You are currently viewing ප්‍රංශයෙන් ගිලටීනයක් සපයාගැනීම..

ප්‍රංශයෙන් ගිලටීනයක් සපයාගැනීම..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රොන් සමඟ.. | 2023 ජූලි 28

ශ්‍රී ලංකාව සහ ප්‍රංශ ජනරජය අතර තානාපති සබඳතා අරඹා වසර 75 ක් පිරීම සනිටුහන් කරමින්  ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රොන් මැතිතුමා ඉතා කෙටි සංචාරයකට පසුගිය 28 වැනිදා දිවයිනට හදිසියේම පැමිණියේය. සංචාරය කෙටි වුවද, එතුමාගේ පැමිණීම අප සියළු දෙනාම අගය කල යුතුය. ප්‍රංශය  ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට නිතර ආධාර උපකාර කරන යුරෝපීය රටකි.

2022 ශ්‍රී ලංකාවේ පැවැති ‌‌‌ ජන අරගලය  1789 ඓතිහාසික ප්‍රංශ විප්ලවය මෙන් ආස්වාදජනක, නමුත් සාමකාමී බල අරගලයක් වීය. ජනාධිපති එමානුවල් මැක්රොන් මැතිතුමා දිවයිනට පැමිණි ප්‍රථම ප්‍රංශ ජනාධිපතිවරයා මෙන්ම, අරගලයින් පසු ශ්‍රී ලංකාවට සැපත් ඉහල පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයා ද වෙයි .

එසේම ප්‍රංශය නිතර අපගේ මතකය අවධිකරනුයේ කෘර රාජ්‍ය පාලකයින්ට අමතක නොවන පාඩමක් උගැන්වීමට පීඩිත පංතියේ අරගලකරුවන් නායකත්වය දුන් විප්ලවයකට හැකි වීමය. පාලකයින්ගේ සියළුම මර්දන පරාජය කරමින් අරගල කරුවන් සිරකර සිටි බැස්ටීල කඳවුර කඩාබිද දමමින් ඇරඹි ප්‍රංශ විප්ලවය මානව ශිෂ්ඨාචාරයේ නව සළකුනක් තැබූවේය. බැස්ටීලය මෙන්ම අපරාධ කරුවන්ට ක්ෂණික මරණ දණ්ඩනය ගෙනෙන සුවිශේෂී උපකරණයක් වන ගිලටීනයද ප්‍රංශ විප්ලවය හා බැදී ඇත.

වෛද්‍ය ජෝශප් ගිලටීන් [1739 – 1814]

වෛද්‍ය ජෝශප් ගිලටීන් අඩු වේදනාවකින් චූදිතයින්ට ක්ෂණික ගෙල සිදවීමකින් මරණ දණ්ඩනය ලබාදීමට ගිලටීනය හඳුන්වා දුන්නේය. ප්‍රංශ විප්ලවයට තුඩු දුන් මූලික සිද්ධාන්තයද වර්තමානයේ ශ්‍රි ලංකාව මුහුණ දෙන අර්බුද වලට සමානය. ලුවී රජපවුලේ නාස්තිකාර වියහියදම් පියවා ගැනීමට ණය වීමත්, ඒවා පියවා දැමීමට රට වැසියන් මත අසාධාරණ බඳු පැනවීම විප්ලවය මතු වීමට හේතු වීය. ඊට අමතරව රජතුමා සිය මුදල් ඇමතිවරයා ලෙසට සූදු අන්තුවකු වූ ස්කොට්ලන්ත ජාතික ජෝන් ලෝ පත්කලේය. චීන අධිරාජ්‍යයට පසු යුරෝපයේ මුදල් නෝට්ටු අච්චුගැසීම පලමුවෙන් හඳුන්වාදී අධිරාජ්‍යයක් බංකොලොත් කල පුද්ගලයා ජොන් ලෝ වීය. ප්‍රංශයේ බලසම්පන්න රජ පෙළපත අවසන් කොට නව ජනරජයක් බිහිකරවීමට ඓතිහාසික ප්‍රංශ විප්ලවයට හැකි විය.  එහි කූඨාප්ප්‍රාප්තිය වුයේ දහසය වැනි ලුවී රජතුමාට සහ ප්‍රංශ අධිරාජ්‍යය ණය බරින් බංකොලොත් කල මාරී ඇන්ටෙනෝට් බිසවට ගිලටීනයෙන් ගෙල සිද ගැනීමටද සිදුවීමය. එහෙත් ජොන් ලෝ රටින් පලාගොස් ගිලටීනයෙන් බේරුනේය. වර්තමානයේද මුදල් අමාත්‍යාංශය භාරගන්නට ඉදිරිපත්වන අය ජෝන් ලෝගේ භූමිකාවම රඟදක්වමින් ඉවක් බවක් නොමැතිව මුදල් අච්චු ගැසීමට සහ දශක ගණනාවකට ගෙවීමට ණයකර සහ බැඳුම් කර නිකුත් කිරීමට රුසියෝය. ලෝක ඉතිහාසයම ගැන අවබෝධයක් නැති කෙනෙකු වුවද,  මාරී ඇන්ටෙනෝට් බිසව ජනතාවට පාන් නැත්නම් කේක් කාපල්ලා යැයි කී කථාව අමතක නොවනු ඇත. අධිරාජ්‍යයක් සහ මුළු රජපෙළපතක්ම අවසානයට මුල් වුයේ ප්‍රංශ ජාතියම ණය උගුලක සිරවීමෙනි. ඉතිහාසයෙන් උගෙනීමට පාඩම් රාශියක් ඇත.

