You are currently viewing අධ්‍යාපන උරුමය ද? කරුමය ද?

අධ්‍යාපන උරුමය ද? කරුමය ද?

ඔන්ලයින් ඉගැන්වීමේ ප්‍රශ්නයට හොඳ විසඳුමක් තිබේ.

නිදහස පමා වී නම් රටේ ඉරණම වෙනස් විය හැකිව තිබුණි.

පාවා දුන් නිදහස් අධ්‍යාපනයට පුණර්ජීවනයක් අත්‍යවශ්‍ය වේ.

කෝවිඩ් වසංගතය නිසා ආර්ථික අමාරුකම් ඇති වී තිබෙන ජාත්‍යන්තර පාසල්වල දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ට රජයේ පාසල් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත්, ඔවුන්ගේ ළමයින් මුල සිට ම ඉංග්‍රීසියෙන් ඉගෙන ගෙන තිබෙන නිසා එවැනි පාසල් පද්ධතියක් අලුතෙන් ගොඩනගා දීමට රජය කටයුතු කර ගෙන යන බවත් අධ්‍යාපන ලේකම් මෑත දී ප්‍රකාශ කළේය.

මෙම කතාව විවාදසම්පන්න එකක් බවට පත් විය. එසේ වුයේ එක අතකින් ඔන්ලයින් අධ්‍යාපනය නිසා ආර්ථික, තාක්ෂණික, සෞඛ්‍යමය, සමාජීය හා සංස්කෘතික වශයෙන් ළමයින්, ගුරුවරුන් හා දෙමාපියන් මුහුණ දී තිබෙන දැඩි පීඩනයයි. අනෙක් අතින් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට තිබෙන අධික සමාජ ඉල්ලුමයි.

ඔන්ලයින් අධ්‍යාපනය කුමකට ද?

මෙම වසංගත සමයේ නොකඩවා අධ්‍යාපනය ලබා දීමට තිබෙන ප්‍රශස්ත ම මාධ්‍ය රූපවාහිනියයි. ඒ සඳහා සිංහල-ඉංග්‍රීසි සහ දෙමළ-ඉංග්‍රීසි අධ්‍යාපන රූපවාහීනී නාලිකා දෙකක් ආරම්භ කළ හැකිය. එමගින් කිසිවෙකුට බරක් නැතිව රටේ හොඳ ම ගුරුවරුන්ගෙන් සියලු ළමයින්ට ආකර්ශනීය ලෙස අධ්‍යාපනය ලබා දිය හැකිය. ඊට අමතරව ශාස්ත්‍රීය සාකච්ඡා, මුතු මැණික් වන් දේශීය හා විදේශීය චිත්‍රපට හා නාට්‍ය ආදිය ඉදිරිපත් කළ හැකිය. මේ අයුරින් අධ්‍යාපන රූපවාහිනී නාලිකා පවුලේ දෙයක් බවට පත් කළ හැකිය.

මෙහි දී රූපවාහිනී පාඩම් යනු පන්ති කාමරයක උගන්වන ගුරුවරයෙක් වීඩියෝ ගත කර පෙන්වීම වැනි දෙයක් නොවන බවත් අවධාරණය කළ යුතුය. රූපවාහීනී මාධ්‍යයෙන් ඉගැන්වීම වෙන ම කලාවකි. රූපවාහිනී පාඩම් නිර්මාණය කිරීමට හැකියාව ඇති ගුරුවරුන්ගෙන් මෙකල අඩුවක් නැත.

2021_Aug_Edu_2

ඔන්ලයින් අධ්‍යාපනයේ දී මෙන්  අධ්‍යාපන රූපවාහිනී නාලිකාවලට සිග්නල් පිළිබඳ ගැටළුවක් ද නැත. දිවයිනේ ඕනෑ ම තැනක සිට සැටලයිට් ඩිෂ් මගින් හෝ රූපවාහිනී නාලිකා නැරඹිය හැකිය. එබැවින් සියලු ළමයින් ඔවුන්ගේ පවුල් පිටින් ම මෙවැනි වැඩසටහනට සම්බන්ධ කර ගත හැකිය. මෙවැනි වැඩසටහනක් මගින් පොදුවේ ගුරුවරුන්ගේ මට්ටම ද නිරායාසයෙන් සංවර්ධනය වනු ඇත.

