නව සමසමාජ පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට ටික කලකට පෙර මට කුමාර් ඩේවිඩ් සහෝදරයා මුණගැසුනේ 1978 අගභාගයේ රජයේ ලිපිකරු සේවා සංගම් මූලස්ථානයේ ඉහල මාලයේදීය. ඒ වනවිට පළාත් පාලන අමාත්‍යාංශයේ කලමනාකරන සහකාරවරයෙක් ලෙස මම සේවය කළෙමි. එම අවධියේදී කාර්යාල වේලාවෙන් පසුව හවස්වරුව අප ගත කරන්නේ ර.ලිසේ.ස. සමිති කාර්යාලයේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සමගය. ර.ලි.සේ.ස. උප සභාපතිවරයෙක් වූ මා හිතවත් අනුරාධපුර චන්ද්‍රරත්න බණ්ඩාර සහෝදරයා එම සංගමයේ අධ්‍යාපන අංශයේ ප්‍රධානියෙකි. ඔහුද නව සම සමාජ පක්ෂයේ සාමාජිකයෙකු වූ අතර, එවකට රලිසේස බලය සමසමාජ පක්ෂ නායකත්වයෙන් නව නායකත්වයට සදහා දිනාගැනීමේ සටන මෙහෙය වූයේ සවනදාස – මහානාම යන වෘත්තිය සමිති දැවැන්තයන් දෙදෙනාය.
නව නායකත්වයේ දේශපාලන වැඩපිලිවෙලට අනුව වෘත්තීය සමිති නිලධාරින්ට ලෝකය වටහාදීම හා මාක්ස්වාදී දේශපාලන දර්ශනය උගන්වමින් සමසමාජ නව නායකත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් වැඩකරන සේවකයින් අතරින් පිරිසක් දියුණු කර ගැනීම එම සමිතියේ අභිලාශය විය. ඒ සදහා සියලු පහසුකම් සමිතිය විසින් දරන ලදි. මාක්ස්වාදී අධ්‍යාපන පාඨමාලාවට මා ඇතුළු 40ක පමණ කාර්යාල, වැඩබිම් පදනම් වූ සමිති නිලධාරින් පිරිසක් වූහ. අධ්‍යාපන කටයුතු සදහා කැඳවනු ලැබුවේ මහාචාර්ය ශාන්ත ද අල්විස්, ආචාර්ය නලින්ද සිල්වා, ආචාර්ය කුමාර් ඩේවිඩ්, ආචාර්ය සුමනසිරි ලියනගේ, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න යන විද්වත් පිරිසය. සතියට දෙවරක් බැගින් එම පංති පැවැත්වූ අතර එක් දිනක පාඨමාලා සකස් කිරීම සදහා චන්ද්‍රරත්න සහෝදරයාගේ කැඳවීම අනුව ආචාර්ය කුමාර් ඩේවිඩ් සහෝදරයා ද ලිපිකරු සේවා සංගම් කාර්යාලයට පැමිණ සිටියේය. බණ්ඩාර සහෝදරයා මට කුමාර් ඩේවිඩ් සහෝදරයා හඳුන්වා දුන්නේය.
මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරුවරයෙක් මෙන්ම අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළේ කුමාර් ඩේවිඩ් සහෝදරයාය. ඉතාමත් දක්ෂ දේශකයෙකි. ඔහු මාක්ස්වාදය ගැන පුළුල් දැනුමක් ඇති ලෙනින් සහෝදරයාගේ වාද විවාද ගැන පොත්පත් පරිශීලනය කර කරුණු දැක්වීමට සමත් අයෙකි. විශේෂයෙන්ම ට්‍රොට්ස්කිවාදී දේශපාලන ගුරුකුලයේ හැදෑරම් අනුව – නොනවතින විප්ලව න්‍යාය- සරලව පැහැදිලිකර දීම මෙන්ම එවකට පැවති ලෝක වටපිටාව අනුව ට්‍රොට්ස්කි හා ස්ටැලින් සහෝදරවරුන්ගේ සිතුවිලි වූ වෙනස්කම් ද මැනවින් පැහැදිලි කර දුන්නේය. ඔහුගේ වඩාත් දක්ෂ හැදෑරීම වන්නේ ජාතික ප්‍රශ්ණය ගැන ලෙනින් සහෝදරයා හා රොසා ලක්ෂම්බර් සහෝදරිය අතර ඇති වූ විවාදයන්ය. එය ලංකාවේ ජාතික ප්‍රශ්ණය ගැන ස්වයං තීරණ අයිතිය පදනම්ව විග්රහකර දීමට ඔහු මහත් වෙහෙසක් ගත්තේය. විශේෂයෙන් නව සමසමාජයේ සිටි බොහෝ දෙනෙකු සිංහල වාර්ගිකයින් වුවත් දෙමළ ජනතාවගේ අයිතිය පිලිබද සිත්සතන් තුලට ගැඹුරු අදහස් මාලාවක් ඇතුලත් කිරීමට සමත් විය. ඔහුගෙන් ඉගෙනගත් බොහෝ දෙනෙකු තම වාර්ගික පදනම් අමතක කර විප්ලවකාරී වෙනස්වීම් හිතදරාගෙන ජීවතුන් අතර සිටින කීප දෙනෙකුම වේ.
