You are currently viewing ‘..රජයෙන් සැඟවී, ජනතාව අතර එළිපිට වැඩ කළ බාහු..’ – ඩී.පී. සමරසිංහ

‘..රජයෙන් සැඟවී, ජනතාව අතර එළිපිට වැඩ කළ බාහු..’ – ඩී.පී. සමරසිංහ

1977 බලයට පැමිණි එ.ජා.ප රජයේ ජේ.ආර් ජයවර්ධන  විසින් සම්මත කළ ආණ්ඩු ක්‍රම  ව්‍යවස්ථාවට  විරුද්ධව කළු කොඩි දැමීම නිසා බාහු සහෝදරයා  සමග සහෝදරයන් ගණනාවක් අත් අඩංගුවට  ගෙන රක්ෂිත බන්ධනාගාර ගත  කළා. ඒනිසා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා කථිකාචාර්ය  ධූරයද අත් හිටවනු ලැබුවා.

80 ජූලි මහා වැඩවර්ජනයට  සහයෝගය සදහා අගෝස්තු 03 වන දින කොළඹ දී පවත්වන ලද  මහා සත්‍යග්‍රහයට  සහභාගි වූ අවස්ථාවේ දී පොලිස් අත් අඩංගුවට ගෙන සිරගත කරනු ලැබුවා.  ඒ වෙලාවේ පොලිසිය විසින් කරන ලද බැටන් පොලු  පහරකින් ඔහුගේ  දකුණු  අතේ ඇටයක් පුපුරා ගියා. දීර්ඝ කාලයක් විභාග කළ නඩුව කිසිම චෝදනාවක් නැතිව නිෂ්ප්‍රභ  කළා.

වික්‍රමබාහු සහෝදරයා, ඩී.පී සමරසිහ සහෝදරයා සහ ඔහුගේ දියණිය සමග..

77 සිට වසර පනහකට වැඩි කාලයක් තිස්සේ  එකම ප්‍රතිපත්තියක දැඩිව සිටි බාහු රට නොබෙදා බලය බෙදා  එකම ශ්‍රී ලාංකික ජාතියක් ගොඩ නැගීම වෙනුවෙන් තම ජීවිතයම කැප කළා. එනිසා ඊනියා දේශප්‍රේමීන් ඔහු  දෙමළ කොටියෙකු ලෙස හඳුන්වනු ලැබුවා  පමණක් නොව පොලු මුගුරු වලින් පහර දෙනු ලැබුවා.

පුස්තකාලයට යෑමට සූදානම්ව..

එ.ජා.ප රජයේ ප්‍රබල ඇමතිවරයෙකු විසින් ගිනිජාලාවක් බවට පත් කළ 83 කළු ජූලිය වාමාංශික  පක්ෂ විසින් ඇති කරනු ලැබූවක්  බවට ප්‍රකාශ කළ ජේ.ආර්. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, නව සම සමාජ පක්ෂය,  හා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කර ඒවායේ නායකයින් අත් අඩංගුවට  ගැනීමට නියෝග කළා. එම පක්ෂවල දේශපාලන  මණ්ඩල සභිකයන් සැඟවීමට තීරණය කරනු ලැබුවා. නව සම සමාජ පක්ෂයේ  වික්‍රමබාහු, වාසුදේව, ලීනස්, සිරිතුංග, අන්නමලේ  සැඟවුනා. බොරැල්ල නගරයේ  ඉතාමත් ජනාකීර්ණ පළාතක් වන වනාතමුල්ලේ පදිංචිව සිටි මා  වික්‍රමබාහු  සඟවා තබා ගැනීමට බාර ගත්තා.

වික්‍රමබාහු සහෝදරයා, ‘ජාතියේ වංශ කථාව’ කෘතිය ලියමින්..

1984 මැයි 24 දා වාසුදේව සහෝදරයා සමග පොලිසියට  බාර වන තුරු බාහු අප නිවසේ සැඟවී  සිටියා. ඇත්තෙන්ම ඔහු සැඟවී සිටියේ රජයෙන් පමණයි. පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම් වලට සහභාගි වුනා. අසනීප වූ අවස්ථාවක මා මහා රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර ලබා දුන්නා. 84 මහජන පක්ෂයේ මැයි පෙළපාලිය නැරඹීමට කැම්බල් පාර්ක් ආසන්නයට මා සමග ගියා. වෙසක් එකට  වනාතමුල්ලේ  තරුණයන් සමග සීවලී  මාවත සැරසීමට රාත්‍රිය නිදිමරා ගෙන සහභාගි වුනා. සීවලී මාවතේ තරුණයන් සමග එක්වී ක්‍රිකට් ක්‍රීඩා කළා. වනාත මුල්ල පොලිසිය අප පදිංචි  තැන සිට මීටර් 100 ක් වත් නැහැ. අපේ අල්ලපු ගෙදර ට රාත්‍රි පොලිස් නිලධාරීන් පැමිණ රාත්‍රී 10-11 පමණ වනතුරු  කතාබහ කරමින් සිටිනවා. බාහුත් මමත්  අන් අසල්වැසියන්  වූ බර්ටි රෝහණ, ෂේමන් ආනන්ද පැමිණ අප නිවසේ ආලින්දයට වී රෑ වන තුරු  කථා කරමින් සිටියා.

ජාතික ප්‍රශ්නය පිළිබඳ වූ ඔහුගේ  ප්‍රතිපත්තිය පවා දුන්නා නම් බාහු මිය යන්නේ මේ අයුරින් නොවේ. ඔහුගේ මියයාම රටේ සුළු ජාතීන්ට විශාල පාඩුවක් වනු ඇත.

Leave a Reply