You are currently viewing කුණුහරප කුණාටුවකට හසුවී පන අදින ජාතික ජන බලවේග ආණ්ඩුව..

කුණුහරප කුණාටුවකට හසුවී පන අදින ජාතික ජන බලවේග ආණ්ඩුව..

වර්තමානයේ වඩාත් ජනප්‍රිය මාධ්‍ය වී ඇතිතේ සමාජ මාධ්‍යයි. පුවත්පත්, ගුවන් විදුලිය සහ රූපවාහිනිය වැනි මාධ්‍යයද සමාජ මාධ්‍ය තුළ තම වැඩ සටහන් ප්‍රචාරය කිරීමට වැඩි ප්‍රමුකත්වය වර්තමානයේදී ලබා දෙති. එවැනි තත්වයත් තුළ සමාජ මාධ්‍ය හරහා ජාතික ජන බලවේග (ජාජබ) ආණ්ඩුවට ලැබෙන ප්‍රතිචාර විමර්ශනය කළ හැකි හොඳම ස්ථානය බවට සමාජ මාධ්‍ය පත්වී අවසන්ය. එහි ජාජබ ආණ්ඩුවට හිතෛෂී සමාජ මාධ්‍ය භාවිතාව ආණ්ඩුව පත්වීමට පෙර තිබූ ප්‍රසිද්ධ භාවිතාව දුර්වල වී ඇති නමුත් සුලු ප්‍රමාණයෙන් පවත්වාගෙන යන බව නිරීක්ෂණය කළ හැකිය. ජාජබ ආණ්ඩු විරෝධී සමාජ මාධ්‍ය භාවිතාව ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලබමින් දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. 

මුලින් අපි විමසා බලමු ජාජබට ආණ්ඩුවට හිතෛෂී විචාරයන් වල ස්වභාවය ගැන. සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන ජාජබ ආණ්ඩුවේ ස්ථාවරය රකින සටහන් හෝ විඩියෝ හෝ විවිධ පෝස්ට් යටින් ඇති අදහස් දක්වන (comment) තීරුවල දැක ගත හැකියි. එහිදී ජාජබ ආණ්ඩුවේ ක්‍රියාවන් අනුමත කරන්නන් එම ප්‍රචාරක පුවරුවට සටහන් අතර ‘අනුරට බුදු සරණයි,’ ‘ආණ්ඩුවට බුදු සරණයි’ යන කොමෙන්ට්ද දැක ගත හැකිය. එවැනි වැකි දමන සියලු දෙනාම මේ ආණ්ඩුවේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිට තවමත් බලාපොරොත්තු තබාගෙන සිටින පිරිස බව පැහැදිලිය. ජාජබ ආණ්ඩු ජයග්‍රහණයකින් පෞද්ගලික විමුක්තියක් උදාවන බව දැඩි විස්වාසයක් ඔවුන් අතර තිබී ඇති බව එම ප්‍රකාශ මගින් ඒතු යන්නේය. ඒ ජාජබ ආණ්ඩුවක් පත් කර ගැනීමෙන් මාක්ස්වාදී අරුතෙන් සමාජ විමුක්තියක් නොව පෞද්ගලික විමුක්තියක් ලැබිය හැකියැයි යන විශ්වාසය මත පදනම් වීම නිසාවෙනි. ඔවුන් ජාජබ ආණ්ඩුව පත්වී දින 100ත් පසුවන විට කිසිම විමුක්තිකාමී ක්‍රියාවක් නොමැති විට සහ විමුක්තියක් නොපෙනන නිසා එම පෞද්ගලික විමුක්ති මානයෙන් විතැන්ව ආත්මීය විමුක්තියක් කෙරෙහි විස්වාසයක් ඇති කර ගනිමින් පවතින බව එම ප්‍රකාශ මගින් පෙනී යන කරුණකි. එවිට පෙනීයන්නේ ආර්ථිකමය හෝ දේශපාලනමය විමුක්තිය පෙනෙන තෙක් මානයේ සපල නොවන විට පෞද්ගලික විමුක්තිය වෙනුවට භක්තිවාදය මත පදනම්ව ආගමික විමුක්තියකට පල්ලම් බැසීම සිදුකර ගෙන ඇති බවය. දැන් ඔවුන් ආගමික ආත්මීය විමුක්තිය මූලික ප්‍රස්තූතය බවට පත් කරගෙන භක්තිවන්ත ප්‍රකාශ කොමෙන්ට් තීරුවල දමන්නේ ආත්මීය විමුක්තියකින්වත් ජාජබ ආණ්ඩුවට උට්ටානයක් ලැබිවියැයි සිතුවිල්ලෙන් විය හැකිය. දැනට ඉතිරි වී සිටින ජාජබ ආණ්ඩු හිතෛෂීන්ට අබ සරණ පමණක් ලැබෙන බව ඔවුන්ගේ බුදු සරණයි ප්‍රකාශ තුළින් පැහැදිලි වෙයි.

