තිය ඉදිරියේ තියෙනවා. කම්කරු පන්ති ව්‍යාපාරය වශයෙන් සහ පන්තිය නියෝජනය කරන වමේ ව්‍යාපාරය වශෙයෙන් අප රනිල්ගේ පාරට පාර දෙන්න ලෑස්තියි. පසු බසින්න සුදානම් නැහැ. ඒත් අපි කොච්චර ශක්තිමත්ද කියල අප අතරම හරි මැනීමක් තියෙන්න ඕන. අපේ ශක්තිය අපේ එක්සත්කම ඇර අන් දෙයක් නෙවෙයි. අපි හරියට එක්සත් වුනොත් රනිල්ලා, රාජපක්ෂලා, මෙන්ම උන් නියෝජනය කරන පන්තියත් දේශපාලන කනත්තට දක්කන එක අමාරු වැඩක් නෙවෙයි.
- කදුකර දෙමළ ජනයාගේ නිම නොවූු අරගලය.. - November 13, 2023
- රනිල්ගේ ප්රජාතන්ත්රවාදය සහ සාක්කුවෙන් අරන් දෙන මැතිවරණ - March 24, 2023
- රනිල් මහත්තයා දැන් වෙනස් වෙලා..? - November 4, 2022