ලංකා සමසමාජ පක්ෂයේ හිටපු නායක ආචාර්ය NM පෙරේරා අභාවප්‍රාප්ත වී මේ වන විට වසර 46 ක් ගත වී තිබේ. ඔහු මිය යන විට පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යවස්ථාදායකයේ සිටි ජේෂ්ඨතම නියෝජිතයාය. එමෙන්ම මෙරට ව්‍යවස්ථාදායකය දීර්ඝ කාලයක් අඛණ්ඩව නියෝජනය කළ දේශපාලනඥයාය. 1977 මහා මැතිවරණයෙන් NM පරාජයට පත් විය. ‘..NM පාර්ලිමේන්තුවේ නොසිටීම රටේ ව්‍යවස්ථාදායකයට බලවත් පාඩුවක්..’ යනුවෙන් හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන, NM ගේ පරාජය ගැන කළ ප්‍රකාශය මෙරට දේශපාලනයේ ප්‍රචලිතය.
NMපෙරේරා පාර්ලිමේන්තු විවාදවලදී දැක්වූ විචක්ෂණ භාවය, තර්කානුකූලව අදහස් ඉදිරිපත් කළ ආකාරය එවක මෙරට සිටි ඔහුගේ විරුද්ධවාදී පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ද පැසසුමට ලක් විය. ඒ අතර ලාංකේය ව්‍යවස්ථාදායකයේ ජේෂ්ඨයෝද වූහ. NM අන් අයගේ අදහස් උදහස්වලට සාවදානව සවන් දුන් අතර සිය මතවාදයන් ඒත්තු ගැන්වීමට පැහැදිලිව කරුණු ඉදිරිපත් කළේය.

1950 ගණන් අවසානයේදී මෙරට දේශපාලනයේ තීරණාත්මක තත්ත්වයන් මතුකළ ජාතික භාෂා ගෑටලුවේදී NM එම විවාදවලට සහභාගී වෙමින් අදහස් ඉදිරිපත් කළ ආකාරය වර්ථමානයේදී ද මෙරට දේශපාලනයේ සාකච්ඡාවට ලක් වේ. පසුකාලීනව සභාග දේශපාලනය හමුවේ NM ප්‍රමුඛ සමසමාජවාදීන් ඉදිරියට ගෙන ආ මතවාදයන් පරාජයට පත් විය. 1972 ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමේදී මෙම මතවාදයන් සමසමාජ නියෝජිතයින් විසින් තියුණු ලෙස මතු නොකළේයැයි යන්න අද දිනද විවේචනයට හසු වේ.
ලංකා සමසමාජ පක්ෂය සිය දේශපාලනය ආරම්භයේදී දැඩි ලෙස පිළිගත් මෙම මතවාදයන් ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල ස්ථාපිත කළේ නම් පසු කාලීනව මෙරට ඇති වූ බරපතල වියසනයක් සිදු නොවෙනු ඇති බව බොහෝ දේශපාලකයින්ගේ අදහසයි. නමුත් ජාතික භාෂා ප්‍රකාශනයේදී සමසමාජ මතවාදය ඉදිරියට දැමීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ වීමට හේතු ගණනාවක් බලපෑ අන්දම සමසමාජ පක්ෂයේ ඇතැම් ජේෂ්ඨයෝ කියා සිටියහ.
