[පහත දැක්වෙන්නේ මහාචාර්ය හොවාර්ඩ් නිකොලස් සහ බ්‍රෑම් නිකොලස් විසින් ”Why following IMF policy recommendations will lead to yet another debt crisis” මැයෙන් ft.lk වෙබ් අඩවියේ පළ කරන ලද ලිපියේ සිංහල පරිවර්ථනයයි. මහාචාර්ය හොවාර්ඩ් නිකොලස් ශ්‍රී ලාංකික ආර්ථික විද්‍යාඥයෙකි. සමාජ විද්‍යාඥයෙකි. බ්‍රෑම් නිකොලස් සංවර්ධනය සහ වෙනස්වීම් ගැන ලිපි සපයන ප්‍රකට සමාජ විශ්ලේෂකයෙකි.]


මෙහිදී අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති නිර්දේශවලට න්‍යායාත්මක සහ වාස්තවික පදනමක් නැතිවීම සහ සංවර්ධනය වන රටවලට දීර්ඝ කාලිනව ඔවුන් කරන හානිය සම්බන්ධයෙන් කලින් ඉදිරිපත් කළ තර්ක පදනම් කර ගෙන, ශ්‍රී ලංකාවේ මෑතක ඇති වූ ණය අර්බූදයේ දී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ භූමිකාව විමර්ශනය කිරීමට අදහස් කරමු. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ණය අර්බූදයේ හේතු කාරක ගැන ඔවුන්ගේ නිගමනයන්, නැතිනම් සාවද්‍ය නිගමනයන් සමග මෙවැනි අර්බූදවලට එම පිවිසුමේ පවතින දෝෂ සහගත භාවය පැහැදිලි කරන යෝජිත ප්‍රතිපත්ති මෙහිදී අපි සාකච්ඡා කරමු. වැඩි දුරටත් සාවද්‍ය නිගමනයන් මත පදනම් වූ එහි ප්‍රතිපත්ති නිර්දේශ අර්බුදයට තුඩු දුන් ව්‍යුහාත්මක ගැටලු ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වූ අතර ඉන් ආර්ථිකයේ දුර්වලතා වඩාත් තියුණු කරන බව පෙන්වා දීමට කැමැත්තෙමු.
සංවර්ධනය වන අනෙකුත් බොහෝ රටවල මෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති නිර්දේශ දැඩිව පිළිපදින්නේ නම් ශ්‍රී ලංකාව තවත් ණය අර්බුදයකට මුහුණ දෙනු ඇත. කෙසේ වුවත් දේශීය ණය අර්බූදය නිසා ශ්‍රී ලංකාවේ තත්වය වඩාත් සංකීර්ණ විය හැකිය.
ශ්‍රී ලංකාවේ ණය අර්බූදය ගැන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිගමනය සහ ඒ පිළිබඳ ප්‍රතිපත්ති නිර්දේශ
අන්තර්ජාතික මූල්‍ය අරමුදල කොවිඩ්-19 නිසා ආර්ථිකය වසා දැමීම, ඉන් පසුව ඇති වූ සැපයුම් හිඟකම, සහ යුක්‍රේන යුද්ධය සහ බටහිර රටවල් රුසියාවට එරෙහිව පනවන ලද සම්බාධක නිසා බලශක්ති මිල ගණන්වල ඇති වූ කම්පනය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතළ හානියක් සිදු කළ බව පොදුවේ පිළිගන්නා නමුත් මූලික වශයෙන් ඔවුන් අර්බූදයට හේතුව වශයෙන් දකින්නේ දේශීය සාධකයි. විශේෂයෙන්ම සඳහන් කරන්නේ අර්බූදයට මූලික වශයෙන්ම හේතු වූයේ ශ්‍රී ලංකාවේ මහ බැංකුව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමෙන් රාජ්‍ය වියදම් සඳහා අප්‍රමාණව මුදල් ලබා දුන් නිසා මුදල් සැපයුම (M 1) සීමාන්විත සේ ඉහළ යෑම ය.
ශ්‍රී ලංකාවේ ණය අර්බූදය පිළිබඳ මෙම නිගමනය මත පදනම්ව අන්තර්ජාතික මූල්‍ය අරමුදල, අයවැය පරතරය අඩු කිරීම, අයවැය හිගය පියවීමට මහ බැංකුවෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම නතර කිරීම, විනිමය අනුපාතයේ නම්‍යතාවය වැඩි කිරීම සහ නාමික සහ සැබෑ පොලි අනුපාත ඉහළ දැමීම නිර්දේශ කෙළේය. මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම නතර කිරීමේ පියවරක් වශයෙන් සහ එක්සත් ජනපදයේ ආණ්ඩුවෙන් කරන ලද බලපෑම නිසා අන්තර්ජාතික මූල්‍ය අරමුදල පැවති මුදල් පනත වෙනුවට නව මහ බැංකු පනතක් ගෙන එන ලෙස ඉල්ලා සිටියේය. නව මහ බැංකු පනතේ මුලික ප්‍රතිපාදනයක් වන්නේ සෘජුව හෝ වක්‍රව ආණ්ඩුවේ ණය මිලදි ගැනිම මහ බැංකුවට තහනම් කිරීම ය.
ඉන් අදහස් වන්නේ වෙනත් බොහෝ රටවල ප්‍රාථමික ණය වෙළඳ පොළෙන් හෝ ද්වීතික ණය වෙළඳ පොළෙන් ආණ්ඩුවේ ණය මිලදී ගැනීම මහ බැංකුවලින් සිදු වුවද ශ්‍රී ලංකාවේ මහ බැංකුව ආණ්ඩුවේ ණය මිලදී ගැනීමෙන් වැළැක්වීමය. මෙවැනි දෙයක් අන් කිසි රටක දක්නට නැත. අඩුම වශයෙන් ද්වීතික වෙළඳ පොළෙන් හෝ ණය මිලදී ගැනිමට ඉඩ සැලසීමේ වැදගත්කම වන්නේ මූල්‍ය බලධාරීන්ට පොලී අනුපාත කෙරේ වැඩි පාලනයක් කිරීමට හැකි වීම ය.
ශ්‍රී ලංකාවේ ණය අර්බූදය පිළිබඳ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිගමනය සහ ප්‍රතිපත්ති නිර්දේශ පිළිබඳ ගැටලුව
ශ්‍රී ලංකාවේ ණය අර්බූදය පිළිබඳ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිගමන ගැන අවධානය යොමු කළ යුතු මුල්ම වැරැද්ද වන්නේ එය සංශෝධිත ආකාරයෙන් හෝ ගර්හාවට ලක් වූ මුදල් පිළිබඳ ප්‍රමාණාත්මක න්‍යාය මත පදනම්වීම ය.
ඉන් පැන නගින දෙවන කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ ණය අර්බූදය පැහැදිලි කිරීමට යෙදා ගත් සංශෝධිත ප්‍රමාණාත්මක න්‍යායේ අතාර්කික ස්වභාවයයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල දකින ආකාරයට උද්ධමනයට සහ වෙළඳ හිගයට හේතු වන්නේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමෙන් මුදල් සැපයීම වැඩිවීම නොව සෘජුව හෝ වක්‍රව අයවැය පරතරය පියවීමට මුදල් නෝට්ටු මුද්‍රණයෙන් මුදල් සැපයීමේ වැඩි වීමයි.
