You are currently viewing දල දේශීය නිශ්පාදිතයමිථ්‍යාව: ඉන් සැබවින්ම නිරූපණය වන්නේ සහ නොවන්නේ කුමක්ද?

දල දේශීය නිශ්පාදිතයමිථ්‍යාව: ඉන් සැබවින්ම නිරූපණය වන්නේ සහ නොවන්නේ කුමක්ද?

ආර්ථිකයේ සාර්ථකත්වය මැනීම සඳහා නිතරම භාවිත වන මෙම දර්ශකය, බොහෝ විට අපට ඇසීමට අවශ්‍ය දේ – එසේත් නැතිනම් බටහිර ලෝකය සිතන ආකාරයට අපට ඇසීමට අවශ්‍ය දේ – සන්නිවේදනය කරයි.

රුසියානු-යුක්‍රේන යුද්ධය ආරම්භ වී සති කිහිපයකට පසු, බෙල්ජියම් ජාතික ආර්ථික විද්‍යාඥ පෝල් ඩි ග්‍රෝව්  ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේ (LSE) වෙබ් අඩවියට ‘රුසියාවට යුද්ධය ජයගත නොහැකිය’යනුවෙන් ලිපියක් ලීවේය. හමුදා විශේෂඥයෙකු නොවන ඩි ග්‍රෝව්, ඔහුගේ නිගමනයට පදනම් කරගත්තේ සරල ගණිතමය කරුණකි: එනම්, රුසියාවේ දළ දේශීය නිෂ්පාදිතය දළ වශයෙන් බෙල්ජියමේ සහ නෙදර්ලන්තයේ ඒකාබද්ධ නිෂ්පාදිතයට සමාන කිරීමයි. එබැවින්, රුසියාව යුරෝපයේ සිටින “ආර්ථික අඟුටු මිට්ටෙකු” බව ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව ඔවුන්ගේ හමුදා මෙහෙයුම අසාර්ථක වීමට නියමිතයැයි ඔහු තර්ක කළේය.

මෙවැනි පදනම් මත රුසියාව අවතක්සේරු කිරීම සම්බන්ධයෙන් ඩි ග්‍රෝව් හුදකලා වන්නේ නැත. රුසියාවේ ආර්ථිකය, දළ දේශීය නිෂ්පාදිතය අනුව යම් මධ්‍යස්ථ මට්ටමේ යුරෝපීය රටකට සමාන කරනු අප කවුරුත් අසා ඇත. එය අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් මෙහි අරමුණ ඩි ග්‍රෝව්ගේ මතය නිවැරදි නොවන බව ඔප්පු කිරීම නොවේ; පසුව වූ සිදුවීම් මගින් එය දැනටමත් මනාව ඔප්පු වී අවසන්ය. වඩාත් සිත්ගන්නා සුළු කරුණ වන්නේ, මෙම සුවිශේෂී චින්තන රටාවේ ගැඹුරින්ම පවතින – සහ මෙතෙක් ප්‍රමාණවත් පරිදි විමසා නොබැලූ – මූලයන් ගවේෂණය කිරීමයි.

ඇත්ත වශයෙන්ම මෙම ප්‍රශ්නවල සාරාංශය මෙයයි: තවදුරටත් දළ දේශීය නිෂ්පාදිතය මත මෙතරම් විශ්වාස කිරීමේ කිසියම් හෝ තර්කානුකූල පදනමක් ඇති දෙයක්ද? එසේ නොමැති නම්, එහි පවතින විග්‍රහ කිරීමේ සැබෑ හැකියාවට වඩා බෙහෙවින් වැඩි ප්‍රසිද්ධියක් හෝ පිළිගැනීමක් හිමිව ඇති (එමෙන්ම බොහෝ විකෘති කිරීම් ඇති කරන) ආර්ථික දර්ශකයක් මතම අපි මෙතරම් දැඩි ලෙස ඇලී ගැලී සිටින්නේ ඇයි?

දෙවන ලෝක යුද්ධය පැවති සමයේදී, ආර්ථිකයන් ප්‍රධාන වශයෙන්ම කාර්මික මට්ටමේ පැවති අතර ණය ප්‍රමාණය අවම මට්ටමක පැවති බැවින්, දළ දේශීය නිෂ්පාදිතය නිෂ්පාදන ධාරිතාව මැන බැලීම සඳහා බෙහෙවින් සාර්ථක දර්ශකයක් විය. යුද්ධයෙන් පසු,  ද.දේ.නි දර්ශකය පශ්චාත් යුධ ලෝක පිළිවෙළේ පුළුල් ව්‍යුහය තුළ මුල් බැස ගත්තේය; බ්‍රෙටන් වුඩ්ස් (Bretton Woods) සම්මුතිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ කීනිසියානු (Keynesian) සාර්ව ආර්ථික විද්‍යා න්‍යායේ ජයග්‍රහණයත් සමඟ එය වඩාත් තහවුරු විය.

John Maynard Keynes

කීනිසියානුවාදය ආර්ථිකය දකින්නේ උෂ්ණත්ව මාපයක‘ (thermostat) ක්‍රියාකාරිත්වයට සමාන ගැටලුවක් ලෙසය: එනම්, සමස්ත ඉල්ලුම බෙහෙවින් අඩු වී නිෂ්පාදනය පහත වැටේ නම්, රජය විසින් රාජ්‍ය වියදම් හරහා එම ඉල්ලුම ඉහළ නැංවිය යුතුය. එහි සමස්ත ප්‍රතිපත්ති මාලාවම රඳා පවතින්නේ සමස්ත ඉල්ලුම මැනීම, කළමනාකරණය කිරීම සහ උත්තේජනය කිරීම මතය;  ද.දේ.නි. දර්ශකය ප්‍රමාණාත්මකව මනින බවට ප්‍රකාශ කරන්නේද හරියටම මෙම සමස්ත ඉල්ලුමයි. එබැවින් රාජ්‍යයන්ට ද.දේ.නි. දත්ත හරහා ආර්ථිකයේ නාඩි වැටීම‘ (පවතින තත්ත්වය) නිරීක්ෂණය කිරීමටත්, ඉල්ලුම දුර්වල වන විට ආර්ථික උත්තේජක ලබා දීමටත්, උද්ධමනකාරී තත්ත්වයක් මතු වන විට එම උත්තේජක ඉවත් කර ගැනීමටත් හැකිය.

කෙසේ වෙතත්, 1970 දශකයේදී කිනිසියානු සම්මුතිය බිඳ වැටුණු අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපෑවේ ‘ස්ටැග්ෆ්ලේෂන්’ (Stagflation) තත්ත්වයයි. මෙය ඉහළ උද්ධමනය සහ ඉහළ විරැකියාව යන දෙකෙහිම එකතුවක් වූ අතර, කීනිසියානු න්‍යායේ ආකෘති මගින් උද්ධමනය සහ විරැකියාව ප්‍රතිවිරුද්ධ දිශාවන්ට ගමන් කරන බව උපකල්පනය කළ බැවින්, එම න්‍යාය මගින් මෙම තත්ත්වය පැහැදිලි කළ නොහැකි විය.

මේ වන විට, දළ දේශීය නිෂ්පාදිතය මගින් සැබෑ නිෂ්පාදන නිමැවුමට වඩා ණය මගින් පුම්බන ලද මූල්‍ය ගනුදෙනු විශාල වශයෙන් නිරීක්ෂණය වෙමින් තිබුණි. එසේ වුවද, ප්‍රතිපත්ති සම්පාදකයින්, ආයෝජකයින් සහ මාධ්‍යය එය සැබෑ සමෘද්ධියේ නිල මිනුම්දණ්ඩ ලෙස දිගින් දිගටම සැලකූහ. එහි ප්‍රායෝගික වලංගුභාවය  පිරිහෙමින් තිබියදී පවා, එහි සංකේතාත්මක ගෞරවය සැබවින්ම ඉහළ ගියේය. මෙය අප නැවත අවධානය යොමු කරන කරුණකි.

කුඩා සටහනක්: බොහෝ දෙනෙක් දළ දේශීය නිෂ්පාදිතයේ මතුපිටින් පෙනෙන එක් අඩුපාඩුවක් හඳුනා ගනිති. එනම් රටවල් අතර පවතින මිල මට්ටම්වල වෙනස්කම් අනුව එය ගැලපීමට අපොහොසත් වීමයි. එබැවින් ඔවුන් ක්‍රය ශක්ති සාම්‍යය ( PPP) අනුව මනිනු ලබන ද.දේ.නි.  අගය භාවිතා කිරීමට කැමැත්තක් දක්වති. නමුත් PPP වෙත මාරු වීමෙන් පමණක් මූලික ගැටලුව විසඳෙන්නේ නැත. මන්දයත්, එමගින් ද.දේ.නි.  තුළම පවතින ව්‍යුහාත්මක විකෘතිතාවයන් වන ‘මූල්‍යකරණය’  සහ ‘ණය’  යන කරුණු සැලකිල්ලට නොගන්නා බැවිනි. සැබෑ නිෂ්පාදන නිමැවුම සහ මූල්‍ය ගනුදෙනු අතර පරතරය වඩ වඩාත් පුළුල් කිරීමට බලපාන මූලික සාධක වන්නේ මේවාය.