මම නව සම සමාජ පක්ෂයට ඇතුළු වනවිට එම පක්ෂය විශ්වවිද්‍යාලයක් වැනිය. සමසමාජය වටා ගොනුවී සිටි උගතුන් බුද්ධිමතුන් බොහෝ දෙනෙකුගෙන් මහාචාරිය ඩොරික් සූසා, කාරාලසිංහම්, මහාචාර්ය කාලෝ පොන්සේකා වැනි පැරණි පරපුර නියෝජනය කරමින් සමසමාජයේ රැඳුණ අතර කුමාර් ඩේවිඩ්, සුමනසිරි, වික්‍රමබාහු, ක්‍රිස් මඩපාත, මහාචාර්ය තුරෙයිරාජා වැනි ආචාර්යවරුන් නව නායකත්වය සමග එක්ව විප්ලවකාරි පක්ෂයක් හැදීම ගැන බරපතල සාකච්ඡාවන්හි නිරත විය.
අප පක්ෂයට ඇතුලු වූයේ එතරම් ගැඹුරක් නොදැන තරුණ ජවයත්, සමාජ වෙනසක් පිලිබඳ නව බලාපොරොත්තු පොදු බැඳගෙනය. මගේ දේශපාලන හැදෑරිම්වලදී වික්‍රමබාහු, සුමනසිරි හා කුමාර් ඩේවිඩ් යන සහෝදරවරුන් ගුරුවරුන් විය. ඔවුන් එකිනෙකා අතර පුද්ගල වෙනස්කම් රාශියකි. එසේම එක් එක් අයගෙන් ලැබෙන දැනුමේ ගුණාත්මක අගය මිලකල නොහැකිය.
බුද්ධිමතුන්ගේ ක්‍රියාකාරිත්වය පිලිබඳ සැබෑ අත්දැකීම් මට දැක ගත හැකි වූයේ 1980 මහ වැඩවර්ජනයට සම්බන්ධ වූ පසුව මතුවූ තත්වයත් සමගය. ජාත්‍යන්තර දේශපාලන විප්ලවය දිගහැරීම් ගැන රසවත් දේශන රැසක් එම බුද්ධිමතුන් වර්ජනයට පෙර අසා දැනගත් අතර, 80 මහ වර්ජනය පංති සටන් ලෙස දිග හැරෙමින් ආණ්ඩුව සමග මුහුණට මුහුණ හැප්පෙමින් පිකට් වැටේ මහපාරේ සටන් ඇවිලෙන විට පොලිස් බැටන් පහරට අත්අඩංගුවට පත්වීමට පෙරට පැමිණියේ වාසුදේවත් වික්රමබාහුත්ය. කුමාර් ඩේවිඩ් සහෝදරයාට දුම්රිය සංගමයේ සංවත්සරයේ ඇතිවූ ගැටුමත් සමග පොලිස් බැටන් ප්‍රහාරයට ලක්ව වේදනාවෙන් කෑගසමින් විහාර මහාදේවී පිට්ටනිය හරහා දුවගිය ආකාරය විනෝදාත්මකව අපත් සමග කීප වරක්ම පවසා ඇත. එයින් පසුව ඔහු වීදි සටන් වලට බැහැර විය.
