පළාත් පාලන ඡන්ද විමසීම වැලැක්වීමට සියලූ උප්පරවැට්ටි යෙදු රනිල් වික‍්‍රමසිංහ අවසාන තුරුම්පුව ද ගැසුවේය. ඇත්තෙන්ම එක තුරුම්පුවක් නොව කීපයකි. අධිකරණයෙන් නියෝග කළත් මුදල් නොමැතිකම නිසා ඡන්දය පැවැත්විය නොහැකියයැයි කීම එකකි. ඇත්තෙන්ම දැනට පවතින තත්වය අනුව මාර්තු 9 වැනි දාට හෝ ඉන් පසු දිනක ඡන්ද විමසීම පැවැත්වීමට විපක්ෂය ඉල්ලා සිටින ආකාරයේ අධිකරණ නියෝගයක් ලබා තැනීමට ඇති ඉඩ කඩ බෙහෙවින් දුරස්ථය. මැතිවරණ කොමිසම ඉල්ලා සිටින රිට් ආඥාව විභාගයට ගැනීමට නියමිතව ඇත්තේ මැයි 11 නිසා ඡන්දය අඩුම වශයෙන් තවත් මාස හතරකින් හෝ ඊටත් වැඩි කාලයකින් කල් යනු ඇත. අවසානයේ දී රනිල් වික‍්‍රසිංහ පවසන ආකාරයට ආර්ථිකය ශක්තිමත් වන තෙක් ඡන්දය කල් දැමීමට සිදු වුවත් පුදුමයට කරුණක් නොවේ. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් සංවිධානයට හෝ යුරෝපා සංගමයට පැමිණිලි කිරීමෙන් තත්වය වෙනස් වන්නේයැයි සිතිය නොහැකිය.
පැහැදිලිවම ජනතාවට තම පරමාධිපත්‍ය බලය ප‍්‍රකාශ කිරීමට අවස්ථාවක් නොදීමේ අරමුණෙන් ගන්නා මෙම පියවර පළමුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම පැහැදිලි කර ඇති ආකාරය සැලකිල්ලට ගැනීම වැදගත් ය. ඒ ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන නිසා බලයේ සිටින පුද්ගලයන් ගේ වැරදි පියවර නිවැරදි කිරීමට අවස්ථාවක් ඇතැයි හිස් බලාපොරොත්තුවෙන් නොවේ. ව්‍යවස්ථාවට තැකීමක් නොකරන බව 2019 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාකළ ආකාරයෙන් පැහැදිලිය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ඇතුළත මහා මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වුවහොත් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුව ද ගෝඨාභය රාජපක්ෂ එසේ කෙළේ නැත. ඔහු මැතිවරණය නොපැවැත්වීමට යොදා ගත්තේ කොවිඩ් 19 වසංගතයයි. ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම හේතු නොදක්වාම ප‍්‍රතික්ෂේප කෙරිණ. එමනිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අවශ්‍ය වන්නේ පාලකයාට කැමති ආකාරයෙන් කටයුතු කිරීමට ඇති බාධාවන්ට කඩතුරාවක් වශයෙන් පමණි.
එසේ වුවත් රනිල් වික‍්‍රමසිංහ පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී කළ ප‍්‍රකාශය බුද්ධියට නිගා දෙන්නක් නිසා එය පැහැදිලි කර ගැනීම අපගේ ස්ථාවරය පැහැදිලි කර ගැනීමට සහ ධෛර්ය වඩවා ගැනීමට ඉවහල් වනු ඇත. පළමුවෙන්ම රනිල් නැවත අවධාරණය කෙළේ මාර්තු මස 9 වැනි දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට එම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට කොමිසමේ බහුතරයකගේ අනුමැතිය ලබා නැති බව ය. එම නිසා කල් දැමීමට ඡන්දයක් ප‍්‍රකාශ කර නැතැයි පාරම් බෑවේය. මෙම චෝදනාවට පිළිතුරු වශයෙන් කොමිසමේ බහුතරයකගේ අනුමැතියක් ඇති බව කොමිසමේ සාමාජිකයන් හතර දෙනෙකු ම සහභාගි වූ පුවත්පත් සාකච්ඡාවක දී පෙන්වා දී තිබිණ. එහිදී කොමිසමේ කිසිම සාමාජිකයෙකු ඡන්ද විමසීමට විරුද්ධව කතා කෙළේ නැත. එමනිසා රනිල් ගේ චෝදනාව ගැන කතා කිරීම නිෂ්ඵල කාරණයකි.
