You are currently viewing ආණ්ඩුවේ සාගත මෙහෙයුම..!

ආණ්ඩුවේ සාගත මෙහෙයුම..!

අවසන් කොටස

නවීකරණය කරන ලද සහල් ප්‍රභේද සහ නව ගොවිතැන් ක්‍රම මගින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා රසායනික පොහොර හා කෘමි/වල් නාශක රසායනික යෙදවුම් යොදා ගත යුතුය. 1960 ගණන් වල හරිත විප්ලව සමයේ සිට මේ ක්‍රම ලංකාවේ ද වී ගොවිතැන් සඳහා යොදා ගැනේ. 70 දශකයට ලං වෙද්දී එළවලු, අල බතල යන කෘෂි නිෂ්පාදන වාණිජකරණය වීම සමග ඒවා සදහා නවීකරණය කළ බීජ වර්ග/රිකිලි වගාව යොදා ගැනීම ඇරඹීමත් එයට සාපේක්ෂව මේ සියලු රසායනික පොහොර කෘමි හා වල් නාශක යන යෙදවුම් භාවිතයට ගැනිනි. 

එතෙක් පැවැති සම්ප්‍රදායික පොහොර යෙදවුම් දැන් කාබනික පොහොර ලෙස හඳුන්වනු ලබන්නේ ඒ පැරණි පොහොර ක්‍රම වඩාත් විද්‍යාත්මක පදනමකින් තේරුම් කිරීමෙන් පසුවය. එනම් ඒවායේ ඇති රසායන සංඝටක සොයා ගැනීමෙනි. ඒ අනුව අද මේ කාබනික ද්‍රව්‍ය ආහාර වගාවන්ට යෙදවිය යුත්තේ ඒවායේ අඩංගු මේ සංඝටක ප්‍රමාණ ගණනය කිරීමෙනි. උදාහරණයක් ලෙස; දෙන ලද කාබනික පොහොර මිටියක නයිට්‍රජන්-පොටෑසියම් හා ප්‍රොස්පරස් යන මූලික ශාක පෝෂක කුමන ප්‍රතිශතයක් තිබිය යුතුද යන්න පැහැදිලි විය යුතුය. එම අවශ්‍ය ප්‍රතිශත තිබේදැයි බලන්නේ කව්ද? කුමන ආයතනයද? ප්‍රමිති සහතිකයක් මේ පෝර වලට ලබා දෙන්නේ ද?

එසේ වූ කල්හි මේ පොහොර වර්ග දෙකේම විද්‍යාත්මක පදනම සමානය. බොහෝ විට විද්‍යාඥයන් හා අත්දැකීම් බහුල වූ අය ප්‍රශ්නය පොහොර මොනවා ද නොවන බවත්, ඒවා ක්ෂේත්‍රයට යෙදීමේ දී පවතින බාල ප්‍රමිතිය හා අවිද්‍යාත්මක භාවිතාව බවත් කියන්නේ මෙවන් නිරීක්ෂණයන් රහිත නිසා විය හැක.

මේ සම්බන්ධයෙන් යමක් අවබෝධ කර ගැනීමට කාබනික හා අකාබනික(රසායන)පොහොර වල ඵල පිළිබඳ සමීක්ෂණයක් (වී වගාව මුල් කර ඉදිරිපත් කල) මගින් ඉදිරිපත් කරන දත්ත පදනම් කර සාකච්ඡාව ඉදිරියට ගෙන යා හැකි ය. මෙම සමීක්ෂණය ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (Institute of  Policy Studies of Sri Lanka – IPS) මගින් කරණ ලද්දකි.

