සිංහලයන්ගේ ගොවිතැන
වෙනත් බෝග වලට ලංකාවේ වී ගොවියන් යොමු කිරීමට ඇති ප්‍රධානම බාධාව පිටරටින් සහල් ගෙන්වා කෑම සිංහලකමට නොතරම් යැයි ඇති හැඟීමයි. වී වගාව අපගේ දේශීය උරුමයක් නිසා හිඟා කා හෝ එය රැකගත යුතු යැයි විශ්වාස කරන්නන් අප අතර බහුලය. කුඹුරු වල වැඩි ආදායමක් ඇති වෙනත් භෝග වැවීමට යමෙක් යෝජනා කළහොත් ඒ ගැන හද කම්පා කරගනු ඇත්තේ රාවණාවාදී, නාථ දේවවාදී, නලින්වාදී, අමරසේකරවාදී, මෙරට බුදුන්වාදී, ජාත්‍යන්තර කුමන්ත්රණවාදී, ගිහි පැවිදි ඇතැම් සිංහල බෞද්ධ උගතුන්ය. “ඔන්න සංස්කෘතිය විනාශ කරනවෝ” යැයි ඔවුන් කෑමොර ගසනු ඇත.”පිටරට හාලේ බත් ටික නැත්නම් බඩගින්නේ සිංහලයා” යැයි මැලේ ජාතික “ලක්ෂ්මී බායි” ගායිකාව විසින් “චින්තාමණි” නම් ද්‍රවිඩ චිත්‍රපටයේ ගීතයක තනුවට අනුව 1940 දී ගැයූ ගීතයේ පදයන් මතක තිබෙන තුරු සිංහලයන් පිටරට බත් කෑමට මැලිවෙනු ඇත.
අද දින සිංහල බතට වඩා අඩු මිලට ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් ගෙනෙන පොන්නි සම්බා අකමැත්තෙන් හෝ කෑමට මේ සිංහලයන්ට සිදුවී ඇත. මේ පොන්නි සම්බා සහල චෙන්නායි කෘෂිකර්ම විශ්වවිද්‍යාලයේ 1986 දී සොයාගනු ලැබූ බිත්තර වී විශේෂයකින් සැදෙන “දෙමළ සහලක්” බව දැනගතහොත් ඇතැමුන් මේ බත් කා වස ස්වල්පයක් පානය කරනු ඇත.ගෝඨාභය මැතිතුමාගේ කාබනික ප්‍රතිපත්තිය නිසා මිල ඉහළ ගිය සිංහල හාල් වෙනුවට,දෙමළ හාල් කෑම නිසා සිංහලකමට වන හානිය නිශ්චය කරගැනීමට තව මඳක් කල්ගත වෙනු ඇත. ඇතැම් විට දැන් සිංහලයන් දහස් ගණනින් මේ පින්බිම හැර යන්නේ සිංහල නායකයන් විසින් මං පහරා රට බංකොලොත්කළ නිසා නොව, දෙමළ සහල් කෑම නිසා බවට ජාත්‍යන්තර කුමන්ත්රණවාදියෙක් තර්කයක් ගොඩනගනු ඇත.
ගෝඨාභය මැතිතුමාගේ කාබනික පොහොර වියරුව උපරිමයෙන් පවතින සමයේ, මි ගස් වැවීමට යෝජනා කරන යතිවරයා, නැවත එළිදැක්වූ පොතක් ජනපතිතුමාට පිළිගැන්වීම, ජාතික ප්‍රවෘත්තියක් විය. එම පොතේ නම “සිංහල ගොවිතැන”යි. මේ පොත ගැන නලින්වාදී, රාජපක්ෂවාදී සති අන්ත ජාතික පුවත්පතක් පිටුවක් පුරවා ලිපියක් පළකළේය. “දැන්නම් ඉතින් රට සරුවෙයි.” ස්වරයෙන් ලියා තිබු මේ ලිපිය කියවූ මම අමන්දානන්දයට පත්වීමි. පිය උරුමයෙන් ලැබුණු, දැන් නම් හතර මායිම්වත් නොදන්නා, තෙත් කලාපයේ පුරන්වූ කුඹුරක් හිමි මම, අද එය අනවසරයෙන් අල්ලාගෙන සිටින්නන් පන්නා දමා අස්වැද්දීමට සිහින මවමින්, මේ පොත සෙවීමි. අන්තර් ජාලයේ ඇති එම පොත ලියා ඇත්තේ 1951 වසරේදී පණ්ඩිත පූජ්‍ය මැදඋයන්ගොඩ විමලකීර්ති හිමිනම විසිනි. අහෝ, පිටු 132 ක් ඇති එම පොතේ වගා ක්‍රම ගැන ඇත්තේ පිටු 2ක් පමණි. ඉතිරි පිටුවල ඇත්තේ ගොවිතැනේදී භාවිතා කරන සිංහල වචනවල තේරුම් හා සිරිත් විරිත්ය. මෙම පොතෙහි සැබෑ නම විය යුත්තේ “ගොවිතැනේදී යෙදෙන සිංහල වචන හා සිරිත් විරිත්” යන්නයි. පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේදී මෙවන් අභාවයට ගිය සිංහල වචනවල තේරුම් අසන නිසා, මේ පොත බාලාංශ සිසුන්ට අතිරේක කියවීම් පොතක් ලෙස නිර්දේශ කිරීම සුදුසුය. සිංහලයන් කුඹුරු හාන ගොන්නුන්ට ඇන්දවීම දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්ව ඇති අයුරු වටහාගැනීමට මෙයට වඩා වැඩි උදාහරණ අනවශ්‍යය.
