You are currently viewing “කිසාගෝතමීලා සහ අමල් බිසෝලාගේ කථා ”  මතකයට නැගෙන ‘බාල ‍ඖෂධ’ නිසා මියයන රෝගීන්..  !

“කිසාගෝතමීලා සහ අමල් බිසෝලාගේ කථා ” මතකයට නැගෙන ‘බාල ‍ඖෂධ’ නිසා මියයන රෝගීන්.. !

පසුගිය අප්‍රේල් මස දරු ප්‍රසූතියකට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ කේ. බී. සඳුනි මදුෂිකා නමැති මව දරු ප්‍රසූතිය සඳහා කරන ලද සිසේරියන් සැත්කමකින් අනතුරුව මිය ගියාය. සිසේරියන් සැත්කම සිදු කිරීමට නිර් වින්දනය කිරීමෙන් පසු පියවි තත්ත්වයට පත් නොවී ඇය මරණයට පත්වූ බව මාධ්‍යයේ කියැවුණි. සෞඛ්‍ය අංශ තොරතුරු අනුව, මෙම මරණය මෙලෙස සිදුවූ ප්‍රථම මරණය නොවේ.

මෑත කාලයේදී සැත්කම් සඳහා නිර් වින්දනය කිරීමෙන් පසු රෝගීන් මියගිය පුවත් කීපයක්ම මාධ්‍යයේ සඳහන් විය. පේරාදෙණිය ළමා රෝහලේදී නිර් වින්දනය කිරීමෙන් පසු පියවි සිහිය නොලබා දරුවකු මරණයට පත්වූ පුවතක් ද මාධ්‍යයේ පලවිය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ පිළිබඳව පාර් ලිමේන්තුවේ අවධානය යොමුකරමින් මීට හේතුවූ කරුණු විමසිල්ලට ලක් කළේය.

සඳුනි මදුෂිකාගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ මව කියා සිටියේ ‘රුපියල් 85 ක ලාභයකට ගෙන ආ ඖෂධය නිසා තමන්ට තම දියණියත්, කුඩා දරුවන්ට මවත් අහිමි වූ’ බවයි. පසුගිය දිනවල ‘අඩු මිලට බාල ඖෂධ ගෙන්වීම’  පිළිබඳ මෙරට සෞඛ්‍ය අංශවල බරපතල විවේචනයට ලක්විය. මෙවැනි තත්ත්වයක් ඇතිවනු ඇතැයි වෛද්‍ය හා සෞඛ්‍ය අංශ දිගින් දිගටම අනතුරු ඇඟවීම් කළේය. නමුත් ඒ කිසිවකට සුභවාදී ප්‍රතිචාරයක් බලධාරීන්ගෙන් නොලැබුණි.

මෙම ඛේදයේ ඇරඹුම,රාජ්‍ය අධිකාරියක බලවත් අධීක්ෂණය යටතේ පැවති සංවේදී ඖෂධ දත්ත සටහන් මැකී යාම බව සමාජයේ සාකච්ඡාවට ලක්වෙමින් තිබේ. මේ වන විට මෙම අවාසනවන්ත ස්වභාවයේ ගොදුරු බවට මෙරට අසරණ ජනයා පත්ව සිටිති. උද්ගතව ඇති ප්‍රශ්ණය පිළිබඳව සෞඛ්‍ය ඇමතිවරයා මාධ්‍ය ඉදිරියේ කරන ප්‍රකාශ හාස්‍ය ජනකය. වගකීම් විරහිතය. ඉතා සැහැල්ලුවෙන් හා සිනහමුසු මුහුණින් ඔහු කරන ප්‍රකාශ අනුව මේ කතා කරන්නේ මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ද යන පැනය මතුවේ.

මෙම සිදුවීම් එකතුවේ වඩාත් හාස්‍යයෝත්පාදක කවටයා වන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයායි. ඔහු මාධ්‍ය ඉදිරියේදී, මේ තරුණ මාතාව මිය යාමේ සිද්ධිය සෝපාහාසාත්මක ප්‍රකාශනයක්  බවට පත්කළේය. එය එතරම් සැලකිල්ලට ලක් විය යුතු නොවේය යන්න අඟවා සිටියේය. එහිදී මාධ්‍ය ඉදිරියට පැමිණි සභාපතිවරයා, මෙරට කුඩා දරුවන් පවා මැනවින් දන්නා ගැමි ජනශ්‍රැති හා බොදු සාහිත්‍යයේ ප්‍රකට තොරතුරු ගැන ඔහුගේ නොදැනුවත්කම ප්‍රකාශ කිරීමට තරම් නිර්ලජ්ජිත විය. රටක ජනතාවගේ ජීවිතය හා මරණය පිළිබඳ සංවේදී රාජ්‍ය ආයතනවල වගකීම් දරන්නේ මොවුන්ය. මොවුහු මෙම දූෂිත, චෞර රාජ්‍යයේ රැකවල් දූතයෝය.

මේ සංවේගජනක පුවත ගැන වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් කියා සිටියේ මෙවැනි මරණාසන්න සංකූලතාවයන් ඇති ඖෂධයන් ලෝකයේ කිසිදු රටක් පාවිච්චියට නොගන්නා බවයි. මේ අනුව  “..බාල ඖෂධ නිසා මිය නොගිය රෝගියෙක් නැති ගෙයක් සොයාගත නොහැකි වනු ඇතැ..” යි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply