අපේ සිතුම් පැතුම් වලින් අදහස් සංකල්ප වලින් පරිබාහිරව වාස්තවිකව පවතින දෑ හඳුන්වන්නේ භෞතිකය නැත්නම් ද්‍රව්‍යය ලෙසය. අපට ස්පර්ශ කල හැකි අපට ගද සුවද බැලිය හැකි වස්තූන් මෙන්ම එම වස්තූන් සෑදී ඇති පරමාණු වැනි දෑ අපිට ද්‍රව්‍යය ලෙස හඳුන්වන්න පුලුවන්. වී.අයි. ලෙනින් සහෝදරයා ද්‍රව්‍යය නිර්වචනය කරන්නේ මෙසේය:
“ද්‍රව්‍යය යනු සංවේදනයන් මගින් මිනිසාට දැන ගැනීමට ලැබෙන්නාවූත් අපේ සංවේදනයන් ගෙන් ස්වාධීනව පවතින අතර, ඒවා මගින් පිටපත් කොට, විග්‍රහ කොට පිළිබිඹු කරනු ලබන්නාවූත් විෂයමූල යථාර්ථය හඟවන දාර්ශනික ප්‍රභේදයකි.”
විඥානය යනු අපේ සිතුම් පැතුම්, අදහස්, සංකල්ප, මතවාද, මනස යන මනෝමූලික දේවල් ය.
දැන් ඔබට පෙනෙනවා ඇති අපේ ලෝකයේ ඇත්තේ එක්කෝ භෞතිකමය දේවල් නැතිනම් මානසිකමය දේවල් බව එම නිසා දාර්ශනිකයන් මොන දේ විග්‍රහ කිරීමටත් පෙර මේ ද්‍රව්‍යය සහ විඥානය අතර ඇති සම්බන්ධයට උත්තරයක් දිය යුතුයි. මේ ප්‍රශ්නයට දෙන උත්තරය අනුව දර්ශනවාදය ප්‍රධාන කඳවුරු දෙකකට බෙදේ. ඒ
1. භෞතිකවාදී කඳවුර
භෞතිකවාදින් ද්‍රව්‍යය ප්‍රධාන සහ මූලික දෙය හැටියටත් විඥානය ද්විතීයික දෙයක් හැටියටත් පිලිගන්නවා. භෞතිකවාදින්ට අනුව මිනිසා බිහි වීමටත් පෙර සිටම ද්‍රව්‍යය පැවතියා. මිනිස්සු බිහිවෙන්නත් කලින් ඉදලම සත්තු පැලෑටි ගහ කොල පැවතිලා තියනවා. භෞතිකවාදින්ට අනුව විඥානය යනු අන් කිසිවක් නොව ද්‍රව්‍යයේ සංකීර්ණතම සංවර්ධනයක් වන මිනිස් මොළය මත පදනම් වෙච්ච ද්‍රව්‍යයේම එක්තරා සංවර්ධනයක්. භෞතිකවාදින්ට අනුව අපේ සිතුම් පැතුම් සංකල්ප අදහස් යන මේ විඥානය තීරණය කරනු ලබන්නේ අප ජීවත් වන පරිසරයයි.
2. විඥානවාදි කඳවුර
විඥානවාදින් විඥානය ප්‍රධාන සහ මූලික දෙය ලෙසත් ද්‍රව්‍යය ද්විතීයික දෙයක් ලෙසත් විශ්වාස කරනවා. විඥානවාදින්ට අනුව ලෝකය මවා ඇත්තේ විඥානය විසින් ය. ලෝකය මවා ඇත්තේ කුමන විඥානයකින්ද කියන එක පදනම් කරගෙන මේ විඥානවාදයත් කොටස් දෙකකට කඩනවා. ඒ තමන්ගේ මනසින් පරිබාහිරව පවතින සියල්ල මුලාවක් බව විශ්වාස කරන මනෝමූලික විඥානවාදින් සහ මේ ලෝකය නිර්මාණය කරලා තියෙන්නේ තමන්ගෙන් පරිබාහිර යම් කිසි විෂය මූලික විඥානයකින් යැයි පවසන අය වාස්තවික විඥානවාදින් ලෙසත් හදුන්වනු ලබනවා. වාස්තවික විඥානවාදින් තමයි “දෙවියන් වහන්සේ” “මහා බ්‍රහ්මයා” වගෙ සංකල්ප විශ්වාස කරන්නේ.
ෆෙඩ්‍රික් එංගල්ස් මේ බෙදුම් රේඛාව ගැන මෙසේ සඳහන් කරයි:
“..සියලු දර්ශනවාදයේ ප්‍රධාන මූලික ප්රශ්නය චින්තනය හා පැවැත්ම අතර සම්බන්ධයයි: ප්‍රධාන කුමක් ද, ආධ්‍යාත්මය ද, නැතහොත් ස්වභාව ධර්මයද ? දාර්ශනිකයන් මේ ප්‍රශ්නයට දෙන පිළිතුරු අනුව ඔවුන් ප්‍රධාන කඳවුරු දෙකකට බෙදේ. ආධ්‍යාත්මය ස්වභාව ධර්මයට වඩා ප්රමුඛ යයි තිර කොට කිව්වා වූ ද, එහෙයින්, අවසාන විග්රහයේදී කිසියම් ආකාරයක හෝ වෙනත් ආකාරයක ලෝක නිර්මාණයක් පිළිගන්නා වූ ද අය ගෙන් විඥානවාදී කඳවුර සෑදේ. ස්වභාව ධර්මය ප්රමුඛ යයි සලකන්නා වූ සෙසු අය විවිධාකාර භෞතිකවාදී ගුරු කුලවලට අයත් වේ..”
විඥානවාදය විද්‍යාවේ ජයග්‍රහණයන් මැද පරාජය වී ඇත. විඥානවාදය එදා සිටම සේවය කරේ පාලක පංතියටයි. දේපොළ හිමි පන්තියේ පාලනය ඔවුන් සෑම විටම සාධාරණීකරණය කළේය සූරාකෑම යුක්ති සහගත කළේය. දුප්පත්කම කර්මයට බැර කළේය. නමුත් භෞතිකවාදය සෑම විටම සේවය කරේ ප්‍රගතිශීලී පංතියටයි. භෞතිකවාදය සමාජ සංවර්ධනයට ඉවහලක්ය. විද්‍යාවේ ජයග්‍රහණයන් ඉදිරියේ විඥානවාදය බිඳ වැටෙද්දි විද්‍යාවේ ජයග්‍රහණ ඉදිරියේ භෞතිකවාදය තව තවත් සනාථ විය. අද සිටින බොහෝ විද්‍යාඥයන් භෞතිකවාදින් වෙයි.
සටහන: දිමුත් භානුක
[මූලාශ්‍ර: දයලෙක්තික භෞතිකවාදය – වීජී අපනාසියෙව්, දර්ශනවාදය යනු කුමක් ද?]
- මහාචාර්ය කුමාර් ඩේවිඩ් සහෝදරයා ජාත්‍යන්තර බුද්ධිමතෙකි.. - October 21, 2024
- ශ්‍රී ලංකාවේ ජනතාවට නව ණය ගනුදෙනුවක් අවශ්‍යයි.. - October 2, 2024
- නිති අසන පැන: ණය ප්‍රතිව්‍යුහගත කිරීම වටා ඇති මිථ්‍යාවන් සහ අභියෝග අවබෝධ කර ගැනීම - October 2, 2024