මහනුවර දළදා මාලිගාවේ ගිහි භාරකාරීත්වය හොබවන දියවඩන නිලමේ ධූර කාලය අවසන්ව ඒ සඳහා සුදූස්සෙකු පත් කර ගැනීම එළඹෙන තෙමස ඇතුලත සිදුවීමට නියමිතය. වැඩවසම්, සාම්ප්‍රදායික තනතුරක් වුවද, ඊට පුද්ගලයෙකු තෝරා ගැනීමේදී බොහෝ විට මහ ජන්දයක සිරි උසුලනු ලැබේ. පඬුරු පාක්කුඩම්, නොයෙකුත් වරදාන මෙන්ම එකිනෙකාට එරෙහි මඩ හා අවලාද ව්‍යාපාර ද දියත්වේ.
දියවඩන නිළමේ තෝරා ගැනීම ඇරැඹීමත් සමගින් විහාර හා දේවාල ගම් පනත සංශෝධනය, සහ ස්ත්‍රී නියෝජනය අහිමි කර තිබීම, ගැන කතා බහ යළිත් කරලියට පැමිණ තිබේ. දියවඩන නිලමේවරයා තෝරා ගැනීමේදී පමණක් නොව සෙසු නිළ හා දළදා මාලිගාවේ රාජකාරි කිරීමේදී ද, අනාදිමත් කලක පටන් ස්ත්‍රීන් බැහැර කෙරෙමින් පවතී. එහෙත් ඉතිහාස කතාකරුවන්ට අනුව දන්ත ධාතුව මෙරටට වැඩම කර ඇත්තේ හේමමාලා නම් කුමරියගේ කේශ කළාපය තුළ සඟවාගෙනය.

බ්‍රාහ්මණයන්ගේ ස්ත්‍රීය දෙවැනි තැන ලා සැළකෙන පිළිවෙත පසු කලෙක බෞද්ධ දර්ශණයට ද ඇතුල්වීමේ ප්‍රථිපලයක් ලෙස මෙම ක්‍රියාවලිය දිගින් දිගටම පැවතීමට හේතු වන්නට ඇත. නායක්කාර වංශික රජවරුන් පාලනය කළ පැරණි උඩරට රාජාධානියේ හින්දු ආගමික බලපෑමක් හා එහි වත් පිළිවෙත් ද බෞද්ධයන් අතර සම්මිශ්‍රණය වී ඇති බවට සාධක බොහෝය. දුර්ගා, පත්තිනි, ලක්ෂ්මි, සරස්වතී වැනි තවත් බොහෝ දෙවඟනන් අදහනු ලබන හින්දු දහමෙන්, දළදා මාලිගාවේ කටයුතු වෙනුවෙන් ස්ත්‍රිය බැහැර කිරීමේ කාර්ය සිදුවුයේ යැයි ද කිව නොහැක. කලක් ගතවීමෙන් යම් යම් සීමාවන් යටතේ, ස්ත්‍රීන් ඇතැම් රාජකාරි සඳහා යොදා ගත්තද, එය ප්‍රමාණවත් තරම් නොවේ. ආලත්ති අම්මාවරුන් දෙදෙනෙකුට පමණක් දළදා මාලිගාවේ ස්ත්‍රී නියෝජනය සීමා වී තිබේ.
ඉංග්රීසින්ගේ නීති අණ පනත් හා තාන්න මාන්න
ඉංග්‍රීසි යටත් විජිත පාලකයන් පැමිණීමට පෙර විහාර දේපළ වලට නියමිත හිමිකරුවෙකු නොවිණි. ඒවා සැලකුනේ සාංඝික දේ ලෙසය. මෙම දේපළ භාරකරුවෙකු යටතට පත් කරමින්, ආණ්ඩුවේ ලියාපදිංචිය ඇරඹෙන්නේ 1856 අංක 10 දරන විහාර දේපළ ලියාපදිංචි කිරීමේ ආඥා පනත හඳුන්වා දීමෙන් අනතුරුවය. මේ යටතේ උඩරට පළාතේ සියළුම විහාර දේපළ බද්දෙන් නිදහස් කරමින්, ලියාපදිංචියට මග සැලසුණි. විහාරස්ථාන හා සාංඝික දේපළ දැරීම වෙනුවෙන් භික්ෂුවක් හෝ ගිහි භාරකරුවෙක් පත් කෙරුනේ ඉංග්‍රීසි පාලකයන් ගෙන එනු ලැබූ 1899 අංක 01 දරන පනත මගිනි.1905 අංක 08 බෞද්ධ විහාර හා දේවාල ගම් ආඥා පනත හදුන්වා දුන්නේ ඉන් අනතුරුවය.
