“කක්කුස්සි ගිහින් පස්ස හෝදන්නෙත් නැති සුද්දන් ගෙන් අපට උපදෙස් හෝ ආධාර උපකාර අවශ්‍ය නැහැ” කියල ලංකාවේ අගමැතිවරයෙක් වී සිටි රත්නසිරි වික්‍රමනායක වරක් පැවසුවා. මෙහෙම කිව්වේ ගජරාමෙට යුද්ධය යන “දේශප්‍රේමේ ” උස්මුරුත්තාවට ගහපු කාලයක. නමුත් දැන් ලංකාව යන්නේ “දේශප්‍රේමේ” අංශක 360 ක් අනෙක් පැත්තට.
විදේශිකයන් සහිත නැවක් එනවා නම් පිකටින්, පෙළපාලි කරන්න දෙන්නේ නැහැ. හෝටල්වල කෝකියෝ, සංචාරක ව්‍යාපාරයේ රැකියා කරන්නන් පොලිසිය බලා සිටියදීම උද්ඝෝෂකයන්ට බැන පහරදී එළවා දමනව. එහෙම එලවන ගමන් ඔවුන් කියන්නේ “කීයක් හරි අපට හම්බකර ගන්න තියෙන එක මුන් විනාස කරනව” කියල. මේ යන විදියට ලක්ෂ්මී බායි කලාකාරිණියගේ “පිට දීප දේශ ජය ගත්තා” කියන ගීතය තහනම් කරත් පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද එහි එක් තැනක තිබෙනවා “කන්ට අඳින්ටා පිට රටින් එනතුරු මුහුදට දත නියවන්නා” කියල.
සමාජයේ පහළ තලයේ මෙසේ සිදුවෙද්දී ඉහළ තලයත් ඊට දෙවැනි නැහැ. විදේශික ණය ගන්නේ කොහොමද, සංචාරකයෝ ගෙන්වා ගන්නේ කොහොමද, රාජ්‍ය දේපළ විදේශික කොම්පැණිවලට විකුණන්නේ කොහොමද කියන තර්කයේ සිට තමයි ජනාධිපති ඇතුළු ආණ්ඩුව “රට ගොඩ ගන්න” සියලු සැලසුම් හදන්නේ. “ගොඩයන න්‍යායාචාර්යවරුන්ගේ” සිට බොහෝ සාකච්ඡා, වාද විවාද යන්නේත් එලෙසම තමයි.
උතුරේ සමහර මහජන නියෝජිතයන්ද මෙයට වඩා වෙනසක් නැහැ. අහවල් එක දැන් වැටේවි, දැන් වැටේවි කියමින් එළුවෙක් පස්සේ කවුදෝ ගියා කියන්නාසේ ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න කියල ජාත්‍යන්තර බලවතුන් පසු පස්සේ ගාටන එක තමයි කරන්නේ. යුද්ධය හමාර වී වසර 13 ක් තිස්සේ මෙසේ පසුපස ගියත් සිංහල,බෞද්ධ ධනපති ආණ්ඩුවේ හමුදාවන්ගේ දඬු කඳට තව තවත් හිර වුනා මිස ලැබුණු බුරුලක් නැහැ. ජාත්‍යන්තර බලවතුන්ගේත් මීක් හඬක් නෑ.
එසේ තිබියදී ජනාධිපති රනිල් නැවත කරළියට ගෙනවිත් තිබෙන ‘දෙමළ පක්ෂ සමග සාකච්ඡා’ පිලිබඳව දෙමළ ජාතික සංධානයේ (TNA) නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා ඉන්දියාවේ “ෆ්රන්ට්ලයින්” සඟරාවට පවසා ඇත්තේ ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම ජාත්‍යන්තර ප්‍රජාවට භාරදිය යුතුයි කියල. සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එළැඹීම වේගයෙන් මිරිඟුවක් බවට පත්වෙමින් ඇතැයි පවසා ඇති TNA නායකයා ඇත්ත වශයෙන්ම සිදුවන්නේ උතුරු නැගෙනහිර සිදුකෙරෙන ජන සංයුතියේ සහ සංස්කෘතියේ වෙනස්කම් නිසා ඔවුන්ට සියල්ල අහිමි වෙමින් පැවතීම බවද අවධාරණය කර තිබෙනවා.
