මීට මසකට පමණ පෙර, – එනම් මා රෝගාතුරවීමට පෙර – අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මා ලියූ කෙටි සටහනක මෙසේ යෝජනා කළෙමි. “ගුරු සංගම්, අන්තරේ, FUTA මෙන්ම අධ්‍යාපනය ගැන උනන්දු පුර වැසියන් මේ යෝජිත ප්‍රතිසංස්කරණයන් දෙස බැලිය යුත්තේ ‘අධ්‍යාපනයට සියයට 6 ක්’ යෝජනාවේ ප්‍රිසමය තුළිනි.” හරි හැටි සුවයක් නැතද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අපහසුවෙන් හෝ යමක් ලිවිය යුතු යැයි සිතීමි. අසනීපය මරණය වෙත මසකින් ළං කළ ද සිදුවීම් විසින් මා මසකින් පස්සට තල්ලු කර ඇත. එසේ වුවද, මසක කාලය තුළ ඇත්තටම ආංඩුව යෝජනා කරන්නේ කුමක්ද යන්න ගැන පැහදිලි උත්තරයක් දීමට අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය අසමත්ව ඈත. ඒ 2020 යෝජනා ද? එසේ නැත්නම් රනිල් වික්‍රමසිංහ සමයේ ගෙන ආ රාමුව ද? ආංඩුව කියන පරිදි මේ දෙකම නොවන තෙවැන්නක් ද? ඒ POWER POINT ඉදිරිපත් කිරිම ද? රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ POWER POINT PRESENTATION එකකට ඌණනය කිරීම කෙතෙක් දුරට සාධාරණ ද? ආංඩුව පැත්තෙන් එකී ඌණනය කරන අතර එහි විවේචකයෝ පැති දෙකකින් ඊටම සමාන ලඝු කිරීමක් කරති. එක් පැත්තකින් ප්‍රතිසංස්කරණයන්හි ඇතුළ් නොකෙරුන විෂයයන් ගැන කෙරෙන විවේචනයන් ය. නිර්මාල් ඇතුළු ඉතිහාසඥයන් සහ භික්ෂූන් වහන්සේලා සහ FUTA කථා කරන්නේ කොටු ඇතුළට ඇතුල් නොකෙරුන විෂයයන් ගැන ය. අණෙක් පැත්තෙන් එන විවේචනයෙන් කියවෙන්නේ මේ ප්‍රතිසංස්කරණ අලුත් ඒවා නොව, ධවල පත්‍රිකාවේ සිට ගෙන ආ ප්‍රතිසංස්කරණ යෝජනාවල කොපියක් බව ය.

ආංඩුව මෙම විවේචනයන්ට කෙසේ ප්‍රතිචාර දක්වයිද? මා හිතන විදියට ආංඩුව පළමු විවේචනය සැලකිල්ලට ගෙන එම සංශෝධන කරනු ඇත. එයින් ඊනියා ප්‍රතිසංස්කරණ දේහයට හානියක් නොවේ. ආංඩුව දෙවන විවේචනය නොසලකා හිටීවි. ජාතික ජන බලය ආංඩුවට එය හොදින් පුරුදු ය. ඇත්තටම රෝදය අලුතින් සොයාගත යුතු නැත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මූලික විවේචනයක් මේ වන විට ඉදිරිපත් කර ඇත්තේ අන්තරේ සහ මහාචාර්ය අර්ජුන පරාක්‍රම විසිනි. ප්‍රතිසංස්කරණ ගැන මූලික මානයන් පහකින් බැලිය යුතු යැ යි අර්ජුන යෝජනා කරයි. ඒවා මෙසේ ය.
- නිදහස් අධ්‍යාපනය;
- අධ්‍යාපනය අයිතියක් ලෙස;
- සාරාත්මක සමතාවය (අවම විභේදනය)
- අධ්‍යාපනය සමාගම් කරණය සහ භාංඩකරණය (commodification); සහ
- ප්රභූකරණ ප්‍රතිසංස්කරණ හරහා ප්‍රභූ පැලැන්තීන්ට නව විකල්ප විවර කිරීම.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා කරන්නන් ඒවා සාධාරණය කිරීම සඳහා ඉදිරිපත් කරන තර්ක අර්ජුන මතුකරණ මානයන්ගෙන් මතුවන දේ නොවේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කොළඹ පැවැත්වුණ සාකච්ඡාවකදී එක් සහභාගිවූවෙකු පළ කළ අදහසක් ගැන යමක් සටහන් කලයුතු යැයි සිතමි. (මට මෙම සාකච්ඡාවට සහභාගිවිමට නොහැකි වූයෙන් එහි පින්තූර රාමු කිහිපයක් මත පිහිටා ය මෙම සටහන ලියන්නේ.) “රස්සාවක් කරන්න නොහැකි අධ්‍යාපනය වස දීමකට සමානයැ” යි ඒ මහතා සදහන් කලේ ය. තම පැවැත්ම සපථ කර ගැන්මටත්, තමාගෙන් රටට හා සමාජයට සිදුවිය යුතු වගකීම් ඉටු කිරීමටත් සෑම පුද්ගලයෙකුටම කිසියම් නිපුණතාවයක් වගා කර ගැන්ම අවශ්‍ය වන්නේ ය. අධ්‍යාපනය එහි ලා ප්‍රධාන විපුල කාර්යභාරයක් ඉටු කරන්නේ ය, කළ යුතු ය යන්න ගැන විවාදයක් ඇතැ යි නො සිතමි. මෙහි ලා විශේෂයෙන් ම විධිමත් අධ්‍යාපනය (formal education) වෙත පැවරෙන වගකීම විශාල ය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සහ රැකියා අවස්ථා අතර නොගැලපීමක් ඇතැ යි 1960 ගණන් වලදි ඩඩ්ලි සියර්ස් වාර්තාව මගින් අවධාරණය කිරීමෙන් පසු හැම අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයෙක්ම සියර්ස් විරුද්ධාභාසය (Seers Paradox) ගැන සැලකිලිමත් වූහ. ප්රශ්නය ඇත්තේ එහි නොවේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා කරන විද්වතුන් සිතනබව පෙනෙන්නේ සියර්ස් විරුද්ධාභාසයට ආමන්ත්‍රණය කළ හැකි එකම මග ලෙස ඔවුන් දකින්නේ, නවලිබරල්වාදී මූලධර්ම මත පිහිටා එකී ප්‍රතිසංස්කරණ සූත්රගත කිරීම ය. මෙය දෘෂ්ටිවාදී ගැටලුවකි. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව එහි ආයතනික රූපරාමුව සකසා දේ.
ගුරු ප්‍රජාව, අන්තරේ, සහ ප්රගතිශීලි විද්වතුන් යෝජනා කරන්නේ නවලිබරල්වාදී රාමුව මත නොපිහිටා, අර්ජුන සදහන් කළ මානයන් හරහා ගොස් සියර්ස් විරුද්ධාභාසය ජයගත හැකි බව ය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මගේ මෙම තෙවන කෙටි සටහන ඉස්ටෙවන් මෙසාරොස්ගේ “අධ්‍යාපනය – ප්‍රාග්ධනයෙන් ඔබ්බට” (Rducation – Beyond Capital) ලිපියේ කොටසක කෙටි සාරාංශයකින් ඇරඹීම සුදුසු යැ යි සිතම්. හේ නිරීක්ෂණයන් දෙකක් ඉදිරිපත් කරයි.
- අධ්‍යාපන සහ පුලුල් පුනර්-නිෂ්පාදන සමාජ ක්‍රියාවලිය එකිනෙකට ඈඳී පවතින්නකි. ඒ අනුව, සමාජ දේහයේ පරිවර්තනයකින් තොරව අධ්‍යාපනයේ සැබෑ පරිවර්තනයක් විය නොහේ.
- එහෙත් දෙන ලද සමාජ ව්‍යුහය වෙනස් කළ නොහැක්කක් ලෙස පිළිගතහොත් අධ්‍යාපන ක්ෂේත්රයේ ඇති කළ හැක්කේ සිල්ලර වෙනස්කම් පමණි.
මෙසාරොස්ගේ මෙකී නිරීක්ෂණයන් මගේ සිහියට ආවේ අධ්‍යාපන විශේෂඥයෙකු වූ ආචාර්ය සුජාතා ගමගේ ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සම්මුඛ සාකච්ඡාවක විඩියෝවක් බැලීමේදී ය. ඇයට අනුව යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැගීම අනීවාර්ය වන්නේ ය. විභාගාභිමුඛ ඉගැන්වීම් වලින් ඉවත් විය යුතු වේ. පංති හෝ ඉන් පිටත ක්‍රියාකාරකම් ශිෂ්‍ය ඇගයීමට ඇතුල් කිරීම යහපත් පියවරකි. නව ක්‍රමය ප්‍රායෝගිකව අභ්‍යාස කළ හැකිවන ලෙස ගුරු පුහුණුව ඉදිරියට ගෙන යා යුතු වේ. විෂය මාලා යම් කුලකගත කිරීම අවශ්‍ය වේ. ආචාර්ය ගමගේ යෝජනා කරන මෙකී ප්‍රතිසංස්කරණ ගැන මට ලොකු කෝන්තරයක් නැත. ප්රශ්නය ඇත්තේ පුලුල් සමාජ දේහය එසේ තබා ගනිමින් කෙරෙන ඉහත සදහන් කළ ප්‍රතිසංස්කරණ ඇති කරන්නේ සිල්ලර ප්‍රතිසංස්කරණ ය.
අපි ආසන්න සාදෘශ්‍යයක් දෙස හැරෙමු.
ශ්‍රී ලංකාවේ පරිවහන ක්ෂේත්රය, විශේෂයෙන් දුම්රිය පරිවහනය, පුලුල් දුර දිග යන පරිවර්තනයකට ලක් කළ යුතු වේ. වායු සමීකරණය කළ මැදිරි, වෙන්කෙරුන ආසන මේ අතර වේ. ඒ වෙනස්කම් හොඳ ය. ආසනයක හිඳගෙන යාමට දැන් කෝච්චිය එනවිට දුවගෙන යාම දැන් වයසක මට අවශ්‍ය නොවේ. එය හොඳ ය. එහෙත් බහුතර ජනයාට මෙම වෙනස්කම් නිසා වී ඇති වාසියක් නැත. ඔව්හු තවමත් කෝච්චිය වේදිකාවට ඒමටත් පෙර නැග ගන්ට බලති. වහලේ නැග යති. විහිළු සහගත අලුත්ම වෙනස මහනුවරින් 6.15 ට එන නගරාන්තර දුම්රිය කඩුගන්නාවේ නැවත්වීමට ගෙන ඇති තීන්දුව ය. පොදු පරිවහන ප්‍රතිසංස්කරණ කළ යුත්තේ සමාජයේ පහළ මාලයට පහසුවක් සහ සහනයක් වන ලෙස ය.
කන්නගර නිදහස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉලක්ක කර ගත්තේ මේ වෙනස ය. ආචාර්ය එන් එම් පෙරේරා විභේදිත පාසැල් ක්‍රමය අඩු කිරීම හිර ගෙදර සිට ලියූ ලිපියකින් (the case for free education) යෝජනා කලේ එහෙයිනි. 1960 ගණන්වල ගත් පියවරයන් ඒ දෙසට යන ඒවා ය. කෙසේ වුවද 1977 න් පසු අනුගමනය කළ පිළිවෙත් මගින් කෙරුණේ මේ ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම ය. ආචාර්ය සුජාතා ගමගේ ඇතුළු බොහෝ අධ්‍යාපන විශේෂඥයන් මේ මානය ගැන නොසලකා හැරීම පෙන්වන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හුදු සිල්ලර සහ තාක්ෂනික මානයනට තනුක කිරීම ය.
- සොබාදහම, නිෂ්පාදන බලවේග, සමාජය සමග ත්‍රිකෝණීය සම්බන්ධතාවය හා ‘දිට්වා’ සුළි කුණාටුව! - December 17, 2025
- සුළු ධනේශ්වරයේ බයාදුකම පෙන්වන ආර්ථික ගමන් මග.. - November 14, 2025
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිල්ලර තාක්ෂණ මානයක් නොවේ.. - August 21, 2025