විප්ලවකාරි මාවතේ ගමන් කිරීමට සැරසුනු අප සැම දෙනාටම අලුත් අත්දැකීම් රාශියකට මුහුණදීමට සිදු විය. අප සැමගේ රැකියා අහිමිවීම හා ජීවත්වීමට මගක් නොමැතිව සේවකයින් මහත් පීඩාවෙන්, කුසගින්නේ දොම්නසින් වර්ජනය කැඳවූ නායකයින්ට දොස් පවරමින් හැසිරෙන විට අප අතර සිටි බොහෝ බුද්ධිමතුන් වික්ෂිප්ත විය. එම සිද්ධිදාමයත් සමග පලමුව ආචාර්ය නලීන්ද සිල්වා සහෝදරයා අපගේ දේශපාලනයෙන් පමණක් නොව මාක්ස්වාදයෙන්ද වේගයෙන් ඈත්වීමට පටන් ගත්තේ – මගේ ලෝකය – යනුවෙන් පොතක් ලියමිනි. එයට පිලිතුරු සැපයූ ආචාර්ය ශාන්තද අල්විස් සහෝදරයා රටහැර යාමට තීරණය කලේ වරක් පොලිසිය ඔහුගේ නිවසට පැන සෝදිසි කිරීම නිසා බියපත්වූ බිරියගේ බලපෑම නිසාය. කුමාර් ඩේවිඩ් සහෝදරයට හොංකොං විශ්ව විද්‍යාලයේ රැකියාවක් ලබා රටන් පිටවිය. ටික කලක් යනවිට අපගේ විප්ලවය පිලිබඳව පැවති ආශ්වාදය දියවී යන්නට පටන් ගත්තේ අපට උපදෙස් දුන් බොහෝ ආචාර්ය මහාචාර්යවරුන් රට අතහැර විදෙස් ගතවීමත් සමගය. අප අත් නොහැර සිටියේ ආචාර්ය වික්‍රමබාහු හා සුමනසිරි ලියනගේ යන දෙදෙනාය. ඔවුන් දෙදෙනාද ගොවි – කම්කරු ආණ්ඩු සංකල්පයත් සමග බෙදී වෙන්වී සිටියේය. සමාජ විප්ලවකාරි ගමනේදී ජ.වි.පෙ. හා ඉන් බිදී සිටින විවිධ කොටස් වලට නායකත්වය ගත හැකි බව සුමනසිරි සහෝදරයා දැරූ මතය වූ අතර, වික්‍රමබාහු සහෝදරයා කල්පනා කලේ නාගරික කම්කරු පංතියේ නායකත්වයෙන් විප්ලවකාරි වෙනස දිගහැරෙන බවය.
80 මහ වර්ජනයෙන් පසුව මතුවූ තත්වයත් සමග පක්ෂය වඩාත් සංවිධානාත්මකව සූදානම් කිරීමේ අවශ්‍යතාවය වික්‍රමබාහු සහෝදරයා පෙන්නා දුන් අතර, එබැවින් විප්ලවකාරී ගමනක් යාමට සූදානම් පිරිස් පමණක් දේශපාලන මණ්ඩලයට ඇතුලත් කර ගත යුතු බවට තීරණයක් ගැනුනි. ඒ අනුව පූර්ණකාලීනව රැකියාව අහිමිවීම නිසා දේශපාලන කළ වික්‍රමබාහු, නීතිඥ වෘත්තිය අතහැර දැමූ වාසුදේව, විශ්‍රාමික කම්කරු නායක ඔස්වින්, වැඩතහනමට ලක්වූ ගුරුවරයෙක් වූ කොතලාවල, පූර්ණකාලීනව දේශපාලනයට කැපවූ කම්කරු පංති ව්‍යාපාරයෙන් පැමිණි සිරිතුංග, චන්දවිමල යන සහෝදරවරුන්ගෙන් දේශපාලන මණ්ඩලය සමන්විත විය. සියලු බුද්ධිමතුන් පක්ෂයෙන් ඈත්වීමට එම තීරණයද එක් හේතුවක් වූ බව පසුකාලීන විවාද වලදී මට දැනගත හැකි විය.