තුන් වැනිව ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට හේතුව ලෙස සහ වඩාත් නිශ්චිතව ඒ බැඳුණු උද්ධමනයට හේතුව ආණ්ඩුවේ අයවැය පරතරය පියවා ගැනිමට සීමාන්විතව මුදල් නෝට්ටු මුද්‍රණය කිරිම බව නැවත නැවතත් පැවසුවත් එය තහවුරු කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල වාස්තවික සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත්ව ඇත. ඇත්තෙන්ම 2021-23 කාල සීමාවේ උද්ධමනයට හේතු වන්නේ විශේෂයෙන්ම බලශක්ති මිල ඉහළ යෑම ඇතුළත් සැපයුම් පැත්තේ සාධක බව පෙන්නුම් කරයි. මෙය 2023 මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ ද ඉස්මතු කර දක්වා ඇත. එහි දැක්වෙන ආකාරයට උද්ධමනයේ ඉහළ යෑමට වැඩි වශයෙන්ම හේතු වන්නේ සැපයුම් සාධකයි. උද්ධමනය සීමා කිරීම අරමුණු කර ගත් ඉල්ලුම කළමනාකරණයේ දැඩි ප්‍රතිපත්ති නිසා සැපයුම් පැත්තේ කම්පනය වඩාත් තීව්‍ර විය හැකියැයි මහ බැංකු වාර්තාව අනතුරු හඟවයි. (බලන්න 2024 මහ බැංකූවේ වාර්ෂික වාර්තාව)
සිවු වැනිව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ණය අර්බුදය පැහැදිලි කිරීමේ දී ශ්‍රී ලංකාව හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල අතර විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ 2015-2019 අතර කාලයේ දී ශ්‍රී ලංකාණ්ඩුව විශාල වශයෙන් සහ අනවශ්‍ය ආකාරයෙන් අන්තර්ජාතික රාජ්‍ය බැදුම්කර ( EFF ) එක්රැස් කර ගත් බව අමතක කරයි. 2019 වන විට ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රමාණය, විශේෂයෙන්ම අන්තර්ජාතික ස්වෛරී බැදුම්කර ප්‍රමාණය, කෙතරම් විශාල වූයේ ද යත් ණය ආපසු ගෙවීම ප්‍රශ්නයක් විය හැකි බව වඩ වඩාත් පැහැදිලි විය. ඇත්තෙන්ම මෙම ණය ඒකරාශී වීම සහ එම ණය ආපසු ගෙවීමට ආණ්ඩුවට නොහැකිය යන හැඟීම 2017-2019 අතර කාලයේ ශ්‍රී ලංකාවේ ණය ලබා ගැනීම සීඝ්‍රයෙන් පහත වැටීමට බලපෑ වැදගත් සාධකයක් විය.
අවසාන වශයෙන් වඩාත් වැදගත්ව ශ්‍රී ලංකාවේ ණය අර්බූදය නිගමනය කිරීමේ දී අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙනත් සංවර්ධනය වන බොහෝ රටවල ණය අර්බුද පිළිබඳ නිගමනය කිරීමේ දී මෙන් මෙම අර්බුදයට තුඩු දුන් ව්‍යුහාත්මක දුර්වලතා නොසලකා හරියි. ශ්‍රී ලංකාව සංවර්ධනය වන වෙනත් බොහෝ රටවලට මෙන් ගෝලීය ආර්ථිකයේ විශාල කඩා වැටීම්වලදී දුර්වල සහ අනතුරුදායක වෙළඳ සහ වර්තන ගෙවුම් හිඟ ශේෂ ඇති කරවන ගෝලීය ශ්‍රම විභජනයේ නිශ්චිත භූමිකාවකට පත් කර ඇත. ශ්‍රී ලංකාවේ විදෙස් ගෙවුම් ශේෂයේ නිතර නිතර ඇතිවන ප්‍රශ්නවලට සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහන වැඩ සටහන්වලට නැවත නැවතත් යොමුවීමටත් හේතුව වන්නේ මෙම ව්‍යුහාත්මක දුර්වලතාවයයි.
අන්තර්ජාතික අරමුදලේ ප්‍රතිපත්ති අනුගමනය කිරීමේ ප්‍රතිඵල
ශ්‍රී ලංකාව මෙම ප්‍රතිපත්ති නිර්දේශ අනුගමනය කිරීමේ එක් ආර්ථික ප්‍රතිඵලයක් වන්නේ එය දැනට මුහුණ දී ඇති දරා ගත නොහැකි පොලී ප්‍රමාණයයි. අරමුදලෙන් අවධාරණය කරන්නේ මූලික රාජ්‍ය ආදායම් අතිරික්තයයි. ( එනම් ණය මත පොලි ගෙවීම බැහැර කළ රාජ්‍ය ආදායම) මින් රටේ පොලී ප්‍රමාණයෙන් සහ පැහැදිලිවම බදු ආදායමේ පටු සීමාවන්ගෙන් අවධානය බැහැර කරයි. එය ශ්‍රී ලංකාවේ සමස්ත ණය බර ඕනෑම සංවර්ධනය වන රටකටත් වඩා වැඩිය යන්නත් අයවැය පරතරය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අඩකටත් වඩා අඩු වුවද 1980 ගණන්වල අග භාගයේ සිට ණය ප්‍රමාණය ඉහළ යමින් පවතින බවත් අමතක කර ඇත. ණය ආපසු ගෙවීමේ බර නිසා මහජන සේවාවන්, යටිතල පහසුකම් සහ සමාජ සුභ සාධන වැඩ සටහන් වැනි අත්‍යාවශ්‍ය ආයෝජන සීමා කර ආණ්ඩුවේ අනෙකුත් වියදම් කෙරේ මහත් පීඩණයක් ඇති කරන බවද අමතක කරයි. එහි ප්‍රතිඵලය වන්නේ දීර්ඝ කාලීන ආර්ථික වර්ධනය සහ රටේ සංවර්ධනය අත්හැර දමා රාජ්‍ය ආදායම් ස්ථාවර කර ගැනීම ය.
