You are currently viewing ලෝක දෙකක් මැද පුංචි රටක් ඇත..

ලෝක දෙකක් මැද පුංචි රටක් ඇත..

ශ්‍රී ලංකා රාජ්‍යය වර්තමානයේ  බැරෑරුම් අර්බුද රැසකට මුහුණ දෙමින් තිබේ. මේ සියල්ල පොදු ජනතාවට පෙනී යන්නේ දේශයේ පාලකයන්ගේ වැරදි නිසා සිදු වූ බවය. නමුත් එය සම්පූර්ණයෙන්ම සත්‍යයක් නොවේ. වසර 74ක් තුල පාලකයින් කිසිවක් සිදු කර නොමැති බවට මතුකරන තර්කයේ යථාර්ථයද එය නොවේ. ශ්‍රී ලංකාව නිදහස ලබා ගත් පසුවත් ලෝකය ඉදිරියේ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූලෙස බලවත් රටවල් තවමත් පිලිනොගනී. තවමත් අපගේ සමාජයේ වැඩවසම්වාදී බැදීම් සම්පූර්ණයෙන්ම බිදී විසිරී යන පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී පෙරළියක් අවසන් වී නැත.   එබැවින් අප රටේ දේශීය පාලකයෝ බලවත් රටවල ඉත්තන් මෙන් කටයුතු කරති. අලුතෙන්  තමන්ට බලය ලබා දෙන ලෙස ඉල්ලන අයටත් අනෙක් අය කළ දෙයට වඩා යමක් කළ නොහැකි බව පැහැදිලි වන්නේ මේ දිනවල ඔවුන් ජනතාව ඉදිරියේ සිදු කරන කථාවලට සවන් දෙන විටය. ඔවුන් ද බලවත් රාජ්‍යන්ගේ අතකොළු ලෙස ක්‍රියා කිරීමට දැන්ම සිටම ගිවිස ගෙන ඇති බව පෙනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, 13 වෙනි සංශෝධනය ගැන ඔවුන්ගෙන්  විමසන විට හරිහැටි කිසිවක් නොකියා සිනාමුසු මුහුණින් මගහරින උපායේ නිරතවේ. 

සාපේක්ෂ ස්වාධීන වූ රටවල්

තුන්වෙනි ලෝකයේ යටත් විජිත තත්වයෙන් මිදුණු බොහෝ රටවලද ලංකාව මුහුණ දෙන මෙවැනි ආකාරයේ ප්‍රශ්න පවතී. යම් පමණකට ස්වාධීනත්වයක් පෙන්වමින්  වෙළඳපොළ පුළුල් කර ගත හැකිවූ රටවල් ජාත්‍යන්තර බලවතුන් සමග කේවල් කරගත  හැකි තත්වයක පසුවේ.  එයට හේතුව ඔවුන් නිදහස දිනා ගත්තේ ද දස දහස් ගණන් ජීවිත පරිත්‍යාග කර ගනිමින් යටත්විජිතවාදී පාලකයින් සමග මුහුණට මුහුණ ගැටුනු ආයුධ සන්නද්ධ අරගල මාවතකිනි. ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඉරානය වැනි රටවල් එම අත්දැකීම ලබා ගෙන ඇත. කියුබාව, වියට්නාමය, චීනය, උතුරු කොරියාව වැනි රටවල් ජාත්‍යන්තර වෙළඳපොළ බලවේගව සමග ගනුදෙනු කරන්නේ  ජනතා ජයග්‍රණයන් ආරක්ෂා කර ගෙනය.  ජාත්‍යන්තර වෙළඳපොළ අධිපතිවාදී බලය පාවිච්චි කරමින්, ඇතැම් රටවල් නායකයින් සමග විනාශ කර දැමූ ආකාරයද පෙනෙන්නට තිබේ. ලිබියාව, ඉරාකය එවැනි රටවල්ය. සිරියාවේ රටින් කොටසක් තවමත් යුද්ධ කලාපයකි.

මහත්මා ගාන්ධි | සුභාෂ් චන්ද්ර බෝස් | ජවහර්ලාල් නේරු.