මේ සමීක්ෂණ නියැදියේ කාබනික ගොවීන් 310 ක් සිටියේ ය. ඔවුන් ලැබූ උපරිම අස්වැන්න අක්කරයකට කිලෝග්‍රෑම් 2730 කි. අකාබනික (රසායනික පොහොර) ගොවි නියැදියට ද ගොවීන් 310 ක් විය. ඔවුන් ලැබූ උපරිම අස්වැන්න අක්කරයකට කිලෝග්‍රෑම් 2625 ක් විය. කාබනික ගොවියන් ලද අස්වනුවල සාමාන්‍ය අක්කරයකට කිලෝග්‍රෑම් 1393.7 ක් වූ අතර අකාබනික ගොවියන් ලද අස්වනුවල සාමාන්‍ය අක්කරයකට කිලෝග්‍රෑම් 1313.7 කි.

ඒ අනුව සමීක්ෂකයන් පෙන්වන්නේ කාබනික හා අකාබනික ගොවීන් ප්‍රමාණාත්මක ව බොහෝ දුරට සමාන අස්වනු ලබමින් සිටි බැවින්  අකාබනික ගොවිතැන පොදුවේ වැඩි අස්වැන්නක්  ලබන්නේ ය යන ජනප්‍රිය විශ්වාසය අභියෝගයට ලක්වූ බවයි.

දැන් මේ සමාන අස්වනු ලැබූ ගොවියන් තම කුඹුරු වලට කළ පොහොර යෙදවුම් බලමු. මෙහි දී සමීක්ෂණය පෙන්වන්නේ සමහර කාබනික ගොවීන් (නියැදියෙන් 20% කට ආසන්න) රසායනික පොහොර ද භාවිතා කරන බවයි. ඒ අතර කාබනික පොහොරත් යොදා ගන්නා අකාබනික ගොවීන් ද සිටින මුත් ඒ ප්‍රමාණය 5% ක් පමණ බැවින් මේවා සංසන්දනාත්මක ව සැලකීමේ පලක් නැති බව සමීක්ෂකයන් කියයි.

දැන් කාබනික පොහොර ලෙස භාවිත කරන්නේ ප්‍රධාන වශයෙන් සත්ව පොහොර, කොළ පොහොර සහ අස්ථි පොහොර යන ප්‍රධාන කාබනික පොහොර වර්ග වේ. කාබනික ගොවීන් සත්ව පොහොර අක්කරයකට කිලෝග්‍රෑම් 120.2 ක්, කොළ පොහොර අක්කරයකට කිලෝග්‍රෑම් 28 ක් සහ අස්ථි පොහොර අක්කර අක්කරයකට කිලෝග්‍රෑම් 35 ක් භාවිතා කරන බවත්;  තවද, කාබනික ගොවීන් වගාවන් සඳහා සාමාන්‍යයෙන් අක්කරයකට කිලෝග්‍රෑම් 539.6 ජෛව පළිබෝධනාශක භාවිතා කරනු ලබන බවද සමීක්ෂණය පෙන්වා දෙයි.