වී ගොවිතැනේ සමාජමය අර්බුදය
ලංකාවේ මුළු වී අස්වැන්න වන මෙට්‍රික් ටොන් 4870 න්, උතුරමැද පළාතෙන් මෙට්‍රික් ටොන් 1370 ක්ද , නැගෙනහිර පළාතෙන් මෙට්‍රික් ටොන් 1067 ක්ද ලැබී ඇත වයඹ පළාතෙන් 630 ක්ද ලැබී ඇත. එනම් මේ දිස්ත්‍රික්ක තුනෙන් ලංකාවේ මුළු වී අස්වනන්නෙන් 67% ක් ලැබේ. ලංකාවේ මුළු විදේශගත ශ්‍රමිකයන් 30% ගෘහ සේවිකාවන්ය. පුදුමයකට මෙන්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත අනුව විදෙස්ගත ගෘහ සේවිකාවන්ගෙන් ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස වැඩිම පිරිසක් විදෙස්ගතව ඇත්තේ මේ වී වගා කරන දිස්ත්‍රික්ක වලින් හා පොලොන්නරුව, අම්පාර වැනි අනෙකුත් කෘෂිකාර්මික දිස්ත්‍රික්ක වලිනි. වී ගොවියන් වන තම සැමියන් දුගියන් නිසා, විදේශගතව නිවෙස්වල මෙහෙවරකම් කොට තම “අභිමානවත් ගොවි පවුල්” රැකීම හැරුණු කොට අන් කිසිදු විකල්පයක් මොවුන්ට ඉතිරිව නැත. ක්ෂුද්‍ර ණය රකුසා නිසා පීඩා විඳිමින් සියදිවි නසාගන්නා, සැඟවී ජිවත්වන කාන්තාවන් බහුතරයක් සිටින්නේද මේ ප්‍රදේශ වලයි. ක්ෂුද්‍ර ණය බරෙහි ඔවුන් ගිලී සිටීම දේශපාලඥයන්ට වාසිවන්නේ ඒවා කපාහරින බව පවසා ඡන්ද ලබාගත හැකි නිසාය.
එපමණක් නොව “මත්ද්‍රව්‍ය විරෝධී තොරතුරු මධ්‍යස්ථානය” හි දත්ත අනුව ලංකාවේ වැඩිම ප්‍රතිශතයක් බීමතුන් සිටින්නේ කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්ක වලය. මෙයට එක් හේතුවක් වන්නේ වී ගොවියන් වසරේ වැඩි කලක් කිසිදු රැකියාවක් නොකර නිකරුනේ කාලය ගත කිරීමයි. මේ පිළිබඳව කෙරී ඇති එක් සමීක්ෂණයකට අනුව වී ගොවියෙක් වසරකට වැඩ කරන්නේ මිනිස් දවස් 31 ක් පමණි. ඉතිරි දින 334 ඔවුන් නිකරුනේ කාලය ගත කරයි. මෙය ඇදහිය නොහැකි තත්වයක් වුවත් අද දින කුඹුරු කිරීම ගැන අවබෝධයක් ඇත්තන් මා සමඟ මේ කරුණ සනාථ කොට ඇත. පෙර කළ සීසෑමේ සිට අස්වනු වී කිරීම දක්වා සියළු කටයුතු සියතින් කල වී ගොවියන් දැන් ඒ දේ කරන්නේ කුලියට ගත් යන්ත්‍ර සුත්‍ර හා මිනිසුන් මගිනි. එසේ නමුත් කෘෂිකර්මය සඳහා අවශ්‍ය උපකරණ වලින් එකක් හෝ අයිති ගොවි නිවෙස් ඇත්තේ 31% ක් පමණි. කුලියට ගත් උපකරණ වලින් කුලියට ගත් මිනිසුන් ලවා වැඩ කරවා ගන්නා ගොවියන් එනිසා ඉතිරිවන කාලය නිකරුනේ ගත කරයි.