ලංකාවට නිදහස ලබා ගැනීමට මූලික වූයේ දකුනු ආසියානු කලාපයේ යටත්විජිතවාදයට විරුද්ධව පැනනැගුණ ජාතික විමුක්ති සටන්ය. ගාන්ධි, සුභාෂ් චන්ද්‍ර බොස්, නේරු වැනි ජන නායකයින් එම සටන්වල පෙරමුණු ගත් අතර අවසානයේ ගාන්ධි-නේරු වැනි ජාතික නායකයින්ටද යටත්විජිතවාදී පාලකයින් සමග එකගතාවයන්ට පැමිණීමට සිදු විය. අවසානයේ මහා භාරතය කැබලි වලට කඩා නිදහස ලබා ගැනීමට ඉඩ සැලසුනි. එසේ වුවත් ඉන්දියාව ස්වාධීන රාජ්‍යකට අවැසි ව්‍යවස්ථාව ඔවුන් විසින්ම සකසා ගැනුනි. ලංකාවේදී සිදුවූයේ එහි කනපිටය. ඉන්දියානු නිදහස් සටනේ පාර්ශවකරුවන් ලෙස වාමාංශිකයින් හා ජාතිකවාදීන් එක් අතකින් කටයුතු කල අතර, ඉඩම් හිමි ව්‍යාපාරික පැලැන්තිය යටත්විජිතවාදීන් සමග ඇතිකර ගත් රහසිගත සම්මුති හරහා බ්‍රිතාන්‍යයේ කෙටුම්පත් කළ ව්‍යවස්ථාවක් මගින් දන නමා ධීනත්වයේ නිදහසක් ඇති කර ගත්තේය. මෙය මහා ඉහලින් ලේ නොසොල්වා දිනාගත් නිදහසක් ගැන කලු සුද්දන් මහ ඉහලින් කතා කලත් අපගේම ස්වාධීන වූ ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමටත් තවත් දශක දෙකහමාරක කාලයක් යටපත්ව සිටීමට සිදු විය. එම ස්වාධීනත්වය කඩිනමින් විනාශ කර දැමූ කලු සුද්දන්ගේ දෙවන පරපුර කල්පනා කලේ ලෝක වෙලදපොල බලවේගවල පාරාදීසයක් කිරීමටය. එය ඔවුන්ට පහසුවෙන් සිදු කර ගැනීමට පොදු ජනතාවගෙන් අද දක්වාම ඉඩක් නොලැබුනි. එය ශ්‍රී ලංකාව තුල අත්දකින සුවිශේෂි තත්වයකි. අමනෝඥ පාලකයින් හා ඊනියා ව්‍යාපාරික බුද්ධිමතුන් බටහිරට යටත්වූ සිංගප්පුරුවක බූරු සංකල්පයක පැටලී සිටින අතර ඔවුන් ඉන්දියාව මගහැර යන සංවර්ධනයක සිහින දකිති.

ධනපති ක්‍රමය හා ලෝක ආර්ථික ව්‍යුහය පසුගිය වසර 500 පුරා වේගයෙන් විවිධ ස්වරුප ගනිමින් වර්ධනය වූ අතර ඒ හැම මොහොතකම ලංකාවේ වෙනස්වීම්ද විශේෂයෙන්ම දකුණු ආසියානු කලාප සම්බන්ධයත් සමග වෙනස් විය. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව ජාතික නිදහස් අරගලය පැවති සමයේ සිට ලංකාවට ගමන් කළේ ඉන්දියානු කලාපයේ වර්ධනයන් ද සමගය. එය නොතකා ගමන් කිරීමට සැරසීම හැමවිටම ඇති කලේ අර්බුදයකි.  නිදහස් ඉන්දියාව ලෝක වෙළදපොල තරගය තුල  ස්වාධීනවය රැක ගෙන උපායිකව කටයුතු කරයි. පසුගිය වසර 74 තුල ලෝක වෙළදපොළ පරිසරය වෙනස්වෙන ආකාරයට මුහුණ දෙමින් තම ස්වාධීනත්වය හා ජාතික අයිතිය රැක ගනිමින් ඉන්දියාව මේවනවිට බලවතුන් අතර බලවතෙකුගේ තත්වයට ක්‍රමයෙන් පැමිණෙමින් තිබේ. වර්තමානය වනවිට තමන් යටත්කර ගෙන සිටි මහා බ්‍රිතාන්‍යයේ ආර්ථික මට්ටම අභිබවා යමින් ලෝකයේ 5වැනි හෝ 6 වැනි තැනකට පත්වෙමින් සිටී. එපමනක් නොව දකුනු ආසියානු කාලාපීය බලවතා මෙන්ම එම සාගර කලාපයේ බලවත්කම රැක ගැනීම වෙනුවෙන් ලෝක බලවතුන් සමග හැලහැප්පෙමින් කටයුතු කරමින් සිටින බව පෙනේ.  