දැන් අප අක්කරයක් නිසි ප්‍රමිතියකට පොහොර කිරීම සදහා අවශ්‍ය සත්ත්ව, කොළ හා අස්ථි පොහොර ප්‍රමාණය දනිමු. දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2014 තම ව්‍යාපෘතියේ දී කියන ප්‍රමිතියෙන් යුක්ත කාබනික පොහොර කිලෝග්‍රෑම් 50 ක තිබිය යුතු පෙර කී සත්ත්ව/ශාක/අස්ථි පෝෂක අනුපාතයක් සකසා ගත හැකිය. එමෙන්ම එම  අනුපාතය අනුව රටට අවශ්‍ය කරන මුළු කාබනික පොහොර ප්‍රමාණය; කුඹුරු අක්කරයකට අවශ්‍ය පොහොර ප්‍රමාණය රටේ කුඹුරු අක්කර ප්‍රමාණයෙන් වැඩි කිරීමෙන් ලබා ගත හැකිය. එකල්හි මේ සමීක්ෂණයේ ගොවියන් කරන යෙදවුම් කිරීමට අවශ්‍ය සත්ත්ව,ශාඛා හා අස්ථි ප්‍රමාණය සොයා ගැනීම මේ රටෙන් කළ හැක්කක් නොවන බව පැහැදිලි වනු ඇත. (උදා: සත්ත්ව පොහොර කිලෝ 120.2 X 1,828,000 – කිලෝ කීයක් ඕනද?) උතුරු කොරියාවේ නැතිනම් අතීත ජපානයේ මෙන් ක්‍රියා කිරීමෙන් මෙරට වැසිකිළි ප්‍රශ්නයට විසදුමක් දීමට හැකි යයි මහින්දානන්ද තුමා කල්පනා නොකරන්නේ දැයි යි විමතියකි. – එතකොට කටු පොහොර කිලෝග්‍රෑම් 35X 1,828,000 (දැන් මීනී වලවලුත් හෑරීමට සිදු වෙන්නා සේ ය.) මින් පෙනීයන්නේ ගොවීන්ගෙන් සුළු ප්‍රතිශතයකට පමණක් මේ අයුරු කුඹුරු කළ හැකි බවයි. එකල්හි සමීක්ෂණයෙන් ආ ප්‍රතිඵල නොව 40% ප්‍රතිඵලය සත්‍ය වීමට ඉඩ තිබේ. කොළ පොහොර සඳහා කොයිතරම් ගහ කොට විනාශ කළ යුතු ද?

රටේ සහල් නිෂ්පාදනය පහල වැටීම පෝෂණය බිඳවැටීට ඍජු දායකත්වයක් සපයනු ඇත. එහි දී ප්‍රාථමික ලෙස ඉපදීමට යන පරපුර අභියෝගයට ලක් වනු ඇත. අඩුබර දරු උපත්, ගැඹිනි මව්වරුන්ගේ රක්ත හීනතාවය, ක්ෂණිකයව ඉහල යනු ඇති අතර එහි ආසන්න ප්‍රතිඵලය වනු ඇත්තේ මව්වරුන්ගේ  ඉන් ලදරු හා මාතෘ මරණ අනුපාත පිම්මේ ඉහළ නංවනු ලැබීමයි. අනතුරුව කොරෝනා මුළුගන්වමින් දැනට යටපත් වී ඇති වසංගත යළි පණ ගසා වැඩ අරඹනු ඇත.

ගණන් හදා ගැනීමේ දී අවශ්‍ය තවත් දත්ත කිහිපයක් මෙසේ ය. 2019/2020 – අස්වනු නෙලන ලද අක්කර/හෙක්ටෙයාර් ගණන – අක්කර 1,828,000/ හෙක්ටෙයාර්  740,000 . අස්වැන්න (සාමාන්‍යය) අක්කරයකට බුසල් 87.87 – හෙක්ටෙයාරයකට කිලෝ ග්‍රෑම් 4,531. මුළු නිෂ්පාදනය බුසල් මිලියන 153.21 – මෙට්‍රික් ටොන් 3,197,000

ජනපතිවරයා විසින්, රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක භාවිතය හා ආනයනය තහනම් කිරීම පිළිබඳව දැනුවත් කිරීමට කැඳවනු ලැබ 2021 මැයි 29 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මෙසේ ද කියා තිබුණු බව එහි මාධ්‍ය අංශය වාර්තා කළේ ය.    

“පස නිසරු වී අස්වන්න අඩු වීමත්, ජෛව විවිධත්වය විනාශ වීමත් දක්නට තිබේ.. වකුගඩු, පිළිකා ඇතුළු බෝ නොවන රෝග රැසකට රජය විසින් දරන වියදම වාර්ෂිකව ඉහළ යමින් පවති… ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය මාර්ග අහිමි වීම, සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීම සහ ජනතාවගේ ඵලදායීතාව අඩුවීම රට මුහුණ දෙන අභියෝගයක් බවට පත්වී ඇත.”

