You are currently viewing දේශීය ණය ප්‍රශස්තකරණයට සේවක අර්ථ සාධකයට බදු ගහනන් එපා..!

දේශීය ණය ප්‍රශස්තකරණයට සේවක අර්ථ සාධකයට බදු ගහනන් එපා..!

දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා E.P.F / E.T.F අරමුදල් උපයෝගී කර ගැනීමට එරෙහිව 28 දින කොටුව දුම්රිය පොළ ඉදිරිපිට රැස්වූ වැඩකරන ජනතාව සිය විරෝධය දැක්වූහ.

“E.P.F./E.T.F කොල්ලය වහා නවතනු !
ණය ගෙවීමට ජනතාව නොමරනු !!”

යන සටන් පාඨය සඳහන් බැනරය පෙරටු කරගත් වෘත්තීය සමිති,බහුජන හා පුරවැසි සංවිධාන ගණනාවක් මෙම උද්ඝෝෂණයට සහභාගී වූහ.

ලංකා බැංකු සේවක සංගමය,නිදහස් සේවක සංගමය,එක්සත් කම්කරු සම්මේලනය, stand up සංගමය, මානව සංවර්ධන සේවක සංගමය, ලංකා දුම්රිය සේවා සේවක සංගමය යන වෘත්තීය සමිති සංවිධානවල සමාජික සහෝදර සහෝදරියෝ මෙම උද්ඝෝෂණයට එක්වූහ.

උද්ඝෝෂණය පැවති ස්ථානයට නුදුරින් ජනාධිපති කාර්යාලය දෙසට යන මාවත හරස් කරමින් විශාල කැරලි මර්ධන හමුදාවක් හා ජල ප්‍රහාරක රථ යොදවා ආරක්ෂක කටයුතු තරකර තිබුණි.විරෝධතා කරුවන් එම මාර්ගය දෙසට පෙළපාලියකින් යාමට දැරූ ප්‍රයත්නය අධිකරණ නියෝගයක් ප්‍රකාශයට පත්කර,පොලීසිය විසින් වළක්වන ලදි.

විරෝධය අවසානයේ රැස්ව සිටි පිරිස අමතා ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහෝදරයා “රනිල් රාජපක්ෂට මේ නීති විරෝධී,දූෂිත,වංචනික ක්‍රමය ඉදිරියට ගෙන යාමට අයිතියක් නැතැ” යිකියා සිටියේය.මෙම අමානුෂිකත්වය වෙනුවට කම්කරු ජනතාවගේ ප්‍රශ්නයට මානුෂික උත්තරයක් දිය යුතු බව ඔහු ප්‍රකාශ කළේය.

විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය වෙනුවෙන් අදහස් දැක්වූ මහාචාර්ය අතුලසිරි සමරකෝන් කියා සිටියේ ආර්ථික ප්‍රජාතන්ත්රවාදයක අවශ්‍යතාවය මේ මොහොතේදී පහල වී ඇති බවයි.මෙය යුක්තිය සඳහාවන අරගලයක් බවත් මෙරට අධිරාජ්‍යවාදයේ කොලනියක් වීමට ඉඩ නොදෙන බවත් ඔහු සඳහන් කළේය.

දිගින් දිගටම ජනතා අයිතිය පාගා දමන රනිල් වික්‍රමසිංහගේ පාලනය අවසන් කිරීමේ සටන ආරම්භ වී ඇතැයි  පිරිස අමතමින් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ චින්තක රාජපක්ෂ සහෝදරයා ප්‍රකාශ කළේය.මේ දියත්ව ඇත්තේ එහි මුල් පියවර බවද ඒ සඳහා සියලු කම්කරුවන් වෘත්තීකකයින් එක්ව සටන් කළ යුතුයැ යි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.එක්සත් කම්කරු සම්මේලනයේ සභාපතිනි ස්වස්තිකා ආරුලිංගම් සහෝදරිය හා තවත් වෘත්තීය සමිති කීපයක නියෝජිතයෝ මෙහිදී අදහස් දැක්වූහ.

I.M.F කොන්දේසි හමුවේ වැඩකරන ජනතාව සිය අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියට ඒමේ අවශ්‍යතාවය මේ විරෝධය තුලින් ප්‍රකාශ කෙරුණි.පීඩාකාරිත්වයට එරෙහිව තවදුරටත් එක්ව සටන්කළ යුතුය යන්න මෙහිදී අවධාරණයට ලක්වීම අතිශය වැදගත් කරුණකි.

Leave a Reply