තව දුරටත් ජාතික ප්‍රශ්නය අරභයා කරුණු පැහැදිලි කර තිබෙන ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා කියා තිබෙන්නේ
“දෙමළ ජාතික ප්‍රශ්නය නිදහස ලැබුණු දා සිට දෙමළ ජනතාව ඒ පළාත් වලට ඉල්ලා සිටියේ ස්වයංපාලනය සහ බලය විමධ්‍යගත කිරීමය. දෙමළ ජනතාව නිදහස දිනා ගැනීමට උදව් කළෝය. 1957 බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමේත්, 1987 ඉන්දු ලංකා ගිවිසුමේත් පදනම වුනේ එයයි. දෙමළ ජනතාවගේ අනන්‍යතාව, භූමි ප්‍රදේශය සහ ස්වයං තීරණයේ හෙවත් තමන්ගේ ඉරණම තීරණය කිරීමේ අයිතිය සඳහා වන සැකසුමට ප්‍රතිපාදන ඒ දෙකේම අඩංගු විය. අවාසනාව නම්, ශ්‍රී ලංකා ආණ්ඩුව එම ගිවිසුම් උල්ලංඝනය කිරීමයි.”
කවර දේශපාලන පක්ෂයකට අයත් වුවත්, සිංහල දේශපාලකයන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ දෙමළ විරෝධී ස්ථාවරයක් සඳහා සිංහල ජනතාවගේ සහයෝගය ලබා ගැනීම බව පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා පවසා තිබෙනවා.
“මෙය කෙරීගෙන යනතාක් කල් කිසිවක් සිදුකළ නොහැක. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ ( ICCPR) සහ ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ (ICESCR) ශ්‍රීලංකාවත් හවුල් පාර්ශවයකි. මේ සම්මුති දෙකින්ම ජනතාවගේ ස්වයං තීරණයේ අයිතිය සලසා දී තිබේ.”
“අපට කිසිම ආකාරයකින් රට කැඩීමට අවශ්‍ය නැත. අප පෙනී සිටින්නේ නොබෙදුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙනි. ඒ සමගම අපට දිගටම මෙලෙස යා නොහැක. ප්‍රශ්නය ගැන හොඳාකාර දන්නා ජාත්‍යන්තර ප්‍රජාව කෙරේ යොමුවීම හැර අපට විකල්පයක් නැත. උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් කිසියම් සැකැස්මක් තිබිය යුතුය. ඉන්දියාව, එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීම වන්නේ පෙරමුණ ගෙන උතුරු නැගෙනහිර සඳහා වන සැකැස්මක් වෙනුවෙන් බලපෑම් කිරීම” යි
යනුවෙන් ඔහු තම පක්ෂයේ ස්ථාවරය දක්වා තිබෙනවා.
මෙතුවක් කල් කරන ලද බලපෑම් හමුවේ ජාත්‍යන්තර ප්‍රජාව ජාතික ප්‍රශ්නයට විසඳුමක් දෙන්න කියල ආණ්ඩුවලට දැනෙන බලපෑමක් කරලා නැහැ. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වාර්තාවෙත් කියලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ හැමෝම නියෝජනය කෙරෙන සාකච්ඡා පවත්වලා දේශපාලන අධිකාරය විමධ්‍යගත කරන්න කියලා විතරයි. ජිනීවා නුවර සම්මත කරගත් යෝජනාවේ තියෙන්නේ “ප්‍රාන්තවලට බලය විමධ්‍යගතකිරීම සම්බන්ධ දේශපාලන එකඟතාවකට එන්න” කියන දියාරු ඉල්ලීම. ඒකෙනුත් වැඩේ බාර දීලා තියෙන්නේ ආණ්ඩුවේම ගොඩ වෙද්දුන්ට.
ලංකාවට එන ජාත්‍යන්තර බලවතුන්, ලංකාවේ තානාපතිවරුන් ජනාධිපතිගේ ඒජන්තයා වන ආණ්ඩුකාරවරයා මොන තරම් නම් හමුවෙලා තිබෙනවද? ඒ අතර දෙමළ මහජන නියෝජිතයන් හමුවෙන්න අමතක කරන්නේ නැහැ නේද? ඒත් ලැබුණු ප්‍රතිඵලයක් කෝ?