පස නිසරුවී විශේෂ අස්වනු අඩු වීමක් සිදුව නැති බව පෙරදී ඉදිරිපත් කළ අස්වනු ගැන සංඛ්‍යා පෙන්වයි. වන විනාශය, කඩොලාන විනාශය, තෙත්බිම් ගොඩ කිරීම, සතුන්ගේ වාසභූමි විනාශය, ජල වහන පද්ධතීන් විනාශය පාලකයන්ගේ හා ඉහළ නිලධාරීන්ගේ අනුග්‍රහයෙන් සිදුවන ඉමක් නොපෙනෙන එකදු පාරිසරික විනාශයක් නො දකින ජනපතිවරයා දකින්නේ රසායන පොහොර භාවිතාවේ ව්‍යතිරේකයක් ලෙස ‘නයිට්‍රජන් දූෂණයෙන්’ සිදුවන පරිසර විනාශයන් පමණි. ඒ  මොහු නිකමම නිකං විලෝපිකයෙක් පමණක් වන නිසාය.

කෙසේ වෙතත් මේ ගජබින්ලංකාර සංශෝධන තේරුම් ගැනීමට පසුගිය ශතවර්ෂයක් පුරා මෙරට ජනතාවගේ අවම ජීවන් මට්ටම පිලිඹඳ තතු 1963 හරිත විප්ලවයට පෙර හා පසු කෙසේ වී දෝ යි බැලීම සෑහෙයි.

ළදරු මරණ අනුපාතය – උපත් 1000 කට
(ආසන්න දශමස්ථානයට)

1950 දී 98
1960 දී69
1970 දී49
1980 දී33
1990 දී22
2000 දී14
2010 දී09
2020 දී07

ආයු අපේක්ෂාව – පිරිමි හා ගැහැණු ලෙස වෙනම

1920/22 පි: 32.7 ගැ: 30.7 
1952 පි: 57.6ගැ: 55.5
1962/64  පි: 64.0ගැ: 63.7 
1970/72 පි: 64ගැ: 66.9
1980/82 පි: 67.7ගැ: 72.1   
2000/02  පි: 68.8ගැ: 77.2
2011/13 පි: 72.0ගැ: 78.6
2020ගැ:පි: 77.6
පොදුවේ

මාතෘ මරණ අනුපාත (මේ වන විට ලක්ෂයකට 37.2 දක්වා අඩු වී ඇත)

මන්දපෝෂණය, නිධන්ගත කුසගින්න ආදී සමාජ දත්ත එකතු කළ යුතුය. එමෙන් ම මිනිසුන්ගේ ප්‍රඥාවන්ත භාවයේ වර්ධනය ගණනයට ගත යුතුය. එය දේශීය පරිමානයෙන් සිදුවන්නක් නොව විශ්වීය මට්ටමින් සිදු වන්නකි.

එබැවින් අපි මේ රසායන පෝර සම්බන්ධයෙන් ද බැලිය යුත්තේ ඒ වෘධීන් සලකා බලමින් ය.

ගොවීන් වගා බිමට යොදනු ලබන නයිට්‍රජන් පොහොර මුළු ප්‍රමාණය ම අවශෝෂණය කරගැනීමට ශාකයකට හැකියාවක්‌ නැත. ශාකයට ලබාගැනීමට හැකි වන්නේ එයින් 30%ක ප්‍රමාණයක්‌ පමණි. ඉතිරි 70% ම පරිසරයට නිදහස්‌ වී යයි. මෙය මගින් සිදුවන පාරිසරික විනාශය අපි නයිට්‍රජන් දූෂණයට ලෙස හඳුන්වමු. මෙය ලොව පුරා මුහුණ දෙන ප්‍රශ්නයක් වන්නේ ය. මෙසේ සිදුවන පාරිසරික ප්‍රශ්ණයන් හා සිදු වන නයිට්‍රජන් නාස්තිය නැතිනම් අහිමි වීම වළක්වා ගත යුතු බව අවිවාදිත ය. එහි දී ශාකයේ නයිට්‍රජන් අවශෝෂණය කිරිමේ කාර්යක්ෂමතාව ගැනත්, මෙම නයිට්‍රජන් පොහොර ඉක්මනින් ජලයේ දියනොවන ස්පටික ලෙස නයිට්‍රජන් පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියාවත් සැලකීමෙන් මේ ප්‍රශ්නයට තිරසාර විසඳුමක්‌ සොයා ගැනීමට හැකි ය.