එවක සමගි පෙරමුණු ආණ්ඩුවේ සිටි ජාතිවාදී මතය දැරූ නියෝජිතයින්ගේ බලවත් විරෝධය මෙම ක්‍රියාන්විතයට හරස් වූ බව සමසමාජ පක්ෂයේ ඇතැම් පාක්ෂිකයෝ කියා සිටියහ. තවත් සමහරුන් කියා සිටියේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සිටි එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින්ගේ පෙළඹවීම මත ද්‍රවිඩ පක්ෂ නියෝජිතයින් ආණ්ඩු ක්‍රම සම්පාදක සාකච්ඡාවලින් ඉවත් වූ බවයි.එහිදී තමන්ගේ රජයක් යටතේ සුලු ජාතික අයිතිය තහවුරු කිරීමේ යෝජනා නියමිත පරිදි ඉදිරිපත් කිරීමට තිරසාර සැළසුම් ඇතැයි යන අදහස ඒත්තු ගන්වමින් ආණ්ඩු ක්‍රම සම්පාදක මණ්ඩලයේ ද්‍රවිඩ ජාතික පක්ෂ නියෝජනය වළක්වාලීමට එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් කටයුතු කළ බවද ඇතැම් ප්‍රකාශන අනුව පැහැදිලි විය.කෙසේ වුවද ඇති වූ තත්ත්වය පසුකාලීනව බලවත් ව්යසනකාරිත්වයක් මෙරට සමාජ දේශපාලනයේ නිර්මාණය කළේය.
1960 ජූලි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග නිතරඟ ගිවිසුමකට එළඹීම ලංකා සමසමාජ පක්ෂය ගත් තීන්දුවද බලවත් විවේචනයට ලක් වූවකි. 1965 දී ගනු ලැබූ සභාගවාදී තීරණය මෙහි කූටප්‍රාප්තිය නිර්මාණය කළේය. ගන්නා ලද මෙම තීරණයේ පූර්ණ චෝදනාව ආචාර්ය NM පෙරේරා වෙත එල්ල වුණි. නමුත් නැගී ඒමට නියමිතව තිබූ බලවත් අධිරාජ්‍යවාදී ගැති එකඟතාවයක් පරාජය කිරීමට මෙම තීරණයට පිවිසුණු බව ඇතැම් පැරණි සමසමාජවාදීහු අද ද කියා සිටිති.කෙසේ වුවද මෙහි ප්‍රතිඵලය වූයේ දකුණු ආසියාවේ විශාලතම ට්‍රොට්ස්කි පක්ෂය සිය ජාත්‍යන්තර නියෝජනයෙන් ඉවතට විසි වීමයි.
NMපෙරේරාට එල්ල වූ තවත් බලවත් විවේචනයක් වූයේ සමගි පෙරමුණු ආණ්ඩුව සමයේ නාගරික කම්කරු හා බැංකු ක්ෂේත්‍රයේ ඇති වූ නැගිටීම්වලට දැක් වූ ප්‍රතිවිරුද්ධ භාවයයි. මෙහිදී ලංකා සමසමාජ පක්ෂය පංති දේශපාලනයෙන් පූර්ණ වශයෙන්ම ඈත්ව යාමක් සිදුකළ බවට බලවත් විවේචන පැනනැගුණි. මෙම තත්ත්වයන් සියල්ල යටතේ සිදු වූයේ ලංකා සමසමාජ පක්ෂය තව දුරටත් කැබලි වී යාමයි.
මෙම බෙදී යාම් අතර බලවත්ම දෙදරා වැටීම සිදු වූයේ ආචාර්ය වික්‍රමබාහුගේ නායකත්වයෙන් නව සමසමාජ පක්ෂය බිහිවීම බව බොහෝ දෙනෙකුගේ අදහසයි.එම පක්ෂය කම්කරු පංතියේ දේශපාලනය ඉදිරියට ගෙන යනු ඇතැයි බොහෝ වාමාංශිකයෝ බලාපොරොත්තු සහගත වූහ. නමුත් එම බලාපොරොත්තු කොතරම් සඵලවීද යන්න විමසිය යුත්තකි. ලංකා සමසමාජ පක්ෂය ගත් තීන්දු තීරණවලට වඩා ප්‍රතිගාමී අන්තයන්ට එම පක්ෂය ඇද වැටුණි, යන විවේචනය මේ වන විට බොහෝ දෙනෙක් න.ස.ස.ප.යට එල්ල කරති.