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ තනි දූපතක් ලෙස ඉන්දියාවට ආසන්නයේ  සුවිශේෂී පිහිටීම නිසා වෙන කවරදාටත් වඩා ලංකාවේ පාලනය බටහිර බලවතුන්ට පක්ෂපාති රූකඩ පාලකයෙකු අත රදවා තබා ගැනීම අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත් වෙමින් තිබේ. එබැවින් ලංකාවේ වෙනස්වීම් දෙස උකුසු ඇසින් බලා සිටිමින් ඔවුන් ක්‍රමක්‍රමයෙන් මැදිහත්වීමට පටන් ගනිමින් ඇත. නවලිබරල්වාදය සෝවියට් දේශය පසාරු කරමින් ගමන් කිරීමෙන් පසුව ඔවුන් කල්පනා කලේ ධනවත් බහුජාතික සමාගම් මගින් මෙහෙයවිය හැකි ඒක ලෝක යථාර්තයක් ගැනය. නමුත් ඒ වනවිට යුරෝපා සංගමයේ එක්සත්වීමත්, චීනය නවලිබරල්වාදය තුල ආර්ථික බලවතෙක් බවට සීග්‍රයෙන් පත්වීමත්, රුසියාව පුටින් යටතේ නැවත බලගතු තත්වයට පත්වීම හා රුසියාවට පක්ෂපාති වූ බිදුනු රාජ්‍ය සමූහයක යුරෝ-ආසියානු සංගතයක් හදා ගැනීමට හැකිවීමත්, ලෝක ආර්ථක බලවතා මෙන්ම යුධ හා තාක්ෂණික යෝධයෙක් ලෙස හැසිරුනු ඇමරිකාවට පසුගිය වසර 10 ක පමණ කාලයක සිට මුහුණදීමට සිදුවූ හිසරදයක් විය. එනිසා ඔවුන් කල්පනා කල ඒකලෝක සංකල්පය බහුවිධි කලාපීය සංකල්පයක් ලෙස තේරුම් කර ගනිමින් ඔවුන්ගේ සමාගම්වල ආධිපත්‍ය බල ව්‍යුහය ආරක්ෂා කර ගැනීමට යුද්ධමය සැලසුම් මගින් සිදු කිරීම සදහා විවිධ උපායන් සකස් ගෙන ඇත. ඒ සදහා රටවල පාලන තන්ත්‍රයන් බිද දැමීමේ (Regime Change) වැඩපිලිවෙල ආසියා, අප්‍රිකා, ලතින් ඇමරිකානු රටවල මෙන්ම නැගෙනහිර යුරෝපීය රටවලද සිදු කර ගෙන ගියේය. එපමණක් නොව යුරෝපා සංගමය ශක්තිමත්වීම තුල නේටෝ හමුදා යුරෝපයෙන් ඉවත් කිරීම පිලිබද සාකච්ඡාවන්ද ඇරඹී තිබුනි. ඒ සියල්ල බිද දැමීමට බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන් කිරීමත්, යුක්රේනයේ පාලනය බිද දමා සෙලෙන්ස්කි පත්කර ගැනීම තුළ බියකරු සිතුවමක් සාමකාමි ලෝකයට දකින්නට සිදු විය. ඒ අනුව ඇමරිකානු යුද්ධ සැලසුම් නැවතත් එම කලාපය තුලද ශක්තිමත් කිරීමට පියවර ගැනුනි.