දළ දේශීය නිෂ්පාදිතය වියදම් කරනු ලබන්නේ ආදායමෙන් ද නැතහොත් ණය ලබා ගැනීමෙන් ද යන්න නොසලකා සියලුම වියදම්වලට එක හා සමානව සලකනු ලබයි. මේ හේතුව නිසා, නිෂ්පාදන ධාරිතාවේ සැබෑ ව්‍යාප්තිය සහ ණය මත පදනම් වූ ගනුදෙනු ක්‍රියාවලීන්  අතර වෙනස වෙන්කර හඳුනා ගැනීමට එයට නොහැකිය.

අතිශයින් මූල්‍යකරණය වූ වර්තමාන G 7 රටවල් තුළ මෙම උපකල්පනය තවදුරටත් පැවතීම, ශිෂ්ටාචාර මට්ටමේ පවතින ‘අන්ධ කුහරයක්’ ලෙස හැඳින්විය හැකිය. නිශ්චල දේපළක් ලාභය සඳහා විකිණීම (Flipping) හෝ එකම උකස් ණය සමූහයක් නැවත නැවතත් සුරැකුම්පත් බවට පත් කිරීම (Securitizing) මගින්, කිසිදු සැබෑ වටිනාකමක් නිර්මාණය නොකරන්නේ වුවද මනිනු ලබන ද.දේ.නි.  අගය ඉහළ යන බව ඕනෑම අයෙකුට නිසගයෙන්ම වැටහෙන කරුණකි. මෙම ගනුදෙනු මගින් සිදු කරන්නේ ශේෂ පත්‍ර පුළුල් කිරීම මිස නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම නොවේ. එහෙත්,  ද.දේ.නි.  දර්ශකය තුළ මේවා ගණනය කරනු ලබන්නේ සැබෑ ලෙසම ටර්බයිනයක් නිෂ්පාදනය කිරීම හෝ පාලමක් ඉදි කිරීම හා සමාන වැදගත්කමකිනි. 

Dr Tim Morgan

මෙම වර්ධනය සංඛ්‍යාලේඛන පිළිබඳ රැඩිකල් ක්‍රමාංකනයක් වන අතර, මෑත දශක කීපය තුළ වාර්තා වූ වර්ධනයෙන් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ නව භෞතික නිමැවුමක් මගින් නොව, ණය ව්‍යාප්තිය, වත්කම් උද්ධමනය සහ පරිභෝජනය හරහා බව මනාව හෙළිදරව් වේ. මෝගන්ගේ ගණනය කිරීම් අනුව, වාර්තා වී ඇති වර්ධනයේ සෑම ඩොලර් එකක් සඳහාම, අවම වශයෙන් ඩොලර් 9 ක නව ශුද්ධ මූල්‍ය බැඳීම් ප්‍රමාණයක් එකතු වී ඇත.

මෝගන් ඔහුගේ C G D P‘  ආකෘතිය යටතේ රටවල් මට්ටමින් දත්ත වෙන් කර දක්වා නොමැති වුවද (අවම වශයෙන් මා දන්නා පරිදි), ණය සහ මූල්‍යකරණය මගින් ද.දේ.නි.  අගය කෘත්‍රිමව ඉහළ දැමීමේ බලපෑම වඩාත්ම ප්‍රබල ලෙස දක්නට ලැබෙන්නේ G 7 රටවල බව පැවසීම සාධාරණ උපකල්පනයකි.

