මුදල් නොමැති නිසා ජීවත්වීමට ක්‍රමයක් නොමැතිව පවුල් පිටින් මැරෙන රටේ, රෝහල්වල බෙහෙත් නොමැතිව රෝගීන් මියයන රටේ, ජීවත්වීමට අයිතිය ඉල්ලා සාමකාමීව උද්ඝෝෂණයේ යෙදෙන දේශයේ අහිංසක ජනතාව මර්ධනය කිරීම සඳහා කඳුළු ගෑස් ගෙන්වීමට පමණක් 2012-2022 කාල පරිච්ඡේදය තුලදී රු. 162,101,130.00 (රු. දශ ලක්ෂ 162 ට වැඩි ප්‍රමාණයක්) ආණ්ඩු විසින් වියදම් කර තිබේ. මේ බව හෙළිදරව් කරන්නේ සමාජය හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම විසින් පල කළ ‘කඳුළු ගෑස් මිලියන විසි ගණනක කඳුළු’ නම් කෘතියෙනි. ලංකාවේ පොලිසිය විසින් සාධාරණ ජනතා ක්‍රියාකාරකම් මර්ධනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම දැන් එදිනෙදා සිදුවන සාමාන්‍ය ප්‍රවෘත්තියක් බවට පත්ව ඇති අතර මෙසේ භාවිතා කරන කඳුළු ගෑස් කල් ඉකුත් වී තිබීම නිසා ඒවා ජාත්‍යන්තර වශයෙන් විෂ රසායනික ලෙස හඳුන්වනු ලබන රසායනික අවියක් බවට පත්ව ඇත.
අප දන්නා පරිදි ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති දැවැන්තම ජන අරගලය වන්නේ 2022 ජූලි 9 දින කොළඹ ජනාධිපති මන්දිරය අවට පැවති ජන අරගලයයි. එම ජන අරගලය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂට ජනපතිකම හැර දමා පලා යාමට සිදු විය. මෑත කාලයේ පොලිසිය විසින් භාවිතා කරන ලද වැඩිම කඳුළු ගෑස් ප්‍රමාණය එනම් බෝම්බ (Canister) සහ උණ්ඩ 817 ක් භාවිතා කර ඇත්තේ මෙදින දියත් කළ සාමකාමී ජන අරගලය මර්දනය කිරීමට ය. මේ ආකාරයට විශාල කඳුළු ගෑස් උණ්ඩ සංඛ්‍යාවක් ජනතාවට එල්ල කිරීම ජාත්‍යන්තරව පිළිගත් රීතිවලට පටහැණිය.
මෙම උද්ඝේෂණයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගි වූ අතර ඒ කිසිවෙක් අත පොල්ලක් හෝ ගලක් වැනි කළහකාරී තත්වයක දී භාවිතා කරන ආයුධ කිසිවක් නොවුණි. එමනිසාම එදින මෙම ජනතාව අතින් කිසිදු ප්රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවුණූ අතර සිදු වුණු මිය යාම් සහ තුවාල වීම් සිදු වූයේ පොලිසිය සහ හමුදාව කළ ප්රහාරවලිනි.
මෙසේ සාමකාමී ජනතා අරගලයකින් ජනාධිපති වැන්නෙකුත් පලවා හැරීමට සමත්වීම නිසා රටේ ජනතාව තුළ සන්නද්ධ අරගල වෙනුවට ජනතා අරගල සහ විරෝධතා පිළිබඳව විශ්වාසයක් ගොඩනැගී ඇත. දියුණු ධනපති රටවල ප්රජාතන්ත්රවාදය විශාල ලෙස වර්ධනය වී ඇත්තේ එම රටවල පුරවැසියන්ගේ හඬට රජයන් කන් දෙන බැවිනි. ලංකාව වැනි රටවල පාලකයන්ගේ ගෝත්‍රික මානසිකත්වය නිසා ජනතාවට සිදුව ඇත්තේ සාමුහික විරෝධතා මගින් පාලකයන්ට එම පාඩම් ඉගැන්වීමටය.
ලංකාවේ මේ දිනවල සිදුවන විරෝධතා ක්‍රියා නිසා මහා මාර්ග භාවිතා කරන ජනතාවට බරපතල හිරිහැරයක් සිදුවන්නේ මෙම විරෝධතා අනවශ්‍ය ලෙස නැවැත්වීමට කටයුතු කරන පොලිසිය නිසාවෙනි. පැයක් දෙකක් කෙරන උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට පොලිස් භටයින් සිය දහස් ගණනක විශාල සංඛ්‍යාවක් විරෝධතා සිදුවන දිනවල උදෑසන සිටම වාහනවලින් පාරවල්වලට කැඳවා මාර්ග බාධක යොදමින් මාර්ග අවහිර කිරීමේ සිට මාර්ග වසා දැමීම දක්වා කටයුතු කරන්නේත් පෙළපාලිකරුවන්ට පමණක් නොව පාරේ ගමන් කරන සාමාන්‍ය ජනතාවටද ජළ ප්‍රහාර කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කරන්නේත් නීති විරෝධීව දේශපාලනඥයන්ගේ උපදෙස් මත කටයුතු කරන පොලිසියයි. මාර්ග අවහිර වීම් වැඩි වශයෙන් සිදුවනුයේ පොලිසියේ මෙම ක්‍රියා නිසාය. මෙම මර්ධන ක්රියාවලියෙහි දී පොලිස්පති ඇතුළු පොලිසියේ උසස් නිළධාරීන් වංචනිකව කටයුතු කිරීම නිසා අධිකරණවල විනිසුරුවරුන්ද නොමග යවනු ලැබේ.