මෙම යෝජනාව විවිධ පාර්ෂව වෙතින් ඉදිරිපත් වුව ද බලධාරීන් නෑසූ කන් ඇතිව සිටී. ඊට ප්‍රධාන හේතුව ආණ්ඩුව මහාපරිමාණ ටියුෂන් ව්‍යාපාරිකයන් මත යැපීම නොවේ ද? ඔවුන්ගේ පන්තිවලට එන ළමයින් ගිලිහී යාම වැළැක්වීම සඳහා නොවේ ද? මේ බලධාරීහූ පෞද්ගලික පාසල්වල දෙමාපියන්ගේ ආර්ථික අමාරුකම් ගැන බෙහෙවින් සංවේදී වී කිසිදු විචාරයකින් තොරව ඔවුගේ ඉල්ලීම් ඉටු කර දීමට යුහුසුළු වෙති. මේ අයුරින් නිදහසේ සිට ම අපේ රටේ පාලකයින් සිදු කළේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති විකෘති කිරීම නොවේ ද?

නිදහස පමා වී ලැබුණා නම් නරක ද?

යටත් පිරිසෙයින් තවත් වසර 10ක් වත් ප්‍රමාද වී නිදහස ලැබුණා නම්; ලංකාවේ ඉරණම මීට වඩා බෙහෙවින් වෙනස් වීමට ඉඩ තිබුණි. එසේ වූයේ නම් එක අතකට දේශපාලන වශයෙන් ලාංකාවේ ඉරණම තීරණය කැරෙන ප්‍රධාන සාධකය ලෙස වර්ග බේදය ඉස්මතු නොවීමට ඉඩ තිබුණි. අනෙක් අතට සමාජීය වශයෙන් ලාංකාවේ ඉරණම තීරණය කැරෙන ප්‍රධාන සාධකය ලෙස සැලකිය හැකි නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති ආපසු හැරවීමට නොහැකි තරම් දුරට තහවුරු වීමට ඉඩ තිබුණි.

මෙහි දී ඉහත කී නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිවලින් එකක් වූ ද්විභාෂා අධ්‍යාපනය ගැන පමණක් සලකා බලමු. එම ප්‍රතිපත්තිය අනුව සියලු ළමයින් පළමු ශ්‍රේණියේ සිට මව්භාෂාවෙන් ඉගෙනුම ලබන අතර, 3වැනි ශ්‍රේණියේ සිට දෙවන භාෂාව විෂයයක් වශයෙන් ඉගෙන ගෙන, 6වැනි ශ්‍රේණියේ සිට ඉහළට මව්භාෂාවෙන් විෂයයන් කිහිපයකුත් දෙවන භාෂාවෙන් විෂයයන් කිහිපයකුත් ඉගෙන ගත යුතු වේ. එකල මෙම ප්‍රතිපත්තිය ලොව වෙනත් කිසිදු රටක අත්හදා බලා නොතිබුණි. එහෙත් අද යුනෙස්කෝව පවා පිළිගත් මෙම ප්‍රතිපත්තිය ‘මව්භාෂාව පදනම් කර ගත් ද්විභාෂා අධ්‍යාපනය’ ලෙස හැඳින්වේ‍.

2021_Aug_Edu_4

මෙම ප්‍රතිපත්තිය අනුව සිංහල, දෙමළ, මුස්ලිම් හා මැලේ ළමයින්ගේ දෙවන භාෂාව ඉංග්‍රීසි වන විට බර්ගර් ළමයින්ගේ දෙවන භාෂාව සිංහල හෝ ඉංග්‍රීසි වන්නේය. මෙම ප්‍රතිපත්තිය යටතේ සියලු ගුරුවරුන් ද්විභාෂික වන්නේ යැයි ද, ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය(මෙකල සාමාන්‍ය පෙළ) සමත් සියලු ළමයින් ද්විභාෂික වන්නේ යැයි ද, 1943 නිදහස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ ම සඳහන් වේ. එහි ප්‍රායෝගික අර්ථය වන්නේ ලාංකිකයින් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් හෝ දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් එක සේ  සවන් දීම, කතා කිරීම, කියවීම හා ලිවීමට සමත් පුරවැසියන් වන බවයි.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගරයන්ගේ නායකත්වයෙන් සම්පාදනය කළ 1943 නිදහස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සම්මත වූයේ 1945 ජූනි 06 වැනි දාය. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අපේ රටේ අනාගත ඉරණම හැඩගැස්වීමේ විභවය සහිත ඓතිහාසික ලේඛනයකි. එය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු විසින් ම නව අධ්‍යාපන පනතක් ඉදිරිපත් කළේය. එම පනත ඡන්ද විමසීමකින් තොරව ම 1947 මැයි 27 වැනි දා සම්මත වූයේ මේ රටේ ජනතාව එක්සත්ව නැගී සිටි නිසාය.

2021_Aug_Edu_5
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර

එනමුත් එම වසරේ ම සැප්තැම්බර් 20 වැනි දා පැවති පළමුවැනි මහ මැතිවරණයෙන් පසු බලය ලබා ගත් ඩී.එස්.සේනානායක ඇතුළු දේශිය පාලකයින් තවදුරටත් අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරීමට සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරයන්ට ඉඩ නුදුන්නේය. ඒ වෙනුවට නරියාට කුකුල් කූඩුව බාර දුන්නා සේ නිදහස් අධ්‍යාපනයට එරෙහි වූ ඊ.ඒ.නුගවෙල ට අධ්‍යාපන ඇමති ධූරය පිරිනැමුවේය. මෙසේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගරයන්, කලන්දක ජාතක කතාවේ මුහුදට වැටුනු පැටවුන් බේරා ගත් බෝසත් ලේනා සේ අප්‍රතිහත ධෛර්යයෙන් හා නොපසුබස්නා වීර්යයෙන් බිහි කළ නිදහස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය අවුරුදු දෙකයි මාස තුනයි දින දාහතරක දී ඔහුගෙන් උදුරා ගත්තේය.

1948 ලංකාවට නිදහස නොලැබුණේ නම් දේශීය පාලකයින්ට එසේ කිරීමට අවස්ථාවක් නොලැබෙන්නේය.  එසේ වූයේ නම් නිසැකව ම ආපසු හැරවීමට නොහැකි වන සේ ද්විභාෂා අධ්‍යාපනය ඇතුළු නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති තහවුරු කිරීමට සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරයන්ට පුළුවන්කම තිබුණි. එය යථාර්තයක් වූයේ නම් නිදහසින් පසු වර්ග බේදය ඇවිල වූ ගිණි පුපුරක් වන් භාෂා බේදය තවදුරටත් පැවතීමට කිසිදු හේතුවක් ඉතිරි වන්නේ නැත. එපමණක් නොව රටේ දියුණුවට බොහෝ සෙයින් දායක වීමට හැකියාව තිබුණු උගත් බර්ගර් ජනයා රට හැර යාමට හේතුවක් ඇති වන්නේ ද නැත.

කරුමයෙන් නිදහස් විය නොහැකි ද?

ජනවාර්ගික යුද්ධයේ එක යහපත් ප්‍රතිඵලයක් වූයේ 2000 වන විට බලයේ සිටි ආණ්ඩුව ජාතික සමගිය ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව යළිත් ද්විභාෂා අධ්‍යාපන ප්‍රතිපත්තිය දෙසට හැරීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2002 දී නියමු ව්‍යාපෘතියක් ලෙස පාසල් කිහිපයකින් ද්විභාෂා අධ්‍යාපන වැඩසටහනක් ආරම්භ කැරිණි. පැවති අඩුපාඩු සහ බාධා ගැන සලකා බලන විට මෙම වැඩසටහන ඉදිරියට ගියේ ඊට ම ආවේනික ගුණාත්මක වටිනාකම් නිසා යැයි කිව හැකිය. ද්විභාෂා අධ්‍යාපනය ලද ළමයින් ප්‍රථම වරට 2007 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේය. ඔවුන්ගේ සමස්ථ ප්‍රතිඵල විශ්ලේෂණය කළ ද්විභාෂා අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රියතා නානායක්කාර ගේ ප්‍රකාශයක් 2009.08.30 දා සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබුණේ මෙසේය.

“සමස්ථයක් වශයෙන් අපේ රටේ ගණිතය සමත්වීමේ ප්‍රතිශතය 50% ක් තරම් බෙහෙවින් පහළ මට්ටමක පවතී. එනමුත් ද්විභාෂා අධ්‍යාපනය ලද ළමුන්ගෙන් 90% ට ආසන්න ප්‍රමාණයක් 2007 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය සමත්වී ඇත.”

ඊට අමතරව මෙම ලියුම්කරුගේ අධ්‍යයනයන්ට අනුව මව් ෂාවෙන් පමණක් ඉගෙන ගත් ළමයින් ට වඩා ද්විභාෂා අධ්‍යාපනය ලද ළමයින් සාමාන්‍ය පෙළ විභාගයේ දී මව්භාෂාව සමත්වීමේ ප්‍රතිශතය කැපී පෙනන තරම් ඉහළ මට්ටමක පවතී. ඒ කෙසේ වෙතත් විභාග ප්‍රතිඵලවලින් පමණක් ළමයකුගේ අධ්‍යාපන සාර්ථකත්වය තක්සේරු කිරීම කිසි සේත් නිවැරදි නොවේ.

ශ්‍රී ලංකාව වැනි භාෂා විවිධත්වයෙන් යුත් සමාජවල, ඉගැන්වීමේ භාෂාව කුමක් විය යුතු ද යන කාරණය පිළිබඳව  යුනෙස්කෝ සංවිධානය වෙනුවෙන් වික්ටෝරියා විශ්වවිද්‍යලයේ ආචාර්ය ජෙසිකා බෝල් විසින් කරන ලද අධ්‍යයන වාර්තාවේ (2010) මෙසේ සඳහන් කර තිබේ.

“පර්යේෂණවලට අනුව, දරුවන්ගේ භාෂා හැකියා සහ සමස්ත අධ්‍යාපනික ජයග්‍රහණ සමග ආත්ම විශ්වාසය සහ සංස්කෘතික අභිමානය පිණිස, මව්භාෂාව පදනම් කර ගත් ද්විභාෂා අධ්‍යාපනය වාසිදායක වී ඇත.”

මෙම නිගමනය අපේ රටේ දැනට ක්‍රියාත්මක වන ද්විභාෂා අධ්‍යාපනය සම්බන්ධයෙන් ද නිවැරදි වන බව ජීවමාන  සාක්ෂිවලින් තහවුරු වී තිබේ. එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශය සතු 2019 තොරතුරුවලට අනුව තවමත් අපේ රටේ ද්විභාෂා අධ්‍යාපන අවස්ථා ලබා දී තිබෙන්නේ පාසල් 733ක රටේ මුළු ශිෂ්‍ය ගහණයෙන් 3.81%කට පමණි. ලබන අවුරුද්ද වන විට මෙම වැඩසටහන පටන් ගෙන වසර 20කි. මේ කාලය ඇතුළත බලය ලබා ගත් ආණ්ඩුවල කුඩම්මාගේ සැලකිල්ල නොවන්නට, හොඳින් සැලසුම් කළ වැඩසටහනක් මගින් වසර 5ක් ඇතුළ රටේ සියලු ළමයින්ට ද්විභාෂා අධ්‍යාපන අවස්ථා ලබා දීමට හැකියාව තිබුණි. නිදසුනක් වශයෙන් විදුහල්පති කේ.ඒ.විමලකීර්ති ට ඇති බලවත් වුවමනාව නිසා සමාන්තර පන්ති 8ක් තිබෙන කුරුණෑගල ලක්දාස් ද මැල් විදුහලේ සියලු ළමයින්ට මෙම වසරේ සිට ද්විභාෂා අධ්‍යාපන අවස්ථා ලබා දී තිබේ.

මව් භාෂාව නොසලකා හැර මුල සිට ම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් උගන්වන ජාත්‍යන්තර පාසල් යනු ලාභ ලබන ව්‍යාපාර ජාලයකි. ඒවායේ ඉගෙනුම ලබන ළමයින් වෙනුවෙන් ඉංග්‍රීසියෙන් පමණක් උගන්වන රජයේ පාසල් පද්ධතියක් ගොඩනැගීමට රජයට තිබෙන්නේ පුදුම එළවන සුළු හදිස්සියකි. එහෙත් මුල සිට ම මව් භාෂාවෙන් ඉගැන්වීම නොසලකා හැර වෙනත් භාෂාවකින් පමණක් ඉගැන්වීම සුදුසු යැයි ලොව කිසිදු පර්යේෂණයකින් තහවුරු වී නැත. එහෙත් මුල සිටි ම මව්භාෂාවෙන් ඉගැන්වීමේ වැදගත්කමත්, ඒ සමග ම ද්විභාෂා අධ්‍යාපනයේ වැදගත්කමත් පර්යේෂණාත්මකව තහවුරු වී තිබේ. ඊට අමතරව මුල් ළමා වියේ සිට ම මව්භාෂාව ඇතුළු ද්විභාෂා අධ්‍යානය ලබා දීම, 2009 පැවති යුනෙස්කෝ ලෝක සමුළුව අනුමත කර තිබේ.

මේ අනුව ලංකාව මුහුණ පා සිටින විස්තීර්ණ අර්බුදයේ මූලය, එක අතකින් නිදහස ලබා ගෙන, අනික් අතින්  නිදහස් අධ්‍යාපන උරුමය එහි සතුරන්ට පාවා දීම දක්වා අතීතයට දිවැ යන බව ඉතා පැහැදිලිය. එබැවින් අධ්‍යාපන කරුමයේ විපාකවලින් නිදහස ලබන්නට නම් 1943 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවල උරුමය නැවත අත්පත් කර ගෙන ඊට පුනර්ජීවනයක් ලබා දීම අත්‍යවශ්‍ය වේ.

Leave a Reply