එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් මානව අයිතිවාසිකම් මණ්ඩලයේ 55 වැනි සැසි වාරය අමතමින් මර්දනකාරී පනත් ගෙන ඒමෙන් ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය අනතුරට පත් වන්නේයැයි අනතුරු හඟවයි.
ඔහුගේ දේශනයේ ශ්‍රී ලංකාවට අදාල කොටස පහත සඳහන් වේ.
වසර දෙකකට පෙර ගැඹුරු ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ ආර්ථික අවකළමනාකාරිත්වයට සහ දූෂණවලට වගවීම ඉල්ලා ශ්‍රී ලාංකිකයන් සිය දහස ගණනක් විදි බැසිම නිසා පරම්පරාවක් තුළ ඇති වූ වඩාත්ම බරපතළ සමාජ ආර්ථික අර්බූදයකට හේතු විය. රටේ සියලුම ප්‍රජාවන්ට සෙත සැලසෙන දිගු කලක් තිස්සේ කළ යුතුව තිබුණ පරිණාමයකට රට අවතීර්ණ වනු ඇතැයි දැඩි අපේක්ෂාවක් තිබිණ.
ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර කිරීමට වැදගත් පියවර ගෙන ඇති අතර මූලික අයිතිවාසිකම් සහ නිදහස, නීතියේ ආධිපතයය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ට දීර්ඝ කාලීනව බලපෑමක් විය හැකි නව හෝ යෝජිත නීති හඳුන්වාදීම ගැන මගේ කණස්සල්ල යොමුව ඇත.
මේවාට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත, ප්‍රති ත්‍රස්ත පනත, විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාර පනත සහ රාජ්‍ය නොවන සංවිධාන අධීක්ෂණ සහ ලියා පදිංචි කිරීමේ පනත අයත් ය. මෙම පනත්වලින් නොයෙකුත් ආකාරයෙන් විධායකය ශක්තිමත් කෙරෙන අතර ආරක්ෂක හමුදාවලට පුළුල් බලතල ලබා දී රැස්වීමේ, සංගම් පැවැත්වීමේ සහ ප්‍රකාශනයේ අයිතිය බරපතළ ලෙස සීමා කිරීමෙන් සිවිල් සමාජ අවකාශයට පමණක් නොව ව්‍යාපාරික වාතාවරණය කෙරේ ද බලපෑමක් සිදු කෙරේ.
මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූදයේ හානිකර බලපෑම් විශේෂයෙන් ඉතාමත් ආන්තික ජන කොටස්වලට ගැඹුරු ලෙස බලපෑම් කරයි. දරිද්‍රතාවය පසුගිය වසරේ 27.9% දක්වා වඩාත් ඉහළ ගොස් ඇතැයි ගණනය කෙරේ. රට පුරාම ගෘහස්ථවලින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක මාසික ආදායම පසුගිය 2022 මාර්තු මාසයේ සිට තුනෙන් දෙකකින් පහත වැටී ඇති අතර ආහාර, ප්‍රවාහන, සෞඛ්‍ය වියදම් ඉහළ නගිමින් පවතී. ආණ්ඩුවේ ප්‍රයත්නයක් තිබුණ ද සමාජ ආරක්ෂණය දැඩි පීඩණයකට ලක්ව ඇති අතර මෙම වසරේ ආණ්ඩුවේ අයවැයෙන් විශාලම වියදම වෙන් වී ඇත්තේ ණය ආපසු ගෙවීමට ය. ශ්‍රී ලංකාවට ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් නගා සිටුවීමට මූල්‍ය අවකාශය සහ සහයෝගය ලබා දෙන්නැයි මම අන්තර්ජාතික මූල්‍ය ආයතන සහ ණය හිමියන්ට ආයාචනය කරමි.
මෙම වසරේ ශ්‍රී ලංකාව දශක ගණනාවක් පැවති සිවිල් යුද්ධය අවසන්ව 15 වසරක් සනිටුහන් කරයි. එහෙත් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් තවම ආමන්ත්‍රණය කර නැත. අතුරුදහන් වූවන්ගේ පවුල් සිය දහස් ගණනක් තවමත් සිය ආදරණීයන් සොයමින් සිටින අතර ඔවුන්ට එහි දී තර්ජන, අත් අඩංගුවට ගැනීම, සහ ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදු වේ. ජනතාවගේ ජීවන මාර්ගවලට බලපාන ආකාරයෙන් ඉඩම් ආරවුල් රටේ උතුර සහ නැගෙනහිර වර්ධනය වෙමින් පවතී. බලය බෙදා හැරීම යම් ප්‍රමාණයකට ලබා දීමට පොරොන්දු වූ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා දැනට නිසි ආකාරයට ස්ථාපිත කර නැත.