විහාර හා දේවාල වල දේපළ සම්බන්ධයෙන් එතෙක් පැවති නීති තවදුරටත් නිරවුල් කිරීම වෙනුවෙන් 1931 අංක 19 දරන බෞද්ධ විහාර හා දේවාලගම් ආඥා පනත ගෙන එනු ලැබුණි. දළදා මාලිගාවේ දියවඩන නිලමේ පත් කරනු ලබන්නේ එම පනතේ හත් වැනි වගන්තිය ප්‍රකාරවය. පෙර රජ සමයේ රජුගේ ස්නාන කටයුතු බාරව සිටී දියවඩන නිලමේ තනතුර දළදා මාලිගාවේ ගිහි භාරකරුවා වන්නේ අස්ගිරි හා මල්වතු පැවිදි භාරකරුවන්ට අමතරවය.

දියවඩන නිලමේ ධුරයේ පුරප්පාඩු වූ සැණින්, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් තෙමසක් ඇතුලත සුදුස්සෙක් තෝරා ගැනීම වෙනුවෙන් රැස්වීමක් කැඳවිය යුතුය. දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කර ගැනීමේ දී ජන්ද අයිතිය හිමිවන්නන් ගැන විහාර හා දේවාලගම් ආඥා පනතේ 40 වැනි වගන්තියේ දැක්වේ.
‘..පිරිමියෙක් ද, බුද්ධාගම්කාරයෙක් ද, වයසින් 21 අවුරුද්ද සම්පුර්ණවුවෙක් ද නම් මිස, එසේ නොමැති කිසිවෙකුට උපදේශක සභාවේ සාමාජිකයෙකු වීමට හෝ අටමස්ථාන සභාවේ සාමාජිකයෙකු වීමට හෝ ඒ සභාවට පත් කිරීමට සාමාජිකයෙකුගේ නම නියම කිරීමට හෝ සිද්ධස්ථානයක භාරකරුවෙකු වීමට හෝ භාරකරුවෙකු තේරීමේදී ජන්ද දීමට හෝ අයිතිවාසිකමක් නැත..‘
මේ මගින් ඉතාමත් පැහැදිලි වනුයේ දළදා මාලිගාවේ පමණක් නොව සෙසු සිද්ධස්ථානවලදී ද ස්ත්‍රී නියෝජනය බැහැර කර ඇති බවය. වඩාත් විහිළු සහගත බව වන්නේ දළදාව මෙන්ම, ඉතිහාසකරුවන්ට අනුව අටමස්ථානයෙන් ප්‍රධාන තැනක් ගන්නා ජය ශ්‍රී මහා බෝධිය ද මෙරටට රැගෙන ආවේ සංඝමිත්තා නම් තෙරිණියන් විසින් බව දැනුවත්ව මතකයෙන් අත්හළ ඇති බැවිනි.
1952 අංක 44 ආඥා පනත මගින් දක්වා ඇති උඩරට රාජධානි බල ප්‍රදේශය වූ, මධ්‍යම පළාත [ නුවර/නුවරඑළිය/මාතලේ දිස්ත්‍රික්ක], උතුරු මැද පළාත[ අනුරාධපුර/පොලොන්නරුව දිස්ත්‍රික්ක], ඌව පළාත [බදුල්ල/මොණරාගල දිස්ත්‍රික්ක], සබරගමුව පළාත [ රත්නපුරය/කෑගල්ල දිස්ත්‍රික්කය], වයඹ පළාතේ [කුරුණෑගල දිස්ත්‍රික්කය/පුත්තලම් දිස්ත්‍රික්කයේ දෙමළ හත් පත්තුව] වවුනියාව දිස්ත්‍රික්කයේ චෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, මඩකළපුව දිස්ත්‍රික්කයේ බින්තැන්න,වේගම් හා පානම් පත්තු,[අද මෙය අයත් වන්නේ අම්පාර දිස්ත්‍රික්කයටය. බින්තැන්න පත්තුව මහඔය හා පදියතලාවත්, වෙගම් පත්තුව උහන හා දමන ත්, පානම් පත්තුව ලාහුගල හා පානම ත් අයත්වේ.] ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කට්ටිකුලම් පත්තුව යන ප්‍රදේශවල දිසා ලේකම්වරු, උප දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, සියළුම දේවාලවල බස්නායක නිලමේවරු, පන්සල්වල වැඩසිටින සියළුම විහාරාධිපති හිමිවරුන් හා ගිහි භාරකරුවන් දියවඩන නිලමේ තෝරා ගැනීමේදී සිය දායකත්වය ලබා දෙන්නේ අස්ගිරි -මල්වතු නාහිමිවරුන්ට අමතරවය.
මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරලය, ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම් පත්තුව ද එම නියෝජනයට ඇතුලත්ය.
ජීවිතාන්තය දක්වා පැවති දියවඩන නිලමේවරයාගේ නිළ කාලය වසර 10 කට සීමා කෙරුනේ 1931 අංක 19 දරන විහාර හා දේවාල ගම් ආඥා පනත මගිනි. ඒ වනවිට දියවඩන නිලමේවරයා වූ පී.බී.නුගවෙල ඊට විරෝධය දක්වමින්,ඔහු මියැදෙන තෙක්ම එම ධුරය හෙබවීය. 1916 පත්වූ නුගවෙල දියවඩන නිලමේ 1937 දක්වා සිය ධුරය අත්නොහළේය. අනතුරුව ටිකිරි බණ්ඩාර රත්වත්තේ නව පනත අනුව නිලවරණයකින් පත්වූ පළමු දියවඩන නිලමේ ලෙස ඉතිහාසයේ සටහන්වේ.
දුෂණ අක්‍රමිකතා චෝදනා එල්ල කිරීම බෞද්ධයන්ගේ ගෞරවයට හානියක්

2005 වසරේදී දියවඩන නිලමේ ලෙස පත් රත්නපුර දෑල වලව්වේ ප්‍රදීප් නිලංග දෑල සමස්ත ජන්ද සංඛ්‍යාව වූ 297 කින් ජන්ද 199 ලබා ජය ගත් අතර, 2015 වසරේදී යළි තරඟ වැදුණු ඔහු එවර ජය ගත්තේ සමස්ත ජන්ද සංඛ්‍යාව වූ 296 න් 204ක් ලබා ගනිමින්ය. නිලංග දෑල යනු හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පාසැල් මිතුරෙකු වූ ඩික්සන් දෑලගේ පුත්‍රයා ය. දියවඩන නිලමේ ධුරයට පත්වන්නට පෙර ඔහු රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ වූ අතර වසර 20 ක් පුරාවට දියවඩන නිලමේ ධුරය හොබවන්නට රාජපක්ෂ ආණ්ඩුවේ නොමද සහාය ඔහුට ලැබුණි. නොයෙකුත් වංචා දුෂණ චෝදනා එල්ලවී ඇති නිලංග දෑල හිටපු දියවඩන නිලමේ වරයාව ඔහුගේ ධූර කාලය ඉක්ම වූ පසු, මල්වතු -අස්ගිරි නා හිමිවරුන්ගේ ආශිර්වාදය මත තවදුරටත් එම ධුරයේ වැඩ බැලීමට පත් කොට තිබේ. ගම්පොළ ප්‍රදේශයේ පදිංචි වූ සාලිය ප්‍රසාද් නන්දසිරි නැමැත්තෙකු විසින් ඔහුට එරෙහිව අභියාචනාධිකරණය වෙත ගොනු කළ රිට් පෙත්සමක් මගින් ඉල්ලා ඇත්තේ වැඩබලන නිලමේවරයාගේ ක්‍රියාකාරිත්වය වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් පනවන ලෙසය. එකී රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට එළඹෙන 23 වැනිදා කැඳවා තිබේ.