මැක්සිමිලන් රොබෙස්පියර්ය | Maximilien Robespierre

ප්‍රංශ විප්ලවය දියත් කිරීමට මුල්වූ තවත් පෙරළිකාර චරිතයක් වනුයේ මැක්සිමිලන් රොබෙස්පියර්ය. හේ වෘත්තියෙන් ප්‍රසිද්ධ නීතීඥයෙක් විය. අයුක්තියට සහ අසාධාරණයට විරුද්ධව නිතරම පීඩිතයන් වෙනුවෙන් පෙනීසිටීම නිසා ජනප්‍රිය මහජන නියෝජිතයෙක් ද විය. එහෙත් ප්‍රංශ විප්ලවයට අමානුෂික සැහැසිකත්වය සහ භීෂණය හඳන්වාදීමට මුල්වූ චරිතයක් වූ මැක්සිමිලන් රොබෙස්පියර්යද ගිලටීනයෙන්ම සිය ගෙල සිඳගත්තේය. රොබෙස්පියර් ඇතුළු කැරළිකරුවන්ගේ භීෂණය හමුවේ ප්‍රංශ පුරවැසියන් දසදහස් ගණනක් ගිලටීනයට බිලි විය. අවි ගත්තවුන් අවියෙන්ම නැසෙන බව ශුද්ධ බයිබලයේ සදහන් පාඨයේ යතාර්ථය මෙම සංසිද්ධිය කදිමට තහවුරු කරයි.

ප්‍රංශ විප්ලවය එක් රැයකින් හමාර වුයේ නැත. ලුවී රාජ්‍ය පාලනයේ ජන පීඩනය සහ සාහසිකත්වය පුරා දශකයකට ආසන්න කාලයක් පැවැතීය ( 1789-1799). 2022 ශ්‍රී ලංකාවේ නොනිදන අරගලයට මුල්වූ හේතු සාධක ප්‍රංශ විප්ලවයට මුල් වු කාරනා හා බොහෝදුරට සමාන බව පාඨකයින්ට තේරුම් ගත හැක. ශ්‍රී ලාංකේය අරගලය ඉතාමත් සාමකාමී වීය එහෙත් අරලියගහ මන්දිරයින් බිහිවූ රොබෙස්පියර්ලා ගේ කෘර පහරදීම් අරගලය සැහැසිකම් වලට යොමුකරවීමට මුල්විය.

‘..ශ්‍රී ලංකාවටද පද්ධතිමය වෙනස් සිදුවිය යුතු බවට අරගලය හා රොඳ බැඳුණු ලක්ෂ සංඛ්‍යාත්මක උද්ඝෝෂණ කරුවන්ගේ අභිලාෂය වීය..

ශ්‍රී ලංකාවටද පද්ධතිමය වෙනස් සිදුවිය යුතු බවට අරගලය හා රොඳ බැඳුණු ලක්ෂ සංඛ්‍යාත්මක උද්ඝෝෂණ කරුවන්ගේ අභිලාෂය වීය. එහෙත් අප විසින් ස්ථානගත කලයුතු එම නව පද්ධතිය කුමක්විය යුතුද යන්න පිලිබඳ පොදු එකගතාවක් නොමැත. මන්ද සියළුම දේශපාලකයින් මැතිවරණ සිහිනයේ ගිලී සිටින නිසාය.

