You are currently viewing සිසු දඩයම වහා නවත්වනු..!

සිසු දඩයම වහා නවත්වනු..!

mddr_letterhead_web

පුවත් පත් නිවේදනයයි.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරක්ෂිත කරන බවට සපථ කර තනතුරු භාර ගත් පාලකයන්ට එම ව්‍යවස්ථාව පිළිපැදීමට නිතර නිතර සිහිපත් කරවීමට සිදු වීම රටේ අභාගයයකි.

මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ පැහැදිලිව දක්වා ඇති ආකාරයට රටේ ජනතාවට භාෂණයේ” ප්‍රකාශනයේ සහ සංගම් පැවැත්වීමේ අයිතිවාසිකම තහවුරු කිරීම පාලකයන්ගේ යුතුකම වුවත් එය නොසලකා හිතුවක්කාර ලෙස කටයුතු කිරීම අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇත. මේ පිළිබඳ ව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොයෙකුත් වර පැහැදිලි කිරීම් සිදු කළ ද පාලකයන් ඒ ගණන් ගන්නේ නැත. ඉන් කියවෙන්නේ පාලකයන් නීතියට ගරු කරන්නේ නැත යන්නයි. 

පසුගිය දා සාමකාමී ව උද්ඝෝෂණයේ යෙදුණ විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු තරුණ තරුණියන්ට  ආරක්ෂක හමුදා විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කොට පහර දී අත් අඩංගුවට ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව නැවත වරක් තහවුරු කර ඇත.

වඩාත් ම පිළිකුල් සහගත වන්නේ අත් අඩංගුවට ගත් පිරිස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම ය.

සාමකාමී ව විරෝධතා දැක්වීම ත්‍රස්තවාදී ක්‍රියාවක් සේ සැලකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොසලකා ඒකාධිපති පාලනයකට අර ඇඳීමකි.

හදිසි නීතිය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ඇති සියලු දෙනා වහා නිදහස් කොට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු. මර්දනය දියත් කිරීමෙන් සිදු වන්නේ ආර්ථික දුර්භික්ෂයකට මුහුණ දී සිටින ජනතාව ප්‍රචණ්ඩත්වයට තල්ලු කිරීමක් බව පාලකයන් ඉතිහාසයෙන් ඉගෙන ගත යුතුය.

ජනතා පරමාධිපත්‍යයක් ලැබී නොමැති මෙම පාලකයන් වහාම ඉවත්ව, නව මහා මැතිවරණයක් පවත්වා ජනතාවට කැමති පාලනයක් තෝරා ගැනීමට ඉඩ සැලසීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කළ යුතුය.  

මහින්ද හත්තක
ලේකම්, ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැක ගැනීමේ ව්‍යාපාරය
– MDDR

Leave a Reply