You are currently viewing තම්පෝ; වෘත්තීය සමිතියෙන් ඔබ්බට විමසීමක්..

තම්පෝ; වෘත්තීය සමිතියෙන් ඔබ්බට විමසීමක්..

පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්ය. දෙවනුවයි ඔබ  කම්කරුවෙකු වන්නේ. තුන් වෙනුවයි ඔබ  CMU සාමාජිකයෙක්  හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වෙන්නේ.”  ලංකා වෙළඳ,කාර්මික හා පොදු කම්කරු සංගමයට අඛණ්ඩ හැට හය වසක් ශක්තිය දුන්  බාලා තම්පෝ නම් අසහාය කම්කරු නායකයාගේ මුවග රැඳී වදනකි. තම්පෝ සිය දිවිසැරිය නිමා කොට සැප්තැම්බර් 01 වැනිදාට එකළොස් වසකි. වාමාංශික දේශපාලනය, කම්කරු සටන් මෙන්ම මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් සෑම විටම පීඩිතයාගේ  පැත්තේ සිට ගත් තම්පෝ, කිසිදිනෙක පාලකයන් වෙනුවෙන් පෙනී නොසිටි කම්කරු නායකයෙකි.

දෙමළ වාර්ගික දෙමාපිය යුවලකට දාව උපන් තම්පෝගේ මව් බස වුයේ ඉංග්‍රීසි ය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප්සතර හැදැරූ ඔහු 1939 දී ලංකා විශ්ව විද්‍යාලයටත් අනතුරුව 1944 ලන්ඩන් සරසවියටත් ඇතුලත්ව විද්‍යාවේදී උපාධියක් ලබා ගත්තේ ලංකා  සමසමාජ පක්‍ෂ  දේශපාලනයේ නිරතවෙමින් ය. 17 හැවිරිදි වියේදී ඊට එක්වූ ඔහුට, පක්‍ෂය තහනම් කර නායකයන් සිරගත කෙරුණු අවධියේ ඔවුන් මුදා ගැනීමේ වගකීම පැවරුණු අය අතර තරුණ තම්පෝ ද එක් අයෙකි. මෙහෙයුම සාර්ථකව අවසන්ව සමසමාජ නායකයෝ සුරක්ෂිතව ඉන්දියාවට පළා ගියහ. පසුව  බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයේ ආරම්භකයෙකු වූ තම්පෝ දක්ෂ ට්‍රොස්කිවාදී  දේශකයෙකු විය.

උද්භිද හා උද්‍යාන විද්‍යාව පිලිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස කුණ්ඩසාලේ  කෘෂි විද්‍යාලයේ රැකියාවට එක් වූ තම්පෝ 1947 සමස්ත මහා වැඩවර්ජනයට එක්විය. වර්ජනය හමුවේ පාලකයන්ගේ උදහසට ලක්වුවන් අතර තම්පෝද විය. රැකියාවෙන් දොට්ට වැටුණු ඔහු දේශපාලනය තෝරා ගත්තේ අනතුරුවය. ලංකා වෙළඳ සේවක සංගමයේ නායකත්වය තම්පෝ සතුවන්නේ එහි ආරම්භාකයාවූ    ඊ.ඒ. ගුණසිංහ  එ.ජා.ප.ට එක්වීමත් සමගය.