“නිකම් සිටින්නාගේ සිත යකාගේ කම්මලය” යැයි කියමනක් සැදුනේ නිකම් නොවේ. බීමත්කම, ලිංගික අපරාධ, ළමා අපචාර, මත්ද්‍රව්‍ය පානය, සුදුව, අනවසරයෙන් කැලෑ කැපීම, මැණික් ගැරීම වැනි අපරාධ කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල අතිශයින් බහුලය. මම කලක් කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක සේවය කලෙමි. මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසු යැයි රොබට් නොක්ස් පැවසුවද අද දින මඩ සෝදාගත් ගොවියා වහා වහා දුවන්නේ කසිප්පු තිප්පොලටය. එසේත් නැත්නම් සුදු පොලටය. ඉන්පසුව කටගොන්නක් බී, බිරිඳට සහ දරුවන්ට තැලීමටය. සැමියන්ගෙන් බැටකෑමද බිරිඳන් විදෙස්ගත වීමට එක් හේතුවකි. මේ තත්වය ගැන අප කලයුත්තේ සිනහවීම නොව ඇඩිමයි. මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස, ගොවියාට ඇති වැඩ වැඩිකිරීමට අපේ මුතුන් මිත්තන් කළ පරිදි මී හරක් යොදා, කාබනික පොහොර යොදා, කෙම් ක්‍රම භාවිතා කිරීමට රාවණාවාදී, නාථ දේවවාදී, නලින්වාදී, අමරසේකරවාදී, මෙරට බුදුන්වාදී, ජාත්‍යන්තර කුමන්ත්රණවාදී, ඇතැම් ගිහි පැවිදි සිංහල බෞද්ධ උගත් මෝඩයන් යෝජනා කරනු ඇත. එසේ කර ගොවින්ගේ ආදායම වැඩිකර ගන්නේ කෙසේදැයි මොවුන්ගේ අල්ප ඥාණයට නොවැටහේ. මේ උගත් මෝඩයන්ට වඩා නුවණ ඇති කපටි දේශපාලඥයන්, මේ අවාසනාවන්ත තත්ත්වයෙන් ගොවියන් ගොඩ නොගෙන, ඔවුන් රජුන් යැයි පවසා ගොනාට අන්දවා, තමන්ගේ ඡන්ද පදනම තරකර ගනී.
රජයෙන් කරන්නේ මොනවාද?
ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යංශයට අනුයුක්ත සේවක සංඛ්‍යාව දහස් ගණනකි. මොවුන් ගෙන් කෙරන සේවය කුමක්දැයි විමසා බැලීම වැදගත්ය. 2017 කෘෂිකාර්මික ගෘහ සංගණනය අනුව කෘෂිකර්මයේ නියැලෙන ජනකායෙන් යම් ආකාරයක සංවිධිත පුහුණුවක් ලබා තිබෙන්නේ සියයට 1.7ක් පමණි. එයින් බහුතරයක් පවසා ඇත්තේ තමන් ලද පුහුණුව මසකට වඩා අඩු බවයි. මෙයින් අදහස් වන්නේ නව කෘෂිකාර්මික ක්‍රම ගැන අපගේ ගොවි මහතුන් තුල ඇති දැනුම ඉතා අල්ප බවය. සංගණනයන් අනුව පොහොර භාවිතය,නව බීජ වර්ග, පලිබෝධ නාශක, කාබනික පොහොර තැනීම, ගැන ගොවියන් වැඩිපුරම තොරතුරු දැනගන්නේ රජයෙන් නොව පුද්ගලික කොම්පැනි වලිනි. ණය පහසුකම් හා අලෙවිය පිළිබඳව යම් දැනුමක් ලබා ඇති ගොවි මහතුන් සිටින්නේ 5% කට අඩු ප්රමාණයකි.
