You are currently viewing පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා සොයා ගන්න බැරිද?

පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා සොයා ගන්න බැරිද?

මීට වසර හයකට පෙර සිදු වු පාස්කු ඉරිදා ප්‍රහාරය තවමත් බොහෝ දෙනා අතර නිතර කතා බහට ලක්වෙන උණුසුම් මාතෘකාවකි. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද, එය මෙහෙයවන ලද්දේ කවුරුන්ද, කාගේ වුවමනාවට සිදු වුවක් ද වැනි ප්‍රශ්නවලට තවමත් නිශ්චිත පිළිතුරු නැත. එය 2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ දිනවීම අරමුණු කර ගෙන ඔහුට සම්බන්ධ ආරක්ෂක අංශ මගින් මෙහෙයවන ලද්දක් ද යන ප්‍රශ්නය ද දේශපාලන වේදිකාවේ කතා විය. සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සහ විශේෂ විමර්ශන කමිටු පත් කළ ද පිළිතුරු නැති ප්‍රශ්ණ ගණනාවකි.

තමන්ට පැවරී ඇති වගකීම් ඉටු නොකිරීම නිසා මෙම ඛේද ජනක සිද්ධිය ඇතිවූයේයැයි අධිකරණය තීරණය කළ නිසා හිටපු ජනාධිපතිවරයෙකු ඇතුළු පොලීසියේ උසස් නිලධාරීන් කීප දෙනෙකුට සිද්ධියේ වින්දිතයන්ට වන්දි ගෙවීමට ද නියෝග කෙරිණ. එහෙත් යුක්තිය නියම ආකාරයෙන් ඉටු නොවුයේයැයි ප්‍රබල හැඟීමක් සමාජයේ පවතී. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් යුක්තිය ඉටු කරන බවට බලවත් විශ්වාසයක් කතෝලික ආගමික නායකයන් අතර ද විශ්වාසයක් පවතී.

ආචාර්ය රාජන් හූල්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන් වුවත් මෙවැනි ඛේදවාචක සිද්ධීන් ඇතිවිමට සැබැවින්ම වගකිව යුත්තේ පටු බෙදුම්වාදී ආගම්වාදි දේශපාලනය බව මේ ගැන ප්‍රථමයෙන්ම විශ්ලේෂණාත්මක විග්‍රහයක් කළ ආචාර්ය රාජන් හූල් 2020 දි එනම් සිද්ධියෙන් පසු වසරක් ගත වීමටත් පෙර Easter Tragedy නම් කෘතියෙන් පෙන්වා දුන්නේය. අවාසනාවකට මෙන් එය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූයේ නැත සුපුරුදු ආකාරයට කතා බහට ලක් වූයේ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ගේ වතගොත ඔවුන්ට රැකරවරණය ලබා දුන් අය සහ නීතිය නිසි ආකාරයට ඉටු නොවීම වැනි කරුණු ගැනය.

2009 දී නන්දිකඩාල් වෙරළේ දී එල්ටීටීඊයට එරෙහි සටන එහි නායකත්වය මරා දැමීමෙන් අවසන් වුවද නැගෙනහිර පළාතේ අවි පුහුණුව ලත් මුස්ලිම් තරුණයින්ගේ සටන අවසන් වූයේ නැත. වෙනස් කොට සැලකීමේ භාවිතාවට අනුගතව සිටි ඔවුහු එම ප්‍රදේශයේ විශේෂයෙන්ම කාත්තන්කුඩි සුපි ආගමික කණ්ඩායමට එරෙහිව සිය ප්‍රචණ්ඩත්වය මුදා හැරියහ. ඔවුන්ට එම ප්‍රදේශයේ ආධිපත්‍යය තහවුරු කර ගැනිමට වහබි ආගමික කොටසේ ආධාර අනුබලය ලැබිණ. 2017 දී කාත්තන්කුඩි හි සුපි ආගමික කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරීමට නායකත්වය ලබා දුන්නේ ද සහ්රාන් ගේ නායකත්වයෙන් යුත් ජාතික තව්හිද් ජමාද් සංවිධානයයි.

ජාතීන් වශයෙන් වෙනස් කොට සැලකීම ආගමික නිකායන් වශයෙන් වෙන් කිරීම දක්වා වර්ධනය වූයේ ඒ ආකාරයෙනි. ඒ සමගම ප්‍රශ්න විසඳා ගැනීමේ මාර්ගයක් වශයෙන් ප්‍රචණ්ඩත්වය යොදා ගැනිමේ භාවිතාව ද සමාජ ගතව තිබිණ. ජාතික තව්හිද් ජමාද් සංවිධානය 2015 පාර්ලිමේන්තු මැතිවරණයට කාත්තන්කුඩි ප්‍රදේශයෙන් තරග වදින අපේක්ෂකයන් අත්සන් කළ යුතු ගිවිසුමක් ද ඉදිරිපත් කෙළේය. එහි තිබු එක කොන්දේසියක් වූයේ සුපි හෝ ෂියා ආගමික කොට්ඨාශවලින් කිසිම ආකාරයේ සහායක් ලබා නොගත යුතුය යන්නයි. වෙනස් කොට සැලකීම එකම ආගමේ නිකායන් අතරට ද පත් විය.

මෙම පසුතලයෙන් රාජන් හූල් මතු කරන වැදගත්ම කාරණය නිදහසින් පසු ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම යි. භාෂාමය වශයෙන් වෙනස් කොට සැලකිමට එරෙහිව අධිකරණයේ පිහිට පැතුව ද ඉන් සහනයක් ලබා ගැනීමට හැකි වූයේ නැත. එවකට ක්‍රියාත්මක වූ ප්‍රිවි කවුන්සලයෙන් වෙනස් කෙට සැලකිම නිවැරදි කිරීමට උපදෙස් ලබා දුන් නමුත් බලයේ සිටි රජය එය තැකුවේ නැත. නිතියේ ආධිපත්‍යය බිඳ වැටුණේ ඒ ආකාරයෙනි.

