You are currently viewing ඊශ්‍රායෙලය ඝාතනය කළ හමාස් නායක යෙහ්යා අල් සින්වාර් ගේ අන්තිම කැමැත්ත..

ඊශ්‍රායෙලය ඝාතනය කළ හමාස් නායක යෙහ්යා අල් සින්වාර් ගේ අන්තිම කැමැත්ත..

මවුබිමෙන් තාවකාලිකව පිටුවහල් වූ සරණාගතයෙකුගේ පුතෙකු වශයෙන් 1962 දී උපන් මම සිහිනයක් සදාකාලික සටනක් බවට පත් කෙළෙමි. ගින්නෙන් සහ අළුවලින් ගෙතුණු මගේ ජීවිතය යටපත් කරන ලද දේශයේ සදාකාලික සිර ගෙයක් බව මුලදීම අවබෝධ කර ගතිමි. මෙම දේශයේ ජීවිතය සාමාන්‍ය එකක් නොවන බව බාල කාලයේ සිට මම දැන සිටියෙමි. මෙම දේශයේ උපදින කවරෙකු ගේ හෝ හද තුළ අදම්‍ය වූ අවියක් තිබිය යුතු බවත් නිදහසට ඇති මාවත දුර බවත් දැන සිටියෙමි.  

මගේ අවසන් කැමැත්ත ඇරඹෙන්නේ අපගේ වේදනාව හමුවේ නිහඬව සිටින ලොව ට නගන පළමු හඬ සනිටුහන් කරමින් ළදරුවෙකු වියේදීම ආක්‍රමණිකයා වෙත දමා ගසන ගල් කැටයෙනි.

පුද්ගලයෙකු ගේ ජීවිතය මනින්නේ ගත කළ වසරවලින් නොව ඔහු හෝ ඇය තම මවු බිමට කැප කළ දෙයින් බව මම ගාසා හි වීදිවලින් ඉගෙන ගතිමි. මගේ ජීවිතය වූයේ සිරගෙය සහ සටන්වලින් සහ වේදනාව සහ බලාපොරොත්තුවෙනි. මා පළමු වරට සිරගෙට පිවිසුණේ 1999 දී ජීවිතාන්තය දක්වාය. එහෙත් මම බියවීමට දැන නොසිටියෙමි. ඒ අඳුරු සිර කුටියේ සෑම බිත්තියකම ඈත ක්ෂිතිජය දැක්වෙන කවුළු දුටුවෙමි. සෑම යකඩ කූරකම නිදහස කරා යන දිදුලන මාවතක් දුටුවෙමි. ඉවසීම ගුණ යහපත්කමක් නොව මුහුදු ජලය බිඳුවෙන් බිඳුව බොන්නාක් මෙන් තියුණු ආයුධයක් බව මම සිරගෙදර දී ඉගෙන ගතිමි.

සිරගෙවල් අපේ නිදහස කරා යන දීර්ග ගමනේ කොටසක් පමණක් වන නිසා සිරගෙට බිය නොවන්න යන්න මගේ අවසන් කැමැත්තයි. නිදහස අපෙන් සොරා ගත් අයිතියක් පමණක් නොව වේදනාවෙන් උපන් ඉවසීමෙන් නිර්මල වූ අදහසක් බව සිරගෙදරදී උගත්තෙමි. 2011 දී සිරකරුවන් හුවමාරු කර ගැනීමේ “නිදහසේ භක්තියේ දී” මා නිදහස් වූයේ ඒ ආකාරයෙන්ම නොව අප යෙදී සිටින්නේ හුදෙක් අරගලයක නොව අවසන් ලේ බිඳුව දක්වා ගෙන යන අපේ ඉරණම යන බලවත් විශ්වාසයෙන් වඩාත් ශක්තිමත්වය.

මගේ අවසන් කැමැත්ත තුවක්කුව සම්මුතියකට ලක් නොකර ගරුත්වය රැක ගැනීමේ මිය නොයන සිහිනයක දිගටම රැඳී සිටින්න යන්නයි. සතුරාට අවශ්‍ය වන්නේ අපගේ විරෝධය පෑම අතහැර ප්‍රශ්නය  නිමක් නැති සාකච්ඡාවලට කොටු කිරීමට ය. මගේ ඉල්ලීම සහජයෙන්ම ඔබට හිමි දේ ගැන සාකච්ඡා කළ යුතු නැත යන්නයි. ඔවුන් බිය වන්නේ ඔබේ ආයුධවලට නොව ස්ථිරසාර අධිෂ්ඨානයට යි. විරෝධය පෑම යනු අප සතු ආයුධයක් පමණක් නොව අප හෙළන සෑම හුස්ම බිඳකින්ම කියවෙන පලස්තීනයට ඇති ආදරයයි. ආක්‍රමණයට සහ කොටු කිරීමට ලක් වුවද නොසැලි සිටීමේ අධිෂ්ඨානයයි.