අරමුදලේ ප්‍රතිපත්ති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ දෙවන ප්‍රධාන ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික තරගකාරිත්වය දිගින් දිගටම පිරිහීම ය. මෙම පිරිහීම වඩාත් කැපී පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ රුපියලේ අගය ඉහළ යෑමෙනි. මුදල් ඒකකයේ වටිනාකම ඉහළ යෑමෙන් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන පදනමේ දුර්වලතාවයයි. විශේෂයෙන්ම අපනයනය සඳහා වූ සහ ආනයන ආදේශික කර්මාන්ත අංශවලය. (බලන්න නිකොලස් සහ නිකොලස් 2024) මෙය රටේ කාර්මික නිෂ්පාදන පදනම හැකිළීමට තුඩු දුන් අතර වෙළඳ අසමතුලිතතාවය සහ විදෙස් සංචිතවල අවදානම් තත්වය වඩාත් තීව්‍ර කෙරිණ. නිෂ්පාදන ධාරිතාවය සහ අපනයන විවිධාංගකරණය ශක්තිමත් කෙරෙන අර්ථාන්විත ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නොමැතිව ශ්‍රී ලංකාවට බාහිර මූල්‍යනය මත තව දුරටත් රැඳි සිටීමට සහ ආර්ථික අස්ථාවර චක්‍රය පැවතීමෙන්, අරමුදලේ මැදිහත්වීම් මත දිගටම රැඳී සිටීමටත් සිදු වනු ඇත.
ණය අර්බුදයෙන් පසුව අරමුදල ශ්‍රී ලංකාවේ රුපියලේ අගය ඉහළ මට්ටමක පවත්වා ගැනීම දිගින් දිගටම අවධාරණය කළ අතර එය විදෙස් ණය අර්බූදයට තුඩු දුන් වඩාත්ම වැදගත් හේතුවලින් එකක් බව සඳහන් කළ යුතුය. (2023 අන්තර්ජාතික මූල්‍ය අරමුදල) එසේ වුවත් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය තත්වය ගැන වූ අරමුදලේ මෑතක ඉදිරිපත් කළ වාර්තාවල, එම ප්‍රශ්නය වඩාත් තිව්‍ර වුවද ඒ ගැන සඳහනක් හෝ දක්නට නැත.
අවසාන සටහන්
මෙම ලිපියේ පළමු සහ දෙවන කොටස්වල දී වෙනත් සංවර්ධනය වන රටවලදී මෙන්ම ශ්‍රී ලංකාවේ ද විදෙස් ණය අර්බුදය විසඳීම සඳහා වූ අරමුදලේ ප්‍රතිපත්ති නිර්දේශ දුර්වල න්‍යායාත්මක සහ වාස්තවිත තත්වය මත පදනම් වන බව දැක්වූයෙමු. එම දුර්වලතා ඉස්මතු කිරීමෙන් අපි එහි සහාය පතන අනෙකුත් සංවර්ධනය වන රටවල් මෙන්ම ශ්‍රී ලංකාව මත අරමුදලෙන් පනවන ප්‍රතිපත්ති එම රටවල විදෙස් විනිමය අභියෝගවලට තිරසාර විසඳුම් නොලැබෙන්නේය යන තර්කය ඉදිරිපත් කෙළෙමු. ඒ වෙනුවට මෙම පියවර ආර්ථික අස්ථාවරත්වයේ මූලික හේතුවලට විසඳුම් නැතිව එම රටවල විදෙස් සංචිත තත්වය කෙටි කාලිනව ස්ථාවරත්වයක් ඇති කිරීමට යොමු වීමෙන් නැවත නැවතත් ණය අර්බූදවලට මුහුණ දීමේ අවදානමකට පත් කරයි.
