You are currently viewing පූනාගල වත්තේ නාය යාමෙන් වතු කම්කරු පවුල් 67ක් අවතැන්වෙයි..

පූනාගල වත්තේ නාය යාමෙන් වතු කම්කරු පවුල් 67ක් අවතැන්වෙයි..

බණ්ඩාරවෙල සිට කිලෝ මීටර් 15ක් පමන දුරින් පිහිටි පූනාගල වත්තේ කබරගල කොටසේ, මාර්තු 19 දා රාත්‍රියේ සිදුවූ නාය යාමකින් ලයින් කාමර 23ක් පස් කන්දට යට වී ඉන් තුනක් මුළුමනින් විනාශ විය. නව දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් එක් අයෙකුගේ පාදයකට සහ තවත් අයෙකුගේ අතකට බරපතල ලෙස හානි සිදුවී ඇති අතර ඔවුහු දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබති.

රිචඩ් පීරිස් සමූහයට අයත් මස්කෙලිය වැවිලි සමාගම යටතේ පාලනය වන පූනාගල වත්ත ස්වභාවික ජල උල්පත්වලින් සමන්විත බැවින් නිරන්තර ව ගලා යන සිහින් ජල ධාරාවලින්, ආනතියෙන් යුත් බිම් ප්‍රදේශ තෙත්ව පවතී. එවන් බිම් කොටසක්, එදින ඇති වූ ධාරානිපාත වර්ෂාව නිසා නායයාමට ලක්ව, සුවිසල් ගල් සමග පහලට රූටා පැමින ලයින් කාමර සමූහය යටකර දමා තිබේ. ඉන් යටවූ නිවාසවල සහ අවදානම සහිත යාබද නිවාසවල පදිංචිව සිටි වතු කම්කරු පවුල් 67ක සාමාජිකයන් 260ක් පමන තම නිවාසවලින් ඉවත් ව, වත්තේ අත්හැර දමා ඇති මාකන්ද තේ කම්හලේ ලැගුම්ගෙන ඇත. පසුව ඔවුන් යාබද අම්පිටිකන්ද තේ කම්හලේ රඳවා ඇතිබව වාර්තාවේ. එයද අත්හැරදමා ඇති කම්හලකි.

මෙම නායයාමෙන් ජීවිත හානියක් සිදු නොවුන ද, දැඩි ලෙස විනාශයට පත් ලයින් කාමරවල ජීවත්වූ නිවැසියන් උපයා ගෙන තිබූ සියලු දේ අහිමි කෙරී ඇති බව අසල්වැසි කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූහ.

නායයාමට ලක්වූ කොටස ආසන්නයේ ලයින් කාමරයක ජීවත්වන සුරේන් සිද්ධිය මෙසේ විස්තර කලේය:

“..කන්ද උඩ ජල උල්පත් තියනවා. කාලයක් තිස්සේ වතුර පාරවල් ආවා. මහ වැස්සත් සමග රෑ අටට විතර පස් කන්ද කඩා වැටුනා. ලයින් කාමර 23ක් එතන තිබුනා. තුනක් සම්පූර්ණයෙන් ම විනාශයි. තවත් ලයින් කාමර 12ක් මෙතන තියනවා. තවමත් ගල් කඩා වැටෙනවා. කරදරයක් වෙයි කියල අපිත් බයෙන් ඉන්නෙ..’

නායයාමෙන් ඇනහිටි විදුලි බලය මෙතෙකුදු යතා තත්ත්වයට පත්ව නොමැති බැවින් ජංගම දුරකථන අරෝපනය කරගත නොහැකි බවත්, එබැවින් හිතවතකුගෙන් උදව්වක් ඉල්ලා පණිවිඩයක් දීමට පවා නොහැකි අසරණ තත්ත්වයකට ඔවුන් පත්ව ඇති බවත් සුරේන් පැවසීය.

‘..ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආධාර වගයක් ලැබුනා, ඒව මදි. අපි යාළුවො එකතු වෙලා රපියල් 5000 ගානෙ එකතු කරල අවතැන් වූ අයට බඩු ගෙනත් දුන්නා. ලොකු ගෑනු ළමයි 10ක් විතර එතන ඉන්නවා. ඒ අයට ඕන දේවල් ගන්න සල්ලි ටිකක් දුන්නා. වත්තෙ වැඩ නැති මිනිස්සු හරියට කන්නවත් නැතුව ඉන්නෙ..’ යැයි ඔහු කීවේය.