එනිසා දැන්වත් දෙමළ මහජන නියෝජිතයන් තේරුම් ගතයුතු වෙනවා ජාත්‍යන්තර ප්‍රජාව වැඩියෙන් කන් දීලා තියෙන්නේ ආණ්ඩුවලට මිස පීඩිත ජාතීන් ගේ ප්‍රශ්නවලට නෙවෙයි කියන කියල. එනිසා තව දුරටත් සෙක්කුවේම යන්නේ නැතිව විකල්පයක් බැලුවොත් හොඳයි නේද?
දෙමළ ජාතික සංධානයේ නායකයා එලෙස අදහස් ප්‍රකාශ කරද්දී එම සංධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.සුමන්දිරන් මන්ත්‍රීවරයා “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට ප්‍රකාශයක් ලබාදීල තිබෙනව.
“සංහිඳියාව සම්බන්ධ සාකච්ඡා දෙසැම්බර් 11 කොළඹදී පැවැත්වෙනවා. අපි කිසිම කොන්දේසියක් ඉදිරිපත් කරන්නේ නැහැ. කෙසේ වෙතත්, රාජ්‍යය විසින් පුද්ගලික ඉඩම් අත්පත් කරගැනීම හා උතුරු නැගෙනහිර පලාත්වල හමුදාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වාගෙම උපරිම ලෙස බලය විමධ්‍යගත කිරීම සඳහා ව්‍යවස්ථාවේ කළ යුතු වෙනස්කම් ගැනත් අපි යෝජනා කරලා තියෙනවා. ෆෙඩරල් ක්‍රමයක් යටතේ ස්වයං තීරණය නිරවුල් කිරීමක් සහ ඉක්මනින් පළාත් සභා ඡන්දය පැවැත්වීමත් අපි යෝජනා කරලා තියෙනවා.”
සුමන්දිරන් මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය ඉතා ව්‍යාකූලයි. දෙසැම්බර් 11 කොළඹදී පැවැත්වෙන්නේ සංහිඳියාව සම්බන්ධ සාකච්ඡාවක්ලු. කැරලිකරුවන් ඇතුළු ලක්ෂ එකහමාරක් පමණ ඝාතනය කරල දැන් සංහිඳියාව ගොඩනගල නේද තිබෙන්නේ. උතුරේ ජනතාව දකුණටත්, දකුණේ ජනතාව උතුරටත් යන එනව. මැතිවරණ පවත්වලා ජනතා නියෝජිතයෝ පත්වෙලා ඉන්නව. මෙවර අයවැයට දෙමළ ජාතික සංධානය පක්ෂව හෝ විපක්ෂව චන්දය පාවිච්චි කළෙත් නැහැ. (08 වැනිදා නම් විරුද්ධව ඡන්දය දුන්නා) වසර පනහක් පිරුනු ජනාධිපති රනිල් ගේ නීතිඥ දිවියේ සාදයට මුදල් ගෙවා සම්බන්ධන් හා සුමන්තිරන් මන්ත්‍රී දෙපල සහභාගී වී තිබුන. ආණ්ඩුවම හදලා තියෙන්නේ අලියයි පොහොට්ටුවයි පූට්ටු කරලා. ඉතින් මෙයට වඩා තව මොන සංහිඳියාවක්ද?
ඔහු කියන ලෙස යෝජනා කීපයක් ඉදිරිපත් කරලා තිබෙනව. ඒවා කොන්දේසි නොවේ. කොන්දේසි නොවේ නම් ඒවා දෙමළ ජනයා රැවටීමේ සැරසිළිද? එසේනම් සාකච්ඡා ආරම්භ කරන්නේ කුමන මාතෘකාවක් මුල් කරගෙනද? න්‍යාය පත්‍රය කුමක්ද? දෙමළ ජාතික සන්ධානයට අනුව මේක තවත් පඩික්කම් පුරවන, මුදල් නාස්තිකරන කතා සරිත් සාගරයක් පමණක්ද? සාකච්ඡා සඳහා කල් මරමින් ආණ්ඩුවට අනියමින් සහයෝගයක් ලබාදීමක්ද? මෙවැනි බරපතල ගැටළු රාශියක් TNA මාධ්‍ය ප්‍රකාශක සුමන්දිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් මතුවෙනව.