නීතිඥ සඳරුවන් සේනානායක මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම රිට් පෙත්සම මගින් පෙත්සම්කරු කියා සිටින්නේ, හිටපු දියවඩන නිලමේ වරයාගේ ධුර කාලය ඉකුත් සැප්තැම්බර් 07 වැනිදායින් හමාර වූ බවය. අනතුරුව විහාර හා දේවාලගම් පනතේ විධිවිධාන ප්‍රකාරව අස්ගිරි -මල්වතු පාර්ශවයේ විහාරාධිපතින්ගේ ඉල්ලීම පරිදි යළිත් වැඩබලන දියවඩන නිලමේ වශයෙන් නිලංග දෑල පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා කටයුතු කර තිබෙන බවය. හිටපු දියවඩන නිලමේ වරයාට එරෙහිව විවිධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා රැසක් එල්ල වී ඇති බව සඳහන් කරන පෙත්සම්කරු, එම පසුබිම හමුවේ ඔහු අදාළ ධුරයේ වැඩබැලීම සඳහා පත්කිරීම නීතියට පටහැනි බවත්, එය විහාර හා දේවාලගම් පනතේ විවිධානයන්ට පටහැනි බවත් පෙන්වා දී තිබේ.
හිටපු දියවඩන නිලමේ නිලංග දෑල ට එරෙහිව ගොනු කර ඇති වංචා දුෂණ චෝදනා කඩිනමින් විභාග කරන ලෙස අල්ලස් හා දුෂණ කොමිසම වෙත වාර්තාවක් ඉදිරිපත් කරන්නට ‘කන්ද උඩරට අභිමානය’ නම් උඩරට- බොදු ගොවිගම වංශිකයන්ගෙන් සැදුම්ලත් සංවිධානය විසින් ඉකුත් දා කටයුතු කළේය. එම සංවිධානය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනේ හිටපු දියවඩන නිලමේට එරෙහිව නොයෙකුත් අක්‍රමිකතා පිලිබඳ චෝදනා හතළිහක් පමණ එල්ල වී ඇති බවය.
දිස්ත්‍රික් 16 ක් පුරා විහිදෙන දළදා මාලිගාවට අයත් නින්දගම් ඇතුළු නිශ්චල හා චංචල දේපොළ වලින් අතිමහත් ආදායමක් ලැබේ. බැතිමතුන් ලබා දෙන මුල්‍ය හා ද්‍රව්‍ය ආධාර මගින්ද දළදා මාළිගාවේ සල්ලි කඳු ගොඩ ගැසෙනු ඇත.
දියවඩන නිලමේ හා සෙසු බස්නායක නිලමේවරුන් තෝරා ගැනීමේදී සුපිලිපන්න බැවින් එය සිදුවනවා දැයි සිවිල් සංවිධානවල නිරීක්ෂණයක් අවශ්‍ය බව සිවිල් බුද්ධි පෙරමුණ නම් සංවිධානයක් අවධාරණය කර තිබිණි. කලින් පැවති නිලවරණවල කෙසේ වුවත් මෙවර වංචා දුෂණයෙන් තොරව එය පවත්වා ගැනීමට මෙවැනි නිරීක්ෂණයක් වැදගත් වන බව ඔවුන්ගේ අදහසය.
මේ අතර දියවඩන නිලමේ තෝරා ගැනීමේ නිලවරණය අරඹයා නැගෙන කතිකාව හමුවේ සිදුකෙරෙන අපහාසාත්මක සංවාද නිසා සමස්ත බෞද්ධයන්ගේ ගෞරවයට හානි සිදුව ඇතැයි අස්ගිරි – මල්වතු දෙපාර්ශවයේ නාහිමිවරුන් නිවේදනයක කර තිබේ.
‘..පුද්ගලික න්‍යාය පත්‍ර පෙරදැරි කරගනිමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් මෙම කාලසීමාව තුල බෞද්ධ සමාජය අපහාසයට ලක් කරමින් පටු චේතනාවෙන් පදනම් රහිත සිදුකරන වෛරී සහගත ප්‍රකාශයන් හෙළා දකින බවත්, එවැනි පටු අරමුණු ප්‍රතිෂේප කරමින්, ශ්‍රී දළදා මාලිගාවේ මෙන්ම දියවඩන නිලමේ ධුරය, බස්නායක නිලමේ ධුරය ඇතුළු සිද්ධස්ඨාන හා සබැඳි නිලයන්ගේ සම්භාවනියත්වය මෙන්ම ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට සියළුම අපේක්ෂකයන් අධිෂ්ඨාන කර ගත යුතු බවත්අවධාරණය කර සිටිමු..‘
යැයි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මල්වතු පාර්ශවයේ නාහිමියන්ගේ හා වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ප්රඤඤානන්ද ඥානරතනාභිධාන අස්ගිරි පාර්ශවයේ නාහිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.