ඉන් පසුව නීතිය හා සාමය පවත්වා ගැනීමේ ආයතන ද දේශපාලනීයකරණයට ලක් විය. මෙම දේශපාලනීයකරණය වීම 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කෙරිණ. කලින් පැවති සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණ දිව්රුම දීම වූයේ ‘සියලු දෙනාට ආදරයෙන් හෝ අනාදරයෙන් තොරව යුක්තිය ඉටු කරමි’ යනුවෙනි. එහෙත් 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එය ‘ශ්‍රී ලංකා ජනරජයට නියමානුකූලව සහ සත්‍යවාදීව සේවය කරමි’ යනුවෙන් වෙනස් විය. යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීමට බැඳී සිටීමක් එහි සඳහන් වූයේ නැත. මෙය එක්සත් ජනපදයේ අධිකරණ දිව්රුම සමග රාජන් හූල් සංසන්දනය කර පෙන්වයි. ඔහු සඳහන් කරන ආකාරයට එක්සත් ජනපද අධිකරණ දිව්රුම් දීමේ දි ‘දුප්පත් පොහොසත් සියලු දෙනාට සමානය යුක්තිය ඉටු කරමි’ යන්න ද ඇතුළත් ය.

නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම වේගවත් වූයේ ඒ ආකාරයෙනි. නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට පවතින ආයතන ද දේශපාලන අධිකාරියේ පාලනය යටතට පත් විය. සාධාරණය සහ යුක්තිය ඉටු කිරීම දේශපාලන බලධාරියාගේ කැමැත්තට නතු විය.

නීතිය සහ සාමය පවත්වා ගැනීමේ මූලික ආයතනයක් වන පොලීසිය දේශපාලන අධිකාරියේ අතකොළුවක් බවට පත් විය. අරගලය සමයේ දේශපාලකයන්ගේ නිවෙස්වලට අලාභ හානි කිරීමේ දී පොලීසිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ගැන ආණ්ඩු පක්ෂයේ මංත්‍රීන් ප්‍රශ්න කළ විට පොලිස්පතිගේ පිළිතුර වූයේ පොලිස් ස්ථාන 184කින් 182ක ස්ථානාධිපතිවරුන් පත් කෙරේ දේශපාලකයන්ගේ නිර්දේශ අනුවය. ඒ අනුව නිසි ආරක්ෂාවක් නොලැබිමට හේතුව නිසි නිලධාරීන් පත් කිරීමට නොහැකි වීමය.

ඇත්තෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල මෙන්ම කාත්තන්කුඩි ය ඇතුළත් නැගෙනහිර පැවති තත්වය ද එසේම ය. 2017 වසරේ කාත්තන්කුඩි ප්‍රදේශයේ සුපි ආගමික කොටසට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වන විට පොලිසිය නිසි පරිදි කටයුතු කෙළේ නම් සහ්රාන් ඇතුළු පිරිස අත් අඩංගුවට ගත යුතුව තිබිණ. එම ප්‍රදේශයේ නියෝජිත කණ්ඩායමක් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා හමුව සහ්රාන් ප්‍රමුඛක කණ්ඩායම ගැන පැමිණිලි කළ ද නීතිය ක්‍රියාත්මක වූයේ නැත.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සැබැවින්ම වගකිව යුතු වන්නේ නීතිය ක්‍රියාත්මක නොකළ නිලධාරීන් ය.

රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලනීයකරණය වීම නිසා නිතියේ ආධිපත්‍යය බිඳ වැටී රට තුළ නිතිය සහ සාමය පවත්වා ගත නොහැකි විය. එය රාජන් හූල් මෙම කෘතියේ මැනැවින් දක්වා ඇත.

එමනිසා පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා වන්නේ පුද්ගලයෙකු නොව දේශපාලන වශයෙන් වෙනස් කොට සැලකීම නිති ගත කිරීමෙන් ආරම්භ වූ ක්‍රියා මාර්ගයයි. පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අයට අධිකරණ ක්‍රියා මාර්ගවලින් දඬුවම් කිරීමෙන් පමණක් සමාජ සාධාරණය සහ යුක්තිය තහවුරු කරන පරිසරයක් බිහි වන්නේ නැත.

තිස් අවුරුදු යුද්ධයත් පාස්කු ප්‍රහාරයත් ඉන් පසුව රට පුරා මුස්ලිම් ආගමිකයන්ට එල්ල වූ ප්‍රචණ්ඩත්වයටත් හේතු වූ ප්‍රධාන කාරණය නිතියේ ආධිපත්‍යය බිඳ වැටීම බව රාජන් හුල් තර්ක කරයි. ඒ අනුව මෙය නිවැරදි කිරීමට අධිකරණ ක්‍රියා මාර්ගවලට අමතරව මූලික ව්‍යවස්ථාවේ වෙනසක් ද සිදු කළ යුතුය. සියලු දෙනාට වාර්ගික, ආගමික හෝ භාෂාමය වෙනස්කමක් නැතිව සාධාරණ යුක්ති සහගත නිති පද්ධතියක් ඇති කිරීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය ය. අයුක්තිය, අසාධාරණත්වය සහ වෙනස් කොට සැලකීමේ මහ මොළකාරයන්ට දඬුවම් පැමිණවිය හැකි වන්නේ ඒ ආකාරයෙන් පමණි.  

Leave a Reply