කුමාර් ඩේවිඩ් සහෝදරයා හොංකෙං විශ්වවිද්‍යාලයේ සේවයට ගියත් ඔහු කිසිවිටකත් දේශපාලනය හෝ පක්ෂය අමතක නොකළේය. රටයෑමත් සමග මධ්‍යම කාරක සභික ධූරයද අහෝසි විය. එහෙත් හැමවිටම ලංකාවේ සිදුවීම් ගැන ගැඹුරින් අධ්‍යයනය කර ලිපි ලේඛන ප්‍රසිද්ධ කළේය. කුමාර් සහෝදරයා පක්ෂ නායකත්වයෙන් ඈත් වුවත් සාමාජිකත්වය හැර ගියේ නැත. ඔහු ලංකාවට පැමිණෙන හැම විටකම අපගේ සහෝදරවරුන් සමග මදුපානය කරමින් දේශපාලන අදහස් උදහස් විවෘතව දක්වමින් ඉතා සමීප ලෙන්ගතු අයෙකු ලෙස හැසුරුනේය. ඔහු අපට විවිධ බීම වර්ග හා ඒවායේ ගුණාගුණ රසවත් ලෙස විස්තර කරමින් චීනයේ සිදුවන සමාජ දේශපාලන දර්ශනයන් ගැන කථා බහ කලේය. අපට හා පක්ෂයේ සහෝදරවරුන්ට ‘‘මොතායි“ නැමති හාල් වලින් සකසන අනර්ග සැරබීම හදුන්වාදී එය පානය කලයුතු මාත්‍රාව හා ආකාරයද කියා දුන්නේය.
කුමාර් ඩේවිඩ් සහෝදරයා ජාතික ප්‍රශ්ණය ගැන ඉතා ගැඹුරින් හැදෑරූ අයෙකි. අනෙක ඔහුගේ පියා අගවිනිසුරුවෙක් වූ ද්‍රවිඩ සම්භවයක් ඇති අයෙකි. මව මැද පංතික සිංහල කාන්තාවකි. ලාංකික සිංහල බෞද්ධ රාජ්‍යයන් දෙමළ ජනතාවට සිදුව ඇති පීඩනය හා විශේෂයෙන් බණ්ඩාරනායකත් සමග පැමිණි භාෂා ප්‍රශ්ණය නිසා ජාතීන් අතර ඇති වූ අසමගිය විසදා ගැනීමට ඔහු ඉවහල් කර ගත් දේශපාලන න්‍යාය දර්ශනය වූයේ ස්වයං තිරණ අයිතිය පිළිගැනීම හා පිළිගැන්වීමට පක්ෂය හා කේඩරය සූදානම් කිරීමය. නමුත් නව සමසමාජ පක්ෂය ස්වයං තීරණය අයිතිය ගැන දැරූ අදහස් අතර කිසිදු විටක වෙන්වීයාමට අයිතිය ඇතත් වෙන්වි නොගොස් එකට සිටීම අවධාරණය සිදු කරන ලදි. නමුත් කුමාර් ඩේවිඩ් සහොදරයා විදේශ ගතවීමත් සමග ඔහු වඩාත් ස්වාධීනව ඔහු දරන දේශපාලන අදහස් සමග කටයුතු කළ අතර, සුප්‍රසිද්ධ තිම්පු සාකච්ඡාවලට ද්‍රවිඩ ජන කණ්ඩායම් නියෝජිතයෙක් ලෙස සහභාගී වූ විද්වතෙක්ද විය.
එපමණක් නොව බෙදුම්වාදී සටන තියුණු වෙමින් ගමන් කරන විට ඔහුගේ සිතුවිලිවලට අනුව කොටි සංවිධානය ජයග්‍රහණය කරන බව ඔහු විශ්වාස කලේය. සිංහල අධිපතිවාදය මුලුමනින්ම බැහැර කල ඔහු වරක් මා සමග අදහස් හුවමාරු කර ගැනීමේදී කියා සිටියේ ලංකාවේ පාලකයන්ටත් සිදුවන්නේ යුගෝස්ලෝවියාවේ නායකයින්ට සිදුවූ ආකාරයෙන් රටක් නැතිවීම බව කියා සිටියේය.