කුණුහරප සමාජයේ දැවැන්ත ලෙස ප්‍රකාශ වෙති. සාමාන්‍යයෙන් නිවෙස් තුළ සිට පුද්ගල විරෝධයන් දක්වා කුණුහරප පිට කිරීම පොඩි ළමයාගේ සිට මහල්ලා දක්වා වාචික අභිනයකි. නමුත් එය ලාංකීය සාහිත්‍යමය සංස්කෘතිය තුළ නොපැවතුන දෙයකි. සමාජ මාධ්‍යවල යම් යම් ආණ්ඩු පිරිහීමේ ලක්ෂණ පටන් ගත් කාලවල විවේචන කිරීම්, අපහාස කිරීම්, හාස්සයට ලක්කිරීම් දැක ගත හැකි වුවත් මෙවැනි ලක්ෂණයක් නොතිබුණි. නමුත් 2022 වන විට ගෝඨාභය රාජපක්ෂය විරුද්ධව යම් සුලු ප්‍රමාණයකින් කුණුහරප ප්‍රචාරක් දැක ගත හැකි විය. මෙවැනි දැවැන්ත ප්‍රමාණයක් නොතිබුණි. 2025 වන විට (ගෝඨාභට පන්නා දමා අවුරුදු 3ට පසු) ජනාධිපති අනුර දිසානාරකගේ සිට පාර්ලිමේන්තු 159ම එල්ලවන කුණුහරප කුණාටුවෙන් නොතෙමුන කෙනෙක් නොමැති තරම්ය. එවිට සමාජ මාධ්‍ය භාවිතාව තූළ දැවැන්ත ජාජබ  ආණ්ඩු විරෝධයක් පවතින බව දක්නට ලැබෙන සංකේතයකි. එහි පළවන එක් සටහනක් පමණක් සටහනක් කිරීමට වැදගත් වෙයි. ජාජබ ආණ්ඩු බලය ලබා ගැනීමට ගෙන ආ වචනයකි ‘පුනරුදය’ යන පදය. දැන් එම වචනය විරෝධාකල්පීය ලෙස ‘පුකරුදය’ යනුවෙන් සමාජ මාධ්‍ය තුළ සැරි සරයි. මේ ආණ්ඩුව ගෙන එන එවැනි වචන අති දැවැන්ත වාචික ප්‍රකාශයන් තිත්ත කුණුහරප දක්වා පරිවර්තන වන්නේ ජාජබ ආණ්ඩු විරෝධයේ ප්‍රකාශනයක් ලෙසය. එය දිනෙන් දින වර්ධනය වීමට පටන් ගෙන තිබේ.

එහිදී තවත් පැති කීපයක් තිබේ. ඒ හිටපු ඇමති කෙනෙක් වන විමල් වීරවංශ ජාජබ ආණ්ඩුව හඳුන්වන්නේ ‘කයි පාලනය’ (කයිවාරු පාලනය) යනුවෙනි. ඔහුද ජාජබ ආණ්ඩුව විවේචනය කරන්නේ එම නාමකරණයද ප්‍රබල ලෙස භාවිතා කරමිණි. ඔහුද ජනතා විමුක්ති පෙරමුණෙ මාළු ටැංකියේ පුහුණු වූ යෝධයෙක් වන හිටපු ප්‍රචාරක ලේකම්වරයාය. ඔහුද කයි පාලනයක් ගෙන යන්නට නරුම ධනේශ්වරයට වෙහෙසුන ඇමති කෙනෙකි. ඔහුගේ කයි පාලනයෙන් රටට කරපු දෙයක් නම් නොමැත. දැන් ඔහු අනුරගේ නරුම ධනේශ්වර දෘෂ්ටිමය පාලනය විරුද්ධව හඬක් නගන්නට පටන් ගෙන තිබෙන්නේ නැවත පරණ නරුමයන්ව බලයට ගෙන විත් තමාද එතැනට රිංගා ගැනීමටය. ඔහුගේ ‘කයි පාලනය’ යන වචන හරඹයද කුණුහරප භාෂාවට පෙරලී අවසන්ය.