එවැනි ගැටළුකාරී තත්වයක් මතුවෙන්නේ නිකම්ම නොවේ. උතුරු නැගෙනහිර නියෝජනය කරන තවත් දෙමළ මහජන නියෝජිතයන් ජනාධිපති ගේ බලය බෙදීමේ ප්‍රකාශය මුල් කරගනිමින් පළකර ඇති අදහස් දැක්වීම් නිසා.
ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස දිස්ත්‍රික් සංවර්ධන සභා සුදුසුයි කියල මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී කිව්ව. ජනාධිපතිවරයාත් කිව්ව ඒ ගැන සලකා බලන්න සූදානම් කියල. මේ කතාවට නැගෙනහිර පළාත නියෝජනය කරන මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් පාර්ලිමේන්තුවේදී පිළිතුරක් දීල තිබෙනව.
“ජනාධිපතිට ඕනෙම නම් දිවයිනේ දකුණු පළාත්වලට දිස්ත්‍රික් සංවර්ධන සභා දාගන්න. හැබැයි දෙමළ ජනතාව ඉල්ලන්නේ ඒකාබද්ධ උතුරු නැගෙනහිරක් සමග ෆෙඬරල් ක්‍රමයට බලය බෙදාගැනීමක්” යි කියලා. දිස්ත්‍රික් සංවර්ධන සභා නම ඇහෙන විට ඒ අයගේ හීගඩු පිපෙනව ඇති අතීතය මතක් වෙලා. ජනාධිපති රනිල්ද අමාත්‍ය ධූර දැරූ ජේආර් රජයේ 1983 ජුනි 14 දා දිස්ත්‍රික් සංවර්ධන සභා චන්දයට යාපනයට ගිය ගාමිණී දිසානායක හා සිරිල් මැතිව් පිරිවරාගත් මැරයන් තමයි යාපන පුස්තකාලයට ගිනි තැබුවේ.
ඉතිහාසයේ මෙවන් වූ සියලු අත්දැකීම් ආවර්ජනය කරමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පවසන්නේ උතුරු නැගෙනහිර දෙමළ මහජන නියෝජිතයන්ට මෙවර ජනවරමක් ලැබුනේ ජාතික ප්‍රශ්නයට ෆෙඩරල් විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් කියල. දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට කිසිම දිනක ඒකීය රාජ්‍යයක් තුළ නම් විසඳුමක් නොලැබෙන බව ඔහු දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කියනව.
එබැවින් දෙමළ මහජන නියෝජිතයන් සමඟ යෝජිත11 දා සාකච්ඡාව ෆෙඬරල් පාලනයක් සඳහා බව උතුරටත්, දකුණටත් නොසඟවා ජනාධිපතිවරයා පැවසිය යුතුයි කියලත් ඔහු යෝජනා කරනව. එසේ නොකරන්නේ නම් ජනාධිපතිවරයා කරන්නා වූ මේ ඇරයුම I M F ණය ලබා ගැනීමේ ගේ කූඨ උපායක් කියලයි පොන්නම්බලම් මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.
දෙමළ ජනයාගේ අභිලාෂයන් සම්පුර්ණ වීමට නම් උතුරු- නැගෙනහිර පළාත් ඒකාබද්ධව පැවතීම වැදගත් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ (TELO) නායකයා කියා තිබෙනව.
උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමති සි.වී. විග්නේශ්වරන් උපහාසාත්මකව පවසා තිබුනේ මාරුවෙන් මාරුවට බලයට පැමිණි සෑම ආණ්ඩුවක් සමඟම දෙමළ නායකයන් වෙහෙසට පත්වෙන තෙක් සාකච්ඡා කළා කියල. කොච්චර කතා කළත් මෙතෙක් කිසිම දෙයක් වුනේ නැහැ කියලත් විග්නේශ්වරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරුණු සහිතව පෙන්වා දී තිබෙනව.