ආණ්ඩුවට අවශ්‍යතාවයක් ඇත්නම් මෙම පෙළපාලි සහ විරෝධතා නැවැත්විය හැක. ඒ සඳහා කළයුතුවන්නේ විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට සවන් දීමයි. විරෝධතාකරුවන් තම ඉල්ලීම් ඉටුකරවා ගැනීම සඳහා එක්වරම පාරට බහින්නේ නැත. ඔවුන්ගේ ඉල්ලීම් ලිපියක් වැනි දෙයකින් ආරම්භ වී එම ප්‍රශ්නවලට පිළිතුරු නැති විට වටෙන් වටය වැඩි දියුණූ වී පිකට් සහ පෙළපාලි දක්වා වර්ධනය වන ඒවාය. ඉල්ලීම් ඉදිරිපත් කළ විට ඒවාට ඇහුම්කන් නොදී විරෝධතා පෙළපාලි දක්වා වර්ධනය වූ පසු එම ඉල්ලීම් ඉටු කිරීමට පාලකයන් කටයුතු කරන විට අපතේ ගිය සම්පත් ප්‍රමාණය කොතරම් ද? ඒ වන විට සිදුවන විනාශයන් කිසිවෙකුවත් තක්සේරු කරන්නේ නැත. යම් කිසි ආයතනයක සිදුවන වැඩ වර්ජනවලින් මෙය මනාව පැහැදිළි වේ. ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කර ගැනීම සඳහා ගුරු සේවයේ ඇති වූ දැවැන්තම වැඩ වර්ජනය 2021 වර්ෂයේ දී සිදු වූ අතර ගුරු ඉල්ලීම්වලින් කොටසක් ලබා දීමට ආණ්ඩුවට සිදු විය. නමුත් වර්ජනයට පෙර එම ඉල්ලීම ලබා දීමට කටයුතු කළේ නම් රටේ සම්පත් සහ ශ්‍රමය මෙසේ අපතේ නොයාමට ඉඩ තිබුණි.
මේ ආකාරයට ජනතාවගේ ප්‍රශ්න විසඳීම් සඳහා ආණ්ඩු කටයුතු කරන්නේ නම් කඳුළු ගෑස්, වෙඩි උණ්ඩ, තුවක්කු සහ අනෙක් යුද්ධායුධ වෙනුවට අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ ආදිය ගෙන්වීමට විදේශ විනිමය ඉතිරි වේ. එවන් දියුණු මානසිකත්වයක් ඇති පාලකයන් රටේ නොමැති වීම නිසා තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ රටේ ජනතාවටය.
කඳුළු ගෑස් ප්රහාරයන් ගැන කථා කරන මුලින් සඳහන් කළ කෘතියේ තව දුරටත් දැක්වෙන්නේ කඳුළු ගෑස් ගසන විට ඒ සඳහා අනුගමනය කළ යුතු ජාත්‍යන්තරව පිලිගත් රීති මාලාවක් ඇති බවයි. ඒ අනුව පුහුණු වූවන් විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට යොදා ගත යුතුය. උද්ඝෝෂකයන් පිරිසකට කඳුළු ගෑස් ගැසුවිට පලා යාමට ඉඩක් නැත්නම් හෝ එසේ නැතහොත් සම්පූර්ණයෙන් විවෘත නොවූ ස්ථානවලට ප්‍රහාර එල්ල නොකළ යුතුය. වැලිකඩ බන්ධනාගාරය තුලට සහ 2022 ජූලි 8 දින විශ්ව විද්‍යාල සිසුනට එල්ල කළ ප්‍රහාරය මේ සඳහා උදාහරණ වේ. එසේම අවධානමකට ලක්විය හැකි පුද්ගලයන් සිටින සථානවලටද ප්‍රහාර එල්ල නොකළ යුතුය. 2017 නොවැම්බර් 2 දා ආබාධිත හමුදා භටයන් පිරිසකගේ විරෝධතාවයට කළ කඳුළු ගෑස් ප්‍රහාරය එවැන්නකි. පලා යන විරෝධතාකරුවන්ට පහර දීම මෙන්ම කල් ඉකුත් වූ කඳුළු ගෑස් ගැසීමද වැරදි ක්‍රියාවකි. පසුගිය සතියේ දී විශ්ව විද්‍යාල සිසුන්ට සහ පාසල් සිසුන්ට කළ කඳුළු ගෑස් ප්‍රහාරය සමාජයේ විශාල කථාබහකට ලක්ව තිබේ.