විනාශදායක පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුව වසර පහක් ගත වුවද, යුක්තිය ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග තිබුණ ද වින්දිතයෝ තවමත් යුක්තිය සහ සාධාරණත්වය සොයමින් සිටිති.
ආණ්ඩුව සත්‍යය, සමගිය සහ සන්හිඳියා කොමිසමක් සඳහා කෙටුම්පත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර ඇති නමුත් විශ්වාස කටයුතු සත්‍යය සෙවීමේ ක්‍රියාවලියකට අවශ්‍ය වාතාවරණය දක්නට නැත. මගේ කාර්යාලයට ආරක්ෂක හමුදා විසින් සිවිල් සමාජ නියෝජිතයන්, ජනමාධ්‍යවේදීන්, සහ වින්දිතයන් මෙන්ම යුද්ධයේ වින්දිතයන් සඳහා අනුස්මරණ උත්සව සංවිධානය කිරීමට සම්බන්ධ පුද්ගලයන් සෝදිසියට ලක් කිරීම, හිරිහැර කිරීම සහ අත් අඩංගුවට ගැනීම පිළිබඳ චෝදනා ලැබෙමින් පවතී. ශ්‍රී ලංකා පොලීසිය සහ ආරක්ෂක හමුදා විසින් සිදු කරන පැහැර ගැනීම්, නීති විරෝධී අත් අඩංගුවට ගැනිම් සහ ලිංගික ප්‍රචණ්ඩත්වය ඇතුළත් වධ හිංසා පැමිණවීම් පිළිබඳ විශ්වාස කටයුතු චෝදනා මගේ කාර්යාලයට ලැබුණ අතර නැවත නැවතත් සිදු වන එවැනි කටයුතු ගැන මගේ බලවත් කණස්සල්ල යොමුව ඇත. මේවායින් සමහරක් 2023 දී ප්‍රධාන වශයෙන් රටේ උතුර සහ නැගෙනහිර සිදු වූයේයැයි සඳහන් වේ. 2010 දී පුද්ගලයෙකුට වධ හිංසා පැමිණ වූයේයැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලද අයෙකු පසුගිය සතියේ නව පොලිස්පති වශයෙන් පත් කර ඇත. මෙවැනි සිද්ධීන්වලින් ආරක්ෂක අංශවල පුළුල් ප්‍රතිසංස්කරණ කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කර දක්වයි.
මගේ කාර්යාලය ශ්‍රී ලංකාවේ වගවීමේ ප්‍රගමනයට නොකඩවාම ක්‍රියා කරමින් සිටී. මගේ කාර්යාලය සිදු කරමින් පවතින අපරාධ යුක්ති විමර්ශන නීති කටයුතු කිපයකට සහ නිශ්චිත මානව අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳ තොරතුරු සහ සාක්ෂි පුළුල් කිරීමට සහාය ලබා දේ. කාර්යාලය බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් කිරීම් පිළිබඳ සමික්ෂණ සිදු කරන අතර වින්දිතයන් සමග උපදේශන ද පවත්වයි.
අතීතයේ වූ මානව අයිතිවාසිකම් ප්‍රශ්න දිගටම පවත්වා ගැනීමට පමණක් හේතු වන පසුගාමී නීති සහ අධිකාරිවාදී පිවිසුම් තුළින් ශ්‍රී ලංකාවට තිරසාර සාමය සහ සන්හිඳියාව සාක්ෂාත් කර ගත නොහැකිය.
මෙම ප්‍රවනතාවය වහාම නතර කරන ලෙසත් අතීතයේ සිදු වූ සහ වර්තමානයේ සිදුවන මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සහ ආර්ථික අපරාධ විමර්ශනයට සහ නඩු පැවරීමට විශ්වාසවත් පියවර ගන්නා ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි. බරපතළ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සහ අපහරණ සිදු කෙළේයැයි විශ්වාස කළ හැකි පුද්ගලයන්ට එරෙහිව ඉලක්ක කර ගත් පියවර සහ සමස්ත ගෝලීය සහ තම රටෙන් බැහැර අධිකරණ බලය සුදුසු ආකාරයෙන් යොදා ගැනීම හරහා මෙම ප්‍රයත්න දිගටම ශක්තිමත් කරන ලෙස මම සාමාජික රටවලින් ඉල්ලා සිටිමි.
රටේ ගැටුම් සහ ආර්ථික අර්බූදයේ මූලික හේතූන් ආමන්ත්‍රණය කිරීමෙන් සහ වගවීම තහවුරු කිරීමෙන් පමණක් ශ්‍රී ලංකාවට අව්‍යාජ සන්හිඳියාව සහ තිරසාර සාමය සහ සංවර්ධනය අත් කර ගැනීමේ බලාපොරොත්තු තහවුරු කර ගැනීමට හැකි වනු ඇත.
ඔබට ස්තූතියි.