මූල්‍ය, රක්ෂණ, නිශ්චල දේපළ, කුලී සහ කල්බදු යන අංශ සියල්ලෙහි එකතුව ඇමරිකානු ද.දේ.නි.  අගයෙන් 20% කට මඳක් වැඩි ප්‍රමාණයක් නියෝජනය කරයි. ඒ අතරම ගෘහස්ත සහ ෆෙඩරල් (මධ්‍යම) රජයේ ණය මට්ටම් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, ද.දේ.නි.  අගයට සාපේක්ෂව මූල්‍ය වත්කම්වල පවතින අනුපාතය 1980 දශකයේ සිට  අතිමහත් ලෙස ඉහළ ගොස් ඇත. යුරෝපයේ තත්ත්වය ද මූලික වශයෙන් මෙයින් වෙනස් නොවේ. ණය මගින් කෘත්‍රිමව ඉහළ නංවන ලද ගනුදෙනු ඉවත් කළහොත්, බටහිර රටවල මෙන්ම BRICS රටවල ද මනිනු ලබන ද.දේ.නි.  අගය හැකිලීමකට ලක් වනු ඇත. එහෙත්, එම හැකිලීම සිදුවන ප්‍රමාණය එකිනෙකට වෙනස් වේ..

චීනය සහ BRICS ලෝකයේ ඇතැම් කොටස් ද දැඩි ලෙස ණයගැති බව බොහෝ දෙනෙකු නිවැරදිව පෙන්වා දෙනු ඇත. කෙසේ වෙතත්, ණය සහ සැබෑ නිමැවුම අතර පවතින සබඳතාව බටහිර රටවල පවතින රටාවට වඩා වෙනස් වන ආකාරය මෙහිදී විශේෂයෙන් නිරීක්ෂණය කළ යුතුය. උදාහරණයක් ලෙස, චීනය ලබාගත් ණයවලින් වැඩි ප්‍රමාණයක් යොදවා ඇත්තේ යටිතල පහසුකම්, නිවාස, කර්මාන්තශාලා සහ බලශක්ති පද්ධති වැනිවාස්තවික භෞතික වත්කම්  සඳහාය. එහි යම් ප්‍රමාණයක අධික ඉදිකිරීම් සහ වැරදි ලෙස කළ ආයෝජනයන් තිබිය හැකි වුවද, එම ණය අවසානයේදී භෞතික වත්කම් බවට පරිවර්තනය වී ඇත.

එබැවින්, චීනයේ ණය පද්ධතිය එහි සීමාවන් ඉක්මවා ව්‍යාප්ත වී තිබුණද, එම ණය ලබා ගැනීම්වලින් සැලකිය යුතු කොටසක් භෞතික ප්‍රාග්ධනය නිර්මාණය කර ඇති අතර ඒවා හුදෙක් කඩදාසි මත පවතින හිමිකම් පෑමක් පමණක් නොවේ. මේ අනුව චීන පද්ධතිය අභ්‍යන්තරව ණය මත පදනම් වූවක් වුවද එය තවමත් සැබෑ වෙළඳ අතිරික්තයන් මත පදනම්ව ඇත. ඊට වෙනස්ව, බටහිර රටවල ණය නිර්මාණය කිරීම වෙළඳපොළ විසින් මෙහෙයවනු ලබන, ලාභය අරමුණු කරගත් ක්‍රියාවලියකි; එමෙන්ම එය පුද්ගලික බැංකු සහ මූල්‍ය වෙළඳපොළවල් විසින් දැඩි ලෙස මැදිහත්වීම් කරයි. එහිදී ණය ව්‍යාප්තිය මූලික වශයෙන් උපකාරී වන්නේ වත්කම් සමපේක්ෂණය සහ පරිභෝජනය සඳහාය.

බටහිර ආර්ථිකයන්හි සැඟවුණු දුර්වලතාවය මෙයයි. කාර්මික නිෂ්පාදනය මහා පරිමාණයෙන් වෙනත් රටවලට පවරා දීම (outsourcing) පමණක් නොව එය අවම වශයෙන් පිළිගත් කරුණකි ආර්ථික නිමැවුම ලෙස සැලකෙන බොහෝ දේ හුදෙක් මායාවක් පමණි.

තවද, අපි ණය යනු අනාගත ආර්ථික නිමැවුම කෙරෙහි ඇති හිමිකම් පෑමක් ලෙස සලකන්නේ නම්, G 7 ආර්ථිකයන් දැනට ලබාගෙන ඇති දැවැන්ත ණය කන්දරාව පියවීමට තරම් අනාගත නිමැවුම ප්‍රමාණවත් වනු ඇත් ද ඇත්ත වශයෙන්ම කවුරුන් හෝ විශ්වාස කරනවාද? ඇත්ත වශයෙන්ම නැත.

