ජන අරගලය ජනාධිපති ගෝඨා ගෙදර යැවීය. ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අගමැති නිල නිවස අරගලකරුවන් විසින් අත්පත් කර ගනු ලැබූ අතර පොලීසිය හා හමුදාව එකී ස්ථාන අතහැර ගියහ. එහෙත් සැබවින්ම ඒ පමණින් පාලන බලය වෙනස් වීමක් හෝ පාලනයේ බලය බිඳ වැටීමක් සිදු වූයේ නැත. අරගලකරුවන් ඒවා අත්හැරීමෙන් ඒ බව තවදුරටත් පෙන්නුම් කළේ ය.
අර්බුදය කොතෙක් තියුණු පැවතිය ද ජන අරගලය පෙර නොවූ විරූ විශාලත්වයකින් හා ජවයකින් යුතු ක්රියාන්විතයක්ව තිබුණ ද ජූලි 20 පාර්ලිමේන්තු ජනාධිපතිවරණයෙන් විසල් ජයක් අත්කර ගනිමින් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත් විය. ඔහු ලද ජයග්‍රහණය බිමේ ජන අභිලාෂයේ පැතුම හා යථාර්ථය නොවන නමුදු වත්මන් දේශපාලන සංග්රාම බිමේ ආසන්න යථාර්ථය වී ඇත්තේ එයයි. දේශපාලන වශයෙන් අනාථ වී සිටි පොහොට්ටු රෙජිමයට මේ මොහොතේ විශාල බහුතර ඡන්දයකින් වෙනත් මුහුණතකින් සිය බලය තහවුරු කර ගැනීමට හැකිව තිබේ.
ගෝල්ෆේස් අරගල බිමේ සටන්කරුවන් මෙම රෙජිමය පිළිනොගන්නා බව සහතික කර කීව ද මේ සිදුවීම් සමග දිග හැරෙමින් පවතින්නේ සටන්කාමී අරගලකරුවන් හුදකලා කළ හැකි අරගලයේ ඇතැම් කොටස්, අරගලයට සහය දුන් ව්‍යවස්ථානුකූල ප්රජාතන්ත්රවාදීන් වැනි කොටස්, ඇතැම් වෘත්තික සංවිධාන, ඇතැම් පැවිදි කොටස් අරගලයෙන් විතැන් කළ හැකි තත්ත්වයකි. අරලියගහ මන්දිරය ඉදිරිපිට “නෝඩීල්ගම” උපවාසය අවසන් කිරීම හා “නෝඩීල්ගම”ඉවත් කර ගැනීම, රතු කුරුස සංවිධානය “ගෝඨාගෝගමින්” ඉවත්ව යාම, නුවර ගෝඨාගම පොලීසියට භාර දීම වැනි සිද්ධීන්ගෙන් සංකේතවත් කරන්නේ බොහෝ දුරට විය හැකි මේ තත්ත්වය යි. එසේම ජූලි 22 දින අළුයම ජනාධිපති ලේකම් කාර්යාලයේ හා අවට පරිශ්‍රයේ රැඳී සිටි අරගලකරුවන් මර්දනකාරී බලහත්කාරයෙන් ඉවත් කිරීමෙන් ප්‍රකාශිත අරගලයට මුහුණ දීමේ රනිල් පාලනයේ උපායික ප්‍රවේශය මෙරට පමණක් නොව ජාත්‍යන්තරව පවා විරෝධයකට ලක් වුව ද අරගලයට බරපතල පසුබෑමක් ඇති කරන්නට පුළුවන. ඒ අභියෝගය ජය ගන්නට නම් අරගලය මෙතෙක් අනුගමනය කළ සිය උපායික ප්‍රවේශය සංස්කරණයකට භාජනය කිරීම ගැන බරපතල්ව සිතිය යුතුව ඇත.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත් කිරීමෙන් ද අනුප්‍රාප්තික ජනාධිපති වශයෙන් තෝරාපත් කර ගැනීමෙන් ද පසු ඔහු රටේ පවතින අර්බුදයට යම් පිළියමක් සපයනු ඇතැයි ද දේශපාලන අස්ථාවරත්වය යම් පමණකට ජය ගනු ඇතැයි ද විශ්වාස කරන ප්රවනතාවක් සමාජයෙහි ඇතැම් කොටස් අතර පැතිර තිබේ.
මේ සියල්ල අරගලය තුළ පෙර පැවති ජන ආකර්ෂණය ද ගැම්ම ද යම් පමණකට බැස යාමට හේතු විය හැකි ය. එපමණක් නොව අරගලයේ අසංවිධිත භාවය ද අරගලකරුවන් අතරම පවතින විවිධ බාධාකාරී වෙනස්කම් ද අරගලයේ පෙර පැවති ජවයේ පසුබැසීමක් ඇති කරන්නට පුළුවන. යම් විශේෂිත තත්ත්වයක් පැන නැගුනහොත් මිස මේ තත්ත්වය තුළ “රනිල් ගෝ හෝම්” යන සටන් පාඨය “ගෝඨා ගෝ හෝම්” යන සටන් පාඨය තරම් ප්‍රබල එකක් නොවීමට ඕනෑ තරම් ඉඩ තිබේ.