ශ්‍රී ලංකාව මෑතක දී අරමුදල සමග ඇති කර ගත් විස්තීර්ණ අරමුදල් පහසුකම ( EEF) මෙම තර්කය වඩාත් ශක්තිමත් කරවයි. අරමුදල සංවර්ධනය වන රටවල් සමග ඇති කර ගන්නා පොදු ගිවිසුම්වල අයවැය හිගය අඩු කිරීම සහ දළ දේශීය නිෂ්පාදිතයට ඇති ණය අනුපාතය වැනි පොදු කොන්දේසිවලට අමතරව එක්සත් ජනපදයේ බලපෑම අනුව ණය අනුමත කිරීමේ කොන්දේසියක් වශයෙන් මහ බැංකු පනතක් පාර්ලිමේන්තුවෙන් සම්මත කළ යුතුයැයි දක්වා ඇත. මෙම නව ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණයක් වන්නේ මහ බැංකුවට සෘජුව හෝ වක්‍රව ආණ්ඩුවේ ණය මිලදී ගැනිම තහනම් කිරීම ය. වැදගත් වන්නේ මෙම ප්‍රතිපත්ති අවශ්‍යතාවය හේතු යුක්ති කිරීමේ කිසිම සාධකයක් ඔවුන් ඉදිරිපත් නොකිරීම ය. අප දන්නා ආකාරයට අරමුදල සංවර්ධනය වන රටකට විස්තීර්ණ අරමුදල් පහසුකම ලබා දීමේ දී මෙවැනි කොන්දේසියක් පැන වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
වඩාත්ම කැපී පෙනෙන කරුන වන්නේ විදෙස් ණය ගෙවීම පැහැර හැරීමට තුඩු දුන් කාල සීමාවට පෙර හෝ පසුව අයවැය පරතරය පියවීමට මහ බැංකුවෙන් ආණ්ඩුව ලබා ගත් ණය ප්‍රමාණය සංවර්ධනය වන සෙසු රටවල් සමග සැසඳීමේ දී විශාල නොවිම ය. (බලන්න ලෝක බැංකුව 2024) එසේ වුවත් හිතුවක්කාර ලෙස සහ වාස්තවික හේතු යුක්ති කිරීමක් නැතිවම ශ්‍රී ලංකාව මෙවැනි කොන්දේසියකට යටත් කර ඇත.
අවසාන වශයෙන් ශ්‍රී ලංකාව දැනට අත්සන් කර ඇති ගිවිසුමෙන් මීට පෙර අරමුදල සමග අත්සන් කළ විස්තිර්ණ අරමුදල් පහසුකම් ගිවිසුම් 16ට වඩා තිරසාර විදෙස් ගෙවුම් ශේෂයක් අත් කර ගනු ඇතැයි සිතීමට හේතුවක් දක්නට නැත. මහ බැංකුවට ආණ්ඩුවේ ණය මිලදී ගැනීමට හැකි කරවන පුළුල් ප්‍රතිපත්ති නොමැතිව, අපනයන කාර්මිකකරණ ප්‍රවර්ධනය සහ ආර්ථිකය් ව්‍යුහාත්මක දුර්වලතා විසඳන්නේ නැතිව මෙම වැඩ සටහනේ දීර්ඝ කාලීන ප්‍රතිඵල ගැන සැක සංකා මතු කිරීමට බොහෝ හේතු පවතී. වඩාත් වැදගත් වන්නේ ශ්‍රී ලංකාව තවත් විදෙස් විනිමය අර්බූදයකට මුහුණ දෙන්නේ ද යන්න නොව එය සිදු වන්නේ කවදා ද සහ එහි ආර්ථික සහ දේශපාලන ප්‍රතිඵල මොනවාද යන්නයි.
මහාචාර්ය හොවාර්ඩ් නිකොලස් | බ්‍රෑම් නිකොලස්
- අරමුදලේ ප්‍රතිපත්ති නිර්දේශ වලින් තවත් ණය අර්බුදයකට? - April 11, 2025
- ඊශ්‍රායෙලය ඝාතනය කළ හමාස් නායක යෙහ්යා අල් සින්වාර් ගේ අන්තිම කැමැත්ත.. - November 6, 2024
- අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් ගිවිසුම නැවත සලකා බැලිය යුතුයි.. - July 1, 2024