නව ලිබරල්වාදී ආර්ථික මෙහෙයුමේ අසාර්ථකත්වය පෙන්නුම් කිරීමට පටන් ගැනුනේ 2007 ලෝක ආර්ථික බිදවැටීමත් සමගය. එයත් සමග සිදු වූයේ ලෝක වෙළදපොල ආර්ථිකය නගා සිටුවීමට නායකත්වය ගන්නවාට වඩා යුද්ධ සැලසුම ශක්තිමත් කර දියුණුවන ආර්ථිකයන් කඩා බිද දමා එම සම්පත් බහුජාතික සමාගම්වල කොල්ලකෑමට ඉඩ හදා ගැනීමට උත්සාහ කිරීමය.  ඔවුන්ගේ ලෝකය හා එම ජනතාව නඩත්තු කර ගැනීමේ පිලිවෙතක් හැර දුප්පතුන් හා එම ජනතාව වෙසෙන කලාප නොතකා කටයුතු කිරීමය. ඉන්දියාව හා චීනය අතර ගැටුමක් ඇති කිරීම, තායිවානය හා චීනය අතර ගැටුම පවත්වා ගෙන යාම, දකුණු – උතුරු කොරියා ගැටුම පවත්වා ගෙනයාම ආදී මේ සියලු දේ ඒකාබද්ධ කර චීනයේ ඉන්දු පැසිපික් කලාපයේ ආධිපත්‍යයට විරුද්ධව උපායික සැලසුම් සදහා  ජපානය, ඇමරිකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සම්බන්ධ සිව් බලකායන් අතර සාකච්ඡාවන් වර්ධනය කිරීමට ඇමරිකාව 2020 සිට කටයුතු කර ඇත. මෙහිදී ඉන්දියානු සාගර කලාපයේ බලය මෙතෙක් පැවති ලෙස තමන් අත පවත්වා ගෙන යාමට ඉන්දියාව උනන්දු වන අතර, ඇමරිකාව එයට මුළුමනින්ම එකගත්වය ලබා දී නොමැත. එබැවින් ඇමරිකානු ඉන්දු පැසිපික් යුද්ධ සැලසුමට අනුව යුධමය නාවික කටයුතු සදහා අකුස් ( AUKUS) ගිවිසුම ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය හා ඔස්ට්‍රේලියාව එක්ව අත්සන් තබා ඇත. මෙය ඉංග්‍රිසිය කථා කරන  ලෝක යටත්විජිත මෙහෙයුමේ න්‍යෂ්ටික සැබ්මැරීන් ඉන්දියානු සාගරයේ රදවා තැබීමට ගත් භයානක පියවරකි. එබැවින් ඉන්දියාව හා ඔවුන්ගේ බටහිර මිතුරන් අතර යම් විරසකයක් මතු වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.  මෑතකදී එය බී.බී.සී. ය මගින් අගමැති මෝඩිගේ ක්‍රියාකලාපය විවේචනය වන මට්ටමේ වැඩසටහන් ප්‍රචාරයවීම හා එයට එරෙහිව ඉන්දීය රජය ක්‍රියාත්මකවීමද පෙනෙන්නට තිබේ. එපමණක් නොව රුසියානු යුධ ක්‍රියාමාර්ගයට විරුද්ධව බටහිර සම්භාධක නොතකා ඛනිජ තෙල් මිලදී ගැනීම සදහා ඉන්දියාව රූබල් – ඉන්දියානු රුපියල් හුවමාරු ගිවිසුමක් ක්‍රියාත්මක කරමින් අඩු මිලට ඉන්ධන මිලදී ගැනීම් සිදු කරමින් තිබේ. ලංකාවටද එම අවස්ථාව ලබා ගත හැකි වුවද ලංකා රජය බටහිර සමග පවත්වන යටත් සම්බන්ධය නිසා ආර්ථික වශයෙන් මෙතරම් අමාරු තත්වයකදී පවා එවැනි පියවරකට ගමන් නොකල අතර, එහි වාසියද ඉන්දියාවට ලැබෙන ආකාරයෙන් රුසියානු තෙල් ඉන්දියානු තෙල් සමාගම්වලින් ලෝක වෙළඳපොළේ ඩොලර් මිලගණන් යටතේ මිලදී ගැනීම විහිලු සහගතය.  ලංකාව දෙපැත්ත බේරා ගෙන වැඩ කරන්නේ මෙවැනි ආකාරයටය. 