විශේෂයෙන් මහින්ද රජය පැමිණ වාසුදේව සහෝදරයා එම රජයත් සමග කටයුතු කිරීම ගැන අකමැත්තක් දැක්වූ අතර එතෙක් ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුනේ මධ්‍යම කාරක සභියෙක් ලෙස කටයුතු කළ ඔහු පසුව අපෙන් ඈත් විය. මහින්ද රජය යුද්ධ ජයග්‍රහණයත් සමග තහවුරුවීම ගැන ඔහු සිටියේ නොසතුටකිනි.
සමානාත්මය දිනාගැනීම වාමාංශික රජයක් බලයට පත්කර ගැනීමෙන් පමණක් සිදු කළ හැකි බව ඔහු විශ්වාස කල අතර, ජ.වි.පෙ. සමග සම්බන්ධවි කටයුතු කරන ලෙස මෙයට අවුරුදු 10 ක පමණ ඈත කාලයක සිට ඔහු අපට බලපෑම් කලේය. එපමණක් නොව දමිල විද්වත් පිරිස් ජවිපෙ සමග සම්බන්ධ කරවීමටද කටයුතු කළ අතර, මාලිමාව ගොඩනැගනු පසුව එයත් සමග සමීපව කටයුතු කිරීමද කුමාර් ඩේවිඩ් සහෝදරයා විසින් සිදු කරන ලදි.
මා හොංකෙං ගිය කීප වතාවකම ඔහු එහිදී හමු වෙමින් මගේ ගමන්බිමන් සදහා ආධාර උපකාර කරමින් ඉතා විනෝදාමත්මකව කාලය ගත කළේය. මා නසසපයෙන් ඉවත්ව නිදහස් වෘත්තීය සමිති සංවර්ධන මධ්යන්තානය පිහිටුවීම සදහා වාසුදේව සහෝදරයා ඇතුලු ආධාර කළ කීප දෙනා අතර කුමාර් ඩේවිඩ් සහෝදරයාද වේ. ඔහුගේ නමින් අප සංවිධානය පොත් පත් මුද්‍රණය කර බෙදා හැරි අතර ජාතික ප්‍රශ්ණය ගැන දේශන කීපයක්ද පවත්වන ලදි.
වාසුදේව සහෝදරයාගේ රූපයට සමාන එවැනි උසකින් පාටකින් හා රැවුලකින් අලංකාර වූ ඔහු මැයි දිනයේ තද රතු කමිසයෙන් සැරසී අපත් සමග ගමන් කරන විට සියලු දෙනා ගේ නෙත ගැටෙන්නේ වාසුදේව හා කුමාර් ඩේවිඩ් යන දෙපොල වෙතය. එතරම් ආකර්ශනයක් පෙලපාලිවලදි දෙදෙනාටම තිබුණි.
සමාජ පරිවර්තනීය ක්‍රියාවලියට මහත් දායකත්වයක් දෙනු ලැබූ කුමාර් ඩේවිඩ් සහෝදරයා පසුගිය දිනක කැළිෆොනියාවේ දී හදිසි හෘදයාභාධයක් වැලදී අප අතරින් වියෝවිය. නමුත් ඔහු වාමාංශික ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් සිදුකළ එකතු කිරීම් මතු පරපුරටත් මහත් දායාදයක් වනු ඇත. ඔහු පැතූ ලෙස ජ.වි.පෙ රජයක් බලයට පත්විය. නමුත් ඔහුගේ පැතුම් ඉටුවන තෙක් ජීවිත් වීමට ඉඩක් නොලැබුනි. ඔහු පැතූ සාධාරණය ඉටුවෙනවාද යන්න බැලීම ජීවත් වන අපට භාරය.
ජී.වී.ඩී.තිලකසිරි – ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුනේ නියෝජ්‍ය ලේකම් හා ශක්තිය පුවත්පතේ ප්‍රධාන කතෘ
- ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද? - December 10, 2024
- යුද්ධයෙන් මිය ගිය අය සැමරීමට ඉඩ දෙන්න.. - November 27, 2024
- මහාචාර්ය කුමාර් ඩේවිඩ් සහෝදරයා ජාත්‍යන්තර බුද්ධිමතෙකි.. - October 21, 2024