මෙලෙස වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගේ යෝජිත සාකච්ඡාව පිලිබඳ යම් හෝ සුභවාදී බලාපොරොත්තුවක් තබාගෙන සිටින්නේ මන්ත්‍රී සුමන්දිරන් පමණයි. අනෙක් දෙමළ ජන නායකයන් අබමල් රේණුවක තරමින් හෝ විශ්වාසයක් පළ නොකරද්දී ජනාධිපතිගේ මාමා ගේ පුවත්පත නම් සුබ මොහොතින් දකුණේ වැඩ අල්ලලා තිබෙනවා.
දෙසැම්බර් 03 සෙනසුරාදා “ලංකාදීප” පුවත් පත යෝජිත සාකච්ඡාව පිලිබඳ සිය කතුවැකියේ මෙහෙම කියනව. “බලය බෙදීම ඇතුළුව ජනවාර්ගික අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ එකඟත්වයකට පැමිණීම සඳහා වන සාකච්ඡාවක් දෙසැම්බර් 11 වැනිදායින් පසුව කැඳවන බව එම ප්‍රකාශයේ සඳහන් විය” කියල.
ලංකාදීප මාධ්‍ය මහත්තුරු පළමුවෙන්ම පැහැදිලි කළ යුතු දෙයක් තියෙනවා. සිංහලයා ජාතියක් කියලා සැකෙන් බියෙන් තොරව කියන ගමන් දෙමළ ජනතාව ජාතියක් කියා පිළිගන්න අකමැති ඇයිද කියන එක. මේ බලය බදාගෙන හිඳීම නිසා ජාතික ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා කියන එක “ලංකාදීප” කතුවරයා වසන් කරනවා.
“මේ රටේ ආර්ථික අර්බුදය විසින් සියලු දේ ගිලගන්නාතුරු වඩාත්ම සාකච්ඡාවට බඳුන් වූ අර්බුදය ජනවාර්ගික ගැටලුව විය. එය ජාතික ගැටලුව වශයෙන් හඳුන්වනු ලැබුවේද එයින් රටේ සෑම ක්ෂේත්‍රයකටම කළ බලපෑම් හේතුවෙනි” යි කියා මුළුමනින්ම සාවද්‍ය ප්‍රකාශනයක් කරලා තියෙනවා.
ජාතියක් කියන්නේ හුදු වාර්ගිකත්වයක් පමණක් නෙවෙයි. භාෂාව, ඉතිහාසය වාර්ගිකත්වය, සංස්කෘතිය සහ පාරම්පරික වාසභූමිය ඇතුළු අංගලක්ෂණ තම ජාතික අනන්‍යතාව කොටගත් ජන කණ්ඩායමක්. එතැනදී වැදගත් වන කාරණයක් තමයි සංස්කෘතික බැඳීම්වලට අමතරව දේශපාලන සාමුහිකත්වයක් තිබීම. තම ජාතියට ගැලපෙන දේශපාලන සැකසුම් මෙන්ම තමන්ගේම රාජ්‍යයක් වුව පිහිටුවාගැනීමේ අයිතියක් තිබීම.
1976 වනතුරු රටේ විවිධ පළාත් අනුව බෙදී සිටි දෙමළ ජනයා ඒ දක්වා හැඳින්වූවේ ජනවර්ගයන් කියල. නමුත් 1976 මැයි 05 දා සියලු දෙමළ ජන නායකයන් එකතු වී මහා සමුළුවක් පවත්වමින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ බිහිකර ගත්ත. එහි නායකයා ලෙස පත් වුනේ එස්.ජේ.වී. චෙල්වනායගම්.
මේ සමුළුව තුළින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ” තමන් තව දුරටත් මේ රටේ ජනවර්ගයක් නොව සිංහලයන් ගෙන් වෙනස් ජාතියක්” ය කියල. “මේ රටේ හුදු දෙමළ ජාතියේ පැවැත්ම සඳහා ස්වයං තීරණ ගැනීමේදී ඕනෑම ජාතියකට හිමිවන නෛසර්ගික උරුමය මත නිදහස් ස්වාධීන ආගමික නොවන සමාජවාදී දෙමළ ඊලාම් රාජ්‍ය යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුත්තේ යැයි” එක හඬින් මෙම සමුළුවේදී සම්මත වුනා. “වඩුකොඩ්ඩෙයි සමුළුව” නමින් මෙය දෙමළ අරගල ඉතිහාසයට එක්වුණා.