තම්පෝ සහ සී.එම්.යු සමග වූ ලසසප  දීගය හමාර වුයේ 1964 දී  ඉල්ලීම් 21 අරගලය  පවා දෙමින් ශ්‍රීලනිපය සමග හවුලකට යාමෙන් අනතුරුවය. තම්පෝ සහ ශන්මුගදාසන් ප්‍රමුඛ  සමිති නායකයන් විසින් කම්කරුවන්ට හා පොදු ජනයා මුහුණ දී සිටින ගැටලු ඇතුලත්  ඉල්ලීම් 21  යෝජනාවක් ආණ්ඩුවට ඉදිරිපත් කෙරිණි. එහෙත් එම ඉල්ලීම් පසෙකලා සමසමාජ හා කොමියුනිස්ට් නායකයෝ  ශ්‍රීලනිප ආණ්ඩුවත් සමඟ හවුලකට එක්වුහ. ඊට විරෝධය දැක්වූ  සමසමාජයේ  එඩ්මන් සමරක්කොඩි, කරාලසිංහම්, රෙජි මෙන්ඩිස්, තම්පෝ  ඇතුළු ක්‍රියාකාරීන් රැසක් ඉන් ඉවත්ව සමසමාජ [විප්ලවකාරී] ලෙස ක්‍රියාත්මක වුයේ ඉන් අනතුරුවය. මෙම වෙන්වීම තම්පෝ ගේ දේශපාලන දිවියේද තීරණාත්මක සන්ධිස්ථානයකි.

කොළඹ 1969 මාර්තු 15 පැවති උද්ඝෝෂණයකදී එය නතර කිරීමට පැමිණි පොලිස් පරික්ෂක අබ්දුල් කාදර් ගෆූර් සමඟ උණුසුම් කථාබහක නිරතවන නිතිඥ තම්පෝ.

1960 මාර්තු හා ජුලි පැවති මැතිවරණ දෙකේදීම  සමසමාජ පක්‍ෂයෙන්    මැද කොළඹට  තරඟ වැදුණු ඔහු 1965 මහ මැතිවරණයට එක් වුයේ  ලසසප [විප්ලවකාරී] ලෙසය. එවරද මැද කොළඹ අසුන වෙනුවෙනි.

අනතුරුව එළඹී දේශපාලන හැලහැප්පීම් මැද හතරවන ජාත්‍යන්තරයේ ලංකා ශාඛාව ලෙස  විප්ලවකාරී මාක්ස්වාදී පක්‍ෂය ගොඩනගමින් පක්‍ෂ දේශපාලනය හා වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය වෙන්වෙන්ව පවත්වා ගෙනයන්නට තම්පෝ  සමත් විය. ඔහු, වෛද්‍ය සරවනබවන් සමග එක්ව සීඑම්යු සාමාජිකයන්ට දේශපාලනික අධ්‍යාපනික වැඩපිළිවෙලක් ගෙන ගියේ ආර්එම්පී හරහාය. 1977 මහමැතිවරණයට ආර්එම්පී ලෙසත්, සිඑම්යු ලෙසත් අපේක්ෂයන් දෙදෙනා බැගින් ආසන හතරකට තරඟ වැදිණි. ජවිපෙ සහාය ලැබුවද, එජාප ලැබූ සුවිශාල ජයග්‍රහණය හමුවේ සිව්දෙනාම පරාජයට පත්විය.

80 වැඩවර්ජනයෙන් පසුව සී.එම්.යු  හා ආර්.එම්.පී  අතර ඇතිවූ මතවාදීමය ගැටළුවක් හේතුවෙන්, පක්‍ෂය දෙකඩ විය. උපාලි කුරේ ඇතුළු පිරිසක් ආර්.එම්.පී ලෙස ක්‍රියාත්මක වෙද්දී  තම්පෝ කම්කරුවන්ට නායකත්වය සැපයුවේ සිඑම්යු හරහාය. 1988 -89 භීම සමයේදී පැමිණි තර්ජන සමග උපාලි කුරේ ඇතුළු ආර්එම්පී නායකයන් රටින් පලායාමත් සමගින් එම පක්ෂයේ ද ක්‍රියාකාරිත්වය අඩපණවිය.

ධනේශ්වර ආණ්ඩුවකට එරෙහිව කම්කරුවන්ගේ හා සෙසු ජනකොටස්වල  පළමු නැගිටීම ලෙස සැලකෙන 1953 හර්තාලය කැඳවමින්, ඊට නායකත්වය දුන් කමිටුවේ සාමාජිකයෙක් ලෙස බාලා තම්පෝ  සී.එම්.යු. නියෝජනය කළේය. හර්තාලය සංවිධානය කරමින් ඔහු රටපුරා ගොස්  රැස්වීම් අමතමින්, කම්කරුවන් එක්රැස් කළේය.