මිය ගිය අයගේ රුධිරයටත් කටු කොහොල්වලින් පිරි මෙම මාවත අපට දායාද කොට වෙන්ව ගිය අයටත් භක්තිමත්ව සිටීම මා ඔබට ලබා දෙන අන්තිම කැමැත්තයි. අපට නිදහස කරා යන ගමන් මග හෙළි පෙහිළි කළේ ඔවුන් ය. එමනිසා දේශපාලකයන්ගේ සටකපටකම් වලින් සහ රාජ තාන්ත්‍රික ක්‍රීඩාවලින් ඔවුන්ගේ කැපවීම අපතේ නොයවන්න. අපගේ උරුමය වන්නේ පළමු පරම්පරාව ඇරඹු කාර්ය ඉදිරියට ගෙන යෑමය. මොනම තත්වයක් යටතේ හෝ අපි ඒ ගමන් මගින් වෙනස් නොවන්නෙමු. ගාසා අධිෂ්ඨානයේ අගනුවර විය. ඉදිරියටත් එසේම වනු ඇත. අප වටා වූ ලෝකයම නැති වුවත් පලස්තීනයේ හද ගැස්ම නොනවතිනු ඇත.

මා 2017 දී හමාස් සංවිධානයේ නායකත්වය භාර ගත් විට එය හුදෙක් නායකත්වය මාරුවීමක් නොවේ. ගල් කැටවලින් ආරම්භ වූ විරෝධය රයිපල්වලින් ඉදිරියට ගෙන යෑමකි. යටපත් කර ගත් මගේ ජනතාවගේ දුක් වේදනාව සෑම දිනකම මට දැනේ. අප නිදහස කරා ගන්නා සෑම පියවරක්ම වැයක් බව මම දනිමි. එහෙත් යටත්වීමේ වැය ඊට වඩා බෙහෙවින් වැඩි බව මතක තබා ගන්න.

අල් අක්සා ඕඝය කායික සටනකට වඩා අධ්‍යාත්මික සටනකි. ආයුධවල සටනකට වඩා අධිෂ්ඨානයේ සටනකි. මා පසුපස ඇත්තේ පෞද්ගලික නොව නිදහසේ සිහින මවන සෑම පලස්තීනුවෙකුගේම,  මියගිය දරුවා තම උරහිස මත හොවා ගෙන යන සෑම මවකගේම, කුරිරු උණ්ඩයකින් මිය ගිය සිය දියණිය වඩා හඬා වැළපෙන සෑම පියෙකුගේම සාමුහික උරුමය යි.

මගේ අන්තිම කැමැත්ත වන්නේ විරෝධය පෑම නිස්කාරණයේ දැල් වූ වෙඩි උණ්ඩයක් නොව අපට ගෞරවයෙන් සහ ගරුත්වයෙන් ජීවත්වීම සඳහා වන අරගලයක් බව සිහිපත් කිරීම ය. සිරගෙයත් යටපත් කිරීමත් නිසා සටන දීර්ඝ දුෂ්කර ගමනක බව මට ඉගැන්වීය. එමෙන්ම යටපත් නොවන ජනතාවකට සිය දෑතින්ම හාස්කම් නිර්මාණය කළ හැකි බවත් මට ඉගැන්වීය. මගේ ජීවිත කාලයේ දී අපගේ ජනතාවගේ දුක් වේදනා හමුවේ ලොව නිහඬව සිටි ආකාරය දුටු නිසා ලෝකයාගෙන් යුක්තිය බලාපොරොත්තු නොවන්න. සාධාරණත්වයක් අපේක්ෂා නොකරන්න. එහෙත් ඔබ සාධාරණ වන්න. පලස්තීන සිහිනය ඔබේ හද තුළ රැක ගන්න. සෑම තුවාලයක්ම අවියක් කර ගන්න. සෑම කඳුළු බිඳුවක්ම ශක්තියක් කර ගන්න.

ඔබේ අවි බිම නොතබන්න. ඔබේ ගල් කැට ඉවත නොදමන්න. ඔබේ මිය ගියවුන් අමතක නොකරන්න. ඔබේ අයිතිය වූ නිදහස ගැන සම්මුතියකට නොපැමිණෙන්න. මගේ අන්තිම කැමැත්ත එයයි.

අපේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන් හදවතින් ම අපි මෙහි සිටින්නෙමු.

මරණය තෙක් මා ආදරය කරන, නොසැලෙන පර්වතයක් මෙන් මගේ උරහිස මත දරා සිටි පලස්තීනය ඔබට භාර කරමි.

මා මළ හොත් දුර්මුඛ නොවන්න. ඒ වෙනුවට අමරණීය ධජයක් මා වෙනුවෙන් නගන්න. මගේ රුධිරයෙන් අපේ අළුවලින් නැගි සිටින පරම්පරාවකට වඩාත් ශක්තිමත් පාලමක් තනන්න. අපගේ දේශය තවත් අතීත කතාවක් නොකර ජීවත්වන යථාර්ථයක් කරන්න. මියැදෙන සෑම නරවිරුවෙකු වෙනුවෙන්ම මෙම දේශයේ ගර්භාෂයෙන් තවත් විරෝධතා සටන්කරුවන් දහස් ගණනක් බිහි කරන්න.

ඕඝය නැවත පැමිණෙන විට මා ඔබ අතර නොසිටියහොත් නිදහස් රැල්ලේ පළමු ජල බිඳුව මා බවත් ඔබ මෙම ගමනේ දිගටම යනු දැකීමට මා ජීවත් වූ බවත් සිහි කරන්න.

ඔවුන් ගේ ගෙල රැඳුණු කටුවක් වන්න. අප බැස නොයන ඕඝයක් බවත් භූමියේ සැබෑ හිමිකරුවන් බවත් ලෝකයා පිළිගන්නා තෙක් සහ අප ප්‍රවෘත්තිවල ඉලක්කම් නොවන බව ලෝකයා පිළිගන්නා තෙක් නොනවතින්න.     

Leave a Reply