You are currently viewing රනිල්ගේ අතුරු අයවැය සහ IMF සුරගන කතා..

රනිල්ගේ අතුරු අයවැය සහ IMF සුරගන කතා..

ගෝඨාභය රාජපක්ෂ නැවත ලංකාවට පැමිණ තිබේ. එහි සරල ප්‍රකාශනය නම් රාජපක්ෂවාදයට සහ එහි අනාගත ගොඩනැංවීමට රනිල්ගේ මර්දනීය රෙජීමය අනිවාර්ය සහයෝගයක් ලබා දෙනු ඇති බවයි. එමෙන්ම ඉදිරි දේශපාලනය සදහා මේ කුප්‍රකට පන්ති-පවුල් බල හවුල විසින් ඇති කරනු ඇති බලපෑම කිසිසේත්ම අවතක්සේරු කළ නොහැක. මැතිවරණ තමන්ගේ ඉදිරි දේශපාලන උපායමාර්ග බවට පත්කර ගත් සියලුම දේශපාලන පක්ෂ ජනතා අරගලයේ අභිලාස පාවා දෙනු ඇත්තේ මේ පන්ති-පවුල් හවුල විසින් එලනු ලබන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී උගුලටය. ඒ උගුල විසින් සාපලත් දේශපාලන තන්ත්‍රයේ සහ එහි කතෘවරුන්ගේ බලය එලෙසම පවතිනු ඇත.

පන්නා දැමු ගෝඨාභය ‘ගෙදර එනවිට’ IMF එකත් ‘ගෙදර පැමිණීම’ අහම්බයක් නොවේ. දේශපාලන බලය ක්‍රියාත්මක කිරීමේ වියමන මෙයයි. IMF විධායක නිලධාරීන් සහ IMF හිතවාදීන් IMF නිර්දේශ ‘යහපත්ව’ ක්‍රියාත්මක කිරීම සදහා ජනතාවගේ බලය නිරූපනය වන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළත් ඒවා නිර්දය ක්‍රියාවලියක් ‘අයිසින්’ කිරීමට කරන නිෂ්ඵල උත්සාහයන් ය. IMF ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය තාවකාලිකව අඩස්සි කළ තත්වයක් තුළ පමණි. IMF ඉතිහාසය අපට කියන සත්‍යය එයයි.

සමාජ ආරක්ෂණය සදහා වූ සටන් මෙන්ම ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදය කඩ කරන ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි සටන් ‘ආර්ථික සමෘධියේ’ නාමයෙන් මර්දනය කිරීමේ තාර්කික බලයක් IMF මැදිහත්වීම හරහා ලැබෙනු ඇත. අතුරු අයවැය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ තවදුරටත් රදවාගෙන සිටීම මේ මර්දනිය ක්‍රියාවලියේ පුර්වාදර්ශයයි.

රනිල් රාජපක්ෂගේ අයවැය ජනතාවගේ හුස්ම හිරකරන අයවැයකි. ඔබ ඉන් සතුටු වූවානම්, ඒ ගැන වර්ණනා කළා නම් ඒ ඔබේ ‘පන්තිය කතා කරන’ මොහොතයි. අවාසනාවකට කතා කළ හැකි, රනිල්ගේ විකුනොමික්ස් වර්ණනා කළ හැකි බොහෝ දෙනා මෙන් නොව අනෙක් ජනතාවට කතා කළ නොහැක, හෝ ඔවුන්ගේ කතාව මර්දනයෙන් අවහිර කර ඇත. ආර්ථික අර්බුදයෙන් හුස්ම හිරවූ ජනතාව අපරාධකරුවන් හෝ ෆැසිස්ට්වාදීන් බවට පත් කරමින් තිබේ. අසාර්ථක නව ලිබරල්වාදය මිනිසුන්ගේ හුස්ම හිරකිරීමේ ක්‍රියාවලිය සදහා යොදා ගැනීමේ සම්භාව්‍ය උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය බහුවිධ පීඩනය ඉතිහාසගත වීමට නියමිතය.

රනිල්ගේ විකුනොමික්ස් ගැන W.A. විජේවර්ධන, රොහාන් සමරජීව වැනි අය තමන්ගේ පරණ පුරුදු සුරංගනා කතාම කියමින් සිටිති. (කියවන්න W.A. විජේවර්ධන ලියු  රනිල්ගේ ඉකොනොමික්ස් ඩිස්නිලන්තයක ක්‍රියාත්මක වෙන ආකාරය  Child’s Guide To How Ranilnomics Should Be Designed & Implemented). ජනතාව නිෂ්ක්‍රිය ග්‍රාහකයින් යන සමාජ සම්බන්ධතාව වෙනස් වී තිබේ. නමුත් බොහෝ බුද්ධි කල්ලි තවමත් පසුවන්නේ මේ උපකල්පනය මතය. එය සමාජය විසින් ඉදිරියේදී තවදුරත් බොරු කරනු ඇත.