හිටපු දියවඩන නිලමේ මෙන්ම දැනට වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර කතරගම මහා දේවාලයේ හා පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ, මහනුවර නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඒ. ඩබ්ලිව්. එස් බණ්ඩාරනායක, ඉපැරණි සෝනුත්තර රජමහා විහාර භාරකාරත්වය හා සතර මහ දේවාල භාර මහ නිලමේ ධුරය හොබවන රොෂාන් පස්සරමුදලි, පේරාදෙණි සරසවියේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තිලක් සඳරුවන් සුබසිංහ, මාතලේ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයෙකු වූ ගාමිණි කලුහෙන්දිවල දියවඩන නිලමේ ධුරය සඳහා තරඟ කරන බවට ප්‍රකාශ කර තිබේ. එහෙත් ඔවුන්ගේ නම් දියවඩන නිලමේ තෝරා ගැනීමේ රැස්වීමේදී යෝජනා ස්ථිරත්වයෙන් සම්මත විය යුතුය. එසේ නොවුනහොත් අපේක්ෂකත්වය අහිමි වේ.
පනත් සංශෝධනය හා ස්ත්‍රී නියෝජනය
ප්‍රදීප් නිලංග දෑල 1931 දී ගෙන එනු ලැබූ බෞද්ධ විහාර හා දේවාල ගම් පනත මේ වන විට හය වතාවක් සංශෝධනය කර ඇතත්, එහි 40 වැනි වගන්තිය යටතේ වන ස්ත්‍රී නියෝජනය හා ජන්දය ලබා දීමේ අයිතිය බැහැර කිරීම මෙතෙක් සංශෝධනය කර නොමැත. ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 34, 1980 අංක 22, 1981 අංක 18, 1981 අංක 42, 1992 අංක 03, සහ 2013 අංක 34 යටතේ බෞද්ධ විහාර හා දේවාලගම් පනතට සංශෝධන එක් කර තිබේ.
සියලු නිකායන් ඉදිරිපත් කළ යෝජනා පදනම් කර ගනිමින්,වසර සියයකට ආසන්න විහාර හා දේවාලගම් ආඥා පනත සංශෝධනය කරමින් නව පනත් කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක හරහා සකස් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබුනේ 2022 වසරේදීය. අනතුරුව එළඹී 2023 වසරේදී පත් කළ කමිටුවක් මගින් එම පනතේ වගන්ති හතරක් සංශෝධනය කිරීමට නිර්දේශ කෙරිණි. විහාර දේපොළ සම්බන්ධයෙන් වූ 18 සහ 28.3 වගන්ති ද, භික්ෂු විනය කෙරෙහි බලපාන 41.5 වගන්තියට අමතරව වැදගත්ම දේ වුයේ විහාර හා දේවාල ගම් භාරකාරත්වය හා ඒ සඳහා වූ ජන්ද අයිතිය හිමිවන අයුරින් 40 වැනි වගන්තිය සංශෝධනය කිරීමය.
වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව මගින් විහාර හා දේවාලගම් පනත සංශෝධනය කරන බවට ප්‍රකාශ කෙරිණි. මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක බෞද්ධාගමික උත්සවයකට සහභාගීවෙමින් කියා සිටියේ 41 හා 42 වගන්ති සංශෝධන කෙටුම්පත් කර අවසන් බවය;
‘.. ඉතා ඉක්මනින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ සම්මත කර, සංඝ සංස්ථාව විධිමත් කර ගැනීමට අවශ්‍ය බලය මහානායක ස්වාමින්වහන්සේ ප්රමුඛ සංඝ සභාවට පැවරීමට කටයුතු කරනවා…’
එහෙත් ජනාධිපතිවරයා හෝ සංස්කෘතික ඇමැතිවරයා හෝ පනතේ 40 වගන්තිය සංශෝධනය කරන බවට ප්‍රකාශ කර නොතිබුණි. එහෙත් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ ප්රබලයන්ගේ මතය නම් ස්ත්‍රී නියෝජනය ඇතුළත් කෙරෙන ලෙස පනත සංශෝධනය කරන බවය. ස්ත්‍රී නියෝජනයට ඇති අයිතිය තහවුරු කරන ලෙස මෑතක දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් උඩරට මුල් කරගෙන පැවතිය ද, දළදා ප්‍රදර්ශනය හා අනතුරුව එළඹී ඇසළ පෙරහැර නිසා එය ක්‍රමයෙන් අඩපණ විය.