රුසියාවට එරෙහිව  එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ගෙන එනු ලැබූ යෝජනාව ඉන්දියාව ලංකාව ඇතුලු රටවල් 32ක් මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කිරීම බටහිර නායකයින්ට නොරුස්සන පිලිවෙතකි. ඒ අතරම සංවර්ධිත රටවල් 20 සාකච්ඡාව පසුගියදා ඉන්දියාවේදී පැවති අවස්ථාවේදී රුසියාවට එරෙහිව යෝජනාවක් සම්මත කිරීමට ගත් උත්සාහයට ඉන්දියාවේ අකමැත්ත ප්‍රකාශ වී තිබේ.  යුක්‍රේන රුසියා යුද්ධය තියුණුවීමත් සමග සාගරය, ගොඩබිම හා අහස්කුස තම ආධිපත්‍ය යටතේ හසුරුවා ගැනීම ඇමරිකාව ප්‍රමුඛ බටහිරට සම්බන්ධ රටවල් කටයුතු කරමින් සිටින අතර ඉන්දියානු සාගරයේ හැසිරවීම් පිලිබදව ඉන්දියාව සමග යුද්ධ අභ්‍යාස සදහා ක්වොඩ් බලය මෙහෙයවන අතර අනිත් අතින් ලංකාව සමග අත්සන් තබා ඇති ඇක්සා සෝපා පැරණි ගිවිසුම් යුද්ධ තත්වයකට ගැලපෙන ආකාරයට යථාවත් කර ඇමරිකානු හමුදාවන්ට සේවා සැපයීම පමණක් නොව ඉන් ඔබ්බට ක්‍රියාත්මකවීම ගැන  ඇමරිකානු ආරක්ෂක අංශ රහසිගතව කටයුතු කරමින් තිබේ. මෙම එකදු ලියවිල්ලක්වත් පාර්ලිමේන්තුවට හෝ ජනතාව දැනගැනීමට ඉඩකඩ අහුරමින් තිබේ.  ඉන්දියාව සමග සම්බන්ධතාවය අපට වඩාත් අවශ්‍ය වන්නේ ලාංකික ජනතාවගේ ආරක්ෂාව පිලිබද පැත්තෙන් සිටන විටය. ඇමරිකන් ඩොලර්වලට කෑදර කමින් වර්තමාන පාලකයින් යුද්ධ ඇමරිකානු යුද්ධ කදවුරක් අපගේ භුමිය තුල පිහිටුවීමට ඉඩකඩ ලබා දුනහොත් ලෝක යුද්ධ තත්වයක් ඇති වුවන් නැතත් එයින් අපගේ ජනතාවට සිදුවිය හැකි අභ්‍යාග්‍ය සම්පන්න ඉරණම ගැන බොහෝ දෙනෙකු තේරුම් ගෙන ඇත. එසේම ඉන්දියාවද එවැනි කටයුත්තකට කිසිසේත් කැමති නොවන්නේ එය ඔවුන්ගේ ස්වාධීනත්වයට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බැවිනි.

ජේ.ආර්.-ප්‍රේමදාස- රනිල් විසින් 1978 සිට අසාර්ථක වූ වැඩපිලිවෙලම ගෝඨාභය පලවා හරනු ලැබූ අරගලයෙන් පසුවද අලි – පොහොට්ටු කල්ලිය විසින් ජනාධිපති රනිල්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කරයි. මැතිවරණ කල්දමා ගනිමින් රාජ්‍ය පාලනය ඔවුන්ගේ යැපුම් මාර්ගයක් කර ගෙන තිබේ. එනිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සූත්‍රයෙන් ජාත්‍යන්තර ණය ගොඩගැසීම හා ජාතික දේපොල බහුජාතික සමාගම්වලට විකිනීයාම මිස කිසිදු සංවර්ධනයක් රටට හෝ ජනතවට ලැබෙන්නේ නැත. පාලකයින් හා ඔවුන්ගේ බැලමෙහෙවරකම් කරන සීමිත පිරිසක්  අතර දේශපාලන බලය පමණක් නොව ආර්ථික බලයද ර‍දවා ගැනීමට දරන උත්සාහ තුළ ජාත්‍යන්තර වෙළඳපොළ බලවේගය පරාජය කිරීම සදහා එවැනිම ආකාරයෙන් ලෝකය පුරා ක්‍රම වෙනසක් වෙනුවෙන් අරගල කරන ජනතාවත් සමග එක්ව කටයුතු කිරීමට වැඩකරණ ජනතාවටත්, තරුණ තරුණියන්ටත්, පොදු ජනතාවටත් සිදු වනු ඇත. ජන අරගලය පැවතිය යුත්තේ ඒ සදහා දුර්ජන පාලකයන් පලවා හරින කෙවිටක් ලෙස පමණි.

Leave a Reply