සිරස මාධ්‍යවේදිනී ඔමායා කෝවිලගේ මෙහෙවන රූපවාහිනී වැඩ සටහනක් මේ දිනවල වෛරල් වෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී හයේ ශ්‍රේණියේ නව ඉංග්‍රීසි මොඩියුලයට අසැබියැයි කියන වෙබ් අඩවියක ලින්ක් එකක් පළවීම තමයි මේ සාකච්ඡාවට පාදක වෙලා තිබුණේ. දැන් මේ පොත් සියල්ල විනාශ කරන නිසා එය කෝටි හයක පමණ මුදලක පාඩුවක් බවත් සඳහන් වෙනවා. එම පාඩුව අයකර ගන්නේ කාගෙන්දැයි නිශ්චිත උත්තරයක් රජය පැත්තෙන් තාම නැහැ.
නමුත් මේ ලින්කුව කුමන්ත්රනකාරී ලෙස ඇතුල්කළ පුද්ගලයා කවුදැයි මේවන විට සොයාගෙන ඇතත් දැන්ම හෙළි නොකරන බවත් රජය නිවේදනය කර තිබෙනවා. සමහර විට මේ ෆයිල් එකත් ඉංදියාව සමග ගිවිසුම් අත්සන් කළ ෆයිල් තිබෙන ලාච්චුවට ගියොත් වැඩේ සුම්මා.
මාධ්‍යවේදිනී ඔමායා කෝවිලගේ එක තැනකදී මේ සිදුවීම පුංචි පුංචි වැරද්දක් ලෙස හඳුන්වනවා. නමුත් ආණ්ඩුවේ නියෝජිතයා වූ නජිත් ඉන්දික අමාත්‍යවරයා වහාම මැදිහත්වෙමින් මෙය පුංචි වැරද්දක් නෙමේ බරපතල වැරද්දක් බව පුන පුනා කියනවා. මේ විවාදය බලාගෙන ඉන්නකොට මට අතීත සිදුවීමක් මතක් වුණා.
රාජපක්ෂ – ජවිපෙ දෙමළ වර්ග සංහාර යුද්ධයෙන් පස්සේ මාධ්‍යවේදීන්, වේදිනියන් ගෙන්වලා සාකච්ඡාවක් කළා. ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය තමයි මේකෙ මූලිකත්වය ගත්තේ. කොල්ලුපිටියෙ හෝටලයක පැවැත් වූ මෙහි “පශ්චාත් යුද මාධ්‍ය වාර්තාකරණය” ගැන තමයි සාකච්ඡාව තිබුණේ. මේකෙදි දකුණේ සිංහල, ඉංග්‍රීසි මාධ්‍යයන්ට බොහෝ විවේචන එල්ල වුණා ඔවුන් උතුරේ සිදු වූ සිදුවීම් වාර්තා කළේ නැහැ කියලා. සිංහල හමුදාව විසින් කරනු ලබන පහර දීම්, පැහැරගෙන යාම්, අතුරුදහන් කිරිම් වාර්තා කළේ නැහැ කියලා තමයි වැඩි දෙනෙක් කිව්වේ.
ඒ අතරිනුත් බරපතලම චෝදනාව එල්ල වුණේ සරණාගත කඳවුරුවලදී කාන්තා, පිරිමි බේදයකින් තොරව බොහෝ දෙනා අපචාරයන්ට ගොදුරු වුණා කියලා. නමුත් මේවා මාධ්‍ය මගින් හෙළි කළේ නැහැ, දැනුවත්ව වසන් කළා කියලා. මේ සාකච්ඡාවට මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය, මාධ්‍යවේදී සුජීව දිසානායක ඇතුළු දහපහළොස් දෙනෙක් විතර සහභාගී වෙලා සිටියා. සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරන අදහස් ඉංග්‍රීසියට පරිවර්තනය කරමින් මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මූලාසනයේ හිටියා.
එක් එක්කෙනා පිළිවෙළට අදහස් දක්වමින් ඇවිත් සුජීව දිසානායකගේ වාරය ආවා. ඔහු කීවා “මෙතැන චෝදනාවක් ආවා සරණාගත කඳවුරුවල අපචාර සිදුවුණා කියලා. ඒවා ඔය කියන තරම් ඒවා නෙමේ. සුළු සුළු අපචාර” කියලා. මගේ වාරය තව දෙතුන් දෙනෙකුට පස්සේ. මට සුජීවගේ කතාව අහලා ඉවසුම් නැතිව ගියා. ඔහු අදහස් දැක්වීම නතර කළා. ඊළඟ මාධ්‍යවේදීයා අදහස් දක්වන්න සූදානම් වුණා. මම අත ඉස්සුවා. “මොකද කොත්තිගොඩ සහෝදරයා” කියලා සුනන්ද මගෙන් විමසුවා.
“..මට සුජීවගෙන් දැනගන්න පුළුවන්ද අපචාරයක පොඩි එකයි, ලොකු එකයි වෙන් කරගන්නේ කොහොමද කියලා. ඒකෙ සීමා මායිම් මොනවාද කියලා..,” යි මම විමසුවා. “..මේක සභාවක්. සභාවක පිළිවෙළක් තිබෙනවා වැඩ කරන. ඔහොම සභාවල් ගෙනියන්න බෑ..” යි කියලා අදහස් දැක්වීමට වෙන කෙනකුට සුනන්ද අවස්ථාව දුන්නා. ජාත්‍යන්තර නියෝජිතවරියට සුනන්ද මොන මොනවදෝ කියනවාත් මම දැක්කා.