මෙය මේසා අති විශාල කෘෂි විද්‍යාඥයන් රැසක් සිටින රටක ගොවියන් ගොවිකම නොදැන සිටීම මහා පුදුමයකි. පාංශු විශේෂඥයන්, පොහොර විශේෂඥයන්, බීජ විශේෂඥයන්, පෙර අස්වනු විශේෂඥයන්, පසු අස්වනු විශේෂඥයන්, කෘෂි ආර්ථික විශේෂඥයන්, කෘෂි අපනයන විශේෂඥයන් වැනි මෙකී නොකී විද්වතුන් රැසක් ලංකාවේ සිටින බව අප දැනගත්තේ කාබනික පොහොර ප්රශ්නය අවස්ථාවේදීය. මේ උගතුන් විශ්වවිද්‍යාලවලද, රජයේ ආයතන වලද සැඟවී ජීවත්වී, කාබනික පොහොර ප්රශ්නය විසඳුනු පසුව කෘෂිකර්මයේ සියලු ප්‍රශ්න විසඳුනේ යැයි සිතන නිසාදෝ, නැවත සැඟවී ඇත. මේ උගතුන්ගෙන් මා කරන අවංක ඉල්ලීම මා මෙහි පලකරන දත්ත හා අදහස් ගැන අවම වශයෙන් නිර්දය විවේචනයක් හෝ කිරීමටයි. ඒ සංවාදය අද රටට අවශ්‍යව තිබේ.
කෙතරම් වාඩම්බර දෙඩුවත් 2019 වර්ෂයේදී නිෂ්පාදනය වූ වී මෙට්‍රික් ටොන් 1.25 කින් රජය මිලදී ගෙන තිබුනේ 0.4%ක් පමණි. පුද්ගලික කොම්පැනි 28%ක්ද, පුද්ගලික වෙළෙන්දන් 27%ක්ද, වීමෝල් හිමිකරුවන් 32% ක්ද වී මිලදී ගෙන තිබුණි.ගොවියන් පුද්ගලික අංශයට වී විකුනන්නේ ඔවුන් මුළු අස්වැද්දුම් කාලය තුළ ලබාගත් ණය කන්දරාවට හිලව් වීමට මිස ආසාවකට නොවේ. ඔවුන් මේ අයුරින් පුද්ගලික අංශයෙන් ලබාගත් ණය මුදල් මුළු ණය ප්‍රමාණයෙන් 40% ක් ඉක්මවා තිබුණි.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනින්, ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සුරතින් වී ගබඩා ප්‍රතිසංස්කරණය කොට විවෘත කළේ මේ කරුණ ගැන නොදැන විය යුතුය. කිසිදු කරුණක් ගැන ගණනක් මිම්මක් නැතිව හොරණෑ පිඹීම ගැන මෙයට වඩා හොඳ තවත් උදාහරණයක් නැත. ජනතා මුදලින් එදා ප්‍රතිසන්කරණය වූ ගබඩාවල අද තැන්පත් කර ඇත්තේ මොනවාදැයි විමසීමද වැදගත්ය.
ගොවියාගේ හතුරන් කවුද?
ලංකාවේ වී ගොවිතැනේ නම් පරම හතුරා වී ගොවිතැනම මිස, වීමෝල් හිමියන්ම පමණක් නොවේ. වී ගොවිතැනේ යෙදෙන 9% යේ ආර්ථික දායකත්වය 0.9% ක්ව තබමින් වැඩකරන ජනතාවගේ ශ්‍රමය අපතේ හැරීමට ඉඩහරින රටක් කෙසේ දියුණු කලහැකිදැයි මම නොදනිමි. බටහිර රටවල් පමණක් නොව ජපානය, චීනය, ඉන්දියාව වැනි පෙරදිග රටවල් පවා තම අස්වනු වැඩිකර ගත්තේ “හරිත විප්ලවය” (Green Revolution) මගින් මිස සම්ප්‍රදායික ගොවික්රම මගින් නොවේ. ලංකාව වැනි කුඩා බිම් කට්ටි ඇති රටවල කෘෂිකර්මය දියුණු කර ඇත්තේ හරිතාගාර වැනි දියුණු ක්‍රම මගින් මිස වැව් තැනීමෙන් නොවේ. දැන් පවතින තත්ත්වය අනුව වැවක් තනන්නා දුගියන් රැසක් බිහිකරයි. වැවක් හාරන්නා දුගියන් දුගී බවෙහි තබා ගනියි. අද ලොව ගමන් කර ඇත්තේ කුඩා ඉඩකින් වැඩි අස්වැන්නක් ලබා ගතහැකි සුහුරු කෘෂිකර්මයට මිස ගොම්පස්, මී ගස් ඇසුරෙන් කරන අඩු ඵලදාව ඇති මෝඩ ගොවිතැනට නොවේ. විශේෂයෙන්ම වගා කිරීමට ඉතා අඩු බිම් ප්‍රමාණයක් ඇති රටක, කුඩා ඉඩම් හිමි ගොවියන්ට සම්ප්‍රදායික ක්‍රමවලින් වගාකොට ජිවත්විය නොහැක.