පූනාගල සිංහල පාසලේ ගුරුවරයෙක් මෙසේ පැවසුවේ ය:

“..අද (22) වන විට සමහර අමාරු රෝගීන් බදුල්ල ප්‍රධාන රෝහලට මාර කර යවා තිබෙවා. පාසල් සිසුන් 40ක් 50ක් කඳවුරේ සිටිනවා. ඔවුන්ගේ ඇඳූම්, පාසල් පොත් ඇතුළු සියල්ල පස්වලට යටවෙලා. අපේ පාසලේ ලමයින්ට ගුරුවරු ඇඳුම්, කෑම ආදිය ගෙනත් දුන්නා. අවුරුදු 15 ට ඉහල වයසේ ගෑනු ලමයින්ට කඳවුර ආරක්ෂිත නෑ. මිනිස්සු බයයි තව පස් කඳු කඩා වැටෙයි, සීතලේ ලෙඩ වෙයි කියල. 10 වෙනිද වෙනකොට ගෙවල් හදල දෙන්නම් හිටපු තැන්වලට යන්න කියල සමාගම කිව්ව ලු..”

මස්කෙලිය වැවිලි සමාගම ඇතුලු අනෙකුත් වතු සමාගම් සහ ආණ්ඩු මෙවන් අවස්ථාවන් වලදී දක්වා ඇති ප්‍රතිචාරයන් ගැන දන්නා කම්කරුවෝ මෙම ප්‍රකාශයන් තඹයකට විශ්වාස නොකරති.

පූනාගලට ආසන්නයේ පිහිටි, මස්කෙලිය වැවිලි සමාගමටම අයත් මීරියබැද්ද වත්තේ, 2014 දී සිදුවූ දැවැන්ත නායයාමකින් 37 දෙනෙකුගේ ජීවිත අහිමි විය. එම විපත සිදුවීමට පෙර, 2005 දී, එම ප්‍රදේශයේ නායයාමක් සිදුවියහැකි බවට අනතුරු ඇඟවූ ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනය, එහි ජීවත් වූ පවුල් 75ක් එම ප්‍රදේශයෙන් ඉවත්කොට ඔවුන් සඳහා විකල්ප නවාතැන් සොයා දෙන ලෙස නිර්දේශ කලේය.

මස්කෙලිය වැවිලි සමාගම එයට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් අතර එවකට පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව එසේ කිරීමට උපදෙස් හෝ දී නොමැත. එපමනක් නොව, අනතුරුදායක ස්ථානයන්හි පදිංචිව සිටීම ගැන වතු කම්කරුවන්ට දොස් පැවරූ ආණ්ඩුව ව්‍යසනයේ වගකීම විපතට පත්වූවන්ටම පැවරීය.

කබරගල කොස්ලන්ද (විකිමීඩියා වෙතිනි)

පූනාගල නායයාමත් සමග, ලංකා කම්කරු සංගමයේ (සීඩබ්ලිව්සී) නායක සහ වතු යටිතල පහසුකම් ඇමති ජීවන් තොන්ඩමාන්, විපතට පත්වූවන්ට සහන සලසන බව පැවසූ බවත්, නායයාම සම්බන්ධයෙන් ඉක්මනින් වාර්තාවක් සපයන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනයට දැනුම් දී ඇති බවත් වාර්තා කෙරුනි. මෙය අමූලික වංචාවකි.

2008 දී තරම් ඈතදී ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනය විසින් නිකුත් කළ වාර්තාවකට අනුව, කඳුකරයේ අවදානම් සහිත ප්‍රදේශ 3760 ක් හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශවල ජීවත්වන ජනයා අවදානම් රහිත ප්‍රදේශයන්හි නැවත පදිංචි කරන ලෙස උපදෙස් දී ඇත. මෙතෙක් පැවති ආණ්ඩු ඒ සම්බන්ධයෙන් කවර හෝ නිශ්චිත පියවරක් ගෙන නොමැත. තොන්ඩමන් මෙන්ම, ඔහුගේ පියා ආරුමුගම් තොන්ඩමන් සහ මී මුත්තනුවන් වන සෞම්‍යමූර්ති තොන්ඩමන් යන අයගෙන් කවරෙකු හෝ පැවති ආණ්ඩුවල ඇමතිකම් දරා සිටි අතර, මෙම ව්‍යසනයන්ට ඔවුන් මුලුමනින්ම වගකිව යුතුය.

වතුකරයේ ප්‍රධාන වෘත්තිය සමිතිය වන සීඩබ්ලිව්සීයේ භූමිකාවෙන්, එහි අනෙකුත් වෘත්තීය සමිති වෙනස් නොවේ. දේශපාලන පක්ෂ ලෙස ක්‍රියා කරන මෙම සමිති, සමාගම්වල අවශ්යතා නියෝජනය කරමින් කම්කරුවන්ගේ අරගල මර්දනය කිරීමටත් පාවාදීමටත් ලක් කරන, තමාට සතුරු උපකරණයන් බව වතු කම්කරුවෝ අවබෝධ කර ගනිමින් සිටිති. වෘත්තීය සමිතිවලින් මෙතෙක් කිසිම සහනයක් ලැබී නැති බවත් මහජනතාව ලබා දෙන ආධාරවලින් දවස් ගත කරන බවත් විපතටපත් පූනාගල කම්කරුවෝ පවසති.

ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් බහුතරයක් තවමත් ජීවත් වන්නේ සුදු අධිරාජ්‍යවාදී පාලන සමයේ ලබා දුන් අඩි 10X10 යේ පමන වූ ලයින් කාමරවල ය. වතු සමාගම් විසින් සෑම පවුලකට ම නිවාස සම්පාදනය නොකිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ මූලික පහසුකම් රහිත ව පවුල් කිහිපයක් එක ම ලයින් කාමරයේ වාසය කිරීමට සිදු ව තිබීම ය. සමාගම් විසින් එම නිවාසයන්හි නඩත්තුව අත්හැර දමා ඇත. ඔවුන් ජීවත් වන්නේ දිනකට රුපියල් 1000කටත් අඩු සොච්චම් වැටුපක් ලබමින් දැඩි සූරාකෑමකට යටත්ව ය. වර්තමානයේ ලංකාවේ පවතින දැවැන්ත උද්ධමනය හමුවේ ඔවුන් සාගත තත්වයට ඇද දමා තිබේ.

“රටේ මිනිස්සු මේ විනාශයන්ට මුහුන දෙන්නෙ මිනිස්සු ජීවත්වන තැන් ගැන ආන්ඩුත් කොම්පැනිත් සොයා බලන්නෙ නැති නිසා. මේ පලාතේ කොච්චර නාය යන්න පුළුවන් ඉඩම් තියනව ද? ඒව කොයි වෙලවෙ නාය යයි ද කියන්න බැහැ. කොම්පැනිවලට ඕන ලාභය. ආණ්ඩු කරන්නෙ ඒකට අවශ්‍ය වටපිටාව හදල දෙන එක” යැයි කම්කරුවෙක් පැවසීය.

ඔහුගේ ප්‍රකාශය ආදායම් පිලිබඳ සංඛ්‍යා ලේඛන වලින් තහවුරු වෙයි. මීරියබැද්දේ ව්‍යසනය වූ 2014 වසරට පෙර වසරේ මස්කෙලිය වැවිලි සමාගමේ ආදායම රුපියල් බිලියන 35 කි. මින් කොටසක් වැයකොට, ගොඩනැගිලි පර්යේෂන ආයතනයේ නිර්දේශයන් ක්‍රියාත්මක කලේනම් ව්‍යසනයෙන් මියගිය 37 දෙනාගේ ජීවිත රැකගත හැකිව තිබුනි. සමාගම මෙම ආදායම් උපයා ගන්නේ කම්කරුවන් ඇටපොත්තටම සූරා කෑමෙන් වුවද, සමාගම් හිමියන්ට ප්‍රමුඛ වන්නේ ලාභය මිස ඔවුනගේ ජීවිත නොවේ.

1776 දී එක්සත් ජනපදයේ නිදහස් ප්‍රකාශනයෙන් තහවුරු කරන ලද “ජීවත්වීමේ අයිතිය”, ලංකාව ද ඇතුලු ලොව පුරා රටවල ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවන් බහුතරයක් මගින් සහතික කර ඇති නමුත් යථාර්ථය ඊට මුලුමනින්ම විපරීතය.

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය 2023 මාර්තු 11 දා නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ පැවැත්වූ රැස්වීමේදී, තුර්කියේ සමාජවාදී සමානතා කණ්ඩායමේ නායකයෙකු වූ උලාස් ඇටෙසි, තුර්කි භූමි කම්පාවේ ජාත්‍යන්තර අර්ථභාරය පැහැදිලි කරමින් පැවසූ පරිදි,

‘..කෙසේ වෙතත්, පන්ති රේඛා ඔස්සේ බෙදී ඇති වර්තමාන ධනේශ්වර සමාජය තුළ, ආණ්ඩු ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් ඔවුන් නියෝජනය කරන පාලක පන්තියේ අවශ්‍යතා ඉටු කිරීමට බැඳී සිටී. මෙම අවශ්‍යතා මහජන සෞඛ්‍ය හා ආරක්ෂාව සඳහා දිගුකාලීන ආයෝජනවලට වඩා ධනේශ්වර ලාභය හා ධනය සමුච්චය කිරීමට ප්‍රමුඛත්වය දෙයි. මෙම සන්දර්භය තුල, පාළක පන්තියේ සියලුම දේශපාලන කන්ඩායම් මෙම වැලැක්විය හැකි ව්‍යසනයේ වගකීම දරන බව අවධාරනය කල යුතුය. අවසාන විග්‍රහයේ දී මෙම ව්‍යසනය, සියලු සංස්ථාපිත පක්ෂ විසින් ආරක්ෂා කරන ධනේශ්වර ක්‍රමයේ නිර්මිතයකි..’

උපුටා ගැනීම WSWS වෙබ්  අඩවියෙනි.

Leave a Reply