දියවඩන නිලමේවරයා තෝරා ගැනීමේදී මෙවර වලංගු ජන්ද සංඛ්‍යාව 362 කි. දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු 170ක්, රජමහ විහාරාධිපති හිමිවරු 157 ක්, බස්නායක නිලමේවරු 31 ක්, විහාර ගිහි භාරකරුවන් 04 ක් ලෙස ජන්දය බෙදී ඇත. ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් 71 ක් ස්ත්රීන්වන බැවින් ඔවුන්ට ජන්ද හිමිකම් අහිමිය.

නුවර ඇසළ පෙරහැර සමයේ දියවඩන නිලමේට කිසියම් රෝගී තත්වයක් හෝ අනතුරක් වුවහොත් පෙරහැර මංගල්ලයේ කටයුතු පැවරෙන්නේ මහනුවර දිසාපතිවරයාට ය. එබැවින් කෙතරම් ඉහල සුදුකම් සපුරා තිබුන ද ස්ත්‍රියකට මහනුවර දී දිසාපති තනතුරට පත්විය නොහැක. එය නීතියක් නොවුණත් වැඩවසම් සම්ප්රදායක් ලෙස නීතියකටත් වඩා බලවත්වය.
එබැවින් සාම්ප්‍රදායික බෞද්ධ සංස්ථා මත යැපෙන ආණ්ඩුවටත්, විපක්ෂයටත්, විහාර හා දේවාලගම් පනතින් බැහැර කර ඇති ගිහි, පැවිදි ස්ත්‍රී නියෝජනය ලබා දීමේ සංශෝධන ගෙන ඒමේ අවකාශ ඉතාමත් සීමිත වනු නිසැකය.
වර්ෂ 1720 සිට පහළට නිලතල දැරූ මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේවරුන්ගේ ලැයිස්තුව
| නම | වසර | වෙනත් කාර්යාල / සටහන් / මූලාශ්‍ර |
|---|---|---|
| කැප්පැටිපොළ1 | 17201 | |
| වික්‍රමසිංහ පණ්ඩිත මුදියන්සේ3 | 1733-1738 (තුඩපත් මත පදනම්ව)3 | සඳහන් තුඩපත : 1733 – කොඩිතුවක්කු මුහන්දිරම්ගේ තුඩපත3 1737 – වීරවර්ධන මුහන්දිරම්ගේ තුඩපත3 1738 – හල්ගල්පළුවේ තුඩපත3 |
| විජයවර්ධන අමෘත හස්ත නවරත්න පණ්ඩිත මුදියන්සේ3 | 1742 (තුඩපත් මත පදනම්ව)3 | සඳහන් තුඩපත : 1742 – පල්ලේ ඇඹිලිපිටියේ තුඩපත3 |
| මුන්වත්තේ රාජකරුණා විජයවර්ධන නවරත්න මහමුදියන්සේ3 | 1761 (තුඩපත් මත පදනම්ව)3 | සඳහන් තුඩපත : 1761 – සිරිවර්ධන අභයකෝන් විජේසුන්දර අප්පුගේ තුඩපත3 |
| අංගම්මන දිවාකර රාජපක්ෂ වාසල මුදියන්සේ 3 | 1780 (තුඩපත් මත පදනම්ව)3 | සඳහන් තුඩපත : 1780 – මඩලගම තුඩපත3 |
| පිළිමතලාවේ විජේසුන්දර රාජකරුණා නවරත්න අත්තනායක බණ්ඩාරනායක මුදියන්සේ 3 | 1787 (තුඩපත් මත පදනම්ව)3 | සඳහන් තුඩපත : 1787 – මරගල ගල්ලේනේගොඩ විහාර තුඩපත3 |
| මීගස්තැන්නේ1 | 1789-17941 | අධිකාරම්1 |
| ඇහැලපොල, ජ්‍යෙෂ්ඨ1 | 1794-17971 | අධිකාරම්1 |
| කැප්පැටිපොළ1 | 1797-17991 | |
| මාම්පිටිය බණ්ඩාර1 | 1799-18111 | ඔහු දියවඩන නිලමේ ධූරයෙන් ඉවත් කර උඩුනුවර රටේ මහත්මයා ලෙස පත් කරන ලදී1. |
| පිළිමතලාවේ විජේසුන්දර සෙනෙවිරත්න අභයකෝන් පණ්ඩිත මුදියන්සේ 3 | 1806 (තුඩපත් මත පදනම්ව)3 | සඳහන් තුඩපත : 1806 – ඇත්තලවත්ත තුඩපත3 ගබ්බල වීරසිංහ තුඩපත3 |