අනෙක් පැත්තෙන් හිටපු ධනේශ්වර බහුබූතවාදීන් කරන විවේචන වැඩකට නොමැති වුවත් ඔවුන්ද නැවත ජාජබ ආණ්ඩුව පෙරලා බලය ලබා ගැනීමට වෙහෙසෙයි. එය ව්‍යර්ථ උත්සාහයක් වන්නේ ලෝකයේම ධනේශ්වර ක්‍රමය අති විශාල ලෙස අර්බුදයකට නතු වෙමින් පැවතීම පැවතීම නිසාය. ඒ ඇමරිකාවේ 2008/10 පසුව ගොඩනැගූ බබල් ආර්ථිකය 2025 තුළ දැවැන්ත වේගයෙන් කඩා වැටෙමින් පවතී. ඒ වගේම ඇමරිකාවේ ණය ගෙන ඇති ප්‍රමාණය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 32ක දක්වා වර්ධනය වී තිබේ. නිවාස අහිමිවන (homeless) ජනතාව දිනෙන් දින වැඩි වෙමින් පවතී. එවිට එය කැනඩාව සහ යුරෝපය පුරා ආර්ථික කඩාවැටීමේ ව්‍යාප්තියක් සහිත බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. ආර්ථික විශේෂඥයන් මේ ඇතිවන අර්බුදය හඳුන්වන නාමකරණය පූර්ව-විප්ලවාදී තත්වයක් (A pre-revolution situation) යනුවෙනි. ඒ නිසා මෙවැනි ධනේශ්වර ප්‍රතිසංස්කරන විසදුම් මගින් ඇතිවීමට යන පූර්ව-විප්ලවවාදී තත්වය සමනය කළ නොහැක. 1770 සිට 1820 විතර කාලපරිච්ඡේදයේ ඇතිවූ වැඩවසම් ක්‍රම විරෝධය ධනේශ්වර විප්ලව මගින් පියවූ විලසින් නැවත ධනේශ්වර ක්‍රම විරෝධය ජන නැගිටීම් හරහා නව පරිවර්තනයකට යාමේ ගෝලීය සමාජ අවශ්‍යතාවයක් මතු වෙමින් තිබේ. එය එක් වරක් ලංකාවේ 2022දී සිදුවිය. එය නැවත සක්‍රීය වීමට පරිසරය සකස්වෙමින් තිබේ. එය බංගලාදේශයේ සිදුවිය, නැවත සක්‍රිය වීමට පටන්ගෙන ඇත. මේ පැමිණෙමින් තිබෙන්නේ ධනේශ්වර ක්‍රමයෙන් නව සමාජ ව්‍යුහයකට පරිවර්තනයක් සකස් කිරීමේ කාල පරිච්ඡේදයකටයි. එහිදී ගෝලීය පරිමාණව ජන අරගලය ප්‍රමුකත්වයට ගැනීමට ලෝකවාසීන්ට සිදු වනු ඇත.

ලංකාවේදී ඇතිවී තිබෙන ධනේශ්වර විරෝධී ස්වභාවය නැවත ජන විඥානය තුළ විවිධ පැති හරහා විකාශනය වීමට පටන් ගෙන තිබේ. ඒ කුණුහරුප වර්ෂාව වගේම ජන අරගලය සුලු ප්‍රමාණයෙන් පටන් ගෙන තිබේ. ජාජබ ආණ්ඩුව ගෙන යන ව්‍යාපෘතිවලට එන ජන විරෝධයද තවත් පැත්තකි. ජාජබ ආණ්ඩුවේ සමූපකාර ඡන්ද පරාජයට පත් වෙමින් තිබේ. ජාජබ ආණ්ඩුව පත්කල සභාපතිවරු ඉල්ලා අස්වීම පෙළට සිදුවෙමින් පවතී. ඒ වගේම ආණ්ඩුව තව ඡන්ද දෙකක් (ප්‍රාදේශීය සභා සහ පලාත් සභා) තැබීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. ජාජබ ආණ්ඩු විරෝධී ජන මතය වේගයෙන් විරෝධාකල්පයක් දක්වා වේගයෙන් වර්ධනය වන අතර පසුගිය දින 100ට වැඩි කාලය තුළ ඇතිවූ සියලු සිදුවීම් වලින් පෙනී යන්නේ ජන විඥානයේ ආණ්ඩු විරෝධය දැවැන්ත ලෙස බුබුලු දමමින් ඉදිරියට පැමිණෙන බවය. එහිදී 2022 මාර්තු 09 දිනය යනු ගෝල්ෆේස් අරගලය පටන් ගත් දිනයයි. එම දිනය සැමරුමක් පැවැත්වීමට අරගලයේ සිටි විවිධ කොටස් උස්සාහයක් ගනිමින් සිටිති. එය සාර්ථක කර ගැනීමට මැදිහත් වීම සියලු විරෝධතාකරුවන්ගේ ජයග්‍රාහී උත්සාහයක් වන්නේය. 

Leave a Reply