You are currently viewing IMF ණයට විකල්පයක් නැද්ද?

IMF ණයට විකල්පයක් නැද්ද?

ජනතාව හිඟමනට පත්කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත ලබා ගන්නා ඩොලර් බිලියන 2.9 ක ණය වෙනුවට සමාගම් කිහිපයක් විසින් නීති විරෝධීව විදෙස් බැංකුවල රඳවාගෙන සිටින ඩොලර් බිලියන 53 කට අධික මුදලෙන් කොටසක් හෝ ලංකාවට රැගෙන එන ලෙස වෘත්තීය සමිති ගණනාවක් සහ රටේ විද්වතුන් විසින් කරන ලද ඉල්ලීම ආණ්ඩුව සහ මහ බැංකුව පමණක් නොව විපක්ෂය විසින් ද ප්‍රතික්ෂේප කර තිබේ.  මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේ දී සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසා ඇත්තේ IMF දෙනු ලබන උපදෙස් ක්‍රියාත්මක කිරීමට රජයට පූර්ණ සහාය දෙන බවයි.

රටේ ආනයන අපනයන වෙළදාමේ යෙදී සිටින ව්‍යාපාරික සමාගම් විසින් ලංකාවට ගෙන ආ යුතු ඩොලර් ඇතුළු විදෙස් මුදල් නීති විරෝධි ආකාරයට විදේශ බැංකුවල තැන්පත් කර ඇති බවත් මහ බැංකුවට හිමි නීතිමය බලය භාවිතා කර එම මුදල් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා එක්සත් කම්කරු සම්මේලනය ප්‍රමුඛ වෘත්තීය සමිති ගණනාවක් සහ බුද්ධිමතුන් රැසක් 2022 සැප්තැම්බර් 15 දින මහබැංකුවේ අධිපතිවරයාට ලිපියක් මගින් දැණුම් දුන්නේය.

එම ලිපියේ මෙසේ සඳහන් වේ

‘…මෙම පසුබිම තුළ ශ‍්‍රී ලංකාව 2022 වසරේ පළමු මාස හය තුළ එ.ජ. ඩොලර් බිලියන 6.5 (සේවා අපනයන හැර) සහ 2022 ජුනි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 21 ක වෙළඳ අතිරික්තයක් වාර්තා කළ ඉහළම වෙළඳ භාණ්ඩ අපනයන ආදායම වාර්තා කළේය. සේවා අපනයන ආදායම ද ඇතුළුව එ.ජ. ඩොලර් බිලියන 1.5 ක් සහ ඩොලර් බිලියන 1.6 ක ශ‍්‍රමිකයන්ගේ ප්‍රේෂණ ගලා ඒම 2022 පළමු අර්ධය තුළ ශ‍්‍රී ලංකාවේ මුළු ණය නොවන විදේශ විනිමය ලබා ගැනීමේ හැකියාව ඇමරිකානු ඩොලර් බිලියන 9.6 ක් වේ. අපනයන ආදායම ඉහළම මට්ටමක පවතින අතර විදේශ විනිමය සංචිත තත්ත්වය ඉහළම මට්ටමක පවතී. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ විනිමය සංචිතය 2022 ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.8 දක්වා පිරිහී ගිය අතර දේශීය මූල්‍ය පද්ධතිය නිදහසින් පසු දරුණුතම විදේශ විනිමය හිඟයට මුහුණ දී සිටී..

..අපනයන ආදායම ඉහළම මට්ටමක පවතින අතරම මූල්‍ය පද්ධතිය තුළ විදේශ විනිමය හිඟයක් ඇති කරන මූලික සාධකය වන්නේ අපනයනකරුවන් විසින් ඉතිරි අපනයන ආදායම නැවත මෙරටට නොගෙන ඒමයි. 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ 2021 ඔක්තෝම්බර් 28 දිනැති අංක 2251/42 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය යටතේ නිකුත් කරන ලද ‘අපනයන ආදායම ශ‍්‍රී ලංකාවට ආපසු හරවා යැවීමේ 2021 රීති අංක 5’ නම් නව රීති මගින් අවශේෂ අපනයන ආදායම නැව්ගත කිරීමේ හෝ සේවා සැපයීමේ දින සිට දින 180 ක් ඇතුළත දේශීය මූල්‍ය පද්ධතියට සම්පූර්ණයෙන්ම එක් කළ යුතු බවට රීති අංක 5 හි 3 (ස) වගන්තිය නියම කරයි. මෙම රීති කඩ කරන අවස්ථා වලදී මහ බැංකුවේ හි විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අනුකූල නොවීම සම්බන්ධයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට බලය ඇත (රීති අංක 5 හි 8 වන වගන්තිය)..

..මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා 2022 ජුලි 25 වැනි දින හෙළිදරව් කළේ අපනයන ආදායමෙන් 20%කටත් වඩා අඩු ප‍්‍රමාණයක් පරිවර්තනය වෙමින් පවතින බවයි, දැනට පරිවර්තන අනුපාතය ප‍්‍රකාශිත අපනයන ආදායමෙන් 10%කට වඩා අඩු අගයක් බව බැංකු ක්ෂේත‍්‍රයේ වෘත්තිකයන් ප‍්‍රකාශ කරති. 2021 මැද භාගයේදී පරිවර්තන අනුපාතය 65%ක් වූ බවද අධිපතිවරයා පෙන්වා දුන්නේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, ඉතිහාසයේ අපනයන ආදායම ඉහළම මට්ටමක පවතින සමයක ශ‍්‍රී ලංකාව මූල්‍ය පද්ධතිය තුළ විදේශ විනිමය ද්‍රවශීලතා හිඟයක් අත්විඳිමින් සිටී. ග්ලෝබල් ෆිනෑන්ෂල් ඉන්ටග‍්‍රිටි (Global Financial Integrity) නම් ගෝලීය පර්යේෂණ සංවිධානය විසින් ‘2009 – 2018 සංවර්ධනය වෙමින් පවතින රටවල් 134ක වෙළෙඳාම සම්බන්ධ නීතිවිරෝධී මූල්‍ය ප‍්‍රවාහයන්’ යන මැයෙන් නිකුත් කළ වාර්තාවක, 2009 සිට 2018 දක්වා කාලය තුළ අයථා ඉන්වොයිස් කිරීම (ආනයන අධි ඉන්වොයිසිකරණය සහ අපනයන අඩු ඉන්වොයිසිකරණය) මගින් අපනයනකරුවන් සහ ආනයනකරුවන් විසින් ශ‍්‍රී ලංකාවෙන් පිටතට යැවූ ඩොලර් ප‍්‍රමාණය බිලියන 40කට අධික මුදලක් බවට ගණන් බලා තිබේ. ශ‍්‍රී ලංකා ආර්ථිකයේ අඛණ්ඩ කඩාවැටීමට දායක වන ප‍්‍රධාන දිගුකාලීන සාධකය මෙය බවට අවිවාදිතය..

..ආර්ථික විද්‍යාඥයන් මෙම තත්ත්වය හඳුන්වන්නේ ‘විදේශ විනිමය ද්‍රවශීලතා උගුලක්’ ලෙස වන අතර එහිදී පොලී අනුපාතිකය, විනිමය අනුපාතිකය සහ මුදල් සැපයුම වැනි දේශීය මූල්‍ය උපකරණවල වෙනස්කම් දේශීය භාණ්ඩ හා ශ‍්‍රම වෙලඳපොලවල සමතුලිතතාවයට ළඟා වීමට ප‍්‍රාග්ධන ප‍්‍රවාහයන් සකස් කිරීමට නොහැකි වේ. එනම් විදේශ විනිමය සඳහා වන ඉල්ලුම මුදලේ අගය හා දේශීය පොලී අනුපාතිකය අසීමිත ලෙස අනම්‍ය වී ඇත. මෙය අනෙක් අතට අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟකම, අධි උද්ධමනය, විරැකියාව සහ ජනගහනයෙන් තුනෙන් එකක් අතර මන්දපෝෂණය ඉහළ යාම මගින් සලකුණු කරන ලද ජීවන තත්වයන් විනාශකාරී කඩා වැටීමකට තුඩු දෙයි. එය බාහිර අංශයේ වෙළෙඳපොළ අසාර්ථකත්වයට සමානය. මෙම තත්වය බාහිර අංශයේ (ඉතුරුම් සහ ආයෝජන) සහ භාණ්ඩ හා සේවා වෙලඳපොල යන දෙකෙහිම වර්ධන සමතුලිතතාවය සමඟ අත්වැල් බැඳගෙන ශ‍්‍රම වෙලඳපොලවල සමතුලිතතාවය සහතික කිරීම සඳහා ආණ්ඩුවේ සෘජු මැදිහත්වීම ඉල්ලා සිටී..

..මේ අනුව, 1949 මුදල් නීති පනතේ පරිදි 9.2 වගන්තිය මගින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පැවරී ඇති බලතල භාවිතා කරමින් අපනයනකරුවන්ගේ අක්වෙරළ ගිණුම් වෙත ප‍්‍රවේශ වීමට සහ එතෙක් ලැබෙන එවැනි ආදායම් වහා පරිවර්තනය කිරීමට මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවට සෘජුවම හැකියාව ලබා දීමෙන් නීති අංක 5 හි 3 (ස) වගන්තියට අනුකූලව මුදල් පරිවර්තනය නොකිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස අපි මහ බැංකුවෙන් ඉල්ලා සිටිමු..