2015 න් පසුව ලංකා සමසමාජ පක්ෂයේ ඇතිවූ තවත් විවේචනාත්මක පැතිකඩක් තියුණු මුහුණුවරකින් මතු විය.මේ යටතේ එහි බහුතර කණ්ඩායම නමින් ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ නායකත්වයෙන් ක්‍රියාත්මක දේශපාලනයට පිවිසුණි. එයද කෙටි කාල සීමාවකදී බිඳී විසිරී ගියේය. ඇතැම් කොටස් ප්‍රජාතන්ත්‍රීය ජයග්‍රහණය සාක්ෂාත් කිරීමේ අභිලාෂය පෙරදැරිව ගිය ගමන එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අරමුණ වෙත ළඟා විය. NM ගේ පංති විරෝධී දේශපාලනයට එරෙහිව නැගී සිටියවුන් ඔහු විසින් අත්හරින ලද දේශපාලනය ඉදිරියට ගෙන ගියාද යන විවේචනය අද දිනයේද මතු වෙමින් තිබේ.
විවේචනාත්මක තත්ත්වයන් ගණනාවක් යටතේ ලංකා සමසමාජ පක්ෂයේ තවත් කණ්ඩායමක් පොහොට්ටු පක්ෂය ශක්තිමත් කිරීමට මැදිහත් විය.මෙහි පරාජිතම ස්වරූපය මතුවූයේ තවත් පසු කලකදී, පැවති රාජපක්ෂ පාලනයට එරෙහිව විපක්ෂ කණ්ඩායම් බලමුලු ගනිද්දී ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු වශයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමය.මෙහිදී ඇති වූ ස්භාවය බොහෝ වාමාංශිකයින්ගේ බලවත් අප්‍රසාදයට හේතු විය.
NM සිටියා නම් එවැනි ක්‍රියාන්විතයකට කිසිසේත්ම නොයන බව මෙම අවස්ථාව සිහිපත් කරන බොහෝ සමසමාජ පාක්ෂිකයෝ කීහ.පසුගිය වසරකදී පැවති ඇන්.ඇම්.සමරු රැස්වීමකදී ආචාර්ය ජයදේව උයන්ගොඩ කියා සිටියේ ඇන්.ඇම්.සහෝදරයා ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීමට අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියාත්මක වූ දේශපාලනඥයෙක් බවයි.
මෙහි සුවිශේෂී පිළිබිඹුව, NM විසින් රචනා කරන ලද විධායක ජනාධිපති ව්‍යවස්ථාට විවේචනය තුලින් පැහැදිලි වන බව ඔහු ප්‍රකාශ කළේය.මෙරට දේශපාලනයේ ඇතිවීමට නියමිත අනාගත අගතිගාමිත්වය එම ව්‍යවස්ථාව නිර්මාණය කළ අවධියේදීම දැකීමට තරම් NM විචක්ෂණශීලි වූ බව ආචාර්ය ජයදේව උයන්ගොඩ එහිදී සඳහන් කළේය.කඬිනමින් වෙනස්කළ යුතුයැයි හඬ නැගෙන මෙම ව්‍යවස්ථාව, මෙරට දේශපාලනයේ අඳුරු පැතිකඩ ඉරා දැමීමට ඇති බලවත්ම බාධකය වී ඇත. එම ක්‍රියාන්විතය යථාර්ථයක් බවට පත් කිරීම ම NM සහෝදරයාට දක්වන උපහාරයකි.
- ශ්‍රී ලාංකේය ව්‍යවස්ථාදායකයේ කෘතහස්ත දේශපාලනඥයා: NM ගේ අභාවයෙන් වසර 46 ක්.. - August 14, 2025
- කලු ජූලියේ 42 වෙනි සිහිපත් කිරීම.. - July 27, 2025
- කළු ජූලියෙන් නූගත් පාඩම්.. - July 23, 2025