You are currently viewing මහාචාර්ය නලීන් ද සිල්වා සමාජවාදී සමාජයක් අපේක්ෂා කල අයෙක්..

මහාචාර්ය නලීන් ද සිල්වා සමාජවාදී සමාජයක් අපේක්ෂා කල අයෙක්..

ජී.වී.ඩී තිලකසිරි

මහාචාර්ය නලීන් ද සිල්වා සහෝදරයා මට මුන ගැසුණේ 1980 මහ වැඩවර්ජනයට වසර දෙක තුනකට පෙර නව සමසමාජ දේශපාලනය තුලදීය. ඔහු අපිට මාක්ස්වාදී දේශපාලනය කියා දුන් ගුරුවරයෙක් විය. ඔහු විප්ලවකාරී සමාජ පරිවර්තනය පිළිබඳ දර්ශනයත්, සමාජවාදි සමාජ ක්‍රමයකින් මිස පවතින ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි බව තදින් අවධාරණය කරමින් දැඩිව කටයුතු කල අයෙකි. විවාදයේදී කේන්තිකාර ප්‍රහාරකයෙක් වුවත් ඉගැන්වීමේ දී හා කරුණු පැහැදිලි කරදීමේදී ශාන්තුවරයකුගේ ලක්ෂණ ගත්තේය.

80 මහවැඩවර්ජනය මතුකිරීම ගැන නව සමසමාජ පක්ෂය තුල බැරෑරුම් සාකච්ඡා පැවැත්වුණු අතර වික්‍රමබාහු සහෝදරයා තදින්ම අවධාරණය කලේ කම්කරු පංතිය බලය කරා යන ගමනේ දී මහ වැඩවර්ජනය එක් අවස්ථාවක් වන අතර, එහිදී සිදුවෙන ජය පරාජයන් විනාශයන් විප්ලවකාරි පක්ෂය දරාගෙන මුහුණ දිය  යුතු බවය.

80 මහා වැඩවර්ජනය නායකයින් කැඳව්වත් එය කිසිවෙකුටවත් අවසන් කිරීමට නොහැකිව, ලක්ෂ ගණකගේ රැකියා ජේ.ආර්.ගේ ආණ්ඩුවෙන් අහිමි කිරීම පිලිබදව නලීන් සහෝදරයා මහත් කම්පනයකට පත් වු අයෙකි. එනිසා ම කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන් විනාශ කර දමන මහා වැඩවර්ජන ක්‍රියාමාර්ගයන් ඔස්සේ රාජ්‍ය බලය අත්පත් කර ගත නොහැකි බව පක්ෂයෙන් පිටත ප්‍රකාශ කර පක්ෂ අභ්‍යන්තර විනය බිඳ දැම්මේය.

ඔහු එතැනින් එපිට ගමන් කර පවතින සමාජ ක්‍රමය වෙනස්කල හැකි බලවේගය වන්නේ කම්කරු පංතිය නොවන බවත්, එය සිදුකල හැකි වන්නේ ඉංජිනේරුවන්, දොස්තරවරුන්, පරිපාලකයින් හා කළමනාකරුවන් වන මැද පංතික පිරිස වන බවත් පෙන්නා දෙමින්, එම පිරිස සමාජවාදි පංතියක් ලෙසටද නම් කර මාක්ස්වාදයේ මූලික පදනමට පහර එල්ල කලේය.  එතැනින් තවදුරටත් ඔහු ඉදිරියට යමින් මාක්ස්වාදය බටහිර යුදෙව්වාදයක් වන බවත්, ලාංකික සමාජ පරිවර්තනය සිදු කිරීමේ දී එම දර්ශනය වලංගු නොවන බවත්, ඒ සඳහා දේශිය සංස්කෘතින උරුමයන් පදනම් කරගත් දර්ශනයක් මුල්කර ගතයුතු බවත් කියා සිටියේය. එය බෞද්ධ දර්ශනය අනුව සකස් කරගත හැකි බවත්, අපෝහක තර්ක ක්‍රමය පසෙකට ලා චතුස්කෝටික තර්ක ක්‍රමය අනුව පුශ්ණ තේරුම් ගෙන ඒ අනුව විසඳුම් සෙවිය යුතු න්‍යායික පසුබිම බවද පෙන්නුම් කලේය.

මෙම අදහස් මුල් කරගෙන ඔහු එවකට ”මගේ ලෝකය” පොත එළි දක්වමින් මාක්වාදී කඳවුර හැරදමා ජාතිකවාදී කඳවුරක් ගොඩනැගීමට පිය නැගීය. ඔහුගේ එම අදහස් සහිතව මාක්ස්වාදයට එරෙහිව ලිපි පෙලක් එවකට සිඵමිණ පුවත්තෙන් ප්‍රකාශයට පත්කලේය. එවකට පැවති ජේ.ආර්.ගේ පාලනයට ඔහුගේ අදහස් නිසා විපක්ෂ වාමාංශික බලවේග බිඳ දැමීමට ප්‍රචාරක සහයක් හා විශාල ප්‍රසිද්ධියක් ද ලබා දුන්නේය. එයට පිළිතුරු සැපයු මහාචාර්ය ශාන්තද අල්විස් සහෝදරයා (පසුව ඇමරිකාවේ පරමාණු ආයතනයේ විද්‍යාඥයෙක් ලෙස රැකියාව සඳහා ලංකාව අතහැර ගියේය.) මගින් සිළුමිණ පුවත් පතේ කලාප කිහිපයක මාක්ස්වාදය විසින් පෙන්නා දුන් කරුණු පැහැදිලි කර දෙමින් නලීන් ද සිල්වාගේ අදහස් ප්‍රතික්ෂේප කලේය.