විසි එක්වැනි ශතවර්ෂයේ දී සමාජ දේශපාලන වෙනස්කම් ඇති කිරීමට කෘර ප්‍රචණ්ඩත්වය හෝ භීෂණය යොදා නොගත යුතු යන්න මෙම ලියුම්කරුගේ මතයයි. මන්ද අවිහිංසාවේ  සහ සංවිධානය වූ මහජන මතයේ ප්‍රබලත්වය, ආසියාවේ යුග පුරුෂයන් වන ගෞතම බුදුරජානන් වහන්සේ සහ මහත්මා ගාන්ධි තුමා ලොවට පෙන්වාදී ඇත. වර්තමානයේ බලය උදෙසා පිස්සු නටන ලාංකේය රොබෙස්පියර්ලා ජනතා ගිලටීනයට ගොදුරුවීමට තව වැඩි කාලයක් නැත. ඉවසීම සහ හික්මීම අවියක් කරගනිමින් බුද්ධිමත්ව කටයුතු කිරීමට සියළුදෙනාම වගබලා ගතයුතුවේ.

ඉහත විස්තර කල ප්‍රංශ විප්ලවයේ ප්‍රධාන භූමිකාවන් කල වෛද්‍ය ජෝශප් ගිලටීන් සහ  නීතීඥ මැක්සිමිලන් රොබෙස්පියර්ය වැනි වෘත්තිකයින් දේශපාලන කරළියේ සිය වෘත්තීමය පරිචයෙන් බැහැරවී බලය සදහා කටයුතු කල ආකාරය අවඥා සහගතය. මිනිස් ජීවිත බෙරාගැනීමට උගත් වෛද්‍යවරයා ජීවිත නැති කිරීමට ගිලටීනය තැනීය, සාමය සමාදානය සහ යුක්තිය උදෙසා කැපවිය යුතු නීතීඥවරයා ප්‍රචණ්ඩත්වය සහ භීෂණය දියත් කලේය.

ශ්‍රී ලංකාවේ දේශපාලනයේද සිදුවන්නේ එයම නොවේදැයි පාඨකයින්ට තේරුම්ගත හැක. පාර්ලිමේන්තු මන්ත්‍රීන් සහ ඇමතිවරු වැඩි දෙනෙක්  නීතීඥවරුන්ය. අණ පනත් සම්මත කරගැනීමට තමන් විසින් අත ඔසවා සම්මත කල පනත් වලට නැවත විරුද්ධ වීමට සහ පොදු සමාජයේ අවනීතිය රජකරවීමට කිසිම බයක් සැකක් නොමැතිව ඉදිරිපත් වෙති. ඒවා අතර හොර ජවාරම්, දූෂණ, මිනීමැරුම් සහ අපරාධ කරුවන්ට සමාව දීම් සමග නිවැරදි කර නිදොස් කර සාමදාන විණිසුරු කම් සහ ඉහල තනතුරු වලට පත්කිරීමට තරම් ආදර්ශමත් වෙති. නීති ක්ෂේත්‍රයේ දශක ගණනාවක අත්දැකීම් පිලිබඳ පාරම්බාන සමහර දේශපාලකයින් අහිංසක පුරවැසියන්ට හිමිවිය යුතු යුක්තිය සිය පාලන කාලවලදී උදුරාගෙන ඇති තරම අවබෝධ කර ගෙන නොමැත.

2022 ජන අරගලයෙන් පසු රටේ ඔවුන් සම්මත කරගෙන ඇති අණ පනත් වල නෛතිකත්වය නොසලකා විරුද්ධ මත ධාරීන් නිහඬ කර හිංසනයට ලක් කරවීම රාජ්‍ය බලය යෙදවීම නීතීඥ වෘත්තීයටම නිඟාවකි. පාලකයින් නීතිය අවභාවිත කරවීමේ ආනිසංශ ප්‍රංශ විප්ලවයෙන් පසු  රොබෙස්පියර් අත්විදීය. සමාජ ආර්ථික සහ දේශපාලන සමතුලිත භාවය බිදවැටීමට මුල් වන්නේ දේශපාලකයින් නීතිය අවභාවිත කිරීමත් සමගය. ඉතිහාසය ඕනෑතරම් පාඩම් උගන්වා ඇත, බලකාමීන් එම පාඩම් හිතාමතාම මග හරිති.

ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රොන් මැතිතුමා කටුනායක ගුවන් තොටුපලෙන් ම පිටත්ව ගියේ 2022 ශ්‍රී ලාංකේය අරගල කරුවන් මුණ ගැසීමෙන් වැළකීම සදහා විය හැක. මන්ද ප්‍රංශයෙන් ගිලටීනයක් සපයා දෙන ලෙසට ඔවුන් ඉල්ලීමක් කලහොත් එය ප්‍රතික්ෂේප කිරීම අභියෝගයක් වන බව ඔහු දන්නා නිසාය.

Leave a Reply