| පිළිමතලාවේ (Jnr.)1 | 18111 | අධිකාරම්1 |
| ඇහෙලපොළ1 | 1811-18141 | දෙවන අධිකාරම්1 |
| පිළිමතලාවේ විජේසුන්දර රාජකරුණා නවරත්න අත්තනායක බණ්ඩාරනායක මුදියන්සේ3 | 1812-1814 (තුඩපත් මත පදනම්ව)3 | සඳහන් තුඩපත : 1812 – පොත්ගුල් විහාර තුඩපත3 1814 – උග්ගල් අලුත් නුවර තුඩපත3 1814 – වලිගේපොළවිදානේ හේනයායගේ තුඩපත3 1814 – වලකුඹුරේගම තුඩපත3 |
| කපුවත්ත1,2 | 1814-18231 | දෙවන අධිකාරම්1 |
| දෙහිගම, ලොකු බණ්ඩා 1,2 | 1824-18361 1824-18272 | රටේ මහත්මයා1 |
| මොල්ලිගොඩ, කුඩා2 | 1827-18282 | 1922 කැප්පෙටිපොළ බස්නායක නිලමේගේ වාර්තාවේ සඳහන් කොට නොමැත |
| දෙහිගම, කුඩා2 | 1828-18352 | 1922 කැප්පෙටිපොළ බස්නායක නිලමේගේ වාර්තාවේ සඳහන් කොට නොමැත |
| මුල්ලේගම1,2 | 1836-1842 | අධිකාරම්1 |
| දුල්ලෑවේ1,2 | 1843-18491 1842-18482 | අධිකාරම්1 |
| දෙහිගම, ලොකු බණ්ඩා1,2 | 1849-18651 1848-18622 | රටේ මහත්මයා1 |
| දුනුවිල, කුඩා බණ්ඩා1.2 | 1865-18821 1862-18822 | රටේ මහත්මයා1 |
| ගිරාගම, කුඩා මුදියන්සේ1,2 | 1882-18971,2 | රටේ මහත්මයා1 |
| රත්වත්තේ, සෙනෙවිරත්න1,2 | 1897-19011,2 | රටේ මහත්මයා1 |
| නුගවෙල, කුඩා බණ්ඩා1.2 | 1901-19161,2 | රටේ මහත්මයා1 |
| නුගවෙල, පුංචි බණ්ඩා1,2 | 1916-19371,2 | රටේ මහත්මයා1 |
| රත්වත්තේ, ටිකිරි බණ්ඩා2 | 1937-19472 | |
| නුගවෙල, කුඩා බණ්ඩා2 | 1947-19612 | |
| රත්වත්තේ, හැරිස් ලෙව්කේ2 | 1961-19642 | |
| උඩුරාවණ, හීන් බණ්ඩා2 | 1964-19742 | |
| විජයරත්න, නිශ්ශංක පරාක්‍රම2 | 1974-19852 | |
| විජයරත්න, නෙරංජන් ප්‍රියදර්ශන දුල්ලෑව2 | 1985-20052 | |
| දෑල, ප්‍රදීප් නිලංග2 | 2005-වර්තමානය2 | 1999 – රත්නපුර මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ 2001 – රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ |
ආශ්රිත :
1./ Diyawadana Nilames of the Dalada Maligawa, Kandy (1922)
2./ Chief Custodian – Sri Dalada Maligawa – Temple of the Sacred Tooth Relic
3./ මහනුවර දළදා මාලිගාවේ අප්‍රකට දියවඩන නිලමේවරු කිහිපදෙනෙක් (ක්‍රි.ව. 1733-1814) පිලිබඳ තුඩපත් ආශ්රිත අධ්‍යනයක් (2013)
- රිචඩ් ද සොයිසා ඝාතනය; චෝදනා සහ අවලාද .. - March 1, 2026
- කොළඹ නගරයේ විදී දරුවන්ගේ ඛේදවාචකය.. - February 13, 2026
- ක්ෂුද්‍ර මුල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත: ”..ජනතා අනුමැතියෙන් තොරව නීති ගෙන්න බැහැ..” - February 6, 2026