මේ සියල්ල ඉතා පැහැදිලි විය යුතු කරුණුය. එමෙන්ම (මෙහි ඇති) විකෘති කිරීම්ද පැහැදිලි විය යුතුය. දළ දේශීය නිෂ්පාදිතය නිර්මාණය කළේ කෙබඳු ආකාරයේ ආර්ථිකයක් මැනීමටද යන්න අපි දනිමු. බටහිර ආර්ථිකයන්හි ව්‍යුහය (විශේෂයෙන්ම) වෙනස් වී ඇති ආකාරය අපි දනිමු ව්‍යුත්පන්න (Derivatives) මිලදී ගැනීම සහ විකිණීම මගින් සැබෑ ආර්ථික වටිනාකමක් ජනනය නොවන බවත් අප දනිමු. එසේ නම්, අප තවමත් මුරණ්ඩු ලෙස දළ දේශීය නිෂ්පාදිතය මතම එල්බී සිටින්නේ ඇයි?

මෙම ප්‍රශ්නයට ආර්ථික විද්‍යාත්මක පදනමකින් පමණක් පිළිතුරු දිය නොහැක. එය නිවැරදිව වටහා ගැනීමට නම්, අප ආර්ථික විද්‍යාවේ සුරක්ෂිත වූ සීමාවන්ගෙන් බැහැරව අපගේ වර්තමාන ආර්ථික උපකල්පනවලට අරුතක් ලබා දෙන වඩාත් පුළුල් මතවාදී තලයක් පිළිබඳව විමසා බැලිය යුතුය. දළ දේශීය නිෂ්පාදිතයේ පවතින ‘සංකේතාත්මක’ ගෞරවය පිළිබඳ සංකල්පයට අප නැවත යොමු වන්නේ මෙහිදීය.

21 වැනි සියවසේ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආර්ථික විද්‍යාඥයින්, තමන් තාක්ෂණික-පාලන පද්ධති (technocratic systems) මෙහෙයවන තාර්කිකත්වයේ අග්‍රගණ්‍ය පරමාදර්ශ ලෙස හඳුන්වා ගැනීමට ප්‍රිය කරති. මෙය අපේ යුගයේ නොබිඳිය හැකි පරම විශ්වාසයකි. එහෙත් සැබවින්ම, ඕනෑම අතීත ශිෂ්ටාචාරයක් මෙන්ම අප ද යුගයට ආවේණික වූ, ප්‍රශ්න නොකළ උපකල්පනවලට නිතැතින්ම බැඳී සිටිමු. අපගේ ආර්ථික න්‍යායන් මධ්‍යස්ථ, වාස්තවික හෝ විශ්වීය ඒවා නොවේ; ඒවා අපගේ සුවිශේෂී වටිනාකම් පිළිබිඹු කරන සහ අපගේ නොපෙනෙන දුර්වලතා (blind spots) වසං කරන, කෘතිමව ගොඩනඟන ලද දෘෂ්ටි කෝණයකි. දළ දේශීය නිෂ්පාදිතය යනු මීට කදිම නිදසුනකි.

අපගේ වර්තමාන ශිෂ්ටාචාරය නිරීක්ෂණය කරන පිටසක්වල ආර්ථික විද්‍යාඥයෙකු, අපගේ ‘පූජනීය’ දර්ශකය කෙරේ ණය මගින් ඇති කරන විකෘති සහගත බලපෑම පිළිබඳව අප මෙතරම් අල්ප අවධානයක් යොමු කිරීම දැක මවිතයට පත් වනු ඇත. ණය ප්‍රමාණය ගණනය කිරීමට අප බහුලවම භාවිතා කරන උත්සාහය වන ‘ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය’ (debt-to-GDP ratio) පවා ප්‍රමාණවත් නොවේ. ඊට නිශ්චිත හේතුව වන්නේ, එම සමීකරණයේ එක් පාර්ශවයක් වන ද.දේ.නි. දත්තයන්, අප මැනීමට උත්සාහ කරන එම සාධකය (ණය) මගින්ම කෘතිමව පිම්බී තිබීමයි. පිටසක්වලයාගේ නිගමනය වනුයේ: ණය මගින් උත්තේජනය වූ වර්ධනය සහ ස්වාභාවික, තිරසාර වර්ධනය අතර සැබෑ වෙනසක් අප හඳුනා නොගන්නා බවයි. අප නිසැකවම අතිශය කෙටි කාලීන දෘෂ්ටියක් සහිත ශිෂ්ටාචාරයක් විය යුතුය.