දැනට පොලිසිය විසින් භාවිතා කරන බොහොමයක් කඳුළු ගෑස් කල් ඉකුත් වූ ඒවාය. සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම විසින් පොලිසිය භාවිතා කරන කඳුළු ගෑස් පිළිබඳව තොරතුරු පනතට අනුව තොරතුරු සපයන ලෙස කරන ලද ඉල්ලීමක් ඉටු කිරීම පොලිස්පතිවරයා විසින් ප්රතික්ෂෙප කරන ලද අතර අනතුරුව ඒවා ලබාගෙන ඇත්තේ පනත අනුව අභියාචනයක් ඉදිරිපත් කර ඒ මගින් ලබා දුන් නියෝගයකට අනුවය. ඒ අනුව කණ්ඩායම විසින් ඉල්ලා ඇත්තේ 2010 ජනවාරි 1 දා සිට 2022 ජනවාරි 1 වන දා දක්වා ලංකාවට ගෙන්වා ඇති කඳුළු ගෑස් ප්‍රමාණයන්, ඒවාට වියදම් වූ මුදල් ප්‍රමාණයන්, එම කාලය තුළ භාවිතා කළ කඳුළු ගෑස් ප්‍රමාණයන්, භාවිතා කළ කල් ඉකුත් වූ කඳුළු ගෑස් ප්‍රමාණයන්, එසේ කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කිරීමට අවසර දුන්නේ කවුරුන්ද ආදී තොරතුරුය. කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කළ බවට වාර්තා වන්නේ 2022 මැයි 9 වන දා තංගල්ලේදීය. එදින භාවිතා කර ඇත්තේ 2010 වසරේ දී ගෙන්වන ලද කඳුළු ගෑස්ය. පසුගිය සති දෙක තුල භාවිතා කළ කඳුළු ගෑස් පිළිබඳව වැඩි කතාබහකට ලක්වන්නේ එම ගෑස් වැදීම නිසා අහිංසක පුරවැසියන් දෙදෙනෙකු මියයාම නිසාය.
කෙසේ වෙතත් කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කරන බවට කරන චෝදනා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාර්තු 12 වන දා ප්‍රකාශ කර ඇත්තේ එම චෝදනා බොරු බවත් තමා ඒ පිළිබඳව මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයේ අධ්යක්ෂවරයාගෙන් තොරතුරු විමසා සිටිය බවත් පොලිස් දෙපාර්තමේන්තුව සතුව පවතින කඳුළු ගෑස් තොගයන්හි කල් ඉකුත් වූ ඒවා නැති බව ඔහු දැන්වූ බවත් ය. මෙයද පොලිසියේ බොරුවක් වන්නේ තොරතුරු පනත අනුව ඉල්ලා ඇති තොරතුරුවලට අසත්‍ය සහ අසම්පූර්ණ තොරතුරු දී ඇති නිසා ඒ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස මාධ්‍යවේ දී තරිඳු ජයවර්ධන ඉල්ලා ඇති නිසාය. පොලිසිය සපයන ලද තොරතුරු අනුව 2012 දී 20000 ක් 2017 දී 5000 ක් 2019 දී 15000 ක් සහ 2020 දී 5000 ක් වශයෙන් කඳුළු ගෑස් ලංකාවට ගෙන්වා ඇත. ඇත්ත වශයෙන්ම මීට වඩා වැඩි ප්‍රමාණයක් කඳුළු ගෑස් ගෙන්වා ඇත. අනෙක් කරුණ නම් මෙසේ ගෙන්වන කඳුළු ගෑස් නිසි තත්ව පරීක්ෂණයකට ලක් නොකිරීමයි.
ප්‍රචණ්ඩකාරී හෝ කළහකාරී උද්ඝෝෂණ මර්ධනය කිරීම පිණිස ලංකාව තුල දී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවට වාර්තාවන්නේ ඉතාමත් සුළු වශයෙනි. ඉන් එකක් වන්නේ පොලොන්නරුව මන්ත්‍රීවරයකුගේ නිවසකට පහරදෙන අවස්ථාවේ කඳුළු ගෑස් එල්ල කිරීමයි.
මේ අනුව පැහැදිළිවන්නේ පොලිසිය විසින් ජනතාවගේ සාධාරණ විරෝධතා මර්ධනය පිණිස අනවශ්‍ය ලෙස තම බලය පාවිච්චි කරන බවයි. මෙම හේතුව පාලකයන්ට වාසියක් වී ඇති අතර ජනතාවට තම අයිතිවාසිකම් දිනා ගැනීමේ ඉඩකඩ වසා දමා තිබේ. එහි අනිවාර්ය්ය ප්‍රතිඵලය විය හැක්කේ ජනතාවද ප්‍රතිප්‍රහාර එල්ල කරමින් තම අයිතීන් දිනාගැනීමට පෙළඹීමය. එම තත්වය ධනපති පාලකයන්ට සුබවාදී වන්නේ නැත.
- අර්ථ සාධක අරමුදල රැක ගැනීමේ සටන මහපාරට.. - November 5, 2024
- කඳුලක අන්දරය… - March 15, 2023
- IMF ණයට විකල්පයක් නැද්ද? - March 8, 2023