දෙවැනිව ඔහු ඉදිරිපත් කළ තවත් තර්කයක් වූයේ විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව අලුත් ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පත් කිරීමට නියමිත නිසා දැනට සිටින කොමිසමට මැතිවරණයක් පැවැත්වීමට නිත්‍යානුකූල බලයක් නැතිය යන්නයි. ඔහු හැඳින් වූ ආකාරයට දැනට පවතින කොමිසම භාරකාර (කෙයාර්ටේකර්) කොමිසමක් පමණි. ඡන්දන්දයක් පැවැත්වීම වැනි බරපතළ කාර්යන් කළ යුතු වන්නේ අලුතින් පත් කරන කොමිසමක් මගිනි. නීති උපාධියක් ලබා ගෙන වසර පනක් ගත කර ඇති මෙම පුද්ගලයා පවසන ආකාරයට භාරකාර ස්වාධින කොමිසම් සඳහා ප‍්‍රතිපාදන ඇත්තේ කොතැනදැයි පැහැදිලි කළ යුතුය. සමහර විට කන්න හිතුනාම කබර ගොයාත් තලගොයා වන බවට ජන වහරේ කියමනක් ඇති බව සිහිපත් කර ගැනීම සෑහේ.
ඔහු නිතර සඳහන් කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන අනුව විධායක බලය යෙදවිය හැකි වන්නේ ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ජනාධිපතිවරයෙකු විසිනි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි ව්‍යවස්ථාවේ 4 (අ) වගන්තියේ සඳහන් වන්නේ (විධායක බලය) ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජන රජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරනු ඇත යනුවෙනි. රටම දන්නා පරිදි රනිල් වික‍්‍රමසිංහ ජනතාව විසින් තෝරා පත් කර ගත් ජනාධිපතිවරයෙකු නොවේ. ඔහු අඩුම වශයෙන් ජනතාව විසින් පාර්ලිමේන්තුවට හෝ තෝරා පත් කර ගෙන නැත. පාර්ලිමේන්තුවට රිංගා ගත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 99 (අ) වගන්තිය යටතේ සඳහන් වන බෙදා වෙන් කළ ආසනයක් නිසාය. එහි ජාතික ලැයිස්තුවක් ගැන සඳහන් වන්නේ නැත.
වැදගත්ම කාරණය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාව අනුව ජනතාව කෙරෙහි පිහිටා ඇති අත් නොහළ හැකි පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුවෙන් තෝරා පත් කෙරෙන විධායක ජනාධිපති කෙනෙකු යොදා ගැනීම හේතු යුක්ති කරන්නේ කෙසේද යන්නයි. පරමාධිපත්‍යයෙන් තෝරා ගත් පුද්ගලයා ජනාධිපති ධුරයෙන් ඉවත්වීම නිසා ඇති වු පුරප්පාඩුවට පත් ඔහුට කළ යුතුව තිබුනේ වහාම ජනාධිපතිවරණයක් පවත්වා නව ජනාධිපති කෙනෙකු පත් කර ගැනීමට ජනතාවට අවස්ථාක් ලබා දීම ය. අභාව ප‍්‍රාප්ත ඩී.බී විජේතුංග මහතා කෙළේ එයයි. මුදල් නොමැතිකම නිසා හෝ ආර්ථික අර්බූදයක් පවතින නිසා ජනතාවගේ පරමාධිපත්‍යය බලය උදුරා ගැනීම කිසිසේත් ආචාර සම්පන්න ක්‍රියාවක් නොවේ. කෙයාර්ටේකර් වන්නේ මැතිවරණ කොමිසම පමණක් නොවේ. ජනාධිපති තනතුරට ද එය අදාලය.
එය ප‍්‍රශ්නයේ එක පැත්තක් පමණි. අනෙක් පැත්ත වන්නේ නීතිය නොසලකන හෝ නිතිය තමන්ට අවශ්‍ය ආකාරයට හුසුරුවන දුෂ්ට පාලකයන් ඉවත් කර යුක්තිය සහ සාධාරණත්වය තහවුරු කරන්නේ කෙසේද යන්නයි. දැනට පවතින වාතාවරණය අනුව මුදල් තත්වය යහපත් වන දිනයක් ගැන සිතීමට හෝ නොහැකි නිසා පළාත් පාලන මැතිවරණය මෙන්ම අනෙකුත් මැතිවරණ පැවැත්වීම ද බෙහෙවින් අවිනිශ්චිතය. අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සහ එම සහතිකය නිසා විදෙස් ආයෝජන ගලා එනු ඇතැයි සිතීම ඇත්තෙන්ම දවල් සිහිනයකි. පිළිගත් නීති ප‍්‍රතිපාදන අනුව කටයුතු නොකරන නීතිය තමාට අවශ්‍ය ආකාරයට නමා ගන්නා පාලකයන් සිටින රටක අව්‍යාජ ආයෝජකයන්ගේ මුදල් සුරක්ෂිත වන්නේ නැත. දැනටමත් සුප‍්‍රකට ජපාන සමාගම් කීපයක්ම ලංකාවෙන් ඉවත්ව යෑමට සූදානම්ය. යුරෝපයේ බලවත්ම ආර්ථිකය වන ජර්මනියේ සමාගම් ද එවැනි පියවර ගැනීමට සූදානම් බව පළවී ඇත. ඉන් සරලව අදහස් වන්නේ ආර්ථිකයේ ගොඩ නැගීමට ඇති ප‍්‍රධාන බාධකය වන්නේ මෙම පාලකයන් ය යන්නයි.
එවිට මතුවන බරපතල ප‍්‍රශ්නය වන්නේ මෙවැනි පාලකයන් ඉවත් කර ජනතාවට වගකියන පාලන ක‍්‍රමයක් ස්ථාපනය කරන්නේ කෙසේද යන්නයි. ජනමතයට සවන් නොදෙන පාලකයන් පලවා හැරිය හැකි බවට හොඳම නිදසුන වන්නේ අරගලයෙන් ගෝඨාභය රාජපක්ෂට තනතුරෙන් ඉවත්වීමට බල කිරීම ය. එය කදිම ආදර්ශයක් වුවද ඉන් ගත හැකි පාඩම් අපේ දේශපාලන නායකයන් නිසි ලෙස ග‍්‍රහණය කර ඇත්ද යන්න සැකයකි. තම ප‍්‍රචාරක රැස්වීම්වලට පැමිණෙන දහස් ගණන් ජනතාව දකින දේශපාලන නායකයන් සිතන්නේ එවැනි විශාල බලයක් එකතු කිරීමෙන් පාලකයා පලවා හැරිය හැකිය යන්නයි. එය මුළාවකි.