දවල් කෑමට ගිහිල්ලා “..සුළු සුළු අපචාර නේද මචං..” කියමීන් උවිඳු කීප වරක් සුජීවට හිනාවුණා. එදායින් පස්සේ සුනන්ද මාව එවැනි කිසිම සාකච්ඡාවකට කැඳෙව්වේ නෑ. අතර මගදී, ප්‍රෙස් ක්ලබ් එකේදි මූණට මූණ හමුවුණත් අහක බලාගෙන ගියා මිසක සුජීව මා සමග හිනැහුනේවත් නෑ.
1994 දී චන්ද්‍රිකා බලයට ගේන්න සුජීව දිසානායක වේදිකා හදපු කෙනෙක්. ඊට පස්සේ මහින්ද ආණ්ඩුව වෙනුවෙන් පෑනේ තීන්ත ඉවර කරගත් කෙනෙක්. ඒනිසා ස්වාධීන, අපක්ෂපාතී කියලා මාධ්‍යවේදීන්, වේදිනියන් කොටසක් ලෝකේ කොහොවත් නෑ. තමන්ගේ හෝ ප්‍රාග්ධන හිමියගේ දෘෂ්ඨිවාදයක් උඩ තමයි ලියන්නේ, කියන්නේ. එනිසාම ස්වාධීන, අපක්ෂපාතී මාධ්‍ය වාර්තාකරණයක් කියලා එකක් තිබෙන්නත් බෑ. ඒවා නිකං ලිබරල් ෆැන්ටසි විතරයි.
මම බීබීසී සිංහල සංදේශයට ප්රවෘත්ති සපයන කාලයේ යුද්ධය ගජරාමට වවාගෙන ගිය කාලයක්. මම යුද විරෝධියෙක්. එල්ටීටීඊ ය දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන් කරන සංවිධානයක් කියලා පිළිගන්න කෙනෙක්. නව සම සමාජ පක්ෂයේ කෙනෙක්. මාධ්‍ය සාකච්ඡාවලදී හිතට එකඟ නැති කාරණාවක් නම් නැවත, නැවත ප්‍රශ්න කරනවා. මේ නිසා මට විරුද්ධව සංදේශයේ මූලස්ථානය වූ ලංඩන්වලට පෙත්සම් ගණනාවක් ගිහින් තිබුණා. මම ඇවිත් ප්‍රශ්න අහලා එයාලගේ කථිකයන් අන්නනවා කියලා එක් පෙත්සමක් යවලා තිබුණේ විමල් වීරවංශගේ පක්ෂයේ මුසම්මිල්. අනිත් නම් මම කියන්නේ නෑ.
සංදේශයේ එවකට ප්‍රධානී ප්‍රියත් ලියනගේ දිනක් මට කතා කළා. “..මචං උඹට විරුද්ධව පැමිණිලි රාශියක් ඇවිල්ලා තියෙනවා. ප්රවෘත්ති ඇතුළේ කරන්නේ උඹගේ දේශපාලනය කියලත් ඒ අතරේ තියෙනවා. ඒවා විභාග නොකර යන්න බැරි තැනටම පත්වෙලා තිබෙන්නේ. ඒක නිසා උඹේ පසුගිය ප්රවෘත්ති පරීක්ෂා කරළා වාර්තාවක් ලබාදෙන්න කියලා කොමිටියක් පත් කළා. ඒකෙ වාර්තාව අරගෙන තීන්දුවක් ගන්නා තෙක් උඹේ වාර්තා ගැනීම අපි නතර කරනවා..” යි ඔහු මට කීවා.
සති තුනකින් පමන පසුව ප්‍රියත් ලියන්ගේ යලිත් මට කතා කළා. “..කොමිටි වාර්තාව ලැබුණා. උඹට නගපු චෝදනා කිසිවක් උඹේ වාර්තාකරණයෙන් ඔප්පු වෙන්නේ නැහැ කියලයි ඔවුන් කියන්නේ. ජාතික ප්රශ්නය අරබයා ස්ථිරසාර අදහසක් උඹට තිබෙනවා කියලා පෙනෙනවා. ඒක අපට ප්‍රශ්නයක් නෙමේ. අපි ආපසු වැඩ පටන් ගනිමු..” යි ඔහු කීවා.
ඇත්තෙන්ම මගේ වාර්තාවල තිබුණේත් මගේ දේශපාලනය. ඒක ඇත්ත. ඒත් බීබීසී මාධ්‍යවේදීන්ට පවා ඒවා අසු නොවුනේ ඒ මතවාදය මගේම එකක් විනා වෙනත් කෙනකුගේ නොවුනු නිසා. මතවාදය මගේම නිසා ඉතා හොඳට ජීර්ණ වෙලා තියෙන්නේ. එමනිසා මම ඉතාම සූක්ෂම විදියට තමයි ඒවා එළන්නේ. වටේට මෝල්ට්. මැද චොකලට්. අනුන්ගේ බඩු විකුණන්න ගියාම අහුවෙනවා.
- ජනවාරිය කළු වුනේ දිවිපිදූ සියළු ජන මාධ්‍යවේදීන් වෙනුවෙන්.. - January 19, 2026
- අනුන්ට කඩේ යන ලිබරල් මාධ්‍යවේදීන්.. - January 16, 2026
- හිඟමන් වෙසින් සිටි කෝටිපතියන්ට වසන්තය උදාව.. - September 26, 2025