නයිට්‍රජන්, පොටෑසියම් හා පොස්‌පරස්‌ යන සාර්ව ශාක පෝෂක අතරින් කෘෂිකර්මාන්තයේ දී, ශාකයේ ආහාර, ජීව ස්‌කන්ධය (Bio-Mass) සහ තන්තු නිෂ්පාදනය කිරීමේ දී වඩාත් වැදගත් වන්නේ නයිට්‍රජන් ය. ඒ නිසා ආහාර වේලේ ගුණාත්මක බව මෙන්ම එහි ප්‍රමාණය ද අඩු නොකර විකල්ප නයිට්‍රජන් පොහොරක්‌ නිපදවීම විද්‍යාඥයන් ඉදිරියේ අද තිබෙන මග හැරිය නොහැකි වගකීමකි. තව වසර 09 කින් ලෝක ජනගහනය බිලියන 08 ක් වනු ඇත. අදත් ලෝවාසීන් නව දෙනෙකුගෙන් එක් අයෙක් නිධන්ගත කුසගින්නෙන් පෙළේ. මේ අභියෝගයට විසඳුම් සෙවීමට පර්යේෂකයෝ දැනටමත් යොමු වී සිටිති. විවිධ රසායනික ක්‍රියාවලි, ජෛව විද්‍යාත්මක ප්‍රවේශ හා නව තාක්ෂණික භාවිතය ඔස්‌සේ යමින් මේ ගැටලුවට විසඳුම් සෙවීමට ඔවුහු උත්සාහ කරති. නමුත් එක එල්ලේ සාර්ථකත්වයන් ඇති වන්නේ නැත.

යුද අවශ්‍යතා සඳහා වායුගෝලයෙන් නයිට්‍රජන් උකහා ගැනීමට ක්‍රම සොයා ගියා සේම මේ ප්‍රශ්නයට ද උත්තර ලැබෙන මොහොතක් එළඹෙන්නේ ය. කෙසේ වෙතත් පවතින පොහොර හා නව බෝග ප්‍රභේද පිළිබඳ සොයා ගැනීම් නොවන්නට මිනිසාගේ විද්‍යා දැනුමේ වර්ධනයට සාපේක්ෂව වේගයෙන් වර්ධනය වූ ලෝක ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය බරපතළ ප්‍රශ්නයක් වන්නට ඉඩ තිබුණි.

ඒ නිසා ප්‍රශ්නයට පිළිතුරු සොයා ඉතිහාසයට යෑමේ පොල්පොට්වාදය මානව විනාශයේ මගයි. ඉතිහාසයේ අත්දැකීම්/ ඝනීභූත ඥානය සොයා යෑම අවශ්‍යය. නමුත් ඉතිහාසයේ ජීවත් වීමට කටයුතු කිරීම නම් කිසි කලකත් නිවැරදි කළ නොහැකි බරපතළ වරදකි. වර්තමාන මුදල් හිඟකම නිසා හෝ එසේ කිරීමට සිතීම මගින් ජනාධිපතිවරයා කරන්නේ සමාජයට ගිනි තැබීමය. විදේශ විනිමය ප්‍රශ්නයට හේතුව තිරසාර සංවර්ධනයට හරස්ව පිහිටන ඔබගේම ඥාති-හිතමිත්‍රාදීන්ගේ අසාර සමාජ, ආර්ථික හා දේශපාලන කූටෝපායයන් විනා රසායනික පොහොර නම් නොවේ.

පළමු ලිපිය: අකාබනික පොහොර තහනම – සාගතයකට අතවැනීමක්!

Leave a Reply