රනිල්ගේ අයවැය යනු 2022 මාර්තු මාසයේ ඉදිරිපත් වූ IMF නිර්දේශ විධිමත් කිරීමකි. නැත්නම් රනිල් අධිපතිත්වය දරන පාර්ලිමේන්තු නීතිය හරහා අවස්ථාවාදී ලෙස නීතිගත කිරීමකි. මේ සියලු ක්‍රියාවලියේ ප්‍රතිවිපාක සමාජයක් වශයෙන් අප දැරීමට සුදානම් කිරීමේ මෙහෙයුම මේ වන විටත් ආරම්භ කර ඇත. වැට් බද්ද 15% දක්වා වැඩි කරනුයේ අහිමි වූ රජයේ බදු ආදායම ධනපති පන්තියේ ආදායමට හානියක් නොවන පරිදි උපයා ගැනීමටය. ලිබරල්වාදීන්ගේ මනදොළ පිනවමින් නැවත වටයකින් රාජ්‍ය ආයතන සහ ජාතික සම්පත් පුද්ගලිකකරණ මෙහෙයුම ක්‍රියාත්මක වේ. මේ කතිකාව සමාජය තීරණාත්මකව දෙකඩ කරනුයේ වැඩකරන පන්තියේ වේදනාවන් සහ කෙටි කාලින ද්‍රව්‍යාත්මක අවශ්‍යතා නොලැබීයාම ‘රාජ්‍ය අංශයේ පාපයක්’ යන දෘෂ්ටිවාදය නිර්මාණය කිරීමෙනි. ඉන්ධන පෝලිම්, විදුලිය , ජලය සහ දිගුකාලින වශයෙන් පාඩු ලැබූ ගුවන් සේවය රාජ්‍ය ආයතන කාර්යක්ෂම, සමාජ ප්‍රතිලාභ ආයත බවට පරිවර්තනය කිරීමේ හැකියාව පුද්ගලීකරණය යන කඩතුරාවෙන්වසා දමයි. ඒ වෙනුවෙන් පෙනී සිටින, ක්‍රම සම්පාදනය කරන සහ න්‍යාය සංවිධානය කරන අගනුවර කේන්ද්‍රීය සිවිල් චරිත සහ ආයතන කරමින් ඉන්නේ ඔවුන්ගේ ඓතිහාසික පන්ති කාර්යභාරය බව වැඩකරන සහ සියලුම පිඩිත පන්තිය මතක තබා ගත යුතුය. අරගලයේ පැහැදිළි දිගුවක් ලංකාවේ නැගෙමින් පවතින ටෙක්නොක්‍රටික් ආධිපත්‍යට විරුද්ධව ක්‍රියාත්මක විය යුතුය. ජාතික ආදායමේ ප්‍රතිව්‍යප්තියක් ගැන කිසිවක් සදහන් නොවන්නේ කෙසේද යන්න ගැන මොවුන්ව ප්‍රශ්න කළ යුතුය.

IMF ලබා දෙන්නේ අවුරුදු 4 ක් සදහා ඩොලර් බිලියන 2.9 ක් පමණි. එනම් ඩොලර් මිලියන 2900 කි. ශ්‍රී ලංකාවේ මේ වනවිට මාසික විදේශ ආදායම් වල අගය ඩොලර් මිලියන 1600 කි. එනම් IMF ලබා දෙන ණය මුදල මෙන් 30 ගුණයකට ආසන්න විදේශ ආදායමක් ඉපැයීමේ ශක්‍යතාවක් ශ්‍රී ලංකා ආර්ථිකයට ඇත. මේ සැබෑ ශක්‍යතාවය සෑම විටම සැගවීමට සහ අවතක්සේරු කිරීමට මේ පාලකයන් සහ ඔවුන්ගේ න්‍යායාචාර්ය වන්දිභට්ටයන් උත්සහ කරන්නේ ඇයි? නැවත වරක් අපට පන්තිය සහ එහි දෘෂ්ටිවාදය සම්මුඛ වෙයි. මේ පන්තිය සහ ආර්ථික දෘෂ්ටිවාදය අවරුදු 40 කට වඩා කාලයක් ක්‍රියාත්මක වී ආර්ථිකය සම්පුර්ණයෙන්ම විනාශ කර පරම්පරා ගණනාවක ජිවිත කාලය නාස්ති කර ඇත. මින් ඉදිරියට ජනතාව කිසිදු ආකාරයකින් මේ පන්ති බලයට හෝ ඒ පන්ති බලය සංස්ථාපනය කරන කිසිදු දේශපාලන ව්‍යාපාරයකට බලය පාවිච්චි කිරීමට ඉඩ නොතැබිය යුතුය.

තමන්ගේ මිනීවල කපන්නට මේ පාලකයන්ට සහ වන්දිභට්ට ආර්ථික දේශපාලන න්‍යායාචාර්යවරුන්ට ඉඩ දෙනවාද යන්න ජනතාව හැකි වහාම තීරණය කළ යුතුය.

Leave a Reply