එසේම රනිල් යනු ගෝඨා මෙන් ආධුනික පාලකයෙකු නොව අත්දැකීම් සහිත මර්දනීය ඉතිහාසයකට හිමිකම් කියන පාලකයෙකුය යන්න අමතක නොකළ යුතු ය. ඔහු අරගලය දියකර හැරීමේ හා බෙදීම් ඇති කර සටන්කාමී කොටස් හුදකලා කර අවසානයේ ඔවුන් දැඩිව මර්දනය කිරීමේ අඩු තීව්‍රතා ගැටුම් මර්දනීය උපක්‍රම අනුගමනය කරන බවක් පෙනෙන්නට තිබේ. ඔහු අරගලකරුවන් සාමකාමී අරගලකරුවන් හා කැරලිකාර ප්රචණ්ඩ අරගලකරුවන් යයි දෙකට බෙදා අනෙක් අරගලකරුවන්ගෙන් සටන්කාමී අරගලකරුවන් වෙන් කර මර්දනය කරන බව පැහැදිලිවම කියා සිටී. මෙය දැඩි අරගලකාරීන් මර්දනය කර සෙසු අරගලකරුවන් හීලෑකර නිහඬ කිරීමේ උපක්රමයකි. ගෝඨාභයට දැඩි මර්දනකාරී පාලනයක් ගෙන යාමේ උවමනාව තිබුණ ද එහිලා ඔහු සම්පූර්ණ අසාර්ථක පාලකයෙකු බව ඔප්පු කරමින් නැගී වර්ධනය වෙමින් පැවති ජන අරගලය හමුවේ පලා ගියේ ය. එහෙත් රනිල් ඔහුට වඩා අදිටන් සහගතව උපායශීලීව හා මර්දනයෙන් අරගලය පාගා දමන්නට ඇති සූදානම පෙන්නුම් කරයි.
විරෝධතාකරුවන් 2022 ජූලි 13 දින කතානායක නිල නිවසට හා පාර්ලිමේන්තුවට ඇතුල් වීමට දැරූ උත්සාහය මැඩලීම, ජූලි 22 අළුයම ජනාධිපති ලේකම් කාර්යාලයේ හා අවට පරිශ්‍රයේ රැඳී සිටි අරගලකරුවන් මර්දනීය බලය යොදා ඉවත් කිරීම වැනි සිද්ධීන් මගින් පෙන්නුම් කරන්නේ එයයි.
- අන්තර්වාර පාලනයේ අමාත්‍ය මණ්ඩලය 10 කට සීමා කරනු!
- අමාත්‍ය මණ්ඩලයට අන්ත දූෂිතයන් පත් නොකරනු!
- 19+ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරනු (මෙ මගින් විධායක ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලතල බොහොමයක් කප්පාදු කෙරේ)!
- නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා බලය පැවරෙන (අදාළ වියතුන්, වෘත්තීය සමිති, ගොවි ධීවර ආදී බහුජන සංවිධාන නියෝජිතයින්, ජාතීන්ගේ නියෝජිතයින්, ස්ත්‍රී හා තරුණ නියෝජිතයින්, ජන අරගල නියෝජිතයින්, සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් ආදීන්ගෙන් සමන් විත) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ස්ථාපිත කරනු!
- වත්මන් ආර්ථික අර්බුදයෙන් බැට කන ජනයාට කඩිනම් සහන සලසන හදිසි ආර්ථික වැඩපිළිවෙලක් සම්පාදනය කිරීමට යෝග්යයන්ගෙන් යුත් මණ්ඩලයක් පත් කර එවන් වැඩපිළිවෙලක් ක්‍රියාවට නගනු!
- අල්ලස් දූෂණ හා වංචා සම්බන්ධ දැඩි නීති හා ඒ සම්බන්ධ කිරීමේ පූර්ණ බලතල සහිත ආයතන පිහිටුවනු!
- මාස 12 කින් පසු ජනතාවට තමන් කැමති පාලනයක් තෝරා පත්කර ගැනීමට මහ මැතිවරණයක් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය මගින් සම්පාදිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජන අනුමැතිය ලබා ගැන්ීම සඳහා ජනමත විචාරණයක් ද පවත්වනු!
ආදී වශයෙන්.
මේ වකවානුවේ ජන අරගලයේ මූලික සටන් පාඨය විය යුත්තේ “ මහජන සමූහාණ්ඩුවක්” යන්න ය. එය අප ඉල්ලන්නේ පාලකයන්ගෙන් නොවේ. පාලකයන්ට අප බල කර කියා සිටිය යුත්තේ එවන් මහජන සමූහාණ්ඩුවකට මග පාදා ගත හැකි එක් මගක් වන අන්තර්වාර පාලනයක් සඳහා ය.