..මේ සම්බන්ධයෙන්, ජනතාව වශයෙන්, විශේෂයෙන්ම අපේ සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි ජනතාවට ප‍්‍රතිපත්තිමය අසාර්ථකත්වයේ බර දරා ගැනීමට බල නොකළ යුතු බැවින්, ඔබගේ ප‍්‍රතිචාරය සහ ගන්නා ක‍්‍රියාමාර්ගය අපි බලාපොරොත්තු වෙමු…”

මෙම ලිපියට මහ බැංකු අධිපතිවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණ ද ඇඟළුම් අපනයනකරුවන්ගේ සංසදයේ වාර්ෂික මහා සභාව අමතා ඔහු ප්‍රකාශ කර තිබුණේ නිසි පරිදි අපනයන ආදායම් රට තුලට නොගෙන එන ව්‍යාපාරිකයන්ගේ නම් ලැයිස්තුව තමන් විසින් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවයි. එම ප්‍රකාශයට ව්‍යාපාරිකයන්ගෙන් එදින පිළිතුරක් ලැබුණු බව වාර්තා නොවුනද ඇඟළුම් අපනයනකරුවන්ගේ සංසදයේ සහ තේ සහ රබර් අපනයනකරුවන්ගේ සංගම්වල නියෝජිතයන් මහ බැංකු අධිපතිවරයා හමු වී කළ සාකච්ඡාවලට පසුව ප්‍රකාශ කළේ 2022 ඔක්තෝබර් සහ නොවැම්බර් වල අපනයන ආදායමෙන් සියයට සීයක්  ලංකාවට ගෙනැවිත් ඇති බවයි. එහෙත් ඔහු 2021 ජුනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ඉපැයූ ආදායම ගැන කිසිවක් නොකියයි. මේ පිළිබඳව ඇඟළුම් අපනයනකරුවන්ගේ සංසදය ඉදිරිපත් කර ඇති නිදහසට කරුණු පිළිගත නොහැක. ඔවුන්ට අනුව ඉතිරි මුදල් දේශීය සැපයුම්කරුවන්ට සහ තෙල් ගෙන්වීම සඳහා භාවිතා කළ බවයි පවසන්නේ. නමුත් තෙල් ගෙන්වීම සඳහා ඔවුන් වැයකළා යයි පවසන ඩොලර් ප්‍රමාණයට මිලට ගත හැකි තෙල් ප්‍රමාණය ඔවුන්ගේ කර්මාන්ත ක්‍ෂේත්‍රයට අවශ්‍ය නොවන්නේ ඔවුන්ගේ ක්‍ෂේත්‍රවලට විදුලිය නොකඩවා ලැබෙන බැවිනි.

මෙම හෙළිදරව්ව පුවත්පත්වල පළවීමත් සමග ආණ්ඩුවට පක්‍ෂ සහ විපක්‍ෂ දේශපාලනඥයින් පාර්ලිමේන්තුව ඇතුළු විවිධ ස්ථානවල මෙම නීති විරෝධී ක්‍රියාව සිදුවන බව පිළිගත් අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මෙම මුදල් ගෙන ඒම සඳහා පවතින නීති සංශෝධනය කරන බවයි.

මහ බැංකුවේ අධිපති දැන් පවසන්නේ මෙසේ සාවද්‍ය ඉන්වොයිසිකරණය (Mis-Invoicing) මගින් නීති විරෝධී ලෙස මුදල් උපයනවා නම් ඒ ගැන සෙවීම රේගුවේ කාර්ය භාරයක් මිස මහ බැංකුවේ කාර්යයක් නොවන බවයි. නමුත් මහ බැංකුවේ කාර්යය වන්නේ රටේ මූල්‍ය තත්වය පිළිබඳ සොයා බැලීමය. එවැනි වංචා සිදු කරන පුද්ගලයන් සහ සමාගම් ඇත්නම් ඒ ගැන හෙළිදරව් කර ඔවුනට පවතින නීති යටතේ දඬුවම් කර එම මුදල් ගෙන්වාගෙන රට මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩ යාමට හැකි වුවද රනිල් ඇතුළු ආණ්ඩුව මෙම හොරුන්ගෙන් යැපෙන නිසා ඔවුන් ඒ පිළිබඳව කටයුතු කරණූ ඇතැයි අපට කිසි සේත්ම බලාපොරොත්තු විය නොහැක. එසේම මහ බැංකුවේ අධිපති මෙන්ම රනිල්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග‍්‍රහයෙන් පත් කළ අය නිසා ඔවුන්ගෙන් මේ සඳහා විසඳුමක් බලාපොරොත්තු විය නොහැක.

Leave a Reply