You are currently viewing අපේ රටේ බහුජන ව්‍යාපාරවල ඉතිහාසය, බලපෑම හා අනාගතය..

අපේ රටේ බහුජන ව්‍යාපාරවල ඉතිහාසය, බලපෑම හා අනාගතය..

දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා සිවිල් සමාජය මුල් කර ගත් බහුජන ව්‍යාපාර ගොඩනගන ලද ඉතිහාසයක් අපට තිබෙනවා. සැලකිය යුතු සමාජ දේශපාලන බලපෑමක් සිදු කර ඇති බහුජන ව්‍යාපාර ගණනාවක් තිබෙනවා. ඒවායින් කීපයක් පහත දැක්වේ.

ලංකා ගුරු සංගමයේ මූලිකත්වයෙන් ගොඩනගන ලද, 71 දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජනතා ව්‍යාපාරය. 80 ජූලි මහ වැඩවර්ජනය නිසා රැකියාවෙන් දොට්ට දැමූ සටන්කාමීන් පිරිසකගේ මූලිකත්වයෙන් ගොඩනගන ලද, ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකගැනීමේ ව්‍යාපාරය(MDDR) සහ නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරය(MFFE). රාජ්‍ය නොවන සංවිධාන හා රාවය පුවත්පතේ මූලිකත්වයෙන් ගොඩනගන ලද, කහපටි ව්‍යාපාරය. සරත් ප්‍රනාන්දු ගේ මූලිකත්වයෙන් ගොඩනගන ලද, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය(MONLAR). සෝභිත හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් ගොඩනගන ලද, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.

  1. මානව අයිතිවාසිකම්, සියලු ජන කොටස්වල පොදු අවශ්‍යතාවයක් බවට පත් වීම.
  2. මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අධිකරණ ප්‍රවණතාවක් ඇති වීම.
  3. අයිතිවාසිකමක් ලෙස විරෝධතා දැක්වීමේ ප්‍රවණතාවක් ඇති වීම.
  4. නිදහස් හා සාධාරණ මැතිවරණ තහවුරු කර ගැනීම සඳහා මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍ර කර ගෙන බලපෑම් කිරීමේ ප්‍රවණතාවක් ඇති වීම.
  5. ස්වාධීන කොමිෂන් සභා ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවණතාවක් ඇති වීම.
  6. පරිසරය සුරැකීම සඳහා සටන් කිරීමේ ප්‍රවණතාවක් ඇති වීම.
  7. ස්ත්‍රී අයිතිවාසිකම් උදෙසා සටන් කිරීමේ ප්‍රවණතාවක් ඇති වීම.
  8. අයිතිවාසිකම් පාදක(rights based) සටන්වලට ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමේ ප්‍රවණතාවක් ඇති වීම.
  9. අයිතිවාසිකම් පාදක අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් දියත් කිරීමේ ප්‍රවණතාවක් ඇති වීම.
  10. අයිතිවාසිකම් පාදක ශාස්ත්‍රීය, සාහිත්‍ය හා කලා නිර්මාණ බිහි කිරීමේ ප්‍රවණතාවක් ඇති වීම.

මේ විදියට බැලූ විට පෙනී යන්නේ වර්ග, ආගම්, ප්‍රදේශ, භාෂා, ලිංග, පන්ති, පක්ෂ බේදයක් නැතිව, අපේ රටේ සියලු ජන කොටස්, මානව අයිතිවාසිකම් උපයෝගී කර ගෙන, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කරමින් සිටින බවයි. මානව අයිතිවාසිකම් පාදක දේශපාලන වැඩ සඳහා, අරගල සහ මැතිවරණ යන අවස්ථා දෙක ම උපයෝගී කර ගෙන තිබෙන බවයි. 70 දශකයේ අග භාගයේ සිට ‘බහුජන ව්‍යාපාර’ නමැති නව දේශපාලන ප්‍රවණතාවක් ඇති වී තිබෙන බවයි.

පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය දකින පුරවැසියන්ට කළ හැක්කේ ද, ඔවුන් කළ යුත්තේ ද, මේ නව දේශපාලන ප්‍රවණතාව ප්‍රවර්ධනය කිරීම නො වේ ද? ඒ සඳහා දැන් රටට අවශ්‍ය කෙබඳු බහුජන ව්‍යාපාරයක් ද?

බොහෝ විට මැතිවරණ මගින් ආණ්ඩු මාරුවක් සිදු විය හැකියි. සමහර විට ආණ්ඩු මාරුවක් සිදු වීම වැළැක්විය හැකියි.

ආණ්ඩු මාරුවක් සිදු වුණත් සුළුතරයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා බහුතරය පෙළඹවිය හැකි පුළුල් බහුජන ව්‍යාපාරයක් නැතිව ජනවාර්ගික ප්‍රශ්නය වත් විසඳිය හැකි වෙයි ද?

ආණ්ඩු මාරුවක් සිදු වීම වැළැක්වුවත් ඊට එරෙහිව සටන් කිරීමට උතුරේ සහ දකුණේ ජනතාව එකමුතු කළ හැකි පුළුල් බහුජන ව්‍යාපාරයක් නැතිව නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලබා ගන්න වත් පුළුවන් වෙයි ද?

කෙටියෙන් ම කියනවා නම් උතුරේ ජනතාව සමග එකමුතු නොවී දකුණේ ජනතාවට හෝ දකුණේ ජනතාව සමග එකමුතු නොවී උතුරේ ජනතාවට තනිව ම නිදහස හා මානව අයිතිවාසිකම් තහවුරු කර ගැනීමට හැකියාවක් ඇත්තේ නැහැ. නිදහස හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවක් ගොඩනැගීම සඳහා අත්තිවාරම දා ගැනීමට වත් හැකියාවක් ඇත්තේ නැහැ.

මෙවැනි වාතාවරණයක් තුළ දැන් රටට අවශ්‍ය වී තිබෙන්නේ උතුර, දකුණ, නැගෙනහිර, මලයගම් හා එතෙර ප්‍රජාතන්ත්‍රවාදී සමාජ දේශපාලන ක්‍රියාකාරීන් එකමුතු වෙලා ගොඩනගන පුළුල් බහුජන ව්‍යාපාරයක් නො වේ ද? මේ ප්‍රමුඛ ජාතික අවශ්‍යතාව දකින ප්‍රජාතන්ත්‍රවාදී සමාජ දේශපාලන ක්‍රියාකාරීන් දකුණේ, නැගෙනහිර, මලයගම් සහ එතෙරත් සිටිනවා නම් උතුරේ විතරක් නැති වෙන්න පුළුවන් ද?

Leave a Reply