හර්තාලයට හා වැඩ වර්ජනය කිරීමට පක්‍ෂ හා විරුද්ධ ලෙස සී.එම්.යු. සාමාජිකයන් දෙකට බෙදිණි. කළුපටි පැළඳ ගත් සාමාජිකයන් හර්තාලයට සහාය පළ කරමින් වර්ජනයට එක්වීමට සැලැස්වීමෙන් සෙසු බලවේග පරාජය කිරීමට  තම්පෝ සුක්ෂම විය.  හර්තාලයට  ක්‍රියාත්මකව මැදිහත් වූ තම්පෝ 80 ජුලි වර්ජනයට එරෙහිවිය. එහිදී ඔහු කියා සිටියේ අලුත් ආණ්ඩුවක් නිසා  හදිසියේ මෙවැනි වර්ජන කළ නොහැකි බවය. එහෙත් සෙසු නායකයෝ ඊට එකඟ නොවී වර්ජනය කැඳවන ලදී. සිඑම්යු ලෙස   වර්ජනයට එක් නොවුන ද වර්ජකයන්ට රැකවරණය දෙන්නට තම්පෝ පසුබට නොවිණි. වර්ජනයේ යෙදීම නිසා රැකියාවෙන් දොට්ට දැමූ  සංඛ්‍යාව 40,356 කි.

1971 දකුණේ තරුණයන්ගේ නැගිටීම, හදිසි නිතිය යොදා එය මර්දනය කිරීමට එරෙහිව නැගී සිටිය වුන් අතර තම්පෝ ඉදිරියෙන්ම සිටියේය. මරා දැමීම්, බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම් වලට එරෙහිවවූ ඔහු  කැරලිකරුවන්ට එරෙහිව නඩු විභාග කළ  අපරාධ යුක්ති කොමිසම හමුවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ නොමිලේය. තම්පෝගේ මැදිහත්වීම නොවන්නට  කතරගම ප්‍රේමවතී මනම්පේරි ඝාතනයද රහසිගතව යටපත්ව යා හැකිව තිබුණි. 1975 දී ඇරඹි දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ ද තම්පෝ ප්‍රමුඛයෙකි.

70  දශකය අවසානය්දී  එජාප ආණ්ඩුව හඳුන්වා දුන් හදිසි නීති රෙගුලාසි වලටත්, ත්‍රස්ත පනතටත් එරෙහිවූ  තම්පෝ  ඉන් පිඩාවට පත්වූ සරසවි සිසුන්, ආගමික නායකයන්, තරුණ තරුණියන් වෙනුවෙන් පෙනී සිටියේ මහත් කැපවිමෙනි. 88 -89 භීම සමයේදීත් මානව හිමිකම් කඩකිරීම් වලට එරෙහිව නොබියව විරෝධය පෑ තම්පෝ  ආරම්භයේ සිටම විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිවිය. එය අහෝසි කිරීමේ සටන් පාඨය තවමත්  සිඑම්යු සතුය.  ඊට අමතරව  දේශීය සම්පත් පෞද්ගලීකරණයට එරහිව ද තම්පෝ සිය සටන් මෙහෙයවන ලැබුණි. නිදසුන් ලෙස එප්පාවල පොස්පේට් නිධිය දැක්විය හැකිය.

ඡායාරූපයේ ඉහළ වමේ සිට, රෝහණ විජේවීර 71 මහා නඩුවේ සාක්ෂි විභාගයට බන්ධනාගාර නිලධාරින් විසින් ගෙනඑන අවස්ථාව, 71 කැරළිකරුවන් හම්බන්තොට නගරයට ඇතුළුවන පුවරුව විමුක්ති නගරය ලෙස නම් කර තිබූ අයුරු, ජවිපෙ කැරළිකාරියකව සිටි කතරගම ප්‍රේමවතී මනම්පේරිට ආරක්ෂක අංශ මගින් අතවර කොට මරාදැමීමෙන් අනතුරුව එම නිවසට ගොස් පවුලේ අයගෙන් කරුණු විමසන අයුරු සහ ප්‍රේමවතී මනම්පේරි වැළලූ ස්ථානය ගම්වැසියන් සමඟ නිරික්ෂණය කරන අයුරු මෙහි වේ. රතු රවුමකින් දක්වා ඇත්තේ කැරළිකරුවන්ගේ මානව හිමිකම් සහ වින්දිතයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටි අධිනීතිඥ බාලා තම්පෝය. බ්‍රිතාන්‍යයේ එවබරි සාමි සහ අධිනිතිඥ ප්‍රින්ස් ගුණසේකරද මෙහි වේ.