කෙතරම් අඩුපාඩු තිබුණ ද දුෂ්ට පාලකයෙකු පලවා හැරීමට අරගලයට හැකි වූයේ එය සමස්ත ජනතාවගේම අරගලයක් වූ නිසාය. ඊට තරාතිරම වර්ගභේද ආගම්භේද නොතකා ජනතාව එක් වූයේ දේශපාලන පක්ෂයක මෙහෙයවීම නිසා නොවේ. ඒ සියලු තරාතිරම්වල ජනතාව අරගලය තමන්ගේම ප‍්‍රකාශනයක් සේ දුටහ. විවිධ දේශපාලන මතධාරාවන්ට හිතවත් අය එහි සිටියත් ඔවුන් නියෝජනය කෙළේ එම මතය නොව සියලූ දෙනාගේම අවශ්‍යතාවයයි. ජනතාවට අවශ්‍ය වූයේ දුෂ්ට පාලකයෙකු පන්නා දැමීමයි. එය සාර්ථක විය. ඉන් පසුව නව දේශපාලන ව්‍යුහයක් නිර්මාණය කළ නොහැකි වූයේ දේශපාලන පක්ෂවල පැවති පටු අවස්ථවාදි ප‍්‍රතිපත්තිය නිසා ය. සරලව ඔවුන්ට අවශ්‍ය වූයේ එම රික්තය තුළ තම දේශපාලන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ය.
අද රට පත්ව ඇත්තේ අරගලය පැවති දින වැනි තිරණාත්මක අවස්ථාවකටය. එහෙත් වෙනස වන්නේ ප‍්‍රධාන දේශපාලන ධාරා දෙකක් තමන්ගේ වුවමනාව සඳහා ජනතාව තුළ කැකෑරෙමින් පවතින වෛරය තම වාසියට යොදා ගැනීමට උත්සාහ ගැනීම ය. ඔවුන් ඡන්දය ඉල්ලා සිටින්නේ තම අපේක්ෂකයන් දිනවා ගැනීමටත් ඒ තුළින් තම දේශපාලන බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් ය. ඒ පක්ෂ තුළ පවතින බල ව්‍යුහයෙන් තහවුරු වන්නේ දේශපාලන පක්ෂ විනා ජනතාව නොවන බව ඔවුන් වුවමනාවෙන්ම අමතක කරති. ඒ නිසා නගරාධිපති හෝ ප‍්‍රාදේශිය සභාවේ සභාපති තනතුරට පත්වන්නේ කවුද යන්න වැදගත් ය. අරගලයෙන් උගත ගත හැකි පාඩම එවැනි සම්ප‍්‍රදායික දේශපාලනයට ඇති අවස්ථා ක‍්‍රමයෙන් හීන වන්නේය යන්නයි.
මෙම ගැටලූව නිරාකරණය කළ හැකි වන්නේ අරගලය මගේ හෝ මගේ පක්ෂයේ වැඩක් නොව ජනතාවගේ අභිලාෂයන්ට සවන් දීමක් වශයෙන් තේරුම් ගතහොත් පමණි. මම වෙනුවට පැහැදිලිවම සමස්ත ජනතාවම නියෝජනය වන ආකාරයට අපි යොදා ගත් යුතුය. එය භාවිතයෙන් ප‍්‍රදර්ශනය කළ යුතුය. ඡන්ද බලය ලබා ගැනීමේ සටන සමගි ජන බලවේගය හෝ ජාතින ජන බලවේගය අනුව මෙහෙයවන්නේනම් නිසැකයෙන්ම පරාජය වනු ඇත. එම උත්සාහය සාර්ථක වන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය සැබැවින්ම තහවුරු කරන වැඩ පිළිවෙළක් තුළින් පමණි. ඊට දේශපාලන පක්ෂවල සමගිය මෙන්ම ජනතා සහයෝගය දිනා ගැනීමට පාරද්‍රශය වැඩ පිළිවෙළක් තිබිය යුතුය. දැනට එවැනි සුදානමක් පෙනෙන තෙක් මානයේ හෝ නැති නිසා ජනතා පරමාධිපත්‍යය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තවත් ප‍්‍රකාශයකට සීමා වනු ඇත.
එතෙක් තවත් අරගලයක උදාව අපේක්ෂාවෙන් සිටිමු.
- රනිල් කල් යල් බලා ගැසූ තුරුම්පුවෙන් විපක්ෂය කුජීත වේද? - February 27, 2023