තමන් හඳුන්වා දී ඇති නම භාවිතා කරනවා හැර ” හරක් කටා”, “වම්බොට්ටා”, වැනි අන්වර්ථ නාමයන්ගෙන් හැඳින්වීම් කිරීම මාධ්‍ය අචාර ධර්මවලට පටහැනියි. නමුත් ප්‍රධාන ශිර්ෂපාඨ පවා එලෙස දැමීමට තරම් ඇතැම් මාධ්‍යකරුවන් බලසම්පන්න වෙලා තිබෙනව. විහිළුවනම් මෙවැනි මාධ්‍යවල ප්‍රධාන කතුවරුන් කතෘ සංසදයේත් කෙරුමෝ. නමුත් ඔවුන් මතක තබා ගත යුතුයි පත්තරේ ඔවුන් ගේ වුනාට දෙමළ ජාතිය ඔවුන් ගේ නොවේ කියල.
වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ බලය බෙදීමේ සාකච්ඡා වේ දිග පළල මොනවට හෙළිදරව් කරමින් මාමාගේ පත්තරේ කතුවැකිය තව දුරටත් මෙහෙම කියනව. “විසඳුමක් සොයා ගැනීම සඳහා අවංක කැපවීමක් කිරීමට කැමැති දේශපාලන පක්ෂ මුලින්ම කළ යුත්තේ ජනවාර්ගික ගැටලුව දේශපාලන බලය ලබාගැනීමේ සටන් පාඨයක් බවට පත්කර ගැනීමෙන් වැළකීමය.” හොරාට ඉස්සර කෙහෙල් කැන වැට පැනල තිබෙන්නේ. ඉතා පැහැදිලිවම මේ කියන්නේ දෙමළාට, ජාතියක් ලෙස දේශපාලන බලය ඉල්ලන්නේ නැතිව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න කියලා.
මේ උපදේශයට අනුපාන ලෙස වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ 50 සපිරූ නීතිඥ දිවියේ සාදයේ ස්තුති කතාකරුවාත් ගන්න පුළුවන්. ඔහුගේ නම කුෂාන් ද අල්විස්. මේ නීතිඥවරයා දෙමළ ජනතාවට බලය බෙදීම නොව කිසිඳු බලයක් නොමැති පළාත් සභාවන්ටද බරපතල විරෝධය දක්වන්නෙක්. උග්‍ර දෙමළ විරෝධියෙක්.
සාදය ආරම්භ වීමට පෙර පැවති උත්සව සභාව අමතමින් රනිල් ජනාධිපතිවරයා එක්සත් ශ්‍රීලංකාවක් ගොඩනැඟීමට නීතිඥයන් ඇතුළු වෘත්තිකයන්ගේ සහය ඉල්ලා සිටිද්දී සිංහල බෞද්ධ ජාතිවාදී කුෂාන් ද අල්විස් නීතිඥවරයාට ස්තුති කතාව දීම විමතිය දනවන්නක් බව බොහෝ නීතිඥයන් කියනව.
ඉතින් මේ සියල්ලෙන් විද්‍යමාන වන්නේ වසර 72 ක් තිස්සේ නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයයි තවත් ටිකක් හෙව්වා කියන්නා වගේ මෙවරත් කෝදුරු තෙල් හොයා ගැනීමට නොහැකිවන බවයි. හැබැයි ලබන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රකාශනයේ බලය බෙදීම පිලිබඳ විශේෂ වගන්තියක් ඇතුළත් විය හැකි බවත් ඉන්තේරුවෙන්ම කියන්න පුළුවන්.
- 76 වසරක අතීතයෙන්, 53 වසරක් ජවිපෙ සතුයි..! - September 18, 2024
- සිංහල බෞද්ධ අන්තවාදයට එරෙහිව නැගී සිටි බාහු.. [අවසන් කොටස] - August 9, 2024
- දේශප්‍රේමී ගල්කටස් වලට එරෙහිව ජනතාව අවියක් කරගත් බාහු.. [ පළමුවන කොටස] - August 7, 2024