අපේ මුතුන් මිත්තන් යමක් කල නිසා අපද එය ඒ අයුරින් කළ යුතුයැයි විශ්වාස කිරීම තරම් අමන ක්‍රියාවක් තවත් නැත. ගරාවැටුණු වලව්වක ඇති “වල” වැසිකිලියට අවම වශයෙන් පිඟන් ගඩොල් පෝච්චියක් වත් සවිනොකර පාවිච්චි කරන පවුලක් ගැන මම දනිමි. මුතුන්මිත්තන් කල අයුරින්ම ශරීර කෘත්‍යය තමන්ද නොකිරීම, පරපුරට කරන අවමානයක් යැයි ඔවුන් තදින් විශ්වාස කරයි. දිනක් ඔවුන්ගේ අයෙක් වැසිකිලි වලට වැටුණි. අපේම හොරුන් විසින් මං පහරා වැසිකිලිවලට වැටී සිටන මා වැනි ඇතැම් සිංහල බෞද්ධයන් දැන්වත් අපගේ අමන චින්තනය ගැන අළුතින් නොසිතුවහොත් ඒ මෝඩ මිනිසා රෑ වැටුණු වැසිකිලි වලේ අප දවල් වැටෙනු ඇත.
අද පරාජය වී ඇති රාජපක්ෂවාදය ගොඩගැනීමට අවශ්‍යවන්නේ අම්බරුවන් දෙබානක්, වියගහක ගැටගසා, තම පුතෙකු, සරම වලපොට ගසා කුඹුරකට බැස්සවීම පමණක් බව ඒ කපටියන් හොඳින් දනී. එවිට යතිවරුන් පිරිසක් කමතට වැඩ සෙත් පිරිත් සජ්ජායනය කරනු ඇත. බතින් බුලතින් රට සරුකර, “පැරකුම් යුගයක් නැවතත් අරඹා”,රට ගොඩගැනීමට හැකි දියසෙන් කුමරෙකු පහළවීම ගැන ඇතැම් මධ්‍යම පංතික නාගරික උගතුන් සාදුකාර දෙනු ඇත. ගොවියන් කෙසේ වෙතත්, මඩ සෝදා ගොඩට එන දියසෙන් කුමරු රජවෙනු ඇත. අවසානයේදී අම්බරුවන් ලිහා වෙනුවට ඒ වෙනුවට ගොවියන් වියගහට බැඳෙනු ඇත. මේ කපටියන්ට විරුද්ධ වන්නන් ගොවියන් දුගී බවේ තබාගැනීම, දේශපාලන ව්‍යාපෘතියක් බව රටට පැහැදිලිකර දියයුතුය.
මේ ලිපියේ සියලු කරුණු පාදකව ඇත්තේ දැනට ප්‍රකාශිත දත්ත මතය.මෙය කියවා කරුණු වැඩිදුරටත් හදාරා අද වල පල්ලට වැටී ඇති රට ගොඩ ගැනීමට උත්සාහ කරන යමෙක් ඇත්නම් අපේ ගොවිතැන ගැන නැවත සිතා අලුත් තීරණ ගැනීම කළයුතුමය. එවන් අය විසින් විමසිය යුතු කරුණු රැසකි. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් ලෙස දියුණු කල හැකිද? එසේත් නැත්නම් නව නිෂ්පාදන කරන ආර්ථිකයක්ට අප යා යුතුද? මුතුන් මිත්තන් කළ පමණින් වී වගාව දියුණු කිරීමට උත්සාහ කළ යුතුද ? එසේත් නැත්නම් වැඩි ආදායමක් ලබාදෙන වෙනත් වගාවන්ට ගොවියන් යොමු කළ යුතුද? නවීන බෝග වර්ග, නවීන කෘෂිකාර්මික උපක්‍රම අප භාවිතා කළ යුතුද? දහස් ගණනින් සිටින කෘෂි නිලධාරීන් කරන්නේ මොනවාද ? වැනි වැදගත් ප්‍රශ්න රැසක් නැගිය යුතු අවදියකි. මා මතු කරන්නේ එවන් ප්‍රශ්න රැසකි. වෛද්‍යවරයෙක් වන මම මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමට සුදුසු පුද්ගලයෙක් නොවෙමි. ඒ, ලංකාවේ ගොවිතැනේ ප්‍රශ්න වලට දේශීය විසඳුමක් ලබාදී, එය කළ නායකයන්ට “කුසල් අනුමෝදන් කර” වෙනත් වෛද්‍යවරයෙක් රට සාගතයකට තල්ලු කල නිසාය.