එහෙත් මෙම සන්ධානය කොළඹ හා මහනුවර රැස්වීම් වලින්  පසු අවසන් විය.

පාරිසරික අයිතීන් වෙනුවෙන් එප්පාවල පොස්පේට් නිධිය රැකගැනීමේ සටන තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකරන තම්පෝ.

ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ජවිපෙ දැරූ ස්ථාවරය ගැන විවේචනාත්මක වන  තම්පෝ පෙන්වා දී ඇත්තේ ඔවුන්ගේ මතය මාක්ස්වාදී නොවන සිංහල ජාතිවාදී ආකල්පයක් නියෝජනය කරන බවය. එමෙන්ම එවකට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුනේ නායකත්වය විසින් ඊළාම් සටන් පාඨය ප්‍රචාරක හා අවස්ථාවාදී ලෙස ඉදිරියට ගෙනයාම ගැන තම්පෝට පැවතියේ විවේචනයකි. දෙමළ ජනතාව අතර වෙන්වීමට පුළුල් මහජන හැඟීමක් පැවතිය මුත්, හුදකලා ප්‍රචණ්ඩ ක්‍රියා වෙන්වීම සඳහා අරගලයක් ලෙස සැලකිය නොහැකි බව ද ඔහු ‘ලංකා ගාඩියන්’ වෙත අවධාරණය කර තිබිණි. කාලයත් සමග ඒවා අරගලයට මග හැරිය හැකි බවට අපේක්‍ෂා සහගතවිය.

බාලා තම්පෝ : 2008 මැයි දිනයෙ දී..

ප්‍රතිපත්තියක් ලෙස දෙමළ ජනයාගේ ස්වයං නිර්ණය අයිතිය පිළිගත්, වාමාංශික දේශපාලන පක්ෂවලට අනුබද්ධ වෘත්තීය සමිති වලට අමතරව ස්වාධීන වෘත්තීය සමිති ලෙස සී.එම්.යූ , ලංකා ගුරු සංගමය, ශ්‍රීලංකා ජාතික ගුරු සංගමය, බැංකු සේවක සංගමය දැක්විය හැක.

කම්කරු පංතිය වෙනුවෙන් සිය දිවිය පුරාම වෙහෙසුණු  බාලා තම්පෝ, ධනපති ආණ්ඩු විසින් පිරිනමන්නට යෙදුනු සම්මානද ප්‍රතික්ෂේප කළේය. පොරොන්දු වූ පරිදි කම්කරු ප්‍රඥප්තිය එලි දැක්වීමට රාජපක්‍ෂ ආණ්ඩුව සමත් නොවීමට එරෙහිව ජාතික කම්කරු උපදේශක සභාවෙන්  ඉවත් වීමට ඔහු  තීරණය කළේ ඊට විරෝධය පෑමක් ලෙසය.  2014 සැප්තැම්බර් 01 වැනිදා ඔහු දිවි සැරිය නිමා කරන තෙක්ම සටන් බිම අත් නොහළේය.

කම්කරුවන්ගේ  සාමාජික මුදලින් ඉදි කෙරුණු  සිව් මහල් සී.එම්.යු මුලස්ථාන ගොඩනැගිල්ලට මේ වනවිට අඩසිය වසකි. 1975 කම්කරු දිනයේදී කම්කරුවන්ට දායාද කළ එහි මෙසේ දැක්වේ;

Leave a Reply