එම වකවානුව වන විට වෙනම ජාතිකවාදී පක්ෂ රටාවන් බිහිවී නොතිබුනේය. සිංහල බෞද්ධ ජාතිකවාදය ඇතුලත්ව තිබුනේ ශ්‍රී ලං.නි.ප.ය තුලය. ජේ.ආර්. විසින් නව ලිබරල්වාදී ආර්ථික මොඩලය නිර්ධය ලෙස හඳුන්වා දෙමින් එයට විරුද්ධ සියලු දෙනා පසුබස්වමින් උතුරේ මතුවූ කැරලි ක්‍රියාකාරිත්වය රාජ්‍ය බලය ජාතිවාදී මුහුණුවරකින් මෙහෙයවමින් කටයුතු කරන විට නලින් ද සිල්වා සිටියේ ජේ.ආර්. පාදඩ ගමනට විරුද්ධ වෙමිනි. නව සමසමාජ පක්ෂ සම්මේලනයකට බ්‍රිතාන්‍යයේ මිලිටන් ප්‍රවණතාවයේ නායක ටෙට්ග්‍රාන්ට් සහෝදරයා ලංකාවට පැමිණ සම්මේලන කථාවේදී ජේ.ආර්. ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ශ්‍රීලනිප විපක්ෂ බලවේග ඉදිරියට ගැනීමට සහය විය යුතු බව  ප්‍රකාශ කළේය. එයට මහත් ප්‍රසිද්ධියක් පුවත්පත් වලින් ලැබුණු අතර, ඔහුව වහාම රටින් පිටුවහල් කිරීමට ජේ.ආර්. ජනාධිපතිගෙන් නියෝග ලැබුණි. නමුත් පක්ෂය සියලු උත්සාහයන් ගනිමින් ටෙට්ග්‍රාන්ට් සහෝදරයාගේ වෙස් මාරු කර ඔහුව පිටමං කිරීමට රජයට ඉඩනොදී සගවාගෙන රජයට අභියෝග කර අවස්ථාවේ දී නලින් ද සිල්වා පක්ෂය හැරගොස් සිටියත් ‍ ‍ජේ.ආර්.ගේ නීති බිදීම සඳහා ඔහුද අප හා එක් විය. කිසිදු අවධානමක් හෝ බියක් නොදක්වා ඔහුගේ වාහනය හා ආරක්ෂක ස්ථාන කරා ගෙනගොස් ටෙට්ග්‍රාන්ට් සහෝදරයා සගවා ගෙන සිටීම තරම් එඩිතර කමක් ඔහුට තිබුනි. ඒ නිසා ඔහු කිසිවිටක අන්තවාදියෙක් නොවුනි.  

බොහෝ ජාතිකවාදීන් තමුන්ගේ දේශපාලන පක්ෂ හා සංවිධාන නලීන් සහෝදරයා පෙන්නුම් කල දර්ශනයන්හි පිහිටා පසුකාලීනව ගොඩනඟා ගෙන පාර්ලිමේන්තු ගමන් සාක්ෂාත් කර ගතිතත් ඔහු එම පක්ෂ කිසිවකටත් ඇතුල් කර තබාගතහැකි පුද්ගලයෙක් වූයේද නැත. එයට හේතුව වන්නේ ඔහු තමාගේ විග්‍රයන්ට මුල්තැන දෙමින් පාර්ලිමේන්තු දේශපාලන ගැන නොතකා කටයුතු කිරීම විය හැකිය. ඔහු එම පක්ෂ වෙනුවෙන් පෙනී නොසිටියත් ජනතා ක්‍රියාකාරිත්වයේ දී ඔහු ඉදිරිපත් කළ මතයන් නිසා දේශපාලන නායකයින් ඔහුව තම කඳවුරේ රඳවා ගැනීමට වරප්‍රසාද ලබා දුන්නත් ඔහු ඒ කිසිවකටත් අවනතවූයේ නැත.

මහාචාර්ය නලීන්ද සිල්වා ජාතිකවාදී කඳවුරේ දැවැන්තයෙක් වුවත්, ඔහු කිසිවිටකත් සමාජවාදී සමාජ ක්‍රමය ගැරහීමකට ලක් නොක‍ලේය. ඔහුගේද දර්ශනය අනුව සැමට සමානත්ව පදනමකින් බෙදාහදාගෙන සාමකාමීව ජීවත්විය හැකි සමාජයක් පිලිබද අදහස හිතේ දරාගත් අයෙකි. ඔහු පසුකාලීනව වෙනම රාජ්‍යයකට විරුද්ධ වූයේ එම තේරුමේ සිටය. ඔහු නැගු ප්‍රශ්ණය වූයේ සමාන අයිතිවාසිකම් දිනාගැනීමේ මාවත අතහැර වෙන්වීමකට ගමන් කරන්නේ කාගේ උවමනාවක් වෙනුවෙන්ද යන්නයි. අපි එකිනෙකා කුමන මාර්ග ඔස්සේ ගමන් කලත් අවසානයේ සමාජවාදී සමාජයක අරමුණු වෙනුවෙන් ඔහු ද අවසානය දක්වා පෙනී සිටියේය. ඔහුගේ වියෝව ගැන අපි ශෝක වෙමු.

Leave a Reply