මහජන සමූහාණ්ඩුවක් යන්න ජනතාවගේ කටයුත්තකි. එවැන්නක් සාධනය කර ගන්නට නම් අරගල ව්‍යාපාරය බිමේ සිට ජාතික මට්ටම දක්වා ගොඩ නැගෙන මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමට ප්රමුඛ අවධානයක් දිය යුතු ය. මහජන ව්‍යාපාරය යනු කිසියම් පක්ෂයක් හෝ කිහිපයක් විසින් ගොඩ නගනු ලබන්නක් නොවේ. පක්ෂවලට ඊට මැදිහත් වන්නට පුළුවන. සිය ශක්තිය ඊට එක් කරන්නට පුළුවන, එහෙත් එය ගොඩ නැගීමට පුරෝගාමී විය යුත්තේ අරගල ව්‍යාපාරය ය.
අරගලයේ යෙදී සිටින ජනයා ය. අරගලකරුවන් කතා කරන මහජන සභාවක් ගොඩ නැගිය හැක්කේ මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමේ මෙම ක්‍රියාදාමය තුළ ය.
මැතිවරණයක් මගින් ජනතාවට තමන්ගේ නියෝජිතයින් තෝරා ගැනීමට අවස්ථාව ලද විටක “මහජන සමූහාණ්ඩුවක්” යන සටන් පාඨය යටතේ මැතිවරණය සඳහා අරගල ව්‍යාපාරය (එනම් ගොඩ නැගෙන මහජන ව්‍යාපාරය) තුළ නියෝජනය වන හා විය යුතු සියලු පාර්ශව එක්සත් බලයක් බවට පත් කරන තමන්ගේම මැතිවරණ සන්ධානයක් ගොඩ නැගීමට ක්‍රියා කළ යුතු අතර එම සන්ධානය හරහා මැතිවරණයට සටන් වැදිය යුතු ය. ජන අරගලය වෙනුවෙන් පෙනී සිටින කවර පක්ෂයක්, සංවිධානයක් වුව මේ සන්ධානයට එක් විය යුතු ය. එක් කර ගත යුතු ය.
රනිල් පාලනය යටතේ අරගලයේ උපක්‍රම කෙසේ විය යුතු ද? ගෝල්ෆේස් වැනි කඳවුරුබැඳීම ආකාරයේ අරගල තවදුරටත් ප්‍රධාන අරගල මාධ්‍යය ලෙස ගත හැකිද යන්න සැලකිල්ලට ගත යුතු බව අපේ අදහස ය. එම අරගලය තුළ පැවතියේ විරෝධය ප්රබලව හා පුළුල්ව ප්‍රකාශයට පත් කිරීම පමණි. අරගල ව්‍යාපාරය ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් බවට පත් වීමට නම් ගොවි බිම්, ධීවර බිම්, වැඩබිම්, ආයතන ආදී විවිධ මට්ටම්වලින් දැනුවත් සංවිධිත ජන බල ඒකක වශයෙන් ගොඩ නැගීම අවශ්‍ය ය. ඒවා බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ජාල ක්‍රියාකාරිත්වයක් තුළට ගෙන ආ යුතු ය. අරගලය කතා කරන මහජන කවුන්සිලයක් යථා වශයෙන් ගොඩ නැගිය හැක්කේ එවන් ක්‍රියාදාමයක් තුළ පමණි.
ඉදිරි කාලය තුළ කඳවුරු බැඳීමේ අරගල වෙනුවට ජනතා විරෝධය හා කෝපය ප්‍රකාශ කිරීමේ ඒකාබද්ධ රැලි, පෙළපාලි ආදියට ප්රමුඛ අවධානයක් දීමට සිදු වනු ඇත. ඉකුත් ජන අරගලයේ ප්‍රධාන ප්‍රවේශය වූයේ උපායික ප්‍රහාරයේ (strategical offensive) එනම් ගෝඨා රෙජිමය පලවා හැරීම කේන්ද්‍රීය ඉලක්කය කර ගත් ප්රවේශයකි. අප කල්පනා කරන පරිදි දැන් අරගලයේ ප්‍රවේශය උපායික ප්‍රහාරය කේන්ද්‍රීය කරගත් ප්‍රවේශයක් නොව උපක්රමික ප්‍රහාරය (tactical offensive) කේන්ද්‍රකරගත් ප්‍රවේශයක් විය යුතු ය. එහි පවතින පාලනය පලවා හැරීම සඳහා වන අරමුණ තිබේ.
එහෙත් වහාම නොවේ. එය සාපේක්ෂ වශයෙන් දිගු කාලීන ය. එය හදිසිම (immediate) කාර්යය බවට පත් කරනු ඇත්තේ අරගලයේ වර්ධනය විසින් යනු අපගේ අදහස ය.
වසන්ත දිසානායක – විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය
- ජන අරගලය -රනිල් ජනාධිපති වීමෙන් පසු.. - July 29, 2022
- කොවිඩ් 19 වසංගතය හා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය - September 5, 2021