දළ දේශීය නිෂ්පාදිතය තවමත් රැකියා නියුක්තිය, පරිභෝජනය සහ බදු ආදායම වැනි සාධක සමඟ සැලකිය යුතු මට්ටමේ සහසම්බන්ධතාවක් පෙන්වයි. රාජ්‍ය මූල්‍ය සහ මුදල් කළමනාකරණ කටයුතුවලදී මේවා බෙහෙවින් වැදගත් විචලනයන් වුවද, ආර්ථිකයක තිරසාරභාවය හෝ එහි දිගුකාලීන යහපැවැත්ම පිළිබඳව ඒවායින් කිසිවක් කියැවෙන්නේ නැත. ණය බහුල ලෙස ගලා ඒම මගින් ඉහත කී කරුණු තුනම මෙන්ම ද.දේ.නි. ද ඉහළ නැංවිය හැකි වුවත්, එමගින් සිදුවන්නේ අනාගත පරම්පරාවට ගෙවා නිම කළ නොහැකි බරපතල බරක් උරුම කර දීමයි.

එසේ වුවද, මෙම ක්ෂණික දර්ශක පිළිබඳ අප තුළ පවතින දැඩි ඇලී සිටීම අහඹු ලෙස සිදු වූවක් නොවේ; එය නූතන ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිවල, විශේෂයෙන්ම මෙම මනෝභාවය වඩාත් තීව්‍ර හා ප්‍රබල ලෙස දක්නට ලැබෙන බටහිර ලෝකයේ පවතින සැබෑ ස්වභාවය පිළිඹිබු කරයි. දේශපාලඥයින්ට සිදුව ඇත්තේ කරුණු හරිහැටි වටහා නොගන්නා පොදු ජනතාවට ක්ෂණික විසඳුම් පොරොන්දු වෙමින් මැතිවරණ චක්‍රවලින් ජය ගැනීමටයි. මහ බැංකුකරුවන්ට මීළඟ කාර්තුව ස්ථාවර කිරීමට සිදු වී ඇති අතර, වෙළඳපලවල් ද වඩ වඩාත් පුවත් සිරස්තල මවන  තත්ත්වයට පත්ව ඇත. සෑම දෙයක්ම ‘මෙම මොහොත’ සහ ‘වර්තමානය’ දෙසටම නැඹුරු වී ඇත. මෙය අපට කෙතරම් සාමාන්‍ය දෙයක් ලෙස හැඟෙන්නේද යත්, මේ පිළිබඳව ප්‍රශ්න කිරීමට කිසිවෙකුටවත් නොසිතේ.

එසේම, අප ආර්ථිකය දෙස බලන ආකාරය වඩාත් ගැඹුරු තර්කනයක් සමඟ අවිච්ඡේද්‍ය ලෙස (ගැලවිය නොහැකි ලෙස) බැඳී පවතින බව ද අපට එතරම් වැටහෙන්නේ නැත. දළ දේශීය නිෂ්පාදිතය අපට පවසන්නේ අප ඇසීමට කැමති දේ සහ පවතින ශිෂ්ටාචාරමය හරපද්ධතිය තුළ පැවසීමට අවසර දී ඇති දේ පමණි. ඊට වඩා වැඩි හෝ අඩු දෙයක් එහි නැත.

ඕනෑම ශිෂ්ටාචාරයක හරපද්ධතියක් පිළිගත්තත් නැතත්, කිසියම් දුරකට අභිභෞතිකවාදී ස්වරූපයක් ගනී. රෝම අධිරාජ්‍යයා වූ කොන්ස්ටන්ටයින් අහසේ කුරුසියක් දැක, ‘මෙම ලකුණෙන් ඔබ ජයග්‍රහණය කරනු ඇත’ යන වදන් තමාට ඇසුණු බව විශ්වාස කළේය. එලෙසම, බෙල්ජියම් ජාතික ආර්ථික විද්‍යාඥ ඩී ග්‍රෝව්  තමා තුළ පවතින ‘ගුප්ත නැඹුරුව’ පිළිබඳව කිසිදු වැටහීමක් නොමැතිව, පැතුරුම්පතක් (spreadsheet) විවෘත කර, ‘මෙම සංඛ්‍යාලේඛන අනුව රුසියාව ජයග්‍රහණය නොකරනු ඇතැ